Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘ඩේටින් ඇප්ස්’ යකා කියන තරම් කළු ද?

පසුගිය වසර කිහිපය තුළ අන්තර්ජාලය හරහා මිනිස් සබඳතා ගොඩනඟා ගැනීම වේගයෙන් ජනප්‍රිය වුණා. එහි දී සමාජ මාධ්‍ය ජාලාවලින් සිදු වූ මෙහෙය අපමණ යි. සමාජ මාධ්‍ය ජාලාවලින් සිදු කරනුයේ භූ ගෝලීය බාධාවකින් තොරව මිනිස් සබඳතා පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීම පමණ යි. එම සබඳතාව මිතුදමක් හෝ ආදර සබඳතාවයක් හෝ යම්කිසි අරමුණක් මත ඇති කරගත් සහයෝගීතාවක් ද යන්න තීරණය කළ යුතු වූයේ පරිශීලකයා යි.

ඩේටින් ඇප්ස් (Dating apps) හෝ ඩේටින් වෙබ් අඩවිත් මීට සමගාමී ව ජනප්‍රිය වීම පසු ව ඇරඹුණා. ඩේටින් ඇප්ස් සහ සෝෂල් මීඩියා ඇප්ස් යන ආකාර දෙකෙන් ම සිදු වන්නේ පුද්ගලයන් හඳුනා ගැනීම වන බැවින්, යමකුට මේ දෙක අතර එතරම් වෙනසක් නොදැනීමට පුළුවන්. “ඩේටින්” යන වචනයේ අර්ථය වටහා ගතහොත්, අපට ඒ වෙනස හඳුනාගත හැකි යි.

ඩේටින් ඇප්ස් (Dating apps) පිළිබඳ කතාබහ මෙරට සමාජයේ අලුත් වටයකින් නැවත ඇරඹුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මේ හරහා මුහුණ දුන් ආන්දෝලනාත්මක සිදුවීමත් සමඟින්.

සබඳතාවක සංක්‍රාන්ති සමය

“ඩේටින්” යන්නෙහි අර්ථය විවිධ පුද්ගලයන් සහ පරම්පරා මට්ටමෙන් ඇති ආකල්ප වෙනස අනුව විචලනය වෙනවා. අප මේ මොහොතේ පවතින සමාජ රටාව සලකමින් කතා කළහොත්, “ඩේටින්” යනු දෙදෙනකු අතර තිබෙන විවෘත සබඳතාවක් හෝ එකට සිටීමක් ලෙස හැඳින්විය හැකි යි. නමුත්, මෙම අර්ථය “Open relationship” යන ප්‍රසිද්ධ යෙදුමෙන් හඟවන පුද්ගල සබඳතා සහ Living together සංකල්පය සමඟ පටලවා ගන්නට එපා. මෙහි දී පුද්ගලයන් දෙදෙනා ම එකිනෙකාගේ ඇසුර භුක්ති විඳින නමුත්, අනාගතය හෝ එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් තරයේ විශ්වාස නොකරන කාල පරිච්ඡේදයක් ගත කරමින් සිටිනවා.

සංක්‍රාන්ති සමයක තිබෙන සබඳතාවකට නිදහසේ ගලා යෑමට ඉඩ හැරීමෙන් සතුටුදායක ප්‍රතිපලයක් ලබා ගැනීමට හැකි වේවි – postmygp.com

කාලය ගතවත් ම සංක්‍රාන්ති සමයක තිබෙන මෙවැනි සබඳතා ස්ථිර ආදර සබඳතාවකින් හෝ මිතුදමකින් හෝ හුදෙක් ආගන්තුකයන් ලෙස ම අවසන් විය හැකි යි. සංක්‍රාන්ති සමයකට ඇතුළු වීමට පවා දෙදෙනා අතර රුචිකත්වයේ යම් යම් ප්‍රාථමික ගැළපුම් තිබිය යුතු යි. ඒ ප්‍රාථමික ගැළපුම්වලට ඉඩ හසර සපයා දීම පමණක් ඩේටින් ඇප්ස් හරහා සිදු වෙනවා. සෝෂල් මීඩියා හරහා ද මෙම අරමුණ ඉටු කරගත හැකි නමුත්, ඩේටින් ඇප්ස් හෝ යෙදුම් මේ සඳහා සාර්ථක ව ඉලක්කගත වී තිබෙනවා.

නමුත්, පුද්ගලයෝ විවිධ යි

යම් අරමුණක් මත නිර්මාණය කළ යෙදවුමක් මිනිසා අතට පත් වීමේ දී පරිශීලකයාගේ අභිමතය අනුව එය පරිහරණය වන අන්දමත් වෙනස් විය හැකි යි. ඩේටින් ඇප්ස් වලටත් එම සන්දර්භයෙන් ගැලවීමට හැකියාවක් නැහැ. එක්තරා සමීක්ෂණයකට අනුව පරිශීලකයන් ඩේටින් ඇප්ස් භාවිත කිරීමේ අරමුණු ප්‍රධාන කාණ්ඩ හයකට ගොනු කර තිබුණා.

  • රෝමාන්තික සබඳතාවක් සඳහා සහකරුවෙක් සොයා ගැනීම.
  • ලිංගික තෘප්තිය සඳහා පමණක් සහකරුවෙක් සෙවීම.
  • මිතුදම් ගොඩ නඟා ගැනීම.
  • සබඳතා හරහා තම සමාජීය ජීවිතය වැඩි දියුණු කර ගැනීම.
  • කුතුහලය සහ විනෝදාස්වාදය උදෙසා සබඳතා ගොඩ නඟා ගැනීම.
  • සංචාරයට කැමති පුද්ගලයන් සොයා ගැනීම.
ඩේටින් ඇප්ස් භාවිත කිරීමේ අරමුණු ගැන එක්සත් ජනපදයේ සිදු කළ සමීක්ෂණයක ප්‍රතිපල – www.pewresearch.org

විවිධ අරමුණුවලට අනුව යමෙක් භාවිත කරන ඇප් එක ද වෙනස් විය හැකි යි. උදාහරණයක් වශයෙන් “Tinder” ඇප් එක බොහෝ කාන්තාවන් මිතුදම් ඇති කර ගැනීමට සහ තම සමාජීය ජීවිතයේ උන්නතිය තකා භාවිත කරන බව ඉහත අධ්‍යයනයේ ම ප්‍රතිපලයක් ලෙස හෙළිදරව් වුණා. පුරුෂ පාර්ශවය බොහෝ විට “Tinder” භාවිත කරන්නේ ලිංගික තෘප්තිය හා/හෝ රෝමාන්තික සබඳතාවක් සඳහා සුදුසු සහකාරියක්/සහකරුවෙක් සොයා ගැනීම උදෙසා යි. වඩාත් ස්ථිර ආදර සබඳතා සොයන්නන් අතර “OkCupid” ඩේටින් ඇප් එක ප්‍රචලිත බව පැවසෙනවා.

විශ්වාසනීයත්වයේ ගැටලු

සැබෑ ජීවිතයේ දී සිදුවන හමුවීම් සහ ඩේටින් ඇප් එකක් හරහා සිදුවන හමුවීම් අතර වෙනස්කම් තිබිය හැකි යි. යමකුගේ ප්‍රොෆයිල් විස්තර කියවීමෙන් සහ තරමක පුළුල් සංවාදයක යෙදුණු පසු හමුවීමට නියමිත පුද්ගලයා සම්බන්ධයෙන් තමාට මූලික අදහසක් ලබා ගැනීමට හැකි වෙනවා. මේ තොරතුරුවල විශ්වාසනීයත්වය සමඟ පුද්ගල අවංකභාවය තදින් බැඳී ඇති බැවින්, ඩේටින් ඇප් මඟින් පැන නඟින ගැටලු ද බොහෝම යි. අසත්‍ය තොරතුරු සහ නොමඟ යැවීම් (ෆේක් ප්‍රොෆයිල හරහා) ඉන් බහුල ම ගැටලුව වන අතර, ඉන් අත්වන ප්‍රතිපලත් විවිධාකාර යි.

මූල්‍ය වංචාවලට හසුවීමේ ප්‍රවණතාව, අනන්‍යතා සොරුන් ගේ අයුතු බලපෑම්වලට යටත් වීමේ අවදානම, පෞද්ගලිකත්වයට හානි කළ හැකි ඡායාරූප හරහා තර්ජනයට ලක් වීම, ඉන් උදාහරණ කිහිපයක්. එමෙන් ම, සමාජයේ ජීවත් වන ඇතැම් මිනිසුන් කිසියම් ප්‍රජාවකට ආන්තික ලෙස සැලකීමේ හැකියාවක් ඇති අතර, එවැනි කාණ්ඩ අපහසුතාවට පත් කිරීම සඳහාත් ඩේටින් ඇප් යොදා ගන්නවා. සමරිසි ප්‍රජාව ඒ අතරින් වැඩි ම අවදානමකට ලක් වූ පිරිසක් ලෙස සැලකිය හැකි යි. හෝමෝෆෝබියාවෙන් පෙළෙන ඇතැම් මිනිසුන් සමරිසි ප්‍රජාවට වෙන් වූ ඩේටින් ඇප් භාවිත කොට අපහසුතාවට පත් කළ අවස්ථාත් වාර්තා වෙනවා. 

මානසික ගැටලු

ඩේටින් ඇප්ස් භාවිතයේ දී පරිශීලකයන් පරිපූර්ණත්වය කෙරෙහි වැඩි අවධානයක් දැක්වන අවස්ථා දැකිය හැකි යි. ඇතැම් විට ඔවුන් ප්‍රොෆයිලය හරහා පෙන්වීමට උත්සහ කරන පෞරුෂය සැබෑ ජීවිතයේ දක්නට නොලැබෙන්නත් පුළුවන්. පුද්ගල ස්වභාවය අතිශයින් ගතික යි. ඩේටින් ඇප් හරහා යමෙක් පෙන්වීමට උත්සහ දරන ස්වභාවය, ගුණාංග සහ පෙනුම, ස්ථිරසාර ස්වභාවයක් ගන්නා නිසා ඔහු හෝ ඇය වෙත ළඟා වන්නකු පමණට වඩා බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. යථා ලෝකය තුළ සිදුවන හමුවීමක දී මේ කරුණු එකක් හෝ කිහිපයක් මත අපේක්ෂා භංගත්වයට පත් වුවහොත්, එය දෙදෙනාට ම සෘණාත්මක අන්දමින් බලපෑ හැකි යි.

ඩේටින් ඇප්ස් භාවිත කරන්නන් අතර ශරීර “ඩිස්මෝෆියා” තත්ත්වයත් ඉහළ බව පැවසෙනවා. පුද්ගලයෙක් තම පෙනුමේ අඩුපාඩු පිළිබඳ ව කරදර වෙමින් බොහෝ කාලයක් ගත කිරීම ශරීර ඩිස්මෝෆියාව ලෙස හඳුන්වන අතර, මෙම අඩුපාඩු අන්‍යයන් ගේ අවධානයට ලක් නොවන තරමේ කුඩා දේවල් විය හැකි යි. ස්වයං විනිශ්චය සහ අන් අය සමඟ තමා සංසන්දනය කිරීමේ පෙලඹවීමක් ඩේටින් ඇප්ස් භාවිතය නිසා සිදු වෙන්න පුළුවන්. ප්‍රතික්ෂේපවීම් හමුවේ ආත්ම අභිමානය පිළිබඳ ගැටලුත් ඩේටින් ඇප් භාවිතය සමඟ බැඳී පවතිනවා.

ඩේටින් ඇප්ස් භාවිතයේ යම් අඳුරු පැතිකඩක් තිබුණ ද එය කිසිසේත් ම ප්‍රතික්ෂේප කළ යුතු සේවාවක් නොවෙ යි. වර්තමාන ලෝකයේ සබඳතා පවත්වා ගෙන යෑම සඳහා මිනිසුන් භාවිත කරන ක්‍රමවේදවලට අනුහුරු වීමේ අවශ්‍යතාවක් ඉස්මතු වෙමින් තිබෙනවා. එබැවින්, ඩේටින් ඇප්ස් නිසි පරිදි භාවිත කරන අන්දම සොයා බැලිය යුතු කාරණයක් වන අතර, ඉහත සාකච්ඡා කළ අයහපත් ප්‍රතිපල ඇති නොවීමේ පසුබිමක් ද නිර්මාණය කරගත යුතු යි.

සුදුසු ඇප් එකක් තෝරා ගන්න

සුදුසු ඩේටින් ඇප් එකක් තෝරා ගැනීමේ දී ඇප් එක සම්බන්ධයෙන් ඇති “Reviews” පමණක් සලකා බැලීම සාර්ථක වන්නේ නැහැ. ලොව පුරා මෙවැනි ඇප්ස් 7500 කට වඩා ඇති අතර, ඒවායේ ඇති පහසුකම් සහ විකල්ප වල ඇති විවිධත්වය නිසා පරිශීලකයන් ගේ නිර්දේශ නිතර ම නිවැරදි වන්නේ නැහැ.

මූලික ම කාරණය වන්නේ ඩේටින් ඇප්ස්වල සපයා ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ග මොනවාදැයි සොයා බැලීම යි. පුද්ගලයන් හඳුනා ගැනීමේ දී ඇතැමුන් නුසුදුසු අන්දමින් හැසිරිය හැකි නිසා “Block” කිරීමේ පහසුකම්, හැසිරීම් වාර්තා කිරීම, වැනි පහසුකම් ඩේටින් ඇප්ස්වල ඇතුළත් වී තිබෙනවා. ඇතැම් ඩේටින් ඇප්ස් මෙවැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග ලබා දෙන්නේ සීමිත වාර ගණනකට පමණ යි. එය අසීමිත ව භාවිත කිරීමට නම් යම් මුදලක් ගෙවා එම සේවා “පැකේජ” වශයෙන් ලබා ගත යුතු අවස්ථා තිබෙනවා.

භාවිතය විධිමත් නම් ඩේටින් ඇප් හරහා අපේක්ෂිත ප්‍රතිපලය ලබා ගැනීමේ හැකියාව පවතිනවා – www.pewresearch.org

ඊළඟ වැදගත් ම කාරණය වන්නේ ඔබ ගේ ප්‍රොෆයිල් පින්තූරය සහ අනෙකුත් පින්තූර යි. පින්තූර සම්බන්ධයෙන් ලබා දී ඇති අංග පරීක්ෂා කළ යුතු අතර, පින්තූරයක දෘශ්‍යතාව පාලනය කිරීමේ හැකියාව ගැන ද සොයා බැලිය යුතු යි. එම විකල්ප අවම වන තරමට ඔබ ගේ තොරතුරු අන්තර්ජාලයට නිරාවරණය වීමේ හැකියාවත් ඉහළ යනවා.

පණිවිඩයට පෙර ගැළපුම

අනවශ්‍ය ඡායාරූප සහ ගැටලුකාරී පණිවිඩ ලබන්න කිසිවෙක් කැමති වන්නේ නැහැ. අනවසරයෙන් පණිවිඩ ගලා ඒම ද කරදරකාරී හැඟීම් ඇති වීමට හේතු වෙනවා. පණිවිඩ යැවීමට පෙර පුද්ගලයන් දෙදෙනාට ම සාකච්ඡාවක් ඇරඹීමේ උනන්දුවක් තිබිය යුතු අතර, එම උනන්දුව තහවුරු වීමෙන් පසු පණිවිඩ හුවමාරු කළ හැකි ආකාරයේ පහසුකමක් තිබෙන ඩේටින් ඇප් එකක් තෝරා ගැනීම ප්‍රයෝජනවත් වේවි.

බොහෝ ඩේටින් ඇප්ස් ඔබට සුදුසු ගැළපීම් යෝජනා කිරීම හෝ සොයා දීම සඳහා ඔබ සිටින ස්ථානය (Location) භාවිත කරනවා. කෙසේ නමුත්, මෙම පහසුකම යම් පාලනයක් ඇතු ව පරිහරණය කිරීම වඩාත් සුදුසු යි. නාඳුනන පුද්ගලයන් ඔබ සිටින ස්ථාන හෝ ඔබ ජීවත් වන නිශ්චිත ප්‍රදේශය සොයා ගැනීමට ඉඩ හැරීම එතරම් නුවණට හුරු දෙයක් නොවෙ යි. එමෙන් ම, ඩේටින් ඇප් සහ ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම (Facebook, Twitter වැනි) එකිනෙකට සම්බන්ධ කිරීමේ හැකියාව ද තිබෙනවා. මෙය බොහෝදුරට හානියක් සිදුවීමේ අඩු ඉඩකඩක් තිබෙන පහසුකමක් විය හැකි නමුත්, සමාජ මාධ්‍ය ගිණුමේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමෙන් ඩේටින් ඇප් එක හරහා සම්බන්ධ වන පුද්ගලයන්ට ඔබගේ සමාජ මාධ්‍ය ගිණුමට ඇතුළු වී ලබා ගත හැකි තොරතුරු සීමා වෙනවා.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වැනි යෙදවුම්වල යොදා ඇති ප්‍රොෆයිල් පින්තූරය ඩේටින් ඇප් එකේ ගිණුම සඳහා භාවිත කිරීමත් නුවණට හුරු නැහැ. එක ම පින්තූරය භාවිත කරන්නේ නම් Google හරහා Reverse image search කිරීමෙන් සමාජ මාධ්‍ය තුළ ඔබ සොයා ගැනීම පහසු වෙනවා.   

අවංකභාවය වැදගත්

මේ සියලු ආරක්ෂක පියවර අනුගමනය කරන අතරේ ඔබ මතක තබාගත යුතු තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ අවංකභාවය යි. ඩේටින් ඇප් භාවිත කිරීමේ අරමුණු හයක් ලිපියේ ඉහත අප සඳහන් කළා ඔබට මතක ඇති. අරමුණ කුමක් වුවත්, ඔබ ඩේටින් ඇප් එකක ගිණුමක් සාදා ගත් පසු අවංකභාවය සුරැකීම වැදගත්.

සියල්ලන් ඉදිරියේ අවංකභාවය රැකිය යුතුයැ යි ඉන් අදහස් වන්නේ නැහැ. වංචනිකයන් ඉදිරියේ කල්පනාකාරී ව ක්‍රියා කිරීම සහ අවශ්‍ය පුද්ගලයා ඉදිරියේ අවංක වීම ඔබගේ සාමාන්‍ය දැනීම මත සිදු වන්නක්. ඇප් එකෙන් ලබා දෙන ආරක්ෂක විධි විධාන නිසි ලෙස භාවිත කරන්නේ නම් සහ අරමුණ මත නිසියාකාරයෙන් පිහිටන්නේ නම්, වංචනික පුද්ගලයන් ගෙන් ඉවත් වීම පහසු ක්‍රියාවක්.

පෞද්ගලිකත්වයට ගරු කරන ඔබ, ඩේටින් ඇප් තුළ එම ගුණාංගය වෙනස් කළ යුතු නැහැ – www.huffpost.com

ඩේටින් ඇප්ස් යනු මානුෂීය සබඳතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් පැමිණි අපූරු සේවාවක්. පරිශීලකයා ගේ ආකල්ප මත ඒවායේ ස්වභාවයත් තීරණය වන නිසා කල්පනාකාරී විය යුතු යි. මිනිසුන්ට සහ ඔවුන් ගේ පෞද්ගලික අවකාශයට ගරු කරන පුද්ගලයකුට ඩේටින් ඇප්ස් භාවිතය යනු යහපත් අත්දැකීම් එකතු කරගත හැකි මාර්ගයක්.  

කවරයේ ඡායාරූපය: සබඳතා ගොඩනඟා ගැනීමේ අළුත්ම ප්‍රවණතා වලට අනුහුරු වීම වැදගත්. නමුත්, ඒවා නිවැරදිව පරිහරණය කළ යුතු යි - rvtechnologies.com/
මූලාශ්‍ර:
Thethirty.whowhatwear.com
www.verywellmind.com
www.nbcnews.com
www.vibeosys.com
www.theholidayspot.com
www.aura.com
www.nhs.uk

Related Articles