Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ රට රටවල නව වසර පිළිගන්නා අයුරු

බාධක හැලහැප්පීම් මෙන් ම ජයග්‍රහණවලින් ද පිරි  2021 වසර ගෙවී ගොස් 2022 වසර උදා වී තිබේ. අපේ ජිවිත කාලය තුළ මේ  අයුරින් නව වසර උදාවීම් ගණනාවක් අත්විඳීමට ලැබුණත් නව වසරක් උදාවන අත්දැකීම කිසි දිනෙක එපා වන එකක් නම් නොවේ. නව වසරක් උදා වීම බාල මහලු කාගේත් සිතට සතුටක් ගෙන එන සිද්ධියකි.

නව වසර උදා වීම සමඟ කිරි ඉතිරවීම සහ කිරිබත් පිසීම වැනි චාරිත්‍ර ශ්‍රී ලාංකේය සංස්කෘතිය සමග බැඳී තිබේ. අතීතයේ පටන් මේ දක්වා සෑම ප්‍රදේශයක ම පාහේ ජනතාව තමන්ට ඇති හැකි පමණින් එම චාරිත්‍ර ඉටු කිරීමට උනන්දුවක් දක්වන්නේ ඒවා ජන ජීවිතය සමඟ එතරම් දැඩි ලෙස බැඳී ඇති බැවිනි. ඊට අමතරව නව වසර උදා වීම සමඟ ආගමික ස්ථානවලට ගොස් ආගමික කටයුතු සිදු කිරීම ද ජනතාව සිදු කරති.

කිරි ඉතිරවීම – www.smartlady.lk

ශ්‍රී ලාංකිකයන් වන අප නව වසරක් ආරම්භයේ දී කිරි ඉතිරවීම සහ කිරිබත් පිසීම වැනි චාරිත්‍ර ඉටු කරන්නාක් මෙන් ලෝකයේ බොහෝ රටවල නව වසර ආරම්භයේ දී ඉටු කරන එම රටවලට ම ආවේණික වන චාරිත්‍ර ගණනාවක් දැකිය හැකි ය. එවැනි සමහර චාරිත්‍ර පිළිබඳ ඔබ අසා ඇති නමුත් මෙම ලිපියෙන් කියැවෙන රටවල් කිහිපයක ප්‍රචලිත නව වසර හා සම්බන්ධ චාරිත්‍ර කිහිපය පිළිබඳ ව බොහෝ දෙනෙක් අසා නැතුව ඇති.

ඉක්වදෝරයේ පඹයන් ගිනිතැබීම

සෑම වසරක ම දෙසැම්බර් 31 දින මධ්‍යම රාත්‍රියේ ඉක්වදෝර වැසියන් සිදු කරන චාරිත්‍රයකි- කඩදාසි පුරවා සකස් කරන පඹයන් ගිනි තැබීම. එමඟින් පසුගිය වසර තුළ සිදු වූ යම් යම් අවාසනාවන්ත සිදුවීම් නැවැත සිදුවීම වලක්වා ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසය යි. එහිදී නිවැසියන් කඩදාසි පිරැවූ පඹයන් කිහිප දෙනකු සකස් කර ඒවාට ගිනි තබයි. ඊට අමතර ව පසුගිය වසරේ සිදු වූ විවිධ අවාසනාවන්ත සිදුවීම්වලට සම්බන්ධ ඡායාරුපවලට ගිනි තැබීම ද ඉක්වදෝර වැසියන් අතර ප්‍රචලිත චාරිත්‍රයකි.

පඹයන් ගිනි තැබීම – www.pinterest.com

පිලිපීනයේ කාසි අනුරූ

පිලිපීනයේ ජනතාවට නව වසර ආරම්භයේ දී නැතුව ම බැරි දෙයකි- කාසි. කාසි සහ කාසිවල හැඩයට සකස් කළ විවිධ දේ ඔවුන් නව වසර උදාවීමට පෙර සිය නිවෙස්වල තබා තිබෙන අයුරු සුලබ දසුනකි. එහිදී කාසි නිරූපණය කිරීම සඳහා හැකි තරම් රවුම් හැඩයෙන් යුතු දේවල් යොදා ගන්නා අතර එමඟින් නව වසර පුරාවට ම ඔවුන්ට ධන සම්පත්වලින් අඩුවක් නොවන බව පිලිපීන ජනතාවගේ විශ්වාසය යි.

එලෙස නිවෙස්වල තබා ඇති කාසිවලට සමාන හැඩයකින් යුතු දේවල් ලෙස රවුම් කළ රෙදි සහ ආහාර වැනි දේ හැඳින්විය හැකි ය. මේ ආකාරයෙන් රවුම් හැඩැති සහ රවුම් හැඩයට සකස් කරන, නව වසර සඳහා ම වෙන් වූ පලතුරු සහ රසකැවිලි වැනි දෑ යොදා ගෙන නව වසර සඳහා සකස් කරන කෑම මේස පිලිපීනයේ බහුල ව දැකිය හැකි ය.

රවුම් හැඩැති පලතුරු – www.pinterest.com

ඩෙන්මාර්කයේ කැඩුණු පිඟන්

සෑම වසරක ම නව වසර උදා වනවාත් සමග ඩෙන්මාර්කයේ ජනතාව භාවිත නොකළ පිඟන්, කෝප්ප සහ වීදුරු වැනි දේවලින් සිය මිතුරන්ගේ, නෑදෑයන්ගේ සහ අසල්වැසියන්ගේ නිවෙස්වල ඉදිරිපස දොරට දමා ගසති. එය ඩෙන්මාර්කයේ දැකිය හැකි ප්‍රධානත ම නව වසර පිළිගැනීමේ චාරිත්‍රයකි. ඔවුන් වසර පුරා ම සිය නිවෙස්වල භාවිතයට නොගන්නා පිඟන් කෝප්ප සහ විදුරු වැනි දේ වෙන් කර තබා ගන්නේ ඒවා නව වසර උදා වන විට මෙම චාරිත්‍රය ඉටු කිරීමට යොදා ගන්නා අරමුණෙනි.

දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියේ ඔවුන් වීදි පුරා ගොස්, නිවෙස්වල ඉදිරිපස දොරට පිඟන් කෝප්පවලින් දමා ගසති. සිය නිවෙස ඉදිරිපිට බිඳුණු පිඟන් කැබලි රැසක් එකතු වී තිබීම නව වසරේ වාසනාව උදා වන බවට වන සලකුණක් බව ඩෙන්මාර්ක ජනතාවගේ විශ්වාසය යි.

බිඳ දැමූ  පිඟන් කැබැලි – www.allthatsinteresting.com

මිදි දුසිමකින් මුව පුරවා ගන්නා ස්පාඤ්ඤ ජාතිකයෝ

නව වසර උදාවනවාත් සමඟ ඔරලෝසුව දොළොස් වරක් නාද වන බැවින් ඔරලෝසුවේ නාද වන වාරයකට එකක් වශයෙන් මිදි දුසිමක් මුව පුරවා ගැනීම ස්පාඤ්ඤ වැසියන් අතර ප්‍රසිද්ධ චාරිත්‍රයකි. ඒ සියල්ල එකවර ආහාරයට ගැනීම සිදු වේ.

කිසිදු අපහසුවකින් තොරව මිදි ගෙඩි දොළහ ම එකවර ආහාරයට ගැනීම හැකි වන්නේ නම් ඉන් සංකේතවත් වන්නේ නව වසරේ සෞභාග්‍යය උදා වන බව යන්න ඔවුන්ගේ විශ්වාසය යි. ඔවුන් බොහෝ විට මිදි වැල් යට සිට ම මේ ආකාරයෙන් මිදි ආහාරයට ගැනීම විශේෂත්වයකි.

මිදි අනුභව කිරීමේ චාරිත්‍රය – www.shropshirestar.com

පේරු හි Takanakuy උත්සවය

සෑම වසරක ම දෙසැම්බර් මස අවසන් සතියේ පැවැත්වෙන මෙම උත්සවය අතරතුර එකිනෙකාට තුවාල සිදු නොවන පරිදි පහරදීම සිදු වේ. වළල්ලක ආකාරයෙන් විශාල ක්‍රීඩා පිටියක් වැනි ස්ථානයකට එක්රැස් වන පිරිස අතරින් දෙදෙනා බැගින් සටන් වදින අතර එය නිරීක්ෂණය සඳහා ඒ ඒ ප්‍රදේශයේ පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරීන් ද යොදවා තිබේ.

‘Takanakuy’ යන්නෙහි අර්ථය ‘රුධිරය නටන විට’ යන්න වුවත් මෙම සටන් ඉතාමත් මිත්‍රශීලි ආකාරයෙන් සිදු වේ. මෙම සටන් නව වසරට නැවුම් ආරම්භයක් ගෙන දෙන බව පේරු වැසියන්ගේ විශ්වාසය යි. කෙසේ වෙතත් මේ සමහර ගැටුම්වලදී පුද්ගලයන් තුවාල ලැබූ අවස්ථා ද වාර්තා වී නැතුවා ම නොවේ.

පේරු හි සටන්/ The New York Times

ජපානයේ සීනු 108

එකිනෙකට වෙනස් ප්‍රමාණයේ සීනු 108ක් නාද කිරීමට කොතරම් කාලයක් ගත වනු ඇති ද? ජපානයේ නව අවුරුදු උදාව සමඟ විහාරස්ථානවල සිදු කරන මෙම චාරිත්‍රය මඟින් ගෙවී ගිය වසරේ සියලු ම පවු විනාශ වී යන බව ජපන් වැසියන්ගේ විශ්වාසයයි.

සීනු හඬ මෙන් නව වසරේ දී සිනා හඬ අසන්නට ලැබෙන බවත් ඔවුන්ගේ විශ්වාසය යි. කෙසේ නමුත් සීනු 108ක නාදය අසා සිටීම එතරම් පහසු කටයුත්තක් නොවනවාට සැකයක් නැත. සීනු 108 නාද කිරීමට සියලු දෙනාට අවශ්‍ය බැවින් සිය වාරය පැමිණෙන තෙක් බොහෝ වෙලාවක් බලා සිටීමට ද ජපාන වැසියන්ට සිදු වේ.

සීනු 108ක් නාද කිරීම – www.minajp.com

දකුණු අමෙරිකාවේ වර්ණවත් යට ඇඳුම්

සාමාන්‍යයෙන් නිතර අසන්නට නොලැබෙන වෙනස් ම චාරිත්‍රයක් වන මෙම චාරිත්‍රය බ්‍රසීලය, මෙක්සිකෝව සහ බොලීවියාව වැනි දකුණු අප්‍රිකානු කලාපයට අයත් රටවල බහුල ව දැකිය හැකි ය. එම රටවල වැසියන්ගේ විශ්වාසය වන්නේ නව වසර උදා වන අවස්ථාවේ තමන් හැඳ සිටින යට ඇඳුමේ වර්ණය අනුව එම වසරේ සිය ජිවිතයේ අවස්ථා තීරණය වන බව යි.

ඒ අනුව නව වසරේ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටින අය රතු පැහැති යට ඇඳුම් අඳිති. රන් කර්මාන්තය වැනි වෘත්තීන්වල නිරත වන පුද්ගලයන් කහ පැහැති යට ඇඳුමක් අඳින්නේ එය ධනය ගෙන එන බව ට පවතින විශ්වාසය නිසාවෙනි. විශේෂිත අරමුණක් නොමැති, නමුත් නව වසර සාමකාමී ව ගත කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් අඳින යට ඇඳුම්වල වර්ණය සුදු පැහැය විය යුතු බව මෙම රටවල වැසියන්ගේ විශ්වාසය යි.

යට ඇඳුම්වල වර්ණය අනුව නව වසරේ ලැබෙන දෑ සඳහන් කර ඇති අයුරු – www.pinterest.com

කතු හිමිකම: ©roar.media/sinhala. සියලු හිමිකම් ඇවිරිණි. නිසි අවසරයක් නැතිව උපුටා ගැනීම සපුරා තහනම්.

 කවරයේ ඡායාරූපය - ඉක්වදෝරයේ ගිනි තබන පඹයන්/ www.travel.earth.com

මූලාශ්‍ර:

www.realbuzz.com

www.allthatsinteresting.com

www.nytimes.com

Related Articles