Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

G7 සංවිධානයේ තෙල් මිල පාලනයෙන් රුසියාව ලිස්සා යයි ද?

G7 සංවිධානය, ඕස්ට්‍රේලියාව හා යුරෝපීය සංගමය, රුසියානු  බොරතෙල් බැරලයක මිල සීමාව එක්සත් ජනපද ඩොලර් 60කට සිමා කර තිබෙනවා. ඒ  යුක්රේනයට එරෙහි යුද්ධයට බලශක්ති විකුණුම් හරහා මුදල් උපයා ගැනීමට රුසියාවට ඇති හැකියාව මැඬ පැවැත්වීමේ අරමුණෙන්. 

2022  වර්ෂයේ දෙසැම්බර මාසයේ මුල රැස් වූ G7 සංවිධානය මේ බව ප්‍රකශ කර තිබෙනවා. පෝලන්තය සිය සහාය ලබා දීමෙන් පසු  යුරෝපා සංගමය ද මේ මිලට පසු ව එකඟ වූවා. ඔස්ට්‍රේලියාව ද ඒ සඳහා එකඟවීමත් සමඟ 2022 වසරේ දෙසැම්බර් 5 දින සිට මෙය ක්‍රියාත්මක වෙනවා.

මෑතකදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 100 ඉක්මවා ගිය අතර මේ වන විට ද බොරෙතෙල් බැරලයක මිල සාමාන්‍යයෙන් ඩොලර් 80ක මට්ටමක පවතිනවා.

මෑතකදී ලෝක වෙළෙදපොළේ තෙල් බැරලයක මිල වෙනස් වූ අන්දම, යුක්රේන හා රුසියා අර්බුදය මෙන් ම කොවිඩ් වසංගතය හේතුවෙන් වාර්තාගත මිලක් දකින්න ලැබෙනවා – www.statista.com

G7 සංවිධානයේ මිල රුසියාව පිළිගන්නේ නෑ 

ලෝකයේ ප්‍රබල ආර්ථික රටා හිමි රටවල් හතක් එකතු වී නිර්මාණය කර ගත්, මූලිකව ම වෙළෙඳාම අරමුණු කර ගත් සංවිධානයක් ලෙස G7 හැඳින්විය හැකි යි. ඊට අමතර ව සංවිධානයේ සාමාජිකයෙක් ලෙස යුරෝපා සංගමය ද  එයට සහභාගි වෙනවා. කැනඩාව, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ජපානය, ඉතාලිය හා එක්සත් රාජධානිය එම රටවල් හත යි. ඔවුන් සමඟ එකතු වී ඔස්ට්‍රේලියාව හා යුරෝපා සංගමය ලබා දුන් මේ මිල සීමාව තමන් නොපිළි ගන්නා බව රුසියාව මේ වන විට දැනුම් දී තිබෙනවා.

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) කියා සිටින්නේ රුසියාවට මේ මිල සීමාව පිළිගැනීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව යි.  නිශ්චිත ප්‍රතිචාරයක් තීරණය කිරීමට පෙර තත්වය තවත් විශ්ලේෂණය කිරීමට අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරනවා. තව දුරටත් අදහස් දක්වන ඔහු, G7 කණ්ඩායම තමන්ගේ ම බලශක්ති ආරක්ෂාව අනතුරේ හෙළා ගන්නා බවත්  එය වෙළෙඳපොළේ නීති සෘජු ව උල්ලංඝණය  කිරීමක් බවත් ප්‍රකාශ කරනවා.

පුටින් හා දිමිත්‍රි – kesq.b-cdn.net

රුසියාව මිල සීමාවක් යටතේ කිසිසේත් ම තෙල් අලෙවි නොකරන බවත්, එම පියවර ක්‍රියාත්මක කරන ජාතීන්ට එරෙහි ව පළිගන්නා බවත් පුටින් ප්‍රකාශ කරන්නේ මෙම නිවේදනය ලැබීමටත් මාස කීපයකට ප්‍රථම ව යි.

මිල සීමාවක් ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු

මෙම මිල සීමා කිරීම යටතේ අරමුණු තුනක් සාක්ෂාත් කර ගැනීමට G7 සංවිධානය, ඕස්ට්‍රේලියාව හා යුරෝපීය සංගමය උත්සාහ කරනවා. තුන්වන ලෝකයේ රටවලට අපනයනය කිරීම සඳහා රුසියානු බොරතෙල් හා ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා නිශ්චිත මිල සීමාවක් ස්ථාපනය කිරීම,  බලශක්ති මිල මත යෙදෙන ඉහළ පීඩනය අඩු කිරීම හා රුසියාවේ ආදායම අඩු කිරීම යි.

රුසියාවේ ආදායම අඩු කිරීම මඟින් යුද්ධයට රුසියාව යොදවන මුදල් ප්‍රමාණය අඩු කරවීමට මේ ඔස්සේ G7 සංවිධානය, ඕස්ට්‍රේලියාව හා යුරෝපීය සංගමය උත්සාහ කරනවා. යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen පවසන්නේ මිල සීමාව රුසියාවේ ආදායම සැලකිය යුතු ලෙස අඩු කරනු ඇති බව යි.

ලෝක ඛණිජ හා බොරතෙල් වෙළඳපොලේ ක්‍රියාකාරිත්වය  මත මෙම මිල සීමා යාන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය සෑම මාස දෙකකට වරක් සමාලෝචනය කිරීමට ද  රටවල් තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් රුසියානු බොරතෙල් හා ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (International Energy Agency) නිකුත් කරන දත්ත මත පදනම්ව සාමාන්‍ය වෙළෙඳපොළ මිලට වඩා අවම වශයෙන් 5% ට වඩා අඩුවෙන් මිල නියම කිරීමට ද ඔවුන් එකඟ වෙනවා.

යුරෝපා කොමිසමේ සභාපති Ursula von der Leyen – www.theparliamentmagazine.eu

යුරෝපා වෙළෙඳපොළේ රුසියානු තෙල් තහනම 

යුරෝපා සංගමයේ රටවල් මේ වසරේ දෙසැම්බර් 5 වැනි දා සිට මුහුදු මඟින් ආනයනය කරන රුසියානු බොරතෙල් මිලදී ගැනීම නවත්වන්නට තීරණය කර තිබෙනවා. රුසියානු පිරිපහදු කළ තෙල් නිෂ්පාදන මුහුදු මඟින් මිලදී ගැනීම ද ලබන වසරේ පෙබරවාරි 5 සිට අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. හංගේරියාව සහ ස්ලෝවැකියාව වැනි සමහර යුරෝපීය රටවල් නළ මාර්ගයෙන් පමණක් තෙල් ආනයනය කරන බැවින් ඔවුන් ද එයින් ඉවත්වනු ඇති. එක්සත් රාජධානිය මේ වන විටත් රුසියානු තෙල් ආනයනය නවත්වා තිබෙනවා.

ඉහත සඳහන් ආකාරයට රුසියානු බොරතෙල් සඳහා යුරෝපා සංගමය පනවා ඇති තහනමෙන් පසු ගෝලීය තෙල් මිල ඉහළ යාම වළක්වා ගනිමින් තෙල් විකිණීමෙන් රුසියාවේ ආදායම අඩු කිරීම G7 තවත් අදහසක්.

යුරෝපය, රුසියාවේ හොඳම බලශක්ති ගනුම්කරුවෙක් – static.euronews.com

අමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාවරය 

“යුක්රේන සිවිල් වැසියන් මරා දමන යුද යාන්ත්‍රණයකට දිගට ම අරමුදල් සැපයීමට හැකි වන පරිදි තෙල් වෙළෙඳපොළෙන් ලාභ ලැබීමේ පුටින්ගේ හැකියාව මේ තීරණයත් සමඟ අභියෝගයට ලක්වනු ඇති. රුසියාවේ බලශක්ති ආදායම අඩපණ කිරීම රුසියාවේ යුද යාන්ත්‍රණය නැවැත්වීම  සඳහා ගත යුතු ප්‍රධාන ම පියවර යි. මෙම ක්‍රියාමාර්ගයෙන් රුසියාව යුද්ධය සඳහා යොදන අරමුදල් ඩොලර් බිලියන 2 දක්වා අඩු කළ හැකි යි, මෙම මිල සීමාව නැඟී එන හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට සෘජුවම ප්‍රතිලාභ ලබා දෙනු ඇත” යනුවෙන් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ  ප්‍රකාශක ජෝන් කර්බි (John Kirby) ප්‍රකාශ කරනවා.

රුසියානු ජනාධිපතිවරයා යුද්ධය අවසන් කිරීමට මාර්ගයක් සොයන්නේ නම් එන සඳහා තම සහයෝගය ලබාදෙන බව එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. දින කිහිපයකට පසු ව ඉන්ධන මිල සීමා තීරණය කිරීමෙන් පසුව ධවල මන්දිරය ක්‍රෙම්ලිනය සමඟ සාකච්ජා සඳහා සුදානම් නොමැති බව නැවත ප්‍රකාශ කර තිබෙනවා.

රුසියා -යුක්රේන යුද්ධය අවසන් වන ලකුණක්වත් දැනට පෙනෙන්නට නැත – Chris McGrath/Getty Images

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්  අවධාරණය කරන්නේ ජනාධිපති පුටින් සාකච්ඡා සඳහා විවෘත ව සිටින නමුත් රුසියානු පාලනය ප්‍රථමයෙන් යුක්රේනයෙන් සිය හමුදා ඉවත් කර ගත යුතු බවට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල ඉල්ලීම කිසිසේත් ම පිළිගත නොහැකි බව යි.

කවරයේ ඡායාරූපය - ATTILA KISBENEDEK/AFP via Getty Images
මුලාශ්‍ර:
www.aljazeera.com
www.business-standard.com
www.nbcnews.com

Related Articles