ඇෆ්ගන් කත: සොඳුරු අතීතයක සිට අවිනිශ්චිත අනාගතයකට…

 ඇෆ්ඝනිස්තානය නැවතත් තලිබාන් පාලනයට නතු වී අවසන්. ඒත් සමඟ ම විවිධ සමාජ සංවේදී කාරණා හරහා ඇෆ්ඝනිස්තානයේ අනාගතය ගැන ලෝකය උනන්දු වෙනවා. තලිබාන්වරුන්ගේ වර්තමාන අදහස් දැක්වීම් නිරීක්ෂණය කළ විට ඔවුන් අතීතයට වඩා යම් ආකල්පමය වෙනසකට ලක් ව ඇති බවක් පෙනී යනවා. බොහෝදෙනා තවමත් තලිබාන්වරුන් විශ්වාස කරන්නේ නැහැ. හැමදා ම යුද්ධ කරනවාට වඩා ලැබුණු අවස්ථාවෙන් තම පාලන තන්ත්‍රය ජාත්‍යන්තරය තුළ ස්ථාවර කර ගැනීම පිණිස තලිබාන්වරුන් යම් රංගනයක නිරත වන බව සමහරුන් විශ්වාස කරනවා.

 ලෝකය ඇෆ්ඝනිස්තානය සම්බන්ධයෙන් විමසිලිමත් වන කාරණා අතර ඇෆ්ගන් කාන්තාවත් සිටිනවා. කුඩා කාල පරාසයක් තුළ විශාල පරිමාණයේ දේශපාලනික සහ සමාජීය පරිවර්තනවලට ලක් වූ රාජ්‍යයක් ලෙස ඇෆ්ඝනිස්තානය හැඳින්විය හැකි යි. එවැනි සන්දර්භයක් තුළ ඇෆ්ගන් කාන්තාවගේ අයිතිවාසිකම්, සමාජ පිළිගැනීම කාලයත් සමඟ විචලනය වුණේ කොහොම ද? අනාගතය කෙබඳු වේවි ද? මේ ඒ ගැන කරන සොයා බැලීමක්.

ගැහැනු පිරිමි භේදයක් නැතුව අතීත ඇෆ්ඝනිස්තාන සිසුන් අධ්‍යාපනයේ නිරත වුණා – afghanistansgoldenyears.weebly.com 

ඇෆ්ගන් කාන්තාවගේ සාධාරණ සැකය

 තලිබාන් පාලනය තුළ ඇෆ්ගන් කාන්තාවන්ගේ අධ්‍යාපනය, රැකියාවක් කිරීමේ නිදහස, ඇඳුම් පැළඳුම්වල පරිවර්තනය, විනෝදාස්වාදය වැනි කරුණු පමණක් නොව, රිය පැදවීම සහ තනිව ම නිදහසේ ගමනක් බිමනක් යෑමේ සරල කාරණාවල  සුරක්ෂිතභාවය ගැන පවා තිබෙන්නේ අවිනිශ්චිත බවක්. කෙසේ නමුත්, තලිබාන් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටින්නේ ඉස්ලාමීය නීති රාමුව තුළ ඇෆ්ගන් කාන්තාවගේ අයිතීන් සුරැකෙනු ඇති බව යි.

කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ව එතනින් එහාට වැඩිදුර විස්තරයක් තලිබාන්වරුන්ගේ මුවින් පිට නොවෙන තරම්.  පුළුල් මාතෘකාවක් සහ ගැටලුවක් එවැනි සරල රාමුවකට ලඝු කිරීමෙන් තලිබාන් පාලනය ගැන ඇෆ්ගන් කාන්තාවට තිබෙන සැකය, “සාධාරණ සැකයක්” ලෙස මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වන්නේ ඒ නිසා යි.

හැත්තෑව දශකය හෝ ඊට ආසන්න කාලයේදී නිදහසේ සැරිසරන ඇෆ්ගන් කතුන් – ajammc.com

 1996 සිට 2001 දක්වා ඇෆ්ඝනිස්තානයේ පැවතුණු තලිබාන් පාලනය යටතේ ඔවුන් විසින් ම අර්ථ දැක්වූ දැඩි නීති රීති පද්ධතියක් තුළ ඇෆ්ගන් කාන්තාවට දිවි ගෙවීමට සිදු වුණා. එම නීති රීති බහුතරයක් පුද්ගල නිදහස දරුණු අන්දමින් සීමා කරන විසුළු ස්වරූපයක් ගත් ඒවා යි. 1996 සිට 2001 කාල පරාසය තුළ තමන් විඳි අත්දැකීම් ඇෆ්ගන් කාන්තාවන්ට දැන් අමතකයැ යි කිව හැක්කේ කාට ද?

සුන්දර සිහිනයක් වූ අතීතය

 1964 දී ඇෆ්ගනිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා ඇෆ්ඝනිස්තානයේ විද්වත් කාන්තාවන් තම දායකත්වය සැපයූවා. 1970 ගණන් වනවිට ඇෆ්ගන් පාර්ලිමේන්තුවේ අව ම වශයෙන් කාන්තා නීති සම්පාදකයන් තිදෙනෙක් පමණ සිටියා. 1990 දශකයේ මුල් භාගය වන තෙක්ම ගුරුවරුන්, රජයේ සේවකයන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, විනිසුරුවන්, මාධ්‍යවේදීන්, ලේඛකයන් සහ කවියන් ලෙස කාන්තාවන් ඇෆ්ගනිස්ථානයේ උන්නතිය වෙනුවෙන් තම යුතුකම් ඉටු කළා.

අතීත ඇෆ්ගන් මිනිසුන් ඡායාරූපවලට පෙනී සිටීම සඳහා රුචියක් දැක්වූවා – trekommendation.wordpress.com

කාබුල්හි වෛද්‍යවරුන්ගෙන් 40%ක්, පාසල් ගුරුවරුන්ගෙන් 70%ක් මෙන් ම, කාබුල් විශ්ව විද්‍යාල‍යේ මහාචාර්යවරුන්ගෙන් 60% ක් සහ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් 50% ක් කාන්තාවන් නියෝජනය කරන තරමටම නිවහල් අතීතයක් ඇෆ්ඝනිස්තානය සතු ව තිබුණා.

 බොහෝ තැන්වල ඇෆ්ඝනිස්තානයේ අතීත කාන්තා නිදහස හුවා දක්වන්නේ ශරීරය නිරාවරණය වන පරිදි ඇඟ ලා ගත් ඇඳුම් සහිත අතීත ඇෆ්ගන් කතුන්ගේ ඡායාරූප ගෙනහැර දැක්වීමෙන්. ඇෆ්ගන් කතුන් සැබවින්ම ඇෆ්ඝනිස්තානයේ අධ්‍යාපනය, ආර්ථිකය, කලාව, නිදහස් චින්තනය වෙනුවෙන් පුරෝගාමී දායකත්වයක් සැපයූ අභීත මිනිසුන් බව මෙහි ලා සඳහන් කළ යුතු යි.

කාබුල් සරසවි සිසුන් අතීතයේ බුක්ති විඳි නිදහස – afghanistansgoldenyears.weebly.com 

 අතීත ඇෆ්ඝනිස්තාන කතුන්ගේ අභිමානය ගැන කීමට තවත් බොහෝ දේ තිබෙනවා. මේ ලිපියේ අරමුණ වන්නේ කාලයත් සමඟ ඇෆ්ඝනිස්තාන කතුන්ගේ ඉරණම වෙනස් වූ ආකාරය ඔබ වෙත ඉදිරිපත් කිරීම යි.  ඒ නිසා සරල උදාහරණයක් මෙහි විස්තර කිරීමෙන් ඇෆ්ගන් කතුන්ගේ ආත්ම ශක්තියේ තරම ගෙනහැර දක්වන්නම්.

 1960 කාල වකවානුවේදී කොළරාව වැනි වසංගතවලින් ඇෆ්ගන් ජන සමාජය පීඩිත වී සිටියා. වසංගත රෝගවලට එරෙහි එන්නත්කරණය සඳහා ජීප් රථවල නැඟි ඇෆ්ගන් හෙදියන් ඈත දුෂ්කර ගම් දනව්වල සංචාරය කළා. ගැහැනු – පිරිමි රෝගීන් ලෙස වෙනසක් නොමැති ව හෙදියන් ඔවුන් සමඟ කරට කර ගැටෙමින් එන්නත්කරණ වැඩසටහන් සාර්ථක ව එම දුෂ්කර පෙදෙස්වල පවත්වා ගෙන ගියා.

 වත්මන් තලිබාන් පාලනය තුළ මෙවැනි වැඩසටහනක් ගැන සිතීමටවත් හැකිද යන්න ගැටලු සහගත යි. තලිබාන්වරුන් යටතේ කාන්තාවන්ට නිදහසේ සංචාරය කිරීම, ආගන්තුකයන්ගේ නිවෙස්වලට ඇතුළු වීම සහ සමහර අවස්ථාවල දී ප්‍රතිකාර කිරීම සඳහා ආගන්තුක පිරිමියකු ස්පර්ශ කිරීම පවා බරපතළ ලෙස අභියෝගයට ලක් වෙනවා. ජන සමාජයේ ආකල්පත් (විශේෂයෙන් ම පුරුෂයන්) කාලානුරූපී ව දැඩි ආගමික රාමුවකට කොටු වී ඇති නිසා අතීතයේ මෙන් ඇෆ්ගන් කතුන්ට සමාජයට සේවයක් කිරීමට නොහැකි වේවි.

ඇෆ්ඝනිස්තානයේ පැවතුණු තලිබාන් පාලනය යටතේ කාන්තාවන්ගේ නිදහස දැඩි ව අවහිර කළා – bloomberg.com 

දුර්දාන්ත යුගයේ ඇෆ්ගන් කත

 1995 මුල් භාගයේ දී තලිබාන්වරුන් බලයට පත් ව 1996 දී ප්‍රායෝගිකත්වයක් ගෑවිලාවත් නැති රැඩිකල් ඉස්ලාමීය පාලන තන්ත්‍රයක් ඇෆ්ඝනිස්තානයේ පිහිටුවීමත් සමඟ කාන්තාව “අවම වටිනා සාධකයක්” වීමේ දුර්දාන්ත යුගය දරුණු ලෙස තීව්‍ර වුණා. කාන්තාවන් සහ ගැහැනු ළමයින් ක්‍රමානුකූල ව වෙනස් කොට සැලකීම හා කොන් කිරීම සිදු වූ අතර, ඔවුන්ගේ මානව හිමිකම් දරුණු ලෙස උල්ලංඝණය වුණා.

රටේ සෑම ප්‍රදේශයක ම කාන්තාවන්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වය දරුණු ලෙස පිරිහුණු අතර, අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවාවට සහ අනෙකුත් රැකියාවලට තිබූ කාන්තා ප්‍රවේශය දැඩි ලෙස සීමා කෙරුණා. අවසාන ප්‍රතිඵලය වුණේ වෛද්‍යවරුන් හා ගුරුවරුන් ලෙස සාර්ථක ජීවිතයක් ගත කළ කාන්තාවන් අන්ත අසරණ වීම යි. ඇතැමුන් විකල්පයක් ලෙස රහසේ ම ලිංගික ශ්‍රම වෙළඳපොළට ඇතුළත් වුණා. ඇතැමුන් සිඟමනට වැටුණා.

කාබුල්හි රූපලාවණ්‍යාගාරයක් පසුකර යන බුර්කා ඇඳගත් ඇෆ්ඝන් කාන්තාවන් – Getty images

 

 2001 මැයි මාසයේදී තලිබාන් සංවිධානය නිකුත් කළ නියෝගයක් අනුව කාන්තාවන්ට රිය පැදවීම තහනම් කෙරුණා. පොදු ස්ථානවල පෙනී සිටීම නිසා තලිබාන් සටන්කාමීන් අතින් කාන්තාවන් නිරන්තරයෙන් හිරිහැරයට ලක් වුණා. පාදයක හෝ අතක අඟලක ඉඩකින් ශරීරය පිටතට පෙණුනහොත්, එහෙමත් නැත්නම් වැරදි වර්ණයකින් යුතු මේස් කුට්ටමක් පැළඳ සිටියහොත්, එම කාන්තාවන්ට තලිබාන්වරුන් හමුවේ දැඩි දණ්ඩනවලට යටත් වීමට සිදු වුණා.

වරෙක එක්තරා කාන්තාවක් සුදුපැහැ මේස් පැළඳ පිටතට පැමිණීම නිසා තලිබාන් සටන්කාමියෙක් ඇයට AK47 තුවක්කු බඳකින් පහර දී නිවසට ගොස් කළු පැහැ මේස් පළඳින ලෙස නියෝග කළා.

තීන්ත භාවිතයෙන් මකා දැමූ කාන්තා රූප පසු කර යන තලේබාන් සටන්කරුවෙක්  – Getty images

කාන්තාවන්ට පැනවූ අමුතු නීති

 1996 සිට 2001 කාල පරාසය තුළ තලිබාන්වරුන් නීති රැසක් මඟින් කාන්තාවන්ගේ නිදහස සහ අයිතීන් දරුණු ලෙස සීමා කළා. එයින් නීති කිහිපයක් පහත දැක්වෙනවා.

  •  බුර්කාව නොපැළඳ සහ/හෝ ලේ ඥාතියකු නොමැතිව වීදිවලට ප්‍රවිශ්ඨ වීම තහනම්.
  •  කාන්තාවන්ගේ අඩි ශබ්දය පුරුෂයන්ට ඇසීම නුසුදුසු හෙයින්, අඩිය උස පාවහන් නොපැළඳිය යුතු යි.
  •  ආගන්තුකයන්ට කාන්තාවන්ගේ ශබ්දය ඇසීම නුසුදුසු හෙයින්, පොදු ස්ථානවල උස් හඬින් කතා කළ නොහැක.
  •  වීදිවල සැරිසරන ආගන්තුකයන්ට ඇතුළත සිටින කාන්තාවන් නොපෙනෙන පිණිස තනි තට්ටුවේ නිවාසවල ජනෙල් සියල්ල සහ තට්ටු නිවාසවල පළමු මහල දක්වා වූ ජනෙල් අඳුරු පැහැයෙන් පින්තාරු කළ යුතු යි. නැතිනම් යමකින් ආවරණය කළ යුතු යි.
  •  කාන්තාවන්ට තමාගේ රුව සහිත ඡායාරූප, වීඩියෝ පට ළඟ තබා ගත නොහැකි යි. පුවත්පත් සහ පොත් ආදියෙහි පවා තමාගේ රුව ඇතුළත් නොවිය යුතු අතර, ඒවා නිවසේ හෝ  සාප්පුවල ප්‍රදර්ශනය නොවිය යුතු යි.
  • නමක් සඳහන් ව ඇති සෑම තැනකින් ම “කාන්තාව (Women)” යන්න ඉවත් විය යුතු යි.
  • සඳලුතලවල කාන්තාවන්ට රැඳී සිටීමට අවසර නැත.
  • රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන් සහ පොදු ඒකරාශී වීම්වල පෙනී සිටීමට කාන්තාවන්ට අවසර නැත. 

 කාන්තාවන්ගේ සාමාන්‍ය ගෘහස්ථ ජීවිතය පවා මෙලෙස අමනෝඥ ලෙස සීමා කර ඇත්නම්, අධ්‍යාපනය, සෞඛ්‍යය, රාජ්‍ය පාලනය, සමාජ සේවය, ආර්ථික කටයුතු වැනි පුළුල් සන්දර්භ තුළ කාන්තාවගේ භූමිකාව සීමා කර ඇති අන්දම ගැන අමුතුවෙන් විස්තර කිරීමට අවැසි නොවන තරම්. ඒවාටත් වෙන වෙනම පැන වූ තලිබාන් නීති පද්ධති තිබෙනවා. 

අමෙරිකානු ආගමනයත් සමඟ ඇෆ්ගන් කත

 9/11 ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදය ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කිරීමත් සමඟ ම එරට යළිත් විශාල සමාජ පරිවර්තනයකට ලක් වෙන්න පටන් ගත්තා. එක්සත් ජනපදය ඇෆ්ඝනිස්තාන ආක්‍රමණය කළේ එරට කාන්තා අයිතිවාසිකම් පුළුල් කරන බවට වූ ප්‍රකාශනයත් සමඟ යි. එක්සත් ජනපද හමුදාව හමුවේ තලිබාන්වරුන් පසුබැසීමත් සමඟ එකල අමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ආර්යාව ලෙස සිටි ලෝරා බුෂ් පැවසුවේ, තලිබාන් පසුබැසීම සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්තානයේ කාන්තාවන් විශේෂයෙන් ම සතුටු වන බව යි.

 එක්සත් ජනපදයේ මැදිහත් වීමත් සමඟ ම ඇෆ්ගන් කාන්තාවන් යළිත් පොදු ජීවිතයට පිවිසෙන වාතාවරණයක් ඇති වුණා. කාන්තා අයිතිවාසිකම් නැවතත් නීත්‍යානුකූල ව සහ ව්‍යවස්ථානුකූල ව සලකා බැලෙන පසුබිමක් ඇෆ්ඝනිස්තානය තුළ ඇති වෙන්න පටන් ගත්තා. 2004 ඇෆ්ඝනිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා කාන්තා අයිතිවාසිකම්වල සාධනීය තහවුරු කිරීමක් සිදු වුණා.

ඇෆ්ගන් කතුන්ගේ සැලකිය යුතු අවදි වීමක් දකින්නට ලැබුණා – Getty images

 

පෙර මෙන් නොවුණත්, යම් ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවේ ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට ඇෆ්ගන් කතුන් පසුගිය කාලයේ දී සමත් වුණා. ඔවුන් නීතිය, මාධ්‍ය වැනි අංශවලට පවා ඇතුළත් වුණා. සහජයෙන් ම ඇෆ්ගන් කාන්තාවන් අධ්‍යාපනයට දක්ෂ යි. 2001 වර්ෂයේදී තලිබාන් පාලනය සීමා වීමේ සිට මෑත දිනයකදී තලිබාන්වරුන් කාබුල් නුවරට ඇතුළුවීමේ සිදුවීම දක්වා වූ කාල පරාසය ඇතුළත ඇෆ්ගන් කතුන්ගේ සැලකිය යුතු අවදි වීමක් දකින්නට ලැබුණා.

 කාබුල් වැනි නගර ආශ්‍රිත ව කාන්තා අයිතිවාසිකම් වඩාත් පහසුවෙන් මේ කාලයේදී ස්පර්ශ කළ හැකි වුණා. ඇෆ්ගන් කතුන් බිම් මට්ටමෙන් ක්‍රියාත්මක කළ ඇතැම් උත්සාහයන් වරින් වර මත ගැටුම්වලට ලක් වුණා. කාන්තාවන්ගේ උන්නතිය වෙනුවෙන් ඇෆ්ගන් කතුන් විසින් ම කළ සේවා ඇතැම් අය දුටුවේ රාජ්‍ය නොවන සංවිධාන ඉස්මතු කරන ස්ත්‍රීවාදයේ උත්සාහයක් ලෙසට යි. එය එක්තරා අන්දමකින් ඇෆ්ඝනිස්තානයට නොගැළපෙන බටහිරකරණයට අයත් අංගයක් ලෙස ඔවුන් සැලකුවා.

ස්ත්‍රීවාදයේ උත්සාහයක්

 ග්‍රාමීය ප්‍රදේශ සහ තලිබාන් සෙවණැලි සැරිසැරූ ප්‍රදේශවල මෙම ප්‍රයත්න එතරම් සාර්ථක වුණේ නැහැ. පවතින සාම්ප්‍රදායික, ආගමික සහ සංස්කෘතික හැඩතල යටතේ කාන්තාවට ඇෆ්ගන් සමාජය තුළ යම් ව්‍යුහයක් පවත්වා ගෙන යෑමේ දුෂ්කරතාවක් පැහැදිලිව ම දකින්නට තිබුණා. 2001-2021 කාල පරාසය තුළ වරින් වර හිස එසවූ යුද්ධයත් සමඟ කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීමේ එක්සත් ජනපදයේ උත්සාහයත් වරින් වර දුර්වල වීම හෝ නොසලකා හරින තැනට පත් වුණා.

සමස්යතක් ලෙස 2001 ට පෙර තිබූ පසුබිමට වඩා යහපත් වාතාවරණයක් “අමෙරිකානු මැදිහත් වීම් යටතේ තිබූ ඇෆ්ඝනිස්තානය” තුළ දකින්නට ලැබුණා. එක්සත් ජනපද හමුදාව ඇෆ්ඝනිස්තානනයෙන් ඉවත් වීම ආරම්භ කිරීමත් සමඟ පෙර තිබූ ඒ දුර්දාන්ත යුගය නැවත ඇරඹේවියැ යි කියන බියෙන් ඇෆ්ගන් කාන්තාවන් සලිත වුණා.

මයිවාන්ඩ් සටන දක්වන සිතුවමක් – – Getty images

මලාලායිගේ ශක්තිය සිත් තුළ ඇතිවේවා!

 1880 දී ඇෆ්ඝනිස්තාන ඉතිහාසයේ ඉතා වැදගත් පෙරළියක් සිදු වුණා. ඒ මයිවාන්ඩ් සටන යි. ආයුබ් ඛාන්ගේ නායකත්වයෙන් දියත් කළ එම සටන, එවකට යටත් විජිතකරණය තුළ සාර්ථක වූ මහා බ්‍රිතාන්‍ය හමුදාව සහ ඔවුන් යටතේ පැවති ඉන්දීය හමුදාවට එරෙහි ව සිදු වුණා. මයිවාන්ඩ් සටනේ දී කුඩා ගමක ඉපදුණු මලාලායි නම් කාන්තාව විශාල කාර්යභාරයක් ඉටු කළ බව සඳහන් වෙනවා. සටන හමුවේ චිත්ත ධෛර්යය අහිමි වූ ඇෆ්ගන් සෙබළුන් අමතා ඇය මෙලෙසින් ඓතිහාසික ප්‍රකාශයක් කළා.

 “තරුණ ආදරය, ඔබ මයිවාන්ඩ් සටනේදී වැටී නොසිටින්නේ නම් දෙවියන් වහන්සේ ඔබව ලැජ්ජාවේ සලකුණෙන් බේරාගනු ඇත!”

එයින් චිත්ත ධෛර්යය උපදවා ගත් ඇෆ්ගන් සෙබළුන් නැවතත් සටන් බිම තුළ පුනර්ජීවනය ලැබූ බව සඳහන්. 

තලිබාන් පාලනයේ නැවත ආගමනයත් සමඟ ඇෆ්ගනිස්ථානයේ අනාගතය නැවතත් අවිනිශ්චිත වී තිබෙනවා. එහෙත්, ඔවුන් මෙවර පැමිණ ඇත්තේ 1996-2001 අතර කාලය තුළ සිටි මුහුණවරෙන් නම් නොවේ. තලිබාන්වරුන් මෙවර ඇෆ්ගනිස්ථානය තුළ රජයක් පිහිටුවීම සඳහා ජාත්‍යන්තර සහාය සහ පිළිගැනීම බලාපොරොත්තු වන බව පැහැදිලිව ම පෙනෙන්න තිබෙනවා.

සමහර විට දශක ගණනාවක නොනවතින යුද්ධයකට මැදි වනවාට වඩා ලැබූ අවස්ථාවෙන් විධිමත් ප්‍රයෝජනයක් ගැනීමට ඔවුන් උත්සහ කරනවා ඇති. තලිබාන්වරුන් යම්තාක් දුරකට කාන්තාවගේ නිදහස ගැන ප්‍රසිද්ධ මාධ්‍යයේ සාකච්ඡා කොට තිබෙනවා. ඔවුන්ට සැබැවින් ම ජාත්‍යන්තරයෙන් පිළිගැනීම අවශ්‍ය නම් මානව හිමිකම් දෙස ‍යන්තම් හෝ හිස ඔසවා බැලීම අනිවාර්යයෙන් සිදු කළ යුතු යි.

එක්සත් ජනපද හමුදාවේ ඉවත් වීමත් සමඟ ඇෆ්ගන් කතුන්ගේ අවින්ශ්චිත අනාගතය කාටූන් ඇසකින් – cartoonmovement.com

තලිබාන්වරුන්ගේ හැසිරීම් ගැන දිනෙන් දින වාර්තා වන ප්‍රවෘත්ති එතරම් සුබදායක නැහැ. පැරණි තලිබාන් පාලනයේ අමනෝඥ නීතිවල සෙවණැලි වරින් වර ඇෆ්ගන් බිම තුළ මතුවෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. තලිබාන් සංවිධානයේ ඉහළ නායකයන් කාන්තාවන්ට අධ්‍යාපනය ලබන්න සහ රැකියා කිරීමට ඉඩ ලබා දෙන බව පොරොන්දු වී තිබෙනවා. ලද අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පෙර පැවති ජීවිතය තලිබාන්වරුන් යටතේත් පවත්වා ගෙන යෑමේ ප්‍රවණතාවක් ඇෆ්ගන් කතුන් තුළ අද දක්නට ලැබෙනවා.

තලිබාන්වරුන්ගේ පොරොන්දු

 මෙහිදී ඇෆ්ගන් කතුන්ට කළ හැකි වැදගත් කාර්යභාරයක් තිබෙනවා. මෙම තත්ත්වය දිගට ම පවත්වා ගෙන යන අතරේ තලිබාන්වරුන්ගේ පොරොන්දු කාලයත් සමඟ පුස්සක් නොවීමට වග බලා ගැනීම යි. ඔවුන්ට ජාත්‍යන්තර පිළිගැනීම වෙසෙසින් ම අවශ්‍ය බවක් පෙනී යන නිසා ඇෆ්ඝනිස්තානයෙන් පිටත සිටින ඇෆ්ගන් කාන්තා ක්‍රියාකාරීන්ගේ භූමිකාව ඉතා වැදගත්. කාන්තාවන්ගේ නිදහස උල්ලංඝණය වීම් හමුවේ ජාත්‍යන්තර අවධානය ඇෆ්ගනිස්ථානයට එල්ල කරමින් තලිබාන් පාලනය යම් පීඩනයකට යටත් කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබෙනවා.

 තවදුරටත් ඇෆ්ගනිස්ථානය තුළ ආයුධවලින් කරන බල අරගලයකට වඩා දේශපාලනික බල අරගලයකට පසුබිමක් සැකසෙමින් තිබෙන බවයි පෙනෙන්නේ. ඒ නිසා ඉතිහාසයේ සඳහන් මලාලායිගේ ශක්තිය ඇෆ්ගන් කතුන්ගේ සිත් තුළ ඇති වේවායැ යි සිතමු. ඒ ආයුධවලින් කරන සටනක් සඳහා නොව හුදෙක් මතවාදී අරගලයක් උදෙසා යි.

කවරයේ ඡායාරූපය : කාබුල්හි ශාලාවකට රැස්වූ ඇෆ්ගන් කාන්තාවන් අමතමින් සමාජ සේවිකාවක් - Getty images

මූලාශ්‍ර:

 www.bbc.com/sinhala

 news.trust.org 

 news.trust.org 

 tolonews.com

 www.news18.com 

 www.vox.com

Related Articles