වත්මන් අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයේ විධායකය සහ ව්‍යවස්ථාදායකය හෙවත් ජනපතිට සහ පාර්ලිමේන්තුව කෙරෙහි පුරවැසියාගේ දැඩි ප්‍රතිරෝධයක් නිර්මාණය වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිට වූ අතර, ජනාධිපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා එවූ නිල නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ අද උදෑසන ය. ඒ අනුව නව ජනපතිවරයෙක් පත් කරගත යුතු තත්ත්වයක් නිර්මාණය වී තිබෙයි.

බොහෝ දෙනා තර්ක කරන්නේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට නම් පාර්ලිමේන්තුව ද විසුරුවා හැර, නව පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව දිය යුතු බව යි. මේ පිළිබඳ විවාදයක් ඇති වී තිබෙන්නේ වර්තමානයේ බලාත්මක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව එය සිදු කළ යුතු ආකාරය කුමක්ද යන්නත්, ඒ සඳහා අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ කාරයභාරය කුමක්ද යන්නත් සම්බන්ධ කාරණා පිළිබඳ ව මේ ලිපියෙන් පැහැදිලි කර ගනිමු. 

 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව- punchat.in

 

පාර්ලිමේන්තුවේ විත්ති

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසන 225 කින් සමන්විත වන අතර ඉන් 196 මහජන ඡන්දයෙනුත්, අනෙක් 29 ජාතික ලැයිස්තුවෙනුත් තෝරා පත්කර ගැනේ. සමානුපාතික ක්‍රමය අනුව මහ මැතිවරණයකදී එක් පක්ෂයකට හෝ කණ්ඩායමකට ලැබෙන ඡන්දවල ප්‍රතිශතය අනුව ජාතික ලැයිස්තුවට අදාළ ආසන බෙදෙන අතර, ඒවාට අදාළ පක්ෂයේ කැමැත්ත ප්‍රකාර ව මන්ත්‍රීවරුන් පත් කරයි. පාර්ලිමේන්තුව පළමු ව රැස්වූ දිනයේ සිට වසර 5 ක කාලයක් බලාත්මක වන අතර, එම වසර 5 අවසන පාර්ලිමේන්තුව ඉබේ ම විසිරී යයි. කෙසේ නමුත් විශේෂ අවස්ථාවන්හීදී මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අතර ඒ පිළිබඳ ව මෙම ලිපියේ පසුවට විස්තර කර ඇත.

පාර්ලිමේන්තුවට තේරී පත් වන සෑම මන්ත්‍රීවරයෙක් ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ අනුගමනය කිරීමට ප්‍රතිඥා දිය යුතු ය. මෙම ප්‍රතිඥාව දීමට පෙර ඔහු හෝ ඇයට බලය ඇත්තේ කතානායකවරයා පත් කිරීමට පමණි.

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව එක් රැස් වන ප්‍රථම දිනයේදී ම කථානායක, නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති පත්කර ගත යුතු ය. ඔවුන් ඉල්ලා අස්වුවහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් හැර, පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු එම ධූර දැරීමේ හැකියාව ඇත. යම් හෙයකින් එම ධූරයක් හිස් වුවහොත් ඉන් පසු පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු වාරයේ දී ම ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් යමෙක් පත්කර ගත යුතු ය. පාර්ලිමේන්තුව විසුරැ වීමෙන් පසුව ද, නව පාර්ලිමේන්තුව තෝරා ගැනීමට පෙර, පැරණි පාර්ලිමේන්තුව කැඳවුවහොත්, එහිදී ද ඔවුන් එම ධූර දැරිය යුතු ය.

කථානායක රටෙහි තෙවන පුරවැසියා ය

පාර්ලිමේන්තු සැසියක මුලසුන දරන්නා කථානායක ය. ඔහු රටෙහි තෙවන පුරවැසියා වේ. එමෙන් ම පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයෙක් ජනාධිපතිවරයා පත් කරයි. එම ධූරය සඳහා යමෙක් ජනපතිවරයා යෝජනා කළ පසු, පාර්ලිමේන්තුව එය අනුමත කරයි. 

පාර්ලිමේන්තුවේ ආසනයක් හෝ ආසන හිස් වීම කිහිප ආකාරයකින් සිදු විය හැකි ය. එම ආසනය දරන මන්ත්‍රීවරයා මිය යාම, ඉල්ලා අස්වීම, ජනපති බවට පත් වීම, ඡන්ද හිමියෙක් වීමට නුසුදුසු වීම, රජයේ වෙනත් සේවයකට පත්වීම, දැනුම් දීමකින් තොරව මාස තුනක් පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම, පාර්ලිමේන්තුව ම විසුරුවා හැරීම හෝ එම මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරුන් මන්ත්‍රී ධූරයෙන් පහ කිරීම සඳහා වූ යෝජනාවක් සම්මත වීම නිසා මන්ත්‍රී ආසන හිස් වීම විය හැකි ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර, අනෙකුත් අවස්ථාවල දී එම ආසනය හිමි ව තිබෙන පක්ෂය හෝ කණ්ඩායමට අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට අවස්ථාව ලැබේ.

 පාර්ලිමේන්තු සභා ගැබ- dnaindia.com

 

අමාත්‍ය මණ්ඩලය

අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ද, අමාත්‍ය මණ්ඩලය පත් කරන්නේ ද ජනපතිවරයා ය. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වඩාත් ම විශ්වාසය ඇති තැනැත්තා අගමැති ලෙස පත්  කරගන්නා අතර,  තමා රිසි විෂයයන්වලට අදාළ අමාත්‍ය ධූර තමන් කෙරෙහි ම තබා ගැනීමට වෘවස්ථාව අනුව ජනපතිට අවකාශ ඇත. නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම ද ජනාධිපතිවරයාට සිදු කළ හැකි අතර, නියෝජ්‍ය ඇමතිවරුන්ට කාර්යය පවරාදීම සිදුකරන්නේ එම විෂයයට අදාළ ඇමතිවරයා මඟින් ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. අමාත්‍ය මණ්ඩලය ජනරජයේ පාලනය මෙහෙයවීම සහ පාලනය පිළිබඳව විධාන දීම සිදු කරයි.

අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය සමාන්‍යයෙන් පාර්ලිමේන්තුවක් විසුරුවා මහමැතිවරණයක් පවත්වන තෙක් සිය ධූර දරති. කෙසේ නමුත් ජනපති විසින් ඉවත් කරනු ලැබුවහොත්, ඉල්ලා අස්වුවහොත් හෝ එම අමාත්‍යවරයා තව දුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුවහොත් ඔහුගේ හෝ ඇයගේ අමාත්‍ය ධූරය එතෙකින් නිම වෙයි. යම් හෙයකින් අග්‍රමාත්‍යවරයා ඉලා අස්වුවහොත් හෝ, ඉවත් කළහොත් හෝ මරණයට පත්වුවහොත් අමාත්‍ය මණ්ඩලය ඉබේ ම විසිරී යන අතර, එසේ නොවන්නේ පාර්ලිමේන්තුව විසිරැවීමත්, නැවත මහ මැතිවරණය පැවැත්වීමත් අතර කාලය තුළ අග්‍රාමාත්‍ය ධූරය හිස් වන අවස්ථාවක පමණි. එවැනි අවස්ථාවක එක්කෝ ජනපතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ කටයුතු තමන් වෙත පවරාගැනීම හෝ වැඩබලන අගමැති කෙනකු පත් කිරීම සිදු කරයි.

මේවාට අමතර ව පාර්ලිමේන්තුව ආණ්ඩුවෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය නොපිළිගෙන ප්‍රතික්ෂේප කිරීම, අය වැය යෝජනාව පරාජයට පත්වීම, ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක් පාර්ලිමේන්තුව තුළ සම්මත වීම යන තත්ත්වවල දී අමාත්‍ය මණ්ඩලය විසිරී යයි.

 පාර්ලිමේන්තුවේ සංයුතිය තීරණය වන්නේ ජනතාව ලබා දෙන ඡන්දයෙනි- groundviews.org

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මෑතක් වන තුරු බලාත්මක ව තිබූ 19 වන සංශෝධනට අනුව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ධූර කාලයට පෙර විසුරුවා හැරීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ පහත පරිදි ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වන ව්‍යවස්ථාවට අනුව කලින් දැනුම්දීමකින් පසු ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැකි අතර, එය සිදුකරන්නේ පාර්ලිමේන්තුව පළමු ව රැස් වී වසර හතරහමාරකට පෙර නම්, එය එසේ සිදු කිරීමට හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් තුනෙන් දෙකක කැමැත්තක් සහිතව යෝජනාවක් සම්මත වී තිබේ නම් පමණි. 

කෙසේ නමුත් මෑතකදී සම්මත කර ගත්, දැනට බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අනුව එයට යම් වෙනස්කම් කිහිපයක් සිදු ව ඇත. ඒ අනුව මහ මැතිවරණයකින් පසුව වසර දෙකහමාරක් ගත වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනපතිට හිමි වන බලතල වැඩි වී ඇති අතර, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර සිදු කරන ඡන්ද විමසීමකින් පසු, සරල බහුතරයකින් එය සම්මත කරගැනීමෙන්, පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනපතිට දැනුම් දීමෙන් අනතුරුව  එය සිදුකළ හැකි ආකාරයට ව්‍යවස්ථාව වෙනසට බඳුන් කර ඇත.

කවරයේ ඡායාරූපය  - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සභා ගැබ -  advocata.org 

මූලාශ්‍ර:

තරග විභාග සඳහා නෛතික සාමාන්‍ය දැනීම - චතුර නිෂාන් උමගිලිය

cpalanka.org

bbc.com

Related Articles