Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුරුත්වය යටතේ නිදහසේ පොළොව දෙසට: බංජී ජම්පින්

ලෝකයේ තිබෙන ත්‍රාසජනක  ක්‍රීඩා අතරින් ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන ක්‍රීඩාවක් ලෙස බංජී ජම්පින් (Bungee jumping) හැඳින්විය හැකි යි. ඉතා ශක්තිමත් හා දිගු ප්‍රත්‍යාස්ථ කඹයකට (බංජී රැහැන්) සම්බන්ධ කරන පුද්ගලයෙක් ඉතා උස් ස්ථානයක සිට ගුරුත්වය යටතේ පහළට වැටීමට සැලැස්වීම මෙහි ප්‍රධාන ම අංගය ලෙස හඳුන්වන්නට පුළුවන්.

බංජී ජම්පින් පිළිබඳ ව ශ්‍රී ලාංකිකයන් වන අපගේ අවධානය ද මේ වන විට යොමු වී තිබෙනවා. ඒ ලබන ජනවාරි මාසයේ සිට කොළඹ නෙලුම් කුලුන මත සිට කෙරෙන බංජී ජම්පින් ක්‍රීඩාව සඳහා සිංගප්පූරු සමාගමක් ගිවිසුම්ගත වීමත් සමඟ යි. ඒ අනුව 2023 වසරේ ජනවාරි මාසයේ සිට එම අත්දැකීම විඳ ගැනීමට බංජී ජම්පින් සඳහා කැමැත්තක් දක්වන විදේශීය මෙන් ම දේශීය පුද්ගලයන්ට ද අවස්ථාව හිමි වෙනවා.

මෙම කටයුත්ත සඳහා සම්පූර්ණ ආයෝජනය එම සමාගම දරන අතර එම ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකාවට ලැබෙන බව ගිවිසුමේ සඳහන් වෙනවා. මේ ආකාරයට බංජී ජම්පින් ප්‍රචලිත වීම මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ද පිටුවහලක් වන බව සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

ගුරුත්වය යටතේ නිදහසේ පොළව දෙසට – www.itravel.com

බංජී ජම්පින් කියන්නේ මොකක් ද ?

අතිශය ත්‍රාසජනක මෙන් ම විනෝදජනක ක්‍රීඩාවක් වන බංජී ජම්පින් සඳහා සහභාගිවන්නන්ගේ පාදවලට ප්‍රත්‍යාස්ථ රැහැනක් සවි කර ඇති අතර  උස් ස්ථානයක සිට පොළවට පැනීම එහි ප්‍රධාන ක්‍රියාකාරකම වේ. එම උස් ස්ථානය ගොඩනැගිල්ලක්, කඳු මුදුනක්, දොඹකරයක්, පාලමක්, උණුසුම් වායු බැලූනයක් හෝ හෙලිකොප්ටරයක් ​​විය හැකි යි. එම ස්ථානයෙන් පැනීම සඳහා විශේෂ වේදිකාවක් නිර්මාණය කරන අතර පනින්නා මුලින් ම ගුරුත්වය යටතේ නිදහසේ පොළව වෙතට වැටීම ආරම්භ වෙනවා.

අදාළ කඹයේ දිග අවසන් වූ සැනින් එක්වර ම ගැස්සී පනින්නා නැවතත් ඉහළ යන අතර ඉහළට යාමට අවශ්‍ය ශක්තිය අවසන් වූ පසුව නැවතත් ගුරුත්වය යටතේ පහළට වැටීම ආරම්භ වෙනවා. මේ ආකාරයෙන් සියලු චාලක ශක්තිය අවසන් වන තෙක් ඉහළට හා පහළට දෝලනය වී අවසානයේ පනින්නා නිශ්චලතාවට පත්වෙනවා. පනින්නා කඹයෙන් එල්ලී නිශ්චල වීම මෙම ක්‍රීඩාවේ සමාප්ති අවස්ථාව යි. 

වේදිකාවෙන් පහළට පැනීම – www.boldtravel.com

බංජී ජම්පින් කා සඳහා ද ?

1979 වසරේ දී මුලින් ම ආරම්භ වී තිබෙන  බංජී ජම්පින් සඳහා ඔබ වෘත්තීයමය ක්‍රීඩකයෙක් වීම අවශ්‍ය වෙන්නේ නෑ. වයස අවුරුදු18 ට වඩා වැඩි ඕනෑ ම අයකුට කැමති නම් ඒ සඳහා සහභාගී වෙන්නට පුළුවන්. ක්‍රීඩාව සඳහා අවශ්‍ය ම ගුණාංගය වන්නේ ඉතා ඉහළ උසක සිට පැනීමට අවශ්‍ය ධෛර්යමත්භාවය පමණ යි.

අධික බරෙන් යුත් පුද්ගලයන්, විවිධ ආබාධ සහිත අය, ගර්භණි කාන්තාවන්, හෘද රෝග හා අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන් මේ සඳහා සුදුසු වන්නේ නෑ. කෙසේ නමුත් ඔබට බංජී ජම්පින් සඳහා සහභාගිවීමට හිතේ දෙගිඩියාවක් ඇත්නම් වෛද්‍යවරයෙක් හමු වී උපදෙස් ලබාගැනීම කළ යුතු වෙනවා.

දෙඇස් විවෘතව තබා ගැනීමෙන් මේ ස්භාවික සෞන්දර්යය කුරුලු ඇසකින් නැරඹීමට හැකියි – www. digitaloceanspaces.com

බංජී ජම්පින් සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම්

මෙම ක්‍රීඩාවේ ප්‍රධානත ම මෙවලම වන්නේ බංජී රැහැන යි (Bungee Cord). මෙය පනින්නාගේ දෙකකුල්වල වළලුකර වෙත හෝ පටි යොදා ශරීරයේ උදරයට ආසන්න ව හෝ එම ස්ථාන දෙකට ම හෝ ආරක්ෂිත ව සම්බන්ධ කරනවා. තවත් අවස්ථාවල අමතර බංජී රැහැනක් ද ආරක්ෂාව වෙනුවෙන් භාවිත කෙරෙනවා.

රැහැන ස්භාවික රබර් ආශ්‍රයෙන් ප්‍රමිතිගත ව නිපදවා තිබෙනවා. පනින්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පැනුම් වාර 500 -1000 අතර තුර බංජී රැහැන ඉවත් කර නව රැහැනක් ඒ වෙනුවෙන් ආදේශ කිරීම සිදු කරනවා. 

නගර ආශ්‍රිත බංජී ජම්පින් – www.triplisher.com

ආරක්‍ෂිත පැනීමක් වෙනුවන් 

බංජී ජම්පින් උපදේශකයන් සෑම අතකින් ම ඉතා හොඳ පුහුණුවක් ලැබූ අය වන බැවින් ඔවුන්ගේ උපදෙස් හරියාකාර ව එහිදී පිළිපැදිය යුතු වෙනවා. මේ සඳහා නියමිත ඇදුමක් නිර්දේශ කර නොමැති අතර පනින්නාට පහසු ඇදුමකින් සහභාගී විය හැකි යි. කාන්තාවන් සඳහා අඩි උස් නොවූ පාවහන් පමණක් මෙහිදී නිර්දේශ කරනවා. සහභාගීවන්නන් ආසන්න පැය කිහිපය තුළ ආහාර නොගෙන සිටීම ද වටිනා භාණ්ඩ පැළඳගෙන නොසිටීම ද මෙහි දී වඩාත් සුදුසු වෙනවා. 

වැසි, මීදුම හෝ හිම වැනි කාලගුණික තත්ත්වයන්  බංජී ජම්පින් සඳහා සුදුසු වන්නේ නෑ. සාමාන්‍යයෙන් උණුසුම් හා වියළි කාලගුණයක් පවතින ගිම්හාන සමය මේ සඳහා වඩාත් හොඳ කාලය ලෙස සැලකෙනවා.

ඇරිසෝනා හි නවාජෝ පාලමේ බංජී ජම්පින්, එක් පිම්මක අවස්ථා කිහිපයක් – www.davenevins.me

බංජී ජම්පින් සඳහා ප්‍රසිද්ධ ස්ථාන 

නවසීලන්තයේ කවරව් පාලම (Kawarau Bridge) බංජී ජම්පින් සඳහා වඩා ප්‍රසිද්ධ ස්ථානයක් ලෙස නම් කරන්නට පුළුවන්.  1988 වසරේ දී ප්‍රථම වාණිජමය බංජී ජම්පින් ආරම්භ වන්නේත් මෙම ස්ථානයේ දී යි. සිම්බාබ්වේ වික්ටෝරියා දිය ඇල්ල පාලම (Victoria Falls Bridge) ද මේ සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. පාලම මතින් අඩි 365ක පමණ පිම්මක් පනින්නට එයට සහභාගි වන්නන්ට අවස්ථාව ලබා ගත හැකි අතර අවට පරිසරයේ මනස්කාන්තභාවය මෙම ස්ථානය ප්‍රසිද්ධවීමට ප්‍රධාන හේතුව යි. පහළට වැටෙන විට දෙඇස් විවෘත ව තබා ගැනීමෙන් මේ ස්භාවික සෞන්දර්යය කුරුලු ඇසකින් නැරඹීමට එහිදී හැකියාව ලැබෙනවා. 

දෙඇස් විවෘතව තබා ගැනීමෙන් මේ ස්භාවික සෞන්දර්යය කුරුලු ඇසකින් නැරඹීමට හැකියාව ලැබෙනවා – www.gettyimages.com

චීනයේ මැකාවු කුලුන ද (The Macau Tower) බංජී ජම්පින් සඳහා ඉතා ප්‍රසිද්ධ යි. මෙහිදී අඩි 764ක් පමණ ඉහළින් පිහිටා ඇති වේදිකාවකින් නිදහසේ වැටී, බිම සිට අඩි 100ක් පමණ ඉහළ දී ඔබට නැවතීමට හැකියාව ලැබෙනවා. අලංකාර නගර දර්ශන පහළට වැටෙන අතර තුර දැකගැනීමට හැකි වීම මෙම ස්ථානයේ විශේෂත්වය යි. මැකාවු කුලුනේ දී රාත්‍රී බංජී ජම්පින් සඳහා ද අවස්ථාව ලැබෙනවා. දකුණු අප්‍රිකාවේ බෝල්ක්‍රාන්ස් පාලම ද (Bloukrans Bridge) බංජී ජම්පින් සඳහා තවත් සුප්‍රසිද්ධ ස්ථානයක්. අඩි 700කට වඩා උසින් පිහිටි මේ පාලම වන්නාන්තර ආශ්‍රිත බංජී ජම්පින් සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයන්ට විශේෂ ස්ථානයක් වෙනවා. අඩි 470ක් පමණ උස ඇරිසෝනා හි නවාජෝ පාලම (Navajo Bridge) ද පනින්නන් අතර වඩා ප්‍රසිද්ධ වන්නේ  පනින අතර තුර හාත්පස දකින්න ලැබෙන වැලි කඳුවලින් පිරුණු කාන්තාර ප්‍රදේශ හේතුවෙනු යි.

කවරයේ ඡායාරූපය - වනාන්තරයක් ආශ්‍රිත බංජී ජම්පින් - www.questformore.com
මුලාශ්‍ර:
www.flypgs.com
www.britannica.com
www.rookieroad.com

Related Articles