Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“Harry & Meghan”: රජ පවුල දෙදරවන Netflix කම්පන තරංගය

මේ දිනවල Netflix ඔස්සේ නිකුත් වූ එක්තරා පූර්ව ප්‍රචාරක පටයක් යම් ආන්දෝලනයකට හේතු වී තිබෙනවා. නොබෝ දිනකින් Netflix ඔස්සේ බෙදා හැරෙන “Harry & Meghan” වාර්තා වැඩසටහන සඳහා නිර්මාණය වූ ඒ පූර්ව ප්‍රචාරක පටය පුරා හැරී සහ මේගන් ගේ අප්‍රකට ඡායාරූප රැසක් දැකගත හැකි යි.

“Harry & Meghan” වාර්තා වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටය – www.youtube.com

බ්‍රිතාන්‍ය රජ පවුලේ ජනප්‍රියත ම යුවළ හැරී සහ මේගන් යැයි පැවසුවහොත්, එය අතිශයෝක්තියක් නොවෙ යි. මේගන් හමුවූ දා පටන් පුවත් මවන ආන්දෝලනාත්මක චරිතයක් වූ හැරී, සිය පෞද්ගලික ජීවිතය වෙනුවෙන් රාජකීය වගකීම් පවා අතහැරියා.

ඉන්පසු දිගින් දිගට ම ඔවුන් පෞද්ගලික ජීවිතයේ අප්‍රකට සිටීවියැ යි අනුමාන කළත්, නිකුත් වීමට නියමිත වාර්තා වැඩසටහනට අනුව පෞද්ගලික කාරණා රැසක් ඔවුන් එහිදී අනාවරණය කිරීමට නියමිත යි.

“කවුරුවත් දන්නේ නැහැ සම්පූර්ණ සත්‍යය. ඒත්, අපි දන්නවා!” ආන්දෝලනාත්මක Netflix වාර්තා වැඩසටන නිකුත් වීමට සියලු කටයුතු සූදානම් – dunyanews.tv/en

වැසුණු දොරට පිටුපසින්..

එමී සම්මානලාභී ලිස් ගාර්බස් අධ්‍යක්ෂණය කළ “Harry & Meghan” වාර්තා වැඩසටහන කොටස් හයකින් යුක්ත යි. වාර්තා වැඩසටහනෙන් හැරී සහ මේගන් ප්‍රේම සබඳතාවේ මුල් අවධිය, ඔවුන් මුහුණ දුන් බාධා සහ රාජකීය පවුලේ “ජ්‍යෙෂ්ඨ වැඩ කරන සාමාජිකයන්” යන තත්ත්වයෙන් විතැන් වීමට ඔවුන් පෙලඹුණු ආකාරය විස්තර වනු ඇති.

වසා දැමූ දොරවල් පිටුපස සිදුවූයේ කුමක්දැයි කිසිවෙක් නොදකිනු ඇත.”

කවුරුවත් දන්නේ නැහැ සම්පූර්ණ සත්‍යය. ඒත්, අපි දන්නවා!”

පූර්ව ප්‍රචාරක පටයේ දී හැරී කුමරු මෙවැනි වදන් පවසන අයුරුත් දැකගත හැකි යි.

හැරී සහ මේගන් ගේ අප්‍රකට ඡායාරූප රැසක් මේ වාර්තා වැඩසටහන නිසා ප්‍රසිද්ධියට පත් වුණා – www.thenationalnews.com

වාර්තා වැඩසටහනේ හරය

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් මෙවැනි අතිශය පෞද්ගලික ව්‍යාපෘතියකට සහභාගී වීම සම්බන්ධයෙන් දැනටමත් බ්‍රිතාන්‍ය ජනයා චෝදනා නඟමින් සිටිනවා. හැරී සහ මේගන් සිය රාජකීය තත්ත්වයෙන් ලාභ ඉපයීමේ උත්සාහය පිළිබඳ නැඟෙන චෝදනාව ඒ අතරින් ප්‍රමුඛ යි.

වාර්තා වැඩසටහනට සහාය දැක්වීම වෙනුවෙන් හැරී සහ මේගන් යුවළට අමෙරිකානු ඩොලර් මිලියන සියයක් ගෙවා ඇතැයි යන කටකතාව පැතිර යන්නේත් එහි ප්‍රතිපලයක් වශයෙන්. මේ සිදුවීම හරහා බ්‍රිතාන්‍ය රජ පවුල යම් ආතතියකට යටත් වී ඇති බවත් සඳහන්.  

අනපේක්ෂිත සංවේදී අවස්ථා – www.koimoi.com

Netflix ආයතනය, වාර්තා වැඩසටහනේ හරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් පවා නිකුත් කර තිබෙනවා. එහි සරල අදහස මෙසේ යි.

“ඔවුන් ගේ සබඳතාව වෙනත් බොහෝ අය මෙන් සාමාන්‍ය යි. ඔවුන් මුණගැසුණා, දෙදෙනා ගේ ප්‍රේමවෘතාන්තය සුළි කුණාටුවක් ඇති කළා, ආදරයෙන් බැඳුණා, විවාහ වුණා, දරුවන් ලැබුණා, එකිනෙකා ගේ වටිනාකම් සහ අන්‍යෝන්‍ය සහයෝගය මත පදනම්ව ජීවිතයක් ගොඩ නඟා ගත්තා. නමුත්, සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සාමාන්‍ය යුවළක් නොවෙ යි. ඔවුන් ගේ කතාව ඉතිහාසයේ වඩාත් අවධානයට පාත්‍ර වූ ප්‍රේම කතාවලින් එකක් වන අතර, හැරී-මේගන් ආදර කතාවේ ප්‍රබලත ම රසිකයන් පවා මෙවැනි දෙයක් පවසන අයුරු අප අසා නැහැ!”  

වෙළුම් දෙකක වැඩසටහනක්

හැරී-මේගන් සබඳතාව පිළිබඳව මින් පෙර කිසි දිනෙක ප්‍රසිද්ධියේ කතා නොකළ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡා වාර්තා වැඩසටහනට ඇතුළත් වනු ඇති. ඉතිහාසඥයන් සහ මාධ්‍යවේදීන්ටත් වැඩසටහනින් ඉඩක් වෙන් වෙනවා. ඒ, හැරී-මේගන් සබඳතාවට සහ ඔවුන් ගේ රාජකීය පසුබිමට මාධ්‍ය වෙතින් එල්ල වූ බලපෑම පැහැදිලි කිරීම සඳහා යි. 

“කවුරුවත් දන්නේ නැහැ සම්පූර්ණ සත්‍යය. ඒත්, අපි දන්නවා!” – www.nottinghampost.com

හැරී-මේගන් ප්‍රේම වෘතාන්තයේ නොදත් කරුණු සහ ඔවුන් රජ පවුලේ වගකීම් අතහැරීම පිටුපස තිබූ සැබෑ බලපෑම සම්පූර්ණයෙන් ම දැන ගැනීමට නම් අපට දෙසැම්බර් 15 වැනිදා තෙක් ඉවසීමට සිදු වෙනවා. දෙසැම්බර් 08 වැනිදා වාර්තා වැඩසටහනේ පළවෙනි වෙළුම (1, 2, සහ 3 කොටස්) නිකුත් වන අතර, දෙවැනි වෙළුම (4, 5 සහ 6 කොටස්) දෙසැම්බර් 15 වැනිදා නිකුත් වීමට නියමිත යි. එතෙක්, හැරී-මේගන් සබඳතාව ගැන ලෝකය දන්නා කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කරමු.

ඔවුන් හමු වූ හැටි

හැරී සහ මේගන් මුලින් ම එකිනෙකා හඳුනා ගත්තේ 2016 ජූලි මාසයේ දිනයක දී යි. දෙදෙනා ම හඳුනන මිතුරෙක් මා‍ර්ගයෙන් ඔවුන් එකිනෙකා දැන හැඳිනගත් බව යි පැවසෙන්නේ. ලෝක ප්‍රසිද්ධ චරිතයක් වුවත්, පළමු හමුවීමේ දී හැරී කුමරු කවුරුන්ද යන්න වග මේගන් මාර්කල්ට එතරම් අවබෝධයක් තිබුණේ නැහැ.

“මං එක්සත් ජනපදයේ උපන් කෙනෙක්. එක්සත් ජනපදයේ උපන් කෙනෙක් රජ පවුල ගැන එතරම් අවබෝධයකින් වැඩෙන්නේ නැහැ.”

සිය අනවබෝධය ගැන මේගන් පවසා තිබුණේ එවැන්නක්.

“මං එයා ගැන වැඩි යමක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඇයට (හැරී සහ මේගන් ගේ අන්‍යෝන්‍ය මිතුරිය) අප එකිනෙකා මුණ ගැස්වීමට අවශ්‍යයැ යි පැවසූ විට මං ඇහුවේ එකම එක දෙය යි. මං ඇහුවා ඔහු ප්‍රියමනාප කෙනෙක් ද කියලා. ඔහු කරුණාවන්ත කෙනෙක් නොවෙයි නම්, ඒක තේරුමක් නැති හමුවීමක්.”

හැරී-මේගන් යනු මෑත ඉතිහාසයේ ජනප්‍රියම ප්‍රේම සබඳතා වලින් එකක් – www.elle.com

මේගන් ගේ සැකය ඉක්මනින් ම දුරු වුණා. දෙවැනි හමුවීමකට සැලසුම් ඇඳෙන තරමට ම ඔවුන් ගේ අදහස් පහසුවෙන් ගැළපුණු අතර, දෙවැනි හමුවීමෙන් සති කිහිපයකට පසු අප්‍රිකාවේ සංචාරයක් සඳහා හැරී ගෙන් මේගන්ට ආරාධනා ලැබුණා.

“බොට්ස්වානාවට පැමිණ මා හමුවන ලෙසට ඇය කැමති කරවාගන්න මට පුළුවන් වුණා. අපි තරු පිරි අහස යට කඳවුරු බැඳ ගත්තා. එකිනෙකාට විවෘත වෙන්න, දැන හඳුන ගන්න, ඕනෑ තරම් අවකාශ ඇති බවට සහතික කර ගැනීම අපට ඉතා වැදගත් වුණා.”

ලෝකය හමුවට..

මාස හතරක් පමණ නිහඬ ව ගෙවුණු හැරී-මේගන් සබඳතාව, මාධ්‍ය මඟින් ලෝකයට 2016 ඔක්තෝබර් 31 වැනිදා නිරාවරණය වුණා. ඉන්පසු “හැරී කුමරු අමෙරිකානු නිළියක් සමඟ ප්‍රේම සබඳතාවක පැටලී ඇතැයි” යන පුවත ලෝකය පුරා ප්‍රචලිත වීම ඇරඹුණා.

යෝර්ක් නිවසේ සිටි සේවකයෙක් හරහා හැරී-මේගන් පුවත මාධ්‍යට නිරාවරණය වූ බවයි පැවසෙන්නේ. පුද්ගලිකත්වයෙන් පිරි මාස කිහිපය ඉතා හොඳින් ගත වුව ද මාධ්‍යවල ගොදුරක් බවට පත් වූ පසු හැරී සහ මේගන් හමුවේ දුෂ්කර කාලපරිච්ඡේදයක පෙර නිමිති පහළ වුණා.

හැරී-මේගන් යුවළ ගේ ජනප්‍රිය ඡායාරූපයක් – www.townandcountrymag.com

2016 නොවැම්බර් මාසය වනවිට විධිමත් ප්‍රකාශනයක් මඟින් මේගන් සමඟ ඇති සබඳතාව හැරී තහවුරු කළ අතර, මෙතෙක් සමාජ මාධ්‍ය හරහා තම පෙම්වතියට එල්ල වූ හිරිහැර නවත්වන ලෙස ද ඔහු ඉල්ලීමක් සිදු කළා. මේගන් මාර්කල් නිළියක් බැවින්, මහජන අවධානයට පාත්‍ර වීම සහ සමාජ මාධ්‍යයන් හි ගොදුරක් බවට පත් වීම ඇයට එතරම් පීඩනයක් නොවනු ඇතැයි බොහෝදෙනා අනුමාන කළා. මේගන් පවසන පරිදි ඇය කිසිදා ටැබ්ලොයිඩ් සංස්කෘතියේ කොටසක් බවට පත් වී නැහැ. අවසාන ප්‍රතිපලය ලෙස මේගන්, මාධ්‍යවල ක්‍රියාකලාපය හමුවේ පීඩාවට පත් වුණා.

දුරස්ථ සබඳතාවක් කරා

හැරී සහ මේගන් සම්බන්ධයෙන් පැතිරුණු කටකතා අතර හැරී ගේ වැඩිමහල් සොහොයුරු (විලියම් කුමරු) මේ සබඳතාවට අකමැත්තෙන් සිටි බව ප්‍රචලිත කරුණක්. පසුකලෙක විධිමත් ප්‍රකාශනයක් හරහා එම කටකතා ඉවත් කිරීමට විලියම් කුමරු ක්‍රියා කළා. හැරී කුමරු ගේ පුද්ගලිකත්වය වටහා ගෙන සිටින බවත්, අවශ්‍ය සියලු සහයෝගය දෙපළට ලබා දෙන බවත්, ඔහු පැහැදිලි කර තිබුණා.

දෙවැනි එළිසබෙත් රැජන පවා ඔවුන්ට සහාය දැක්වූ බවයි පැවසෙන්නේ. හැරී සහ මේගන් කෙරෙහි රජ පවුලේ ප්‍රතික්‍රියාව මතුපිටින් සුමට අන්දමින් පෙනුණත්, ඇතුළාන්තයෙන් එසේ නොවූ බවට ඇතැමුන් සැක පහළ කළා. සත්‍ය සහ අසත්‍ය, විශ්වාසනීය සහ සැක කටයුතු කරුණු මැද ඔවුන් දෙදෙනා ගේ ආදර කතාවත් ඉදිරියට ගමන් කළා. 

විලියම් කුමරු සමඟ – www.townandcountrymag.com

මේගන් තමන් දායක විය යුතු නිර්මාණ කටයුතු සඳහා සැලකිය යුතු කාලයක් එක්සත් රාජධානියෙන් පිටත ගත කිරීමට සිදු වුණා. තරගකාරී මෙන් ම කාර්යබහුල ලෝකයේ දුරස්ථ සබඳතාවක් පවත්වා ගැනීම මඳක් අභියෝගාත්මක වුවත්, හැරී සහ මේගන් එම අභියෝගයට සාර්ථක ව මුහුණ දුන්නා. මේගන් මාර්කල් ගේ සාමාන්‍ය ජීවන රටාව සහ වෘත්තීය ජීවිතය ක්‍රමයෙන් වෙනස් වීම ඇරඹුණෙත් මේ අවධියේ දී යි.

 ජීවන රටා මුල් කරගත් සිය වෙබ් අඩවිය වසා දමන බව මේගන් ප්‍රකාශ කළ අතර, බොහෝ අය අනුමාන කළේ රාජකීය සබඳතාව සහ රජ පවුලේ සම්ප්‍රදාය වෙනුවෙන් ඇය කැප කිරීම් සිදු කිරීම අරඹා ඇති බව යි. එක්සත් ජානපදිකයෙක් ලෙස මේගන් සහ එක්සත් රාජධානිය අතර පැහැදිලි සංස්කෘතික වෙනසක් තිබෙනවා. රජ පවුල වෙත ගමන් කිරීමේ දී එම වෙනස තවදුරටත් තීව්‍ර වීම වැලැක්විය නොහැකි යි. මේගන් සමඟ ජීවිතය ගත කිරීම සඳහා හැරී ගත් තීරණය “රැඩිකල්” බව සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේත් ඒ නිසා යි. මේගන් ගේ කාර්යබහුල කාලසටහන, වෙබ් අඩවිය වසා දැමීම සඳහා හේතු වූ බව පසුකලෙක ප්‍රචලිත වුවත්, මිනිසුන් ගේ සැක සාංකා ඉන් දුරු වුණේ නැහැ.

වගකීම් අත් හැරීම

2017 නොවැම්බර් 27 වැනිදා හැරී-මේගන් දෙපළ සිය විවාහ ගිවිස ගැනීම නිවේදනය කළා. විවාහ මංගල්‍යයට මාස කිහිපයකට පෙර පටන් රාජකීය පවුලේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස හැරී සමඟ නිල උත්සවවලට සහභාගී වීමටත් ඇය ක්‍රියා කර තිබුණා. හැරී-මේගන් දෙපළ වින්ඩ්සර් මාලිගයේ දී 2018 මැයි 19 වැනිදා විවාපත් වූ අතර, මිලියන ගණනක ගේ ආකර්ෂණය දිනා ගැනීමට එම විවාහ මංගලෝත්සවය සමත් වුණා.

රාජකීය වගකීම් අතහැරීමත් සමඟ මිශ්‍ර ප්‍රතිචාරවලට මුහුණ දීමට හැරී-මේගන් දෙපළට සිදු වුණා – www.dailymail.co.uk

2020 ජනවාරි මාසය වනවිට සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය, වැඩ කරන රාජකීයයන් ගේ භූමිකාවෙන් ඉවත් වීමට අදහස් කරන බව ප්‍රකාශ කළා. ඕනෑම වෘත්තීය සන්නාමයක් තුළ “රාජකීය” යන වචනය භාවිත කිරීම අත් හරින්නේ නම්, පුද්ගලික ව්‍යාපාර කටයුතු ගෙනයෑමේ අවසරය හැරී සහ මේගන්ට හිමි වෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස පසු කාලයක දී Netflix සහ Spotify සමඟ ගිවිසුම් අත්සන් කිරීමටත්, ලාභ නොලබන “Archewell” ඇතුළු ව්‍යාපෘති ගණනාවක් ඇරඹීමටත් ඔවුන්ට අවකාශ ලැබුණා. හැරී සහ මේගන් සිය නව ජීවිතයට විධිමත් ලෙස සංක්‍රමණය වූයේ 2020 මාර්තු මාසයේ දී යි. කැලිෆෝනියා ප්‍රාන්තයට අයත් සැන්ටා බාබරා හි නව ජීවිතය ඇරඹීමට ඔවුන් තීරණය කළා.

කෙසේ නමුත්, හැරී සහ මේගන් ගේ වගකීම් අත් හැරීම නිල වශයෙන් පිළි ගැනීම සඳහා රාජකීය පාර්ශවයට වසරකට ආසන්න කාලයක් ගත වූ බව සඳහන්.

හැරී සහ මේගන් දෙවැනි එළිසබෙත් රැජන සමඟ – www.gettyimages.com

රාජකීයයන් ගේ ප්‍රතිචාරය

තිරය ඉදිරිපිට කතා මෙසේ යි. තිරය පිටුපස කතා සම්බන්ධයෙන් මීට පෙරත් ඕනෑ තරම් වාර්තා නිකුත් වී තිබුණ ද හැරී සහ මේගන්, වාර්තා වැඩසටහනක් හරහා පෙනී සිටිමින් එම කරුණු හෙළිදරව් කිරීම අතිශයින් ප්‍රබල අවස්ථාවක් වනු ඇති. ඩයනා කුමරියගේ අත්දැකීම් සහ මරණයට පසු බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන් මතුවන ආන්දෝලනාත්මක ම කාල පරාසය මෙය විය හැකි යි. ඇතැමුන් විශ්වාස කරන පරිදි වාර්තා වැඩසටහන නිකුත් වීමෙන් පසු හැරී සහ මේගන් ගේ ජීවිත දෙසට කළු වලා රැසක් පැමිණිය හැකි යි.

“Harry & Meghan” වාර්තා වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com

වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් චාල්ස් රජු දක්වන ප්‍රතිචාරය කෙබඳු ද?

දැනට වාර්තා වන පරිදි මේගන් සහ හැරී හෙළිදරව් කිරීමට සැරසෙන සියලු දෑ ඉදිරියේ ආරක්ෂා වීමට රජ පවුල උත්සහ කරමින් සිටිනවා. හැරී කුමරු සමඟ පෞද්ගලික මට්ටමෙන් සාමය ඇතිකර ගැනීමට ඔවුන් උත්සහ කරන බවත් සඳහන්.

මෙය හුදෙක් ම අවධානය සහ මූල්‍ය වාසි තකා හැරී-මේගන් යුවළ ඇරඹූ ව්‍යාපෘතියක් ද?

වාර්තා වැඩසටහනට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය සහ විචාරක අවධානය මත එය තීරණය වනු ඇති.

කවරයේ ඡායාරූපය: "Harry & Meghan" ආන්දෝලනාත්මක Netflix වාර්තා වැඩසටන නිකුත් වීමට සියලු කටයුතු සූදානම් - dunyanews.tv
මූලාශ්‍ර:
www.dailymail.co.uk
www.forbes.com
www.townandcountrymag.com
www.netflix.com
stylecaster.com

Related Articles