Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රඹුක්කන ගිහින් නොබලන තැන්

පුරාණයේ රඹ හෙවත් කෙසෙල් ගස් බහුලව පැවති නිසා රඹුක්කන වුණා කියලයි ජනකතාවල කියන්නේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම ජනාවාසව පැවති මේ බිමේ උඩරට රාජධානි යුගයේ දී වෙහෙරවිහාර රාශියක් ඉදිවුණා. ඉංග්‍රීසි පාලන සමයේ දී කතෝලික පල්ලි වගේම දුම්රිය ස්ථානත් මෙහි ගොඩනැගුණා. මහඔය ගලන්නේ රඹුක්කනට නුදුරින්. පසුව මේ නගරය වඩාත් ප්‍රකට වුණේ උඩරට දුම්රිය මාර්ගයේ සන්ධිස්ථානයක් වශයෙන්. දුම්රියේ නැගී රඹුක්කනට පහසුවෙන්ම පැමිණිය හැකියි. කොළඹ සිට දුර කි. මී. 88යි. මහාමාර්ගයෙන් එනවා නම් නුවර පාරේ කෑගල්ලේ සිට මෙන්ම පොල්ගහවෙල සිටත් එන්න පුලුවන්. රඹුක්කන පුරාණ බෙදීම් අනුව අයත් වන්නේ හතරකෝරළේ කිණිගොඩ කෝරළේට යි.

රඹුක්කන දුම්රිය ස්ථානය

රඹුක්නට යන හුඟ දෙනෙක් පින්නවල අලි අනාථාගාරය සහ සත්වෝද්‍යානය බලනවා මිස ඒ අවට ඇති වෙනත් අපූරු තැන් ගැන උනන්දුවක් නැහැ. මේ ලිපිය කියවූ පසු ඔබටත් ඒවා නැරඹීමට ආසාවක් ඇති වේවි.

පදවිගම්පොළ ගල්මැස්ස

ගල්මැස්ස නරඹන පිරිසක්- කුසුම්සිරි විජයවර්ධන

රඹුක්කන සිට වයඹ දිසාවෙන් පිහිටි සුන්දර ගම්මානයක් වන පදවියගම්පොළ හෙවත් පදවිගම්පළ කිණිගොඩ කෝරළයේ වල්ගම්පත්තුවේ දැලිවල වසමට අයත්. මෙය සබරගමුව පළාත් සභාව විසින් සංචාරක ගම්මානයක් ලෙස නම්කර තිබෙනවා. රඹුක්කන ඉතිහාසය පූර්ව ඓතිහාසික යුගයට රැගෙන යන්නේ මෙහි පිහිටි ගල්මැස්ස යි. විශාල ගල්පුවරු තුනක් මත තැබූ ගල්පුවරුව නිසා මෙය කාමරයක් ලෙස දිස්වෙනවා. දඹුල්ල ඉබ්බන්කටුව වැනි ස්ථානවලින් මෙගලිතික ස්මාරක ලැබී තිබුණත් මෙවැනි විශාල ස්මාරකයක් හමුවන්නේ පදවිගම්පොළින් පමණයි.  මෙය දිගින් අඩි 11ක් ද පළලින් අඩි හයහමාහරක් ද වෙනවා. පුරාවිද්‍යා ස්මාරකයක් වන මෙය අසල මෑත අතීතයේ විහාරයක් ද ඉදිකර තිබෙනවා.

රඹුක්කන, වල්ගම බස් මාර්ගයේ දෙවන සැතපුම් කණුව පසුකර යාර කිහිපයක් ගිය විට වම්පසින් හමුවන කොරහැත්ත – දඹුල්ල පාරේ සැතපුමක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම්පසින් ‘පදවිගම්පොළ ශිලා මඤ්චය’ පිහිටා තිබෙනවා.

අතීත ලක්දිව විසූ ගැමි ජනතාවගේ විශ්වාසය අනුව මෙම ශිලා මඤචය හා ලක්දිව වැඩවිසූ අවසාන මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ පිළිබඳ පුරාවෘත්තයක් ගොඩනැගී තිබෙනවා. එනම්, දිනක් මලියදේව මහරහතන් වහන්සේ අනුරාධපුරයේ සිට පොල්ගහවෙල හරහා වට්ටාරමට වඩින අතරමග දී හදිසියේ ඇදහැලුණු මහ වර්ෂාවක් නිසා අසල පිහිටි බෝරුක් සෙවනකට වැඩමකළ බවත්, එහිදී මෙම ශිලා මඤචය උන්වහන්සේ හට සෙවන සැලසූ බවත් ය. ශිලාමඤචයට වම් පසින් ඒ අසලම වූ බෝධිවෘක්ෂය ද පැරණියි.

පදවිගම්පොළ කන්ද

පදවිගම්පොල ශිලා මඤචයට බටහිර දෙසින් කොස්කන්ද නම් වූ කඳුගැටයක් පිහිටා තිබෙනවා. මේ කඳු පාමුල ජනාවාස පැතිර ඇති අතර මුදුන අවට වනාන්තරයක් පැතිර තිබෙනවා. කඳු බෑවුමේ පෞද්ගලික ඉඩම්වලත් කටාරම් කෙටූ ලෙන් පැතිර තිබෙනවා. සමහර ලෙන් ආරාම බවට පත්වෙලා. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල් ලිපි දෙකක් කන්ද මත පිහිටි ලෙන්වලින් හමුවෙනවා. ඒවායේ සඳහන් වන්නේ ප්‍රදේශයේ ප්‍රභුවරු විසින් සංඝයා වහන්සේට ලෙන් කරවා පූජා කිරීම ගැනයි.

කොට වෙහෙරේ සේද සළුව

කොටවෙහෙර නටබුන් දාගැබ – කුසුම්සිරි විජයවර්ධන

රඹුක්කන කුරුණෑගල පාරේ කි. මී. 4ක් දුරින් මාර්ගය අද්දරම දැලිවල රජමහා විහාරය පිහිටා තිබෙනවා. කොට වෙහෙර පිහිටා ඇත්තේ විහාර බිමේ කුඩා කඳුගැටයක් මත යි. ඒ වෙත පිවිසීමට පියගැට සකස් කර තිබෙනවා. වසර 100ක් පමණ පැරණි විහාර මන්දිරය පිහිටා ඇත්තේ ද වෙහෙර අසලම යි. කොටවෙහෙර යනුවෙන් හඳුන්වන්නේ මෙම දාගැබ් විශේෂයට කොත්කැරැල්ලක් පැවති බවට සාධක නැති නිසයි. දැදිගම, යුදගනාව, පොළොන්නරුවේ දෙමළ මහා සෑය ආදී දාගැබ් ද මෙම සම්ප්‍රදායට අයත්.

වනවැදී තිබූ මේ බිම අවට පෙදෙසේ 1880 පමණ වන විට මිනිසුන් ජනාවාස තනා කැලෑ හෙළි පෙහෙළි කොට තිබෙනවා. පසුව එහි පැරණි විහාරය එළිකරවා යළිත් භික්ෂුන් වහන්සේ කැඳවා පන්සලක් ඉදිකළ බව පැවසෙනවා.

දාගැබ කැණීමේ දී හමුවූ පළිඟු කරඬු- කුසුම්සිරි විජයවර්ධන

අපේ රටේ දාගැබ් ඉතිහාසයට දැලිවල වැදගත් මතක සටහනක් එක්කරනවා. මෙය ඉතාම පැරණි යුගයට අයත් දාගැබක්. මෙම කැණීමේ දී ද දාගැබේ මුල්ම අවධිය ක්‍රි.පූ. 2 වන සියවසට අයත් බව විද්‍යාත්මකව තහවුරු කර ගෙන තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1972 සිට වරින්වර මෙහි කැණීම් කළා. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් කැණීමේ දී ඉතාමත්ම සුරක්‍ෂිතව තිබී හමුවූ දාගැබ් ගර්භය යි. නිදන් හොරුන්ට එය හමුනොවීම වාසනාවක් වුණා. පුරාවස්තු රැසක් දැලිවල කැණීම්වලින් මතුවුණා. වීදුරු, පබළු රැසක් හමුවුණා. මුතු පබළු අල්ලන ලද රෙද්දකින් වට කරන ලද කුඩා චෛත්‍ය කරඬුව ඉතාමත් වැදගත්. පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ ආරාධනයෙන් ඕස්ට්‍රේලියානු ජාතික රෙදි පිළිඳව විශේෂඥ ජුඩිත් කැමරන් මහත්මිය විසින් මේ පිළිබඳව කළ  රසායනික පර්යේෂණ අනුව එම සළුව සේද රෙදි බව සොයා ගෙන තිබෙනවා. එහි වයස වසර දෙදහස්‌ දෙසියයක්.‌ ලෝහමය කරඬුව ඇතුළු සේද සළුව සොයා ගනු ලැබ ඇත්තේ 2001 වසරේ කළ කැණීම් මගින්. චෛත්‍යයේ හරිමැදින් පහළට කැණීම් කරන අවස්‌ථාවේ ඊට අඩි හතරකට පහළින් ලෝහමය කරඬුව හමුවෙලා තිබෙනවා.

විහාර බිමේ ඉදිකර ඇති ධාතු මන්දිරයේ මෙහි කැණීම්වලින් ලැබුණු පළිඟු කරඬු, රන් කරඬු, මැටි කරඬු, බුද්ධ පුතිමා, ශෛලමය කැටයම් කොටස් ආදිය තැන්පත් කර තිබෙනවා.

ගඩොලින් කළ විශාල දාගැබ තවමත් සංරක්ෂණය නිම නොකළ තත්ත්වයෙන් පවතිනවා. එයට යොදාගත් පැරණි ගඩොල් දාගැබ් මළුව අවට විසිරී තිබෙනවා. වසර 100ක් පමණ පැරණි විහාර මන්දිරය දාගැබ අසලම දක්නට ලැබෙනවා. ඒ අසලම පිහිටි ඝංඨාර කුලුනත් අවුරුදු 100ක් පමණ පැරණි යි.

කැලෑ දඹුල්ල

විහාරයට පිවිසෙන පියගැට පෙළ- කුසුම්සිරි විජයවර්ධන

රඹුක්කන කුරුණෑගල පාරේ කි. මී. 8ක් දුරින් පිහිටා තිබෙනවා. විශාල ලෙන් විහාරයක් වන මෙය කලකට පෙර හැඳින්වූයේ කැලෑ දඹුල්ල කියලයි. දැන් එය දඹුල්ල කියන නමින්ම හඳුන්වනවා. රබර් වතුයායක් මැදිකරගත් ලෙනට පිවිසීමට කළුගලින් කළ පියගැට 350ක් තරණය කළ යුතු යි. පියගැට පෙළ පාමුල නූතන සංඝාවස ගොඩනැගිලි පිහිටා තිබෙනවා. පර්වතය මතට පිවිසුණු විට ලෙන් විහාරය, දාගැබ ආදී පූජනීය ගොඩනැගිලි දැකබලා ගත හැකියි.

ගල්පර්වත අතරින් – කුසුම්සිරි විජයවර්ධන

ලෙන් විහාරය තුළ දහඅට රියන් සැතපෙන බුදු පිළිමයක්, විෂ්ණු දේව පිළිමයක්, සහ ලෙව්කේ අදිකාරමගේ පිළිමයක් ඉදිකර තිබෙනවා. මෙම ප්‍රතිමාව පසුකාලීනව අලුත්වැඩියා කර ඇති බව පෙනෙනවා. උඩරට සම්ප්‍රදායට අයත් පැරණි බිතුසිතුවම් ද  විහාරය අලංකාර කරනවා.

සැතපෙන පිළිමය- කුසුම්සිරි විජයවර්ධන

පර්වතයක් මත කෙටූ සිරිපතුලක් ද මෙහි පිහිටා තිබෙනවා. එච්. සී. පී. බෙල් සිය කෑගලු පුරාවිද්‍යා වාර්තාවේ වර්ෂ 1892 වනවිට මේ විහාරය පැවති ආකාරය දීර්ඝව විස්තර කර තිබෙනවා.

කුඩාගම පල්ලිය

දේවස්ථානය ඈතට දිස්වන අයුරු – කුසුම්සිරි විජයවර්ධන

රඹුක්‌කන දොඹේමඩ මාර්ගයේ  කඳුගැටයක් මත පිහිටි කුඩාගම පල්ලිය ඉතා සුන්දර ස්ථානයක්. මෙය 1910 දී ඉංග්‍රීසි පාලන සමයේ දී ආරම්භ කර තිබෙන දේවස්ථානයක්.

පල්ලිය ඇතුළත- කුසුම්සිරි විජයවර්ධන

1970 දශකයේ මෙම දේවස්ථානයට පැමිණෙන කැමිලස් ජයමාන්න පියතුමාගේ කාලයේ මෙය රට පුරා පතල වුණා. ඒ යක්ෂආවේෂ වූවන් සුවපත් කරවන ස්ථානයක් ලෙසට යි. එකල මෙම පල්ලියට දහස් ගණනින් බැතිමතුන් ඇදී ආවා. අදටත් ප්‍රදේශවාසීන් මෙහි හාස්කම් ගැන විශ්වාසයෙන් පැමිණෙනවා. ජයන්ත චන්ද්‍රසිරි ඝරසරප චිත්‍රපයට සඳහා තේමාකරගෙන ඇත්තේ මෙම පල්ලියේ භුත දෝෂ දුරුකිරීමේ කතා පුවත යි.

මූලාශ්‍රයයන්:

Archaeology.gov.lk

සබරගමුව ප්‍රවේණිය- එච්. ඒ. පී. අභයවර්ධන

Archaeological survey of Ceylon. Kegalle district. 1892 – H.C.P. Bell

කවරය:

ගල්මැස්ස – කුසුම්සිරි විජයවර්ධන

Related Articles