Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඝානිම් අල් මුෆ්ටාහ්: කටාර් පාපන්දු ලෝක කුසලානයේ අමතක නොවන මතකය

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මේ වනවිට වැදගත් සංධිස්ථානයකට පැමිණ අවසන්. බලවත් සහ ජනප්‍රිය පාපන්දු කණ්ඩායම් කිහිපයක් තරගාවලියෙන් ඉවත් වූ අතර, එතරම් බලාපොරොත්තු තබා නොගත් ඇතැම් කණ්ඩායම් අනපේක්ෂිත ජයග්‍රහණ ලබා ගනිමින් තරගාවලියේ උණුසුම තවදුරටත් තීව්‍ර කළා.

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තරමක ආන්දෝලනයක් ද ඇති වුණා. ඒ සියලු විවේචනවලට සමාරම්භක උත්සවයේ සිට නිහඬ ව පිළිතුරු සපයමින් කටාර් රාජ්‍යය මේ දක්වා සාර්ථක අන්දමින් තරගාවලියේ ජීව ගුණය රැක ගත්තා. දැන් ඔවුන්ට ඉතිරි ව ඇත්තේ අවසාන මහා තරගය සාර්ථක ව පවත්වමින් තවත් අසිරිමත් පාපන්දු ලෝක කුසලානයක මතකය ලෝකයට තිළිණ කිරීම පමණ යි.

https://www.youtube.com/watch?v=A3UHm7NUDag
ඝානිම් අක් මුෆ්ටාහ් සහ මෝගන් ෆ්‍රීමන් අතර සිදුවන සංවාදය – www.youtube.com

 සුවහසක් ප්‍රේක්ෂකයන් අවසාන මහා තරගයට සූදානම් වෙද්දී රෝ‍ර් සිංහල අපි, නැවතත් ඔබ එහි අතීතය ඔස්සේ සමාරම්භක උළෙලේ එක් වැදගත් අවස්ථාවක් වෙත ගෙන යනවා. මෙවර පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල ඔබ නරඹා තිබේ නම්, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී මෝගන් ෆ්‍රීමන් ගේ ඉදිරිපත් කිරීම මතක ඇති. ඔහුත් සමඟ තවත් එක සුවිශේෂී චරිතයක් එහි සිටියා.

ඒ තමයි ඝානිම් අල් මුෆ්ටාහ්. බැලූ බැල්මට ම ඝානිම් ගේ මුළු ජීවිතය ම අභියෝගයක් සේ පෙනුණත්, ඔහු මුළු ලෝකයට ම අභියෝග කරන අන්දමේ ධෛර්යයක් ඇති තරුණයෙක්. කටාර් ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාව වෙනුවෙන් ඔහුට ඉඩක් වෙන් කර දීමට තරම් ඒ ධෛර්යය කටාර් රාජ්‍යයට වැදගත් වුණා! 

අද වනවිට පැති ගණනාවක් ඔස්සේ “ඝානිම් අල් මුෆ්ටාහ්” යන චරිතය හඳුනා ගත හැකි යි – www.gettyimages.com

ජීවිතයට අභියෝග කළ ඝානිම්

2002 වර්ෂයේ මැයි පස් වැනිදා උපත ලැබූ ඝානිම් අල් මුෆ්ටාහ්, “Caudal Regression Syndrome (CDS)” ලෙස හඳුන්වන දුර්ලභ ජානමය තත්ත්වය සමඟ ජීවත් වන්නෙක්. CDS තත්ත්වය සමඟ ඉපදුණු ළදරුවකු ගේ ශරීරයේ පහළ කොටස අක්‍රමවත් වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, එවන් අය ශරීරයේ පහළ කොටස නොමැති ව උපත ලද දරුවෙක් ලෙසයි පෙනෙන්නේ.

ඝානිම් අල් මුෆ්ටාහ් – ghanimalmuftah.org

 මෙවැන්නකුට රෝද පුටුවක් භාවිතා කරමින් එදිනෙදා කටයුතු වල නියැලීමේ හැකියාවක් තිබුණත්, ඝානිම් බොහෝවිට රෝද පුටුව භාවිත කරන්නේ නැහැ. ඔහු තම අත්වලින් වාරුව ගෙන සංචරණයේ යෙදෙනවා. තමාට නොමැති දේ කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා තමාට ලැබී ඇති සියලු දේ භාවිත කරමින් ජීවිතය ගෙන යෑම වැදගත බව ඝානිම් තදින් ම විශ්වාස කරන සත්‍යයක්. ඒ සත්‍යය ඔහු ගේ ජීවිතයට විශාල විවිධත්වයක් සහ ජයග්‍රහණ අත්කර දී තිබෙනවා. 

ඝානිම් සිය සොහොයුරු අහමඩ් අල් මුෆ්ටාහ් සමඟ – www.khaleejtimes.com

ඝානිම් පිළිසිඳගත් පසු ඒ කළලය ගබ්සා කරන ලෙස ඝානිම් ගේ මාපියන්ට බොහෝදෙනෙක් යෝජනා කර තිබුණා. ඔහුගේ ආබාධිත බව විශාල දුකක් වනු ඇතැයි ඇතැමුන් සිතූ නමුත්, ඝානිම් ගේ මාපියන් අනාගතයේ එළඹීමට නියමිත දුෂ්කර කාලපරිච්ඡේදයට නිර්භීතව ඇතුළු වීමට තීරණය කළා.

“මම ඔහු ගේ වම් පාදය වන්නම්. ඔබ ඔහුගේ දකුණු පාදය වන්න.”

ඝානිම් ගේ මාපියන් එකඟතාවයට පැමිණියේ එලෙසින්.

දුෂ්කර වූ ආරම්භය

ඝානිම් ගේ ළමා අවධිය දුෂ්කර වූයේ ශාරීරික ව පමණක් ම නොවෙ යි. ඔහු මානසිකවත් පීඩාවට පත් වුණා. පන්තියේ මිතුරන්ගේ උසුළු විසුළු කිරීම් සහ හිරිහැර කිරීම් හේතුවෙන් ආරම්භයේ දී ඔහුට පාසල් යෑමත් දුෂ්කර වුණා. කෙසේ නමුත්, ඔහු ගේ මව ඉතා ඉවසීමෙන් පාසල සමඟ කටයුතු කළ බව පැවසෙනවා. පන්තියේ ළමයින් සමඟ සාකච්ඡා කරන ලෙසත්, තමාගේ තත්ත්වය ඔවුන්ට උගන්වන ලෙසත්, ඝානිම් ගේ මව ඔහුට උපදෙස් දුන්නා. එතැනින් නොනැවතී ප්‍රජාව දැනුම්වත් කිරීම දක්වා සිය දරුවාගේ පෞරුෂය වර්ධනය කිරීමට ඇය උත්සහ ගත්තා.

සමාරම්භක උළෙලේ අවස්ථාවක් – www.facebook.com

එතැන් පටන් සිය ශාරීරික අපහසුතා අභිබවා යමින් ඝානිම් විශාල ආත්ම ශක්තියකින් යුතු ව අධ්‍යයන කටයුතු සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල නිරත වුණා. අද වනවිට පැති ගණනාවක් ඔස්සේ “ඝානිම් අල් මුෆ්ටාහ්” යන චරිතය හඳුනා ගත හැකි යි. විටෙක ඔහු අභිප්‍රේරණ කථිකයෙක්, තවත් විටෙක මිලියන ගණනක රසික පදනමක් ගොඩ නඟා ගත් සමාජ මාධ්‍ය තරුවක්. ඒ සියල්ලට ම ඉහළින් ඔහු සාර්ථක තරුණ ව්‍යවසායකයෙක් ලෙස ප්‍රගතියක් ලබමින් සිටිනවා.

ක්‍රීඩාවට ළැදි ඝානිම්

ඝානිම් සිය දින චර්යාව ගත කරන අන්දම විමසා බැලීමේ දී ඔහු සාමාන්‍ය අන්දමින් ඉපදුණු කෙනකුටත් වඩා ක්‍රියාශීලි බව පෙනී යනවා. Scuba diving, කඳු තරණය, පාපන්දු, අයිස් හොකී, පිහිනීම සහ දුනු ශිල්පය වැනි ක්‍රීඩා රාශියක ඔහු නියැළෙනවා. 2017 ද තම ආධ්‍යාත්මික ජීවිතයේ සොඳුරුත ම අත්දැකීම ලබා ගනිමින් සිය මක්කම වන්දනාව සම්පූර්ණ කිරීමට ඝානිම් සමත් වුණා.

ඉන් අවුරුදු දෙකකට පසු අත් පා නිරෝගී ව තිබෙන පුද්ගලයකුට පවා මුහුණ දීමට අපහසු අභියෝගයක් ජය ගැනීමට ඝානිම් සැලසුම් සකස් කළා. අරාබි අර්ධද්වීපයේ උස ම කඳුවලින් එකක් වන ජෙබෙල් ෂැම්ස් කන්ද තරණය කිරීම ඒ අභියෝගය යි. අඩි 9500 ත් වඩා උස එම කන්ද තරණය කිරීමට ඔහු සමත් වූ අතර, ඝානිම් ගේ ශාරීරික තත්ත්වය සැලකීමේ දී එය භයානක ක්‍රියාවක් ලෙසත් පෙනෙන්න තිබුණා. 

අභියෝගාත්මක ජීවිතයක් ගත කළ ද ඝානිම් සිය කුසලතා දියුණු කර ගැනීමට එය බාධාවක් කරගත්තේ නැහැ – www.onmanorama.com

ඝානිම් සිය අරමුණු හඹායෑම පමණක් සිදු කරන තරුණයෙක් නොවෙයි. ඔහු හොඳ සමාජ සේවකයෙක්. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට උපකාර කිරීම සඳහා පුණ්‍යායතනයකට නායකත්වය ලබාදීමත් ඔහු සිදු කරනවා.

“මං අන් අය ගැන සැලකිලිමත්. එය මානුෂීය සහ සදාචාරාත්මක යුතුකමක් ලෙස මා සලකනවා.”

ඒ ඝානිම් ගේ වචන යි.

පැරාලිම්පික් ක්‍රීඩයෙක් වීමේ සිහිනයක්

වයස අවුරුදු 13 තරම් කුඩා අවධියේ සිට ම ඔහු මානව හිතවාදී ව්‍යාපාරවල ප්‍රබල චරිතයක් ලෙස ඉස්මතු වුණා. උදාහරණයක් ලෙස “Reach Out To Asia (ROTA)”සංවිධානය පලස්තීනයේ සරණාගත දරුවන් සහ තරුණයන් සවිබල ගැන්වීමේ වැඩසටහනක තානාපති ලෙස ක්‍රියා කිරීමේ අවස්ථාව ඝානිම්ට හිමි වුණා. වැඩසටහන යටතේ ඔහු ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක් වෙත පැමිණි අතර, ළමයින් පන්දහසකට උපකාර කිරීම සඳහා නව ක්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ වුණා.

ඝානිම් අල් මුෆ්ටාහ් FIFA22 සමාරම්භක උළෙලේ දී- www.gettyimages.com

 මේ තරුණ මානව හිතවාදියාට කෙදිනක හෝ පැරාලිම්පික් ක්‍රීඩයෙක් වීමේ සිහිනයක් ද තිබෙනවා. පැරාලිම්පික් ලෝක ශූරයන් හමු වෙමින් ඔහු තම සිහිනයට අවැසි අභිප්‍රේරණය ලබා ගන්නවා.

ක්‍රීඩාවට ඇති ළැදියාව, සමාජ සේවා කටයුතු, ව්‍යවසායකත්වය, ජීවන දර්ශනය සහ සමාජ මාධ්‍ය තුළ අත්කර ගෙන තිබෙන ජනප්‍රියත්වය සැලකිල්ලට ගනිමින් නටාරයේ පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නිල තානාපතිවරයෙක් වීමේ අවස්ථාව ඝානිම් අල් මුෆ්ටාහ්ට හිමි වුණා. එහිදී ඩේවිඩ් බෙකම් වැනි පාපන්දු ක්‍රීඩාවේ මහා පතාකයන් සමඟ කටයුතු කරමින් තම දේශයේ කීර්තිය ඉහළට ම ගෙන යෑමය ඝානිම් කටයුතු කළා.

පාපන්දු ලෝක කුසලානයේ දී සිය මව්රට ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් ඝානිම්ට පැවරුණා – www.lboro.ac.uk

කුඩා වයසක දී අරමුණු රාශියක් මුදුන්පත් කරගත් පුද්ගලයෙක් වුවත්, ඝානිම් ගේ සිහින දැකීම තව ම අවසාන වී නැහැ. ආබාධිත පුද්ගලයන් මුහුණ දෙන බාධක තවදුරටත් බිඳ දැමීමේ අරමුණුවල සිට අනාගතයේ දවසක රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වීම දක්වා වූ ජීවන ඉලක්කයක් ඔහුට තිබෙනවා. ඒ සඳහා දේශපාලනය හැදෑරීමේ අවශ්‍යතාවක් මතු වූ බැවින්, ඝානිම් එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වුණා. විශ්ව විද්‍යාලය තුළ පවා ඔහු ජනප්‍රිය චරිතයක් වූයේ නිරායාසයෙන්ම යි. 

ඉවසීම සහ ගරු කිරීම

ජීවිතයේ සියලු අභියෝග සාර්ථක ව ජයග්‍රහණය කරමින් සිටියත්, ඝානිම් මුහුණ දෙන එක් ප්‍රබල ගැටලුවක් තිබෙනවා. පුළුල් වෛද්‍ය මැදිහත්වීම්, වෛද්‍ය උපදෙස් සහ සැත්කම් ඔහු ගේ ජීවිතයේ කොටසක් බවට පත් වී අවසන්. යම් යම් දුෂ්කරතා ඔහු  ඉදිරියේ තිබුණත්, කැප වීමෙන් සහ වෙහෙස මහන්සියෙන් සිය අභිලාෂ ඉටුකර ගැනීමේ පූර්ණ නිදහස ඝානිම්ට ආදරය දක්වන්නන් ලබා දී තිබෙනවා. කටාර් සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනයා ගේ ආදරය, ගෞරවය සහ ප්‍රශංසාව ලබමින් ඔහු ඉදිරියටත් ජීවිතයේ ඇති ආශ්චර්යය අත්දකීවි.  

වයසින් කුඩා වුව ද ඝානිම් ට ඇත්තේ පුළුල් ජීවන දැක්මක් – www.newsdelivers.com

ඝානිම්: “මිනිසුන් ජාතීන් සහ ගෝත්‍ර වශයෙන් මේ පෘථිවි තලය පුරා විසිරී සිටින බව විශ්වාස කරමින් අප හැදී වැඩුණා. එකිනෙකා ගෙන් ඉගෙන ගනිමින් අප අතර පවතින වෙනස්කම්වල සුන්දරත්වය සොයා ගැනීමටත් එමඟින් අවස්ථාව උදා වුණා.”

මෝගන් ෆ්‍රීමන්: “මට ඒක පේනවා. මේ මොහොතේ අප එක්සත් කරන දෙය අප බෙදා වෙන්කරන දෙයට වඩා විශාල යි. අදට පමණක් සීමා නොවී මේ මොහොත දිගු කාලයක් අපි පවත්වා ගෙන යන්නේ කෙසේ ද?”

ඝානිම්: “ඉවසීම සහ ගරු කිරීම. අපිට විශාල නිවසක් යට එකට ජීවත් වෙන්න පුළුවන්. කොතන ගොඩනැඟුවත් ඒ තමයි අපේ නිවහන. අපි ඔබ මෙහි කැඳවන විට, අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා!”

පාපන්දු ලෝක කුසලාන සමාරම්භක උළෙලේ මෝගන් ෆ්‍රීමන් සහ ඝානිම් අතර සිදු වූ නිර්මාණාත්මක සංවාදයේ කුඩා කොටසක් තමයි ඉහත දැක්වෙන්නේ. සංවාදයෙන් ඉස්මතු කරන පුළුල් දැක්ම ඝානිම් ගේ ජීවන රටාව සමඟත් බද්ධ වී තිබෙන අයුරු සත්‍ය වශයෙන් ම දැකිය හැකි යි.

කවරයේ ඡායාරූපය: පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උත්සවය වෙනුවෙන් ඉදිරිපත් කිරීමක් කළ ඝානිම් සහ මෝගන් ෆ්‍රීමන් - www.thenationalnews.com

මූලාශ්‍ර:
Ghanimalmuftah.org
www.dailymail.co.uk
ducationaboveall.org

Related Articles