මාලිගාවිල වන මැද මහ ප්‍රතිමා

ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මාලිගාවිල අපේ ශෛලමය ප්‍රතිමා ඉතිහාසය විමසන විට විශාල වැදගත්කමක් හිමිකර ගන්නා තැනක්. ඒ අප රටේ විශාලම හිටි බුද්ධ ප්‍රතිමාව සහ බෝධිසත්ව ප්‍රතිමාව මෙහි පිහිටා තිබෙන නිසා යි. මේ ප්‍රතිමාවල විශේෂත්වය වන්නේ මේවා පිහිටි ගලකින් නෙළන ලද්දක් නොව ගලකින් නෙළා සිටුවා ඇති අනාබද්ධ ප්‍රතිමා වීම යි. කලකට පෙර කොටි ත්‍රස්තවාදී ක්‍රියා නිසා නරඹන්නන් මෙහි එතරම් නොපැමිණියත්, දැන් නම් සංචාරකයන්ට මාර්ග පහසුකම් සහ වෙනත්  අවශ්‍ය පහසුකම් සපයා තිබෙන නිසා පහසුවෙන් ළඟාවීමට පුළුවන්. බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඔක්කම්පිටියට නුදුරු මාලිගාවිල ගමේ තමයි මේ පුරාවිද්‍යා රක්ෂිතය පිහිටලා තිබෙන්නේ. එක් පසෙකින් කුඹුරු යායක් ද, අනෙක් පසින් කඳු ගැටයකට ද සීමාවෙමින් මේ පෙදෙස පිහිටා තිබෙනවා. හොරොම්බු කන්ද සහ මිණිපුර නම් කන්දක් ද මේ අවට පිහිටා තිබෙනවා. ඉතා සුන්දර වනගත ගැමි පරිසරයක් මෙහි දී විඳගත හැකියි.

යන්නේ කොහොමද?

ප්‍රතිමා සහිත නටබුන් බිමේ පිහිටීම- archaeology.lk

මොණරාගල වැල්ලවාය පාරේ කුඹුක්කන හන්දියෙන් වමට හැරී කි. මී. 14ක් ගමන් කළ විට හමුවන ඔක්කම්පිටියේ සිට තවත් කි. මී. 7ක් පියමං කළ යුතු යි. බුත්තල නගරයේ සිට ඇති ඔක්කම්පිටිය නියදැල්ල පාරේ ගමන් කිරීමෙන් ද මාලිගාවිලට ළඟාවීමට පුලුවන්.  

ඉතිහාසය

මාලිගාවිල සංඝාරාම නටබුන්-  philipveerasingam.blogspot.com

මහාවංශයේ 6 වැනි පරිච්ඡේදයේ රුහුණේ දප්පුල රජු මාලවත්ථු ග්‍රාමයේ අරියාකර විහාරයට දර්ශනීය ප්‍රතිමා ගෘහයක් කරවා බුදු පිළිමයට ඌර්ණ රෝමයක් කරවූ බව සඳහන් වෙනවා. එහි පසළොස් රියන්වූ මෙතේ බුදු රුවක් ද කරවා තිබෙනවා. දප්පුලට පෙර රුහුණෙහි රාජ්‍ය විචාල ඔහුගේ සොයුරු අග්ගබෝධි (ක්‍රි. ව. 667 – 683) දී  ප්‍රතිමා විහාර නම් විසල් පිළිම ගෙයක් තැනී ය. මෙහි සඳහන් වන්නේ මාලිගාවිල බුදු පිළිමය සහ බෝසත් පිළිමය ගැන බව ඉතිහාසඥයන් විශ්වාස කරනවා.

ඒ අනුව පෙනී යන්නේ දඹේගගොඩ බෝසත් රුව දප්පුල රජු විසින් ද බුදු පිළිමය අග්ගබෝධි රජු විසින් ද කරවූ බව යි. මෙම පිළිම දෙක 7- 8 සියවස්වලට අයිතියි.

පරිසරය

පැරණි  ප්‍රාකාරයක්-  Serendib.btoptions.lk

පුරාවිද්‍යා රක්ෂිත භූමිය පිහිටා ඇත්තේ වනාන්තරයක් තුළ යි. එහි සිට මාලිගාවිල බුදු පිළිමයට සහ දඹේගොඩ බෝසත් ප්‍රතිමාව අසලට ගමන් කිරීමට බොරළු පාරක් සකසා තිබෙනවා. වීර, පලු, කළුවර, කොහොඹ, වෙලං, දිවුල්, නුග, සියඹලා, කොලොං, බුරුත වැනි ගස්වැල් වටපිටාවේ දැකගත හැකියි. සිත සුවපත් කරන සොඳුරු වටපිටාවක් මෙහි පිහිටා තිබෙනවා.

මාලිගාවිල සහ දඹේගොඩ ප්‍රදේශ ආශ්‍රිත ව අක්කර 300ක පමණ භුමි ප්‍රදේශයක් පුරා පැතිර ඇත්තේ ක්‍රි. ව. 6 වන හා 8 වන සියවස්වලට අයත්වූ ආරාම සංකීර්ණයක් බව හෙළි වී බවත්, එය රෝහණ රාජධානියේ ප්‍රධාන පෙළේ පුදබිමක් බවත් අපට පේනවා.

බුදු පිළිමය

බුද්ධ ප්‍රතිමාව – wikipedia.org

අඩි 4ක් පමණ වන පද්ම පීඨය සමග බුද්ධ ප්‍රතිමාවේ උස අඩි 42ක්. මෙය නෙළා ඇත්තේ ස්ඵටික හුණුගලකින්. එය අවුකන බුද්ධ ප්‍රතිමාව මෙන් අභය මුද්‍රාවෙන් නෙළා තිබෙනවා. මාලිගාවිල බුදු පිළිම වහන්සේ ලංකාවේ පැරණිම බුද්ධ ප්‍රතිමා අතර විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාව ලෙස පිළිගැනෙනවා. කඩා වැටී තිබූ මේ පිළිමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එකතු වී සංරක්ෂණය කළේ 1991 දී යි.

අඩි සියයකට ආසන්න දිගකින් හා පළලින් යුත්, සහ අඩි හැටක් පමණ උසකින් යුතු ගෙඩිගේ සම්ප්‍රදායේ ඉතා විශාල පිළිම ගෙයක් තුළ තමයි මේ පිළිමය පිහිටුවා තිබී ඇත්තේ. ගඩොලින් නිමවූ අඩි 14ක් පළලින් යුතු බිත්තිවල ශේෂයන් අදටත් දකින්න පුළුවන්. ලංකාවේ දක්නට ලැබෙන ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිම ගෙවල්වල නටබුන් අතරින් පැරණිතම පිළිම ගෙය මෙය බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස යි.

ප්‍රතිමා මන්දිරය ඉදිරිපිට සඳකඩ පහණ – N.H. Samarasingha archaeology.lk

අවට කැණීමේ දී උළු කැට හෝ පරාලවලට යොදාගත් ඇණ හමුනොවීමත්, ගෙඩිගෙයක් මෙහි පැවති බව විශ්වාස කිරීමට එක් හේතුවක්. ප්‍රතිමා මන්දිරය ඇතුළත ප්‍රදක්ෂිණා පථයක් ද දකින්න පුලුවන්. ජරාවාස වී කඩාවැටෙන්නට පෙර මෙය අලංකාර ගොඩනැගිල්ලක් ලෙස පවතින්නට ඇති. ප්‍රතිමා මන්දිරයට පිවිසෙන ස්ථානයේ පිහිටි සඳකඩ පහණ ද විශේෂ ලක්ෂණ සහිත කලාකෘතියක්.

අවට භුමියේ සංඝාවාස, උපෝසථඝර, ආදී නටබුන් ද විශාල පොකුණක ශේෂ ද දකින්න ලැබෙනවා. පුරාණ විහාරය වටා යන සේ ඉදිකළ ශෛලමය ප්‍රාකාරයක් ද මෙහි පිහිටා තිබෙනවා. මෙම පුදබිමට මාලිගාවිල යන නම ලැබී ඇත්තේ මෙම විශාල පොකුණ සහ ඒ අසල පිහිටි ගොඩනැගිලිවල නටබුන් නිසා බව සිතිය හැකියි.

දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව

සංරක්ෂණය කර ඇති බෝසත් පිළිමය-   N.H. Samarasingha archaeology.lk

බුදු පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 600ක් පමණ ගිනිකොණ දෙසට වන්නට දඹේගොඩ අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ව ප්‍රතිමාව පිහිටුවා තිබෙනවා. අග්ගබෝධි කුමරුගේ අභාවයෙන් පසු රුහුණට අධිපති වූ දප්පුල කුමරා විසින් කරවූ පසළොස් රියන් බෝසත් පිළිමය මෙය යි. කැබලි 80කට පමණ කැඩී තිබූ මෙම ප්‍රතිමාව සංරක්ෂණය කර පිහිටෙව්වේ 1990 දී යි. අඩුපාඩු සඳහා කොන්ක්‍රීට් යොදාගෙන තහවුරු කර තිබෙනවා. පිළිමය නෙළා ඇති ගල් වර්ගය පුරාණයේ හඳුන්වා තිබෙන්නේ ලුණුගල් හෙවත් ලවණගිරි යනුවෙන්. කැට සහිත ස්ඵටිකමය ආකාරයක් ගන්නා නිසා කැඩී විසිරෙන මේවායින් ප්‍රතිමා නෙළිම ඉතා අපහසු යි.

 ප්‍රතිමාව වෙත පිවිසෙන පියගැට පෙළ-wikipedia.org

වනගත ව පිහිටා තිබූ මෙම බෝධිසත්ව පිළිමය අවට පරීක්ෂාවට සෙනරත් පරණවිතාන මහතා 1934 දී මුල් වරට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ දී මෙම බෝසත් පිළිමයේ සිරස මුණින් වැටී තිබී හමු වී තිබෙනවා. කැලයෙන් වැසී තිබුණු මෙම පුදබිම 1951 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙළිපෙහෙළි කළා. මාලිගාවිල සහ දඹේගොඩ ප්‍රදේශය පුරාවිද්‍යා ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස 1936 දී ප්‍රකාශයට පත්කොට තිබෙනවා. කැණීම් හා සංරක්ෂණ කටයුතු 1951 දී පමණ ආරම්භකොට තිබෙනවා. කෑලිවලට බිඳී ගොස් හා නිධන් සොරුන්ගෙන් හානියට පත්ව තිබූ පිළිමය ප්‍රතිසංස්කරණය කොට ඔසවා තැබීමට 1974 දී පමණ උත්සාහ ගත්ත ද, එය ව්‍යර්ථ වුණා. පසු ව 1980 දශකයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමෙන් හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රමුඛ දේශීය ඉංජිනේරුවන්ගේ උත්සාහයෙන් මේ පිළිමය අගනා ලෙස ප්‍රතිසංස්කරණය කළා. මෙම පුදබිමෙන් හතරවැනි මිහිඳු (ක්‍රි.ව. 956 – 972) රජුට අයත් ටැම් ලිපියක් ද 1982 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොගත්තා. එහි මේ පුදබිමේ ආගමික ආයතන පාලනය පිළිබඳ නීතිරීති ඇතුළත්.

බෝසත් ප්‍රතිමාව පිහිටුවා ඇත්තේ කුඩා කඳු ගැටයක් මත යි. ඒ වෙත පිවිසීමට පියගැට සහිත මාලක හතරක් නිර්මාණය කර තිබෙනවා. පහතම බිමෙහි සංඝාවාස දෙකක නටබුන් දක්නට ලැබෙනවා. මේ මාලක දෙපස කුඩා ගොඩනැගිලිවල නටබුන් දැකගත හැකියි. ප්‍රතිමාව පිහිටුවා ඇත්තේ කඳු මුදුන මත සැකසූ ගොඩනැගිල්ලක යි. සංරක්ෂණයෙන් පසු පැරණි ස්වරූපය දක්නට ලැබෙන සේ අලුතින්ම ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා.

බෝසත් හිසෙහි කර සිට ඔටුනු මස්තකය දක්වා උස අඩි 7ක්. පාදයෙහි සිට සම්පූර්ණ උස අඩි 29 අඟල් 5ක්. පිළිමය පිහිටුවා තිබෙන්නේ චාම් පද්මාසනයක් මත යි. පිළිමයෙහි බර ටොන් 40ක්.

ප්‍රතිමාව අසල පිහිටි මුරගලක්- wikipedia.org

සමභංග ඉරියව්වෙන් නෙළා ඇති ප්‍රතිමාව ආභරණවලින් පිරී ඇති සේ නිමාකර තිබෙනවා. ප්‍රතිමාවේ ජටා මකුටයෙහි කුඩා අමිතාභ ධ්‍යානි බුද්ධ රූපයක් තිබෙනවා. මෙම ලක්ෂණය ද අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් හඳුනාගැනීමට ඇති එක් ලක්ෂණයක් ලෙසින් සැලකෙනවා. ඒ අනුව මෙය අවලෝකිතේශ්වර ප්‍රතිමාවක් බව නිසැක ව ම පැවසිය හැකියි. පිළිමයේ ගෙල වටා මාලා ත්‍රිත්වයක් දක්නට පුලුවන්. දකුණු අත විතර්ක මුද්‍රාවෙන් ද, වම් අත ආහ්වාන මුද්‍රාවෙන් ද යුක්ත යි. ඉඟෙහි ඇත්තේ ඝන කපු රෙද්දක ආකාරයේ දෝතියක්. කලාත්මක ව ඉතා උසස් ස්ථානයක් මෙම ප්‍රතිමාව හිමිකර ගන්නවා. වැල්ලවායේ බුදුරුවගල සහ වැලිගම කුෂ්ටරාජගල ද පිහිටි ගල්වල නෙළන ලද අවලෝකිතේශ්වර ප්‍රතිමා පිහිටා තිබෙනවා.

මෙම බෝධිසත්ව පිළිමවල තවත් ලක්ෂණයක් නම් විසිතුරු ආභරණවලින් සරසා තිබීමයි. උඩුකය නිරාවරණව හෙවත් ඇඳුමක් නැතත් ආභරණවලින් සරසා තිබෙනවා. මෙම ශිලාමය බෝධිසත්ව පිළිමයෙහි ගෙල මාලවලින් ද, දෑත වළලුවලින් ද, කර්ණ මකර කුණ්ඩලාභරණවලින් ද සරසා තිබෙනවා. රාජාභරණ සහිත ව නෙළා ඇති මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයෙහි ඉතා තේජාන්විතභාවයක් නිරූපණය වෙනවා.

ගෙවීගිය මුරගලක්- wikipedia.org

බුදුපිළිම සේම මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය ද පද්ම පීඨයක් මත නෙළා (නෙළුම් මල් මත) තිබෙනවා. දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය නෙළා තිබෙන්නේ තනි ගලකින්. වටේට ම නෙළා ඇති මෙම පිළිමය මෙන්ම මේ අසල මාලිගාවිල පුදබිමෙහි ඇති හිටි බුදු පිළිමය ද තනිගලෙන් වටේට ම නෙළා ඇති බව විශේෂයෙන් සඳහන් කළ කරුණක්. මෙම පාෂාණ විශේෂය මේ අසල වනයෙහි දක්නට ලැබෙනවා. එම පාෂාණය ගල් කුට්ටියක් ලෙසින් මෙම ස්ථානයට රැගෙනවිත් නෙලන්නට ඇති. එසේ නැතහොත් එම පාෂාණ කට්ටිය තිබූ තැන නෙළා මෙම ස්ථානයට ගෙන එන්නටත් ඉඩ තිබෙනවා.

මූලාශ්‍රයයන්:

ශ්‍රී ලංකාවේ රජමහා විහාර- කුසුම්සිරි විජයවර්ධන

ලෙන්දොර හැරීම- කුසුම්සිරි විජයවර්ධන

හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග

ඓතිහාසික මාළිගාවිල- දිසාංජනී ඇල්ලෙපොල,  පුරාවිද්‍යා දෙපා.

 

Related Articles