කොළඹ-බදුල්ල දුම්රිය ගමනේ දී හමුවන සුවිශේෂී ස්ථාන

1864 වසරේ දී ලංකාව තුළ මුල්ම වරට දුම්රියක්  ධාවනය කරනු ලැබුවා. එදා කොළඹ සිට අඹේපුස්ස දක්වා සිදු වුණු දුම්රිය ගමනෙන් පසුව ඉංග්‍රීසි ජාතිකයින් දුම්රිය මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් උඩරට දුම්රිය මාර්ගය කොළඹ සිට බදුල්ල දක්වාත්, මුහුදුබඩ දුම්රිය මාර්ගය කොළඹ සිට මාතර දක්වාත්, උතුරු දුම්රිය මාර්ගය පොල්ගහවෙල සිට කන්කසන්තුරෛ දක්වාත් ඉදිකරනු ලැබුවා. 

ඉංග්‍රීසි යුගයේ දී ලංකාව තුළ ඉදි වුණු ප්‍රධාන දුම්රිය මාර්ග කිහිපය අතුරින් උඩරට දුම්රිය මාර්ගය සංචාරකයන්ගේ ආකර්ෂණය නොමඳව දිනාගෙන තිබෙන්නේ එහි ඇති සුන්දරත්වය නිසාම යි. රමණීය බිම් පෙදෙස් පසුකරමින් බදුල්ල දක්වා දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරන සංචාරකයින්ට සුවිශේෂී ස්ථාන රැසක් හමුවනවා. එම ස්ථානවල සුන්දරත්වය විඳීමට නම් ඔබ එහි ඇති වැදගත්කම දැනගෙන සිටිය යුතු යි. පහත දැක්වෙන්නේ කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගය තුළ හමුවන සුවිශේෂී සහ මනස්කාන්ත ස්ථාන කිහිපයක් පිළිබඳව තොරතුරු යි.

රඹුක්කන-කඩුගන්නාව සීඝ්‍ර නැග්ම 

කොළඹ සිට බදුල්ල දෙසට උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කරන සංචාරකයින්ට මුලින්ම හමුවන සුන්දරම ප්‍රදේශය වන්නේ රඹුක්කන-කඩුගන්නාව සීඝ්‍ර නැග්ම යි. එම දුම්රිය ස්ථාන 2ක අතර තිබෙන අඩි 1400ක පමණ සීඝ්‍ර නැග්ම තුළ දුම්රිය ගමන් කරන්නේ 1:44ක පමණ ආනතියක් රඳවා ගනිමින්. එහි දී ඉතාමත් රමණීය අලගල්ල කන්ද හරහා වැටී ඇති උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරන සංචාරකයෙකුට මනරම් දසුන් රැසක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. එක් පසෙකින් දැවැන්ත අලගල්ල කඳු මුදුනත් අනිත් පසින් ගැඹුරු ප්‍රපාතයත් පිහිටා තිබෙන නිසා දුම්රිය මාර්ගය වැටී ඇත්තේ ඒ අතර පිහිටා තිබෙන පටු බිම් තීරුවක් ඔස්සේ යි. එනිසා දුම්රිය රඹුක්කන පසුකර කඩුගන්නාව වෙත ළඟා වන්නේ බිම්ගෙවල් 11ක් හරහා අසීරු ගමනක යෙදීමෙන් අනතුරුව යි. එලෙස හමුවන බිම්ගෙවල් අතුරින් දීර්ඝතම බිම්ගෙය වන්නේ මොරගොල්ල බිම්ගෙය යි. එය දිගින් අඩි 1050ක් පමණ වනවා. මෙම සීඝ්‍ර නැග්මේ දී බලන පසු කළ විට හමුවන සිංහ කට නම් ස්ථානය සංචාරකයින්ට ත්‍රාසජනක අත්දැකීමක් ලබාදෙනවා. එම ස්ථානය පර්වතයක මුහුණත කපා බිම්ගෙයක ආකාරයෙන් නිමකර තිබුණත් ප්‍රපාතය දෙසින් විවෘතව පවතිනවා. එම නිසාම එය ඈතට දිස්වන්නේ සිංහයකු තම මුව විවර කරගෙන සිටින ආකාරයෙනුයි.

සිංහ කට (dayabaran-nature.blogspot.com)

සිංගිමලේ බිම්ගෙය 

උඩරට දුම්රිය මාර්ගය තුළ පිහිටා තිබෙන දීර්ඝතම බිම්ගෙය වන්නේ සිංගිමලේ බිම්ගෙය යි.  හැටන් සහ කොටගල අතර පිහිටා තිබෙන මෙම බිම්ගෙය උඩරට දුම්රිය මාර්ගය තුළ පිහිටා තිබෙන 14 වැනි බිම්ගෙය යි. අඩි 1835ක පමණ දිගකින් යුත් සිංගිමලේ බිම්ගෙය එක් කාල සමයක ලංකාවේ දුම්රිය මාර්ගයක් තුළ පිහිටා තිබුණු දීර්ඝතම බිම්ගෙය වුණා. නමුත් මුහුදුබඩ දුම්රිය මාර්ගය මාතර සිට බෙලිඅත්ත දක්වා දීර්ඝ කිරීමේ දී ඉදි වුණු නාකුට්ටිගම බිම්ගෙය දිගින් අඩි 2018ක් පමණ වනවා. ඒ අනුව වර්තමානය වන විට ලංකාවේ දුම්රිය මාර්ගයක් තුළ පිහිටා තිබෙන දිගම බිම්ගෙය වන්නේ නාකුට්ටිගම බිම්ගෙය යි.

සිංගිමලේ බිම්ගෙය (Daily News)

නානුඔය දුම්රිය ස්ථානය 

අතීතයේ දී නානුඔය සිට රාගල දක්වා දුම්රිය ධාවනය වුණා. උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය නමින් හඳුන්වනු ලැබූ එම දුම්රිය මාර්ගය කඳපොල, නුවරඑළිය හරහා රාගලට විහිදී තිබුණා. එම නිසාම එකල පේරාදෙණියේ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කරන විට හමු වුණු එකම මංසන්ධිය නානුඔය යි. 1904 වසරේ දී ආරම්භ වුණු එම දුම්රිය මාර්ගය 1948 වසරේ දී වසා දමනු ලැබුවා. නමුත් වර්තමානයේ දීත් නුවරඑළියට යන මඟීන් නානුඔය දුම්රිය ස්ථානයෙන් බැස බස් රථවලින් නුවරඑළිය බලා ගමන් කරනවා. ඒ අනුව උඩරට දුම්රිය මාර්ගය තුළ හමුවන සුවිශේෂී දුම්රිය ස්ථාන අතරට නානුඔය දුම්රිය ස්ථානයත් අයත් වනවා.

නානුඔය දුම්රිය ස්ථානය (gettyimages)

පට්ටිපොළ දුම්රිය ස්ථානය 

කොළඹ සිට සැතපුම් 139ක් දුරින් තිබෙන පට්ටිපොළ දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 6224ක් උසින් පිහිටා තිබෙනවා. ඒ අනුව වර්තමානය වන විට ලංකාවේ උසම ස්ථානයක පිහිටි දුම්රිය ස්ථානය වන්නේ පට්ටිපොළ දුම්රිය ස්ථානය යි. නමුත් 1904 වසරේ සිට 1948 වසර දක්වා ක්‍රියාත්මක වුණු උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයට අයත් වුණු කඳපොළ දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 6229ක් උසින් පිහිටා තිබුණා. ඒ අනුව එම අවධියේ ලංකාවේ තිබුණු උසම දුම්රිය ස්ථානය වුණේ කඳපොළ දුම්රිය ස්ථානය යි. 

නානුඔය දුම්රිය ස්ථානය (gettyimages)

බිම්ගෙවල් බහුල ප්‍රදේශය 

උඩරට දුම්රිය මාර්ගය තුළ බිම්ගෙවල් 46ක් පිහිටා තිබෙනවා. එම බිම්ගෙවල් අතුරින් බිම්ගෙවල් 14ක්ම හමුවන්නේ ඔහිය සහ ඉදල්ගස්හින්න යන දුම්රිය ස්ථාන දෙක අතර දීයි. එම දුම්රිය ස්ථාන දෙක අතර එලෙස පිහිටා තිබෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ අංක 22 සිට අංක 35 දක්වා වුණු බිම්ගෙවල් 14යි. එලෙස ඔහිය සහ ඉදල්ගස්හින්න අතර බිම්ගෙවල් රැසක් පිහිටා තිබුණත් ඒවා බොහෝමයක් කෙටි බිම්ගෙවල් බව මෙහි දී සඳහන් කළ යුතූයි.

ඔහිය-ඉදල්ගස්හින්න දුම්රිය මග (Yamu)

ගංඟා දෙකකට ජලය සපයන දුම්රිය ස්ථානය 

ලංකාවේ දකුණු සහ නැගෙනහිර කොටස වෙන් වන කඳු මුදුනේ පිහිටි කපොල්ලක සාදා තිබෙන රමණීය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය සංචාරකයන්ගේ ආකර්ෂණය නොඅඩුව දිනාගන්නා ස්ථානයක්. එම ප්‍රදේශය තුළ පවතින දේශගුණය අනුව විටෙක දුම්රිය ස්ථානය අවට පරිසරය පැහැබරව පැවතුණත් එය ක්ෂණයකින් වෙනස් වී වටපිටාව මිහිදුමෙන් වැසී යා හැකියි. එසේම මෙම දුම්රිය ස්ථානය දෙපසින් මහවැලි ගංඟා නිම්නය සහ වලවේ ගංඟා නිම්නය පිහිටා තිබෙනවා. ඒ අනුව මෙම දුම්රිය ස්ථානයට වැටෙන වර්ෂා ජලය මහවැලි සහ වලවේ නිම්නවලට එකතු වනවා. 

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය (twitter)

ආරුක්කු 9 පාලම 

ඇල්ල දුම්රිය ස්ථානය පසුකරමින් බදුල්ල දෙසට ගමන් කරන දුම්රියට අංක 40 බිම්ගෙය පසු කරනවාත් සමග දෙමෝදර ආරුක්කු 9 පාලම හමුවනවා. 1919 වසරේ නිමකර තිබෙන මෙම උසින් අඩි 80ක් පමණ වන විට දිගින් අඩි 300ක් පමණ වනවා. මෙම පාලම ඉදිකරන කාල සමයේ පළමු ලෝක යුද්ධය ක්‍රියාත්මක වුණු නිසා බ්‍රිතාන්‍යයේ යකඩ හිඟයක් ඇති වී තිබෙනවා. එම නිසා මෙම පාලම ඉදිකර තිබෙන්නේ 3:2:1 අනුපාතයට අනුව සිමෙන්ති, වැලි, සහ ගල් මිශ්‍රිත කොන්ක්‍රීට් අච්චුවලට දමා සකස් කරගත් කොන්ක්‍රීට් අච්චුගල් භාවිතා කිරීමෙනු යි. එසේම මෙම පාලමේ දල සැලැස්ම සකස් කර තිබෙන්නේ ආර්. මාර්වුඩ් නැමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවා යි. නමුත් අප රටේ සිටි කීර්තිමත් ඉංජිනේරුවෙකු වුණු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර පවා මෙම ඉදිකිරීම සඳහා දායකත්වය ලබාදුන්නා. මෙම පාලම ඉදිකරන අතරතුර හැරී චාන්ලි නම් බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවා අනතුරකට ලක් වී මිය ගොස් තිබෙනවා. එලෙස විශාල පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් ඉදි වුණු ආරුක්කු 9 පාලම අද වන විට දෙස් විදෙස් සංචාරකයන් නිතරම යන එන ආකර්ෂණීය ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

ආරුක්කු 9 පාලම (gettyimages)

දෙමෝදර දුම්රිය ස්ථානය 

දෙමෝදර සිට බදුල්ලට ගමන් කිරීමට දුම්රිය මඟ දකුණු පසට හැරිය යුතු යි. නමුත් එම මාර්ගයේ ඇති භූ විෂමතාව නිසා එහි නැග්ම දුම්රියකට ඔරොත්තු දෙන්නේ නැහැ. එම නිසා දුම්රිය මාර්ගය වම් පසට හැරී වක්‍රාකාර මාර්ගයක ක්‍රමයෙන් උස අඩු කරගනිමින් ගමන් කරන්නේ දුම්රිය ස්ථානයට යටින් ඉදි වුණු බිම්ගෙයක් හරහා යි. ඒ අනුව  දුම්රිය දෙමෝදර හරහා බදුල්ල දෙසට ගමන් කරන්නේ දුම්රිය ගැටයක් අපූරු දුම්රිය ගැටයක් නිර්මාණය කරමින්. එදා දෙමෝදර දුම්රිය ස්ථානය අසල දුම්රිය ගමන් මඟ සෑදීමට නොහැකිව බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවන් කල්පනා කරමින් සිට තිබෙනවා. එම  අවස්ථාවේ දී  අප්පුහාමි නම් ගැමියෙකු  ඔහුගේ හිස බැඳි ජටාවේ සර්පිලාකාර හැඩය පෙන්වා ඒ ආකාරයට දුම්රිය රේල් පාර වම් පැත්තේ ඇති කන්ද වටා යවමින් පසුව  දකුණු පැත්තේ පහළින් ඇති කන්දට ගත හැකි ආකාරය පෙන්වා දුන් බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයන් සර්පිල ආකාරයේ දුම්රිය මාර්ග ඊට පෙර නිර්මාණය කර තිබුණා. 1881 වසරේ දී විවෘත කළ ඉන්දියාවේ ඩාර්ජිලින්-හිමාලයානු දුම්රිය මාර්ගය ඒ සඳහා උදාහරණයක් ලෙස දැක්විය හැකියි. එනිසා ජනප්‍රවාදයේ එන කතාවෙහි නිරවද්‍යතාවය ගැන සොයා බැලිය යුතු යි. නමුත් අඩි 5 අගල් 6 පළල දුම්රිය ඇති එකම දුම්රිය ගැටය මෙය බව සිහිපත් කළ යුතු යි. ඒ අනුව දෙමෝදර දුම්රිය මඟ උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරන සංචාරකයන්ට අමතක නොවන ස්ථානයක් වනු ඇති.

දෙමෝදර දුම්රිය ගැටය (Picuki)

කවරයේ ඡායාරූපය- දෙමෝදර ආරුක්කු පාලම (gettyimages)

මූලාශ්‍රයයන්- Sri Lanka Railway official Web

Related Articles