අලුත් ජනපති රහස් ඡන්දෙන් තෝරා ගන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පළමු වරට විධායක ජනාධිපතිවරයා ජනතා පරාමාධිපත්‍යය භාවිත කර පදවියෙන් නෙරපා හැරීමට ජනතාව ක්‍රියා කළා. ජූලි 14 වැනි දා හිටපු ජනපතිවරයා ඉල්ලා අස්වූ නිසා මේ අවස්ථාව වන විට රටේ විධායක ජනපති ධූරය පවතින්නේ වැඩබලන ජනාධිපතිවරයකු යටතේ යි.

අලුත් ජනාධිපතිවරයකු පත්කර ගන්නේ කෙහොමද කියලා මේ දවස්වල බොහෝ දෙනා අදහස් දක්වනවා. එම කටයුත්ත කෙරෙන අන්දම ගැන විමසා බලමු.

 වැඩ බලන ජනපති රනිල් සහ ජනපති අපේක්ෂක සජිත් – bbc.com

වැඩබලන ජනපති

හිටපු ජනාධිපති ජෙ. ආර්. ජයවර්ධන ආණ්ඩුව සම්මත කළ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි විධායක ජනාධිපති ධුරය සඳහා බලපැවැත්වෙන්නේ. එයට අනුව ජනාධිපති ධුරය හිස්ව පැවතිය නොහැකි යි. මේ නිසා ජනපතිවරයා ඉල්ලා අස්වූ විගස ම අගමැතිවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලීමට පත් වෙනවා. ඒ අනුව තමයි අගමැති රනිල් වික්‍රමසිංහ ජූලි 15 වැනි දා වැඩබලන ජනාධිපති වශයෙන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 දා රටින් පිට ව ගිය අවස්ථාවේ සිට වැඩබලන ජනපති ධුරයේ කටයුතු කළ වික්‍රමසිංහ, කථානායකවරයාජනපති ගෝඨාභයගේ ඉල්ලා අස්වීම  15 වැනි දා නිවේදනය කිරීමෙන් පසු වැඩබලන ජනපති ධුරයේ දිවුරුම් දීමට කටයුතු කළා.

වැඩබලන ජනපතිධුරයට පත්වීමට පෙර සයවරක් අගමැති පදවියේ දිවුරුම් දී ඇති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැඩි ම වාර ගණනක් අගමැති බවට පත්වූ පුද්ගලයා ද වෙනවා.

 අනුප්‍රාප්තික ජනපති ලෙස නිතරගයෙන් පත්වූ ඩී. බී. විජේතුංග – dinamina.lk

නව ජනපති පත්කර ගැනීම

වැඩබලන ජනාධිපතිවරයාට හිටපු ජනපතිගේ ඉතිරි ධුර කාලයේ ඉන්නට වරම් නැහැ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු යි. පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 වැඩි ඡන්දයෙන් හෝ ඒකමතික තීරණයෙන් ඔහු යළිත් පත් විය යුතු යි. ජනපති රණසිංහ ප්‍රේමදාස 1993 දී කොටි ත්‍රස්තවාදී බෝම්බයකින් ඝාතනය වුණු පසුව වැඩ බලන ජනපතිවරයා ලෙස පත් වුණේ අගමැති ඩී . බී. විජේතුංග යි. ඔහු ජනපතිගේ ඉතිරි කාලය දැරීමට පත්කර ගැනීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කැමති වුණු නිසා නිතරගයෙන් පත්ව දිවුරුම් දුන්නා.

 මෙවර ජනපති වශයෙන් තරග කිරීමට නම් කීපයක් ඉදිරිපත් වන බව පැවසෙන නිසා ඒ සඳහා නාම යෝජනා බාරගෙන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු යි. ඒ අනුව නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම ජූලි 19 වැනි දා සිදු කිරීමට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැසවීමේ දී තීරණය කර තිබෙනවා.

නාම යෝජනා ලැබුණු පසුව නව ජනාධිපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසිම මේ 20 වැනි දා පැවැත්වීමට ද  තීරණය වී තිබෙනවා. එදින පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නියමිත යි.

 ජනපති තෝරා ගන්නා පාර්ලිමේන්තුව- bbc.com

පත්කර ගන්නේ මෙහෙමයි

මෙම තෝරා පත්කර ගැනීමට අනුගමනය කරන්නේ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ දැක්වෙන විධි විධාන යි. එම පනතේ 4 වන වගන්තියට අනුව ජනාධිපති ධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතු යි. එම පනතේ 5 වැනි වගන්තියට අනුව ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරනවා. පාර්ලිමේන්තුවේ දී පසුගිය 16 වැනි දා එසේ නිවේදනය කෙරුණා.

මෙම කටයුත්ත සංවිධානය කිරීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා තමයි මුල් වන්නේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු පනත් ආදිය සම්මත කර ගැනීමේ දි කතානායකට ඡන්දයක් හිමිවන්නේ නැහැ. ජනපතිවරයා පත්කර ගැනීමට ඡන්ද විමසීමේ අවස්ථාවේ දී  කථානායකවරයාට ද ඡන්දයක් හිමි වෙනවා.
නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමේ වැඩ කටයුතුවල මූලික වැඩ සඳහා පාර්ලිමේන්තුව පසුගිය 16 වැනි දා රැස් වුණා. දින හතක් වැනි කෙටි කාලයක දී  නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ක්‍රියාදාමය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද කතානායකවරයා සඳහන් කර තිබෙනවා.
 
එහිදී කතානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම මන්ත්‍රීවරුන් නිදහසේ තම හෘද සාක්ෂියට එකඟ ව කටයුතු කළ යුතු බව යි. ඒ සඳහා, රැස්වීමට සාමකාමී වාතාවරණයක් උදා කරන ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටින බව ද කතානායකවරයා පවසා සිටියා.

 ජනපති අපේක්ෂක සජිත් සහ ඩලස් – sathiya.lk

ජනපති අපේක්ෂකයෝ

නාම යෝජනා බාර දුන් පසුවයි අපට නිශ්චිතව ජනපති තෝරා ගැනිමේ දි ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන පැවසිය හැක්කේ. රට පුරාම අරගල කළ ජනතාව ඉල්ලා සිටියේ ජනපති ගෝඨා මෙන් ම මැතිවරණයෙන් ජනතාව ප්‍රතික්ෂේප කළ විවිධ චෝදනා ඇති රනිල් ද අගමැති පදවියෙන් ඉවත් විය යුතු බව යි. රනිල්ට එරෙහි විරෝධතා මේ වනවිටත් ගෝඨා ගෝ ගම සහ රටේ බොහෝ පෙදෙස්වලත් ක්‍රියාත්මක වෙනවා. මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයට වැඩබලන ජනපති සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකත් ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් හා වික්‍රමසිංහට හිතවත් සමඟි ජන බලවේගයේ සහ අනෙක් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ආණ්ඩුවේ සිට ඉන් ඉවත් ව ස්වාධීන වූ පක්ෂ 10යේ කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණේ සිට සහාය පළ කරන පිරිසක් සූදානම් බව පැවසෙනවා. සජිත් ප්‍රේමදාසට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සහාය දක්වන බවට බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබුණා. දෙමළ ජාතික සන්ධානය ද එම මතය දරන බව සී. වී. විග්නේශ්වරන් පවසා සිටියා. මුස්ලිම් පක්ෂ ප්‍රකාශ කර ඇත්තේ නාම යෝජනා ලබාදීමෙන් පසුව සහාය දක්වන අපේක්ෂකයන් ගැන තීරණ ගන්නා බවයි.

 හිටපු ජනපති ඉවත් කළ අරගලයේ අවස්ථාවක් – newsradio.com

ජනපති පදවිය හිස් වූ විට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ මේ සඳහා කටයුතු කරන අන්දම සඳහන් වෙනවා. ජනාධිපති ධූරය හිස් වූ අවස්ථාවක හිස් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ජනපතිකම දැරීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් අතුරෙන් එක් පුද්ගලයෙක් තෝරාපත්කර ගැනීම සිදු කළ යුතු බවයි සඳහන්ව ඇත්තේ.  

මෙහිදී ජනාධිපතිධූරය හිස් වූ දින සිට මාසයක් ඇතුළත අනුප්‍රාප්තික ජනපතිවරයෙක් තෝරා පත් කර ගැනීම සිදු කළ යුතුයි. නාම යෝජනා භාර ගැනීම සඳහා නියම කළ දිනයේ දී පාර්ලිමේන්තුව රැස් ව නාම යෝජනා බාර ගැනීමේ කටයුතු සිදු කරනවා. පාර්ලිමේන්තු මහලේකම්වරයා තමයි තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කරන්නේ. වත්මන් පාර්ලිමේන්තුවේ මහලේකම් වශයෙන් කටයුතු කරන්නේ ධම්මික දසනායක යි. මෙහිදී අපේක්ෂක නම් වෙනත් මන්ත්‍රීවරයෙක් යෝජනා කරනවා. තවත් මන්ත්‍රීවරයකු එම නම ස්ථිර කළ යුතු යි. ඒ වගේ ම මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට අපේක්ෂා කරන සෑම මන්ත්‍රීවරයකු ම යෝජනා කරන මන්ත්‍රීවරයා තෝරා පත් කර ගනු ලැබුවහොත්, ජනාධිපති ධූරයෙහි සේවය කිරීමට ඔහු කැමැති බවට ලිඛිත එකඟත්වයක් එයට පෙර ලබාගත යුතු වෙනවා. අපේක්ෂකත්වයට යෝජනා වූ මන්ත්‍රීවරයා එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටීමත් අවශ්‍ය යි.

ජනාධිපති ධූරය සඳහා එක් මන්ත්‍රීවරයකු පමණක් යෝජනා කර ස්ථීර කළොත් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා එම මන්ත්‍රීවරයා ජනාධිපතිධුරය සඳහා තෝරාපත්කර ගත් බව ප්‍රකාශයට පත් කරනවා. හිටපු ජනපති ඩී. බී. විජේතුංග එසේ නිතරගයෙන් පත් වූ අයෙක්. එක් මන්ත්‍රීවරයකුට වඩා වැඩි දෙනකු මෙසේ යෝජනා කරනු ලැබ ස්ථිර කරනු ලැබු විට ඡන්ද විමසීමක් සඳහා දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුව නියම කරනවා. එම දිනය නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ වේලාවෙන් පැය 48 කට පෙර දිනයක් විය යුතු යි. ඒ අනුව ජුලි 20 වැනි දා ඡන්දය පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

 පළමු විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන දිවුරුම් දෙමින් – anidda.lk

රහස් ඡන්දයක්

ඡන්ද විමසීම සඳහා නියම කළ දිනයේ දී තේරීම්භාර නිලධාරියා වන මහලේකම්වරයා ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර හිස් ඡන්ද පෙට්ටිය හෝ හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තැබීම සිදුකරනවා. ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම්භාර නිලධාරියා කථානායකවරයා ඇතුළු ව එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසන අතර මන්ත්‍රීවරුන් තේරීම්භාර නිලධාරියා ගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගෙන ඡන්දය සලකුණු කර එය ඡන්ද පෙට්ටියට දැමීම කළ යුතු යි.

යම් මන්ත්‍රීවරයකු ඡන්දය සලකුණු කිරීමේ දී වැරදීමකින් ඡන්ද පත්‍රිකාව දෝෂ සහිත ව සලකුණු වුවහොත් ඔහු එය තේරීම්භාර නිලධාරියාට ආපසු දිය යුතු යි. මේ පිළිබඳ තේරීම්භාර නිලධාරියා සෑහීමකට පත්වන්නේ නම් වෙනත් ඡන්ද පත්‍රිකාවක් ඔහුට ලබා දෙනවා. නරක් වූ ඡන්ද පත්‍රිකාව තේරීම්භාර නිලධාරියා අවලංගු කිරීම සිදු කරනවා. නම අඬ ගැසූ විට ඡන්දය නොදුන් යම් මන්ත්‍රීවරයකුගේ නම දෙවන වරටත් අඬ ගසනවා. එහිදී ද එම මන්ත්‍රීවරයා ඡන්දය නොදෙන්නේ නම් ඔහු ඡන්දය දීමෙන් වැලකී සිටින කෙනකු ලෙස සැලකෙනවා.

 වැඩ බලන ජනපති ලෙස රනිල් දිව්රුම් දෙමින් – rediff.com

ඡන්ද මදිවුණොත් මනාප

එක් මන්ත්‍රීවරයකුට හිමි වන්නේ එක් ඡන්දයක් පමණ යි. ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි  “1” යන ඉලක්කම යෙදීම මගින් ඡන්දය සලකුණු කළ යුතු යි. අපේක්ෂකයන් කිහිපදෙනෙක් යෝජනා වුණොත් මනාප සලකුණු කිරීමට ද පුළුවන්. ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් ගණන අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ  2,3 ආදී ලෙස මනාපයන් යෙදිය හැකි යි.

ලබා දුන් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගන්නවා.
කිසිම අපේක්ෂකයෙක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද ලබා නොගත්තොත් දෙවන, තෙවන ආදී මනාප පරික්ෂා කර ගණන් කිරීම සිදු කරනවා.
වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් බාගයකට වඩා කිසිම අපේක්ෂකයෙක් ලබා ගෙන නොමැති නම් බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගැනීමට නියමිත යි. අපේක්ෂකයන් දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් අතර ඡන්ද සමාන වූ විට කරන්නේ කුසපත් ඇදීමකින් ජනපතිවරයා තෝරා ගැනීම යි.

කවරයේ ඡායාරූපය- ජේ.ආර්.ගේ සිට මෙරට ජනපතිවරු- bbc.com

මුලාශ්‍ර:
lankadeepa.lk
dinamina.lk
news.lk 

Related Articles