අවුරුදු සතුට සමරන කිඹුලාපිටියේ රතිඤ්ඤා

නව අවුරුදු සමය උදා වෙලා. කොවිඩ් අවදානම තිබුණත් බොහෝ දෙනෙක් අවුරුදු සතුට සැමරීමට රතිඤ්ඤා, නිලා කූරු, අහස් කූරු මිලදී ගැනීමටත් උනන්දු වෙනවා. දැනටත් රතිඤ්ඤා හඩ අවටින් ඇසීමට පටන් අරන්. දෙසැම්බර් 31 මැදියම් රැයේ දී රට පුරා ම විතරක් නොවෙයි ලෝකය පුරාමත් අවුරුදු උදාව සමරන්නේ ගිනිකෙළි පත්තු කිරීමෙන්. නමුත් අප රටේ ගිනිකෙළි නිපදවන මීගමුව කිඹුලාපිටියේ ජනතාවගේ ජීවිත නම් ප්‍රශ්න ගොඩක පැටලිලා. මේ ඒ ගැන සොයා බැලීමට ගත් උත්සාහයක්.

ලෝකයටම රතිඤ්ඤා දුන් චීනයේ රතිඤ්ඤා -inhabitat.com

 

ඉතිහාස කතා

චීනය රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි කර්මාන්තයේ ඉදිරියෙන් ම සිටින අතර ලොව පුරා රටවල් රැසකට විවිධ ගිනිකෙළි ද්‍රව්‍ය රැසක් ම අපනයනය කරන්නේ ද චීනය යි. ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දී චීනයේ ලියුයැං ප්‍ර දේශයේ දී මුලින් ම ගිනිකෙළි නිපද වූ බව යි. ඒවා උණ බම්බුවලට වෙඩි බෙහේ දමා තැනූ රතිඤ්ඤා වුණා. ක්‍රිස්තු වර්ෂ 600-900 කාලයේ රතිඤ්ඤා නිෂ්පාදනය වඩාත් දියුණු කිරීමට චීනයට හැකි වුණා. පොටෑසියම් නයිට්‍රෙට්, සල්ෆර් සහ අගුරු මිශ්‍ර කිරීමෙන් කළු පැහැති වෙඩි බෙහෙත් වර්ගයක් රතිඤ්ඤාවලට චීනුන් භාවිත කර තිබෙනවා. එම වෙඩි බෙහෙත් මිශ්‍රණ උණ බම්බුවලට දමා තමයි ඒ කාලේ රතිඤ්ඤා තනාගෙන තිබෙන්නේ. ඉන් පසු සියවස් කිහිපයක් ගතවන විට  යුරෝපය ඇතුළු ලෝකය පුරා ම උත්සව අලංකාර කිරීමට චීනයේ රතිඤ්ඤා පැතිර ගොස් තිබෙනවා.

රතිඤ්ඤා නිපදවන කිඹුලාපිටියේ කාන්තාවන්- Bbc.com

 

කිඹුලාපිටිය

උත්සව සමයක දී මීගමුවේ සිට කිලෝ මීටර් 3ක් දුරින් පිහිටි කිඹුලාපිටිය ගම්මානයට පැමිණෙන කාගෙත් ඇසට මුලින් ම ලක්වන්නේත්, පාර දෙපස දකින්නට ලැබෙන්නේත් රතිඤ්ඤා හා ගිනිකෙළි නිෂ්පාදන කම්හල් හා වෙළෙඳසල් සමූහය යි. රතිඤ්ඥා නිෂ්පාදනය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස කර ගෙන යන පුද්ගලයන් මෙන් ම ගෘහ කර්මාන්තයක් ලෙස සිදු කරන්නෝ ද මෙහි සිටිනවා.   එම නිෂ්පාදන තොග වශයෙන් අලෙවි කරන වෙළෙදසල් රාශියක් ද කිඹුලාපිටියේ පිහිටා තිබෙනවා.

අලෙවියට සූදානම් රතිඤ්ඤා-gettyimagescom

 

ලංකාවේ රතිඤ්ඤා

අපේ රටේ නත්තල, අලුත් අවුරුදු උදාව සැමරීමට වගේ ම සිංහල දෙමළ අවුරුද්ද සැමරීමටත් රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නැති ව ම බැරිවෙලා. ඒ වාගෙ ම මැතිවරණ ජය සැමරීමටත් රතිඤ්ඤා තොග ගණනින් පුළුස්සා දමන බව අපි දන්නවා. මේ ගිනිකෙළි ලංකාවට පැමිණ දිගු ඉතිහාසයක් නම් නැහැ. ලංකාවේ රතිඤ්ඤා කර්මාන්තයේ පුරෝගාමී වන්නේ මීගමුවේ කිඹුලාපිටිය ගම යි. අදින් වසර 100කට පමණ පෙර 1920 දශකයේ චීන ජාතිකයන් කිහිප දෙනකු කිඹුලාපිටියට පැමිණි අවස්ථාවක එගම් වැසි කේ. ඒමිස් පෙරේරා ඔවුන්ගෙන් ගිනිකෙළි කර්මාන්තය ඉගෙනගත් බව එක් කතාවක පැවසෙනවා.

තවත් කතාවක කියවෙන්නේ ගගේ ගිලීමට ගිය සුදු ජාතිකයන් දෙදෙනකු බේරා ගැනීමට ඒමිස් පෙරේරා ක්‍රියා කළ බවත්, ඔවුන් ඔහුට තෑග්ගක් වශයෙන් දුන් පොතක් කියවා එහි වූ වට්ටෝරු කීපයක් අත්හදා බැලීමෙන් ලංකාවේ රතිඤ්ඤා නිෂ්පාදනය මුලින් ම කළ බව යි.  ටිකෙන් ටික රතිඤ්ඤාවලට ඉල්ලුම අධික වුණු අතර  නිෂ්පාදනය කළ මුල් ම රතිඤ්ඤා සූර්ය සහ මුවා යන වෙළෙඳ ලකුණුවලින් ඒ කාලේ වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.

රතිඤ්ඤා නිෂ්පාදනය කර ඇත්තේ ඒමිස් පෙරේරාගේ නිවසේදී ම යි.  ලංකාවේ විවිධ පළාත්වල  ව්‍යාපාරිකයන් කිඹුලාපිටියට ම පැමිණ අලෙවියට රතිඤ්ඤා රැගෙන ගොස් තිබෙනවා. එය සාර්ථක ව්‍යාපාරයක් වුණු නිසා ඒමිස් පෙරේරා ඉන්පසු වෙනත් ගිනිකෙළි වර්ග නිෂ්පාදනයට ද අත ගසා තිබෙනවා. වසර කිහිපයකින් ඔහුගෙන්  රතිඤ්ඤා නිෂ්පාදනය ගැන ගමේ තවත් අය ඉගෙන ගෙන තම තමන්ගේ ම නිවෙස්වල රතිඤ්ඤා නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා. ටික කලක් ගතවන විට කිඹුලාපිටිය ගමේ බහුතරයක් කුමන හෝ ආකාරයකින් රතිඤ්ඤා නිෂ්පාදනයට හවුල් වුණේ ඒ විදිහට යි.

 වෙඩි බෙහෙත් මැද ගෙවෙන ජීවිත- aljazeera.com

 

කිඹුලාපිටියේ රතිඤ්ඤා වගතුග

කිඹුලාපිටිය ගම්වැසියන්ගේ ප්‍රධාන  වෘත්තිය රතිඤ්ඤා බව එහි යන කාටත් අවබෝධ වෙනවා. සෑම නිවසක් අසල ම වෙන ම මඩුවක හෝ කාමරයක රතිඤ්ඤා නිපදවීමේ අඩුවැඩිය දැක ගත හැකි යි.  පවුල් 2500 ත් 3000 ත් අතර පිරිසක් ඍජු ව සහ වක්‍ර ව මෙම කර්මාන්තයෙහි නිරත ව සිටිනවා. ගිනිකෙළි කර්මාන්තයට බලපත්‍ර ලබා ගත් වැඩි ම සංඛ්‍යාවක් සිටින්නෙත් මීගමුව අයත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ යි. 

කිඹුලාපිටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ඒ අවට ගම්මාන වන දාගොන්න, පීල්ලවත්ත, කටාන, කළුඅරිප්පුව, කටුවැල්ලගම, තිඹිරිගස්කටුව ඇතුළු ප්‍රදේශ  දක්වාත් රතිඤ්ඤා කර්මාන්තය පැතිර ගොස් තිබෙනවා.  එම ප්‍රදේශයට අමතර ව මහනුවර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල ද ගිනිකෙළි කර්මාන්තය තරමක් ව්‍යාප්ත ව පවතිනවා. අම්බලන්ගොඩ, ගාල්ල දඩල්ල සහ වැලිගම යන ප්‍රදේශ ඒ සඳහා ප්‍රසිද්ධ යි. 

 රතිඤ්ඤා නිපදවමින් – catchnews.com

 

ගිනිකෙළි වර්ග

 රතිඤ්ඤා වගේ ම නිලා, අහස්කූරු, බඹර චක්‍ර,  මල් වෙඩි වර්ග වගේ තවත් ගොඩක් නිෂ්පාදන කිඹුලාපිටියේ කම්හල්වල සිදු කරනවා. රතිඤ්ඤා  කරල්, රෝල්, කුට්ටන් ආදී වශයෙන් වර්ග ගණනාවකින් ම ඔවුන් නිපදවනවා. නිෂ්පාදන අතරින් වැඩි ම අලෙවියක් පවතින්නේ රතිඤ්ඤාවලට යි.   

රතිඤ්ඤා නිපදවීම මුල් කාලයේ දී සිදු කෙරුණේ පොටෑසියම් ක්ලෝරේට්, ගෙන්දගම් සහ අඟුරු කුඩු මිශ්‍ර කිරීමෙන්. පොටෑසියම් ක්ලෝරේට් පසුගිය කාලේ  තහනමකට ලක්වූ නිසා අද වනවිට රතිඤ්ඤා නිෂ්පාදනය සඳහා පොටෑසියම් ක්ලෝරේට් වෙනුවට භාවිත කෙරෙන්නේ පොටෑසියම් නයිට්‍රේට්.   වර්තමානයේ දී පොටෑසියම් නයිට්‍රේට්, ගෙන්දගම් හා ඇලුමිනියම් කුඩු භාවිත කර රතිඤ්ඤා නිෂ්පාදනය කෙරෙනවා. වෙඩි බෙහෙත් සමඟ කරන සෙල්ලමක් වන රතිඤ්ඤා නිෂ්පාදනය එක් අතකින් භයානක කර්මාන්තයක්. වැඩිපුර අනතුරු සිදුවන්නේ මල්වෙඩි නිෂ්පාදනයේ දී යි. කිඹුලාපිටියේ රතිඤ්ඤා නිෂ්පාදන ආයතනවල පිපිරීම් නිසා සිදුවූ  මාරාන්තික අනතුරු ගැනත් ඉදහිට වාර්තා වෙනවා.

 අලෙවිය අඩුවීමෙන් ගැටලු රැසක්- srilankanlife.lk

 

රතිඤ්ඤාවල හෙට දවස

පසුගිය 2019  පාස්කු ප්‍රහාරයත්, ඉන් පසු හටගත් කොවිඩ් වසංගතයත් ගිනිකෙළි කර්මාන්තයට ගෙනාවේ සෙනසුරු දසාවක්. උත්සව අවස්ථා අඩුවීම නිසා මිනිසුන් රතිඤ්ඤා භාවිතය අඩු කළා. ඉන් පහර වැදුණු එක් පිරිසක් වු‍ණේ කිඹුලාපිටිය ජනතාව යි. මේ නිසා ඔවුන් ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටිනවා. මේ නිසා පසුගිය වසර තුනකට අධික   කාලය තුළ දේශීය   රතිඤ්ඤා කර්මාන්තය විශාල පිරිහීමකට ලක් ව තිබෙනවා.   රතිඤ්ඤා කර්මාන්තයෙන් යැපෙන විශාල පිරිසකගේ දෛනික ජීවිතයට ගැටලු රැසක් ඇති වෙලා.

ඒ අතර ම  වෙඩි බෙහෙත්වල ඉහළ මිල දරා ගැනීමත් ඔවුන්ට අපහසු වෙලා. මේ නිසා නිපදවන රතිඤ්ඤාවලට වැඩි මිලක් නියම කිරීමට සිදුවීම නිසා ඒවායේ ඉල්ලුම තවත් අඩුවන බව රතිඤ්ඤා නිෂ්පාදකයන් පවසනවා.  

 රතිඤ්ඤා කම්හලක පිපිරීමක්- dailymirror.lk

 

රතිඤ්ඤා හා ගිනිකෙළි කර්මාන්තය ආරක්ෂිත ව  පවත්වා ගෙන යා යුතු  කර්මාන්තයක්.  බලපත්‍ර රහිත ව වෙඩි බෙහෙත් ළඟ තබා ගැනීම නීතියෙන් තහනම්. ඒ නිසා රතිඤ්ඥා නිෂ්පාදකයන් ලියාපදිංචි වී, තමන් ළඟ තබා ගැනීම සඳහා වෙඩි බෙහෙත් මිලදී ගැනීමට බලපත්‍රයක් ලබාගත යුතු යි. පුපුරණ ද්‍රව්‍ය පාලක  නිලධාරියා හරහා ලංකාවේ වෙඩි බෙහෙත් වැනි පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ කටයුතු අධීක්ෂණය වෙනවා.

පුපුරණ ද්‍රව්‍ය පාලක හරහා රතිඤ්ඤා නිෂ්පාදකයන්ට   පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීමට අවසරය ලැබෙන අතර පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත හරහා  ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන සලසා තිබෙනවා. කිඹුලාපිටියේ වෙඩි බෙහෙත් අලෙවි නියෝජිතයන් හතරදෙනෙක් සිටින බව පැවසෙනවා. පුපුරණ ද්‍රව්‍ය පාලකගෙන් බලපත්‍ර මත ආණ්ඩුවෙන්   තොග මිලට වෙඩි බෙහෙත් ඔවුන් ලබා ගන්නා අතර කුඩා රතිඤ්ඤා නිෂ්පාදකයන් ඔවුන්ගෙන් වෙඩි බෙහෙත් මිලට ගත යුතු වෙනවා.

 ගිනි කෙළි දල්වා ලබන සතුට – Financialexpress.com

 

රතිඤ්ඤා නිෂ්පාදනයට මෙන් ම ප්‍රවාහනයට ද බලපත්‍ර ලබා ගැනීමත් අවශ්‍ය යි. ගිනිකෙළි කර්මාන්තයට බලපත්‍ර ලබා ගැනීමට නොහැකිවීමත් කිඹුලාපිටියේ පිරිසකට ගැටලුවක් ව පවතිනවා. මේ නිසා ඔවුන්ට සිදු ව ඇත්තේ බලපත්‍රලාභී ව්‍යාපාරිකයන් වෙතින් වැඩි මිලට වෙඩි බෙහෙත් රැගෙන රතිඤ්ඤා නිෂ්පාදන කිරීමට යි.

කවරයේ ඡායාරූපය- රතිඤ්ඤා නිපදවන කිඹුලාපිටියේ තරුණයෙක්- aljazeera.com

මූලාශ්‍ර:

Bbc.com

Anidda.lk

americanpyro.com

aljazeera.com

Related Articles