Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අභ්‍යවකාශයෙන් චීන සිසුන්ට විද්‍යා දේශනයක් 

චීනයේ ටියැන්ගොං (Tiangong)  අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින අභ්‍යාවකාශගාමීන් ප්‍රථම වරට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙන්ටියන් රසායනාගාර මොඩියුලයේ සිට විද්‍යා දේශනයක් ඔක්තොම්බර් 12 වැනි දා සජීවී ව විකාශය කළා. ඒ පෘථිවියේ සිසුන් වෙත යි.  මෙම විද්‍යා දේශනය සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මේ වන විට සිටින අභ්‍යාවකාශගාමීන් තිදෙනා වන චෙන් ඩොංග් (Chen Dong), ලියූ යන්ග් (Liu Yang) හා කායි ෂුසේ (Cai Xuzhe) සහභාගී වූවා. ඔවුන් මාස පහක කාලසීමාවක් සඳහා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවා සිටින අභ්‍යවකාශගාමිනු යි.

මිනිසුන් සහිත අභ්‍යවකාශ පියාසැරි පිළිබඳ දැනුම ප්‍රචලිත කිරීම හා විද්‍යාව කෙරෙහි උනන්දුවක් ඇති කිරීමට තරුණයන් දිරිමත් කිරීම අරමුණු කර ගෙන මෙම දේශනය පැවැත්වූ බව චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනය (China National Space Administration)  ප්‍රකාශ කරනවා.

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සම්පූර්ණ කිරීමෙන් පසුව දිස්වෙන ආකාරය – futurecdn

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය 

පෘථිවි කක්ෂයක රදවා තිබෙන විද්‍යාගාරයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ලෙස සරල ව අපට හඳුන්වන්නට පුළුවන්. අභ්‍යවකාශ මධ්‍යස්ථාන නිර්මාණය වන්නේ අතීතයේ දී අමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය අතර  සීතල යුද සමයේ පැවති තරගය හේතුවෙන්. පසුකාලයේ දී මෙම රටවල් දෙක ම අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකරනවා. පසුව අමෙරිකාව, රුසියාව, කැනඩාව, ජපානය හා යුරෝපා අභ්‍යවකාශ ආයතනය එකතු වී වර්තමාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) නිර්මාණය කරනවා.

වැඩිදුරටත් කියවන්න – සංචාරක ව්‍යාපාරයක් බවට පත් වූ අභ්‍යවකාශය තරණය

අභ්‍යවකාශ මෙහෙයුම් සිද්ධ කරන අනෙක් රටවලට සාපේක්ෂ ව චීනය එම ක්ෂේත්‍රය සඳහා එළැඹෙන්නේ මෑතකාලයේ දී යි. ඊට හේතුව ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වීම මෑත කාලයේ දී සිදුවීම යි. ආර්ථිකය වේගයෙන් ප්‍රසාරණය වීමත් සමඟ ම චීනයත් අභ්‍යවකාශ ගවේෂණය සඳහා එකතු වෙනවා. ඔවුන්ගේ අභ්‍යවකාශ ව්‍යාපෘති ලෝකයට ආවරණය කිරීමක් සිදු කරන්නේ නෑ. අද ද බොහෝ මෙහෙයුම් සිදු වන්නේ රහසිගතව යි. 

චීනය මේ වන විට නිර්මාණය කරගෙන යමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය නම් කර තිබෙන්නේ ටියැන්ගොං නමින්. එහි අරුත “දිව්‍ය මාලිගය” යන්න යි. එය කක්ෂගත වී තිබෙන්නේ පෘථිවි මතුපිට සිට කිලෝ මීටර 350 – 450 ත් අතර දුරිනු යි. අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොටස් කිහිපයක් එකතුකර නිර්මාණය කිරීමට චීනය මේ වන විට සැලසුම් කර තිබෙනවා. කිලෝග්‍රෑම් 22000ක් පමණ වන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන කොටස (Core Module) ඔවුන් කක්ෂ ගත කරන්නේ මේ වසරේ අප්‍රේල් 29 වන දින යි. අනෙක් සියලු ම කොටස් සම්බන්ධ වන්නේ මෙම ප්‍රධාන කොටසට යි.  

වෙන්ටියන් රසායනාගාර මොඩියුලය, අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන යාම – vox-cdn

වෙන්ටියන් රසායනාගාර මොඩියුලය

ඉතිහාසයේ ප්‍රථමවරට චීන අභ්‍යවකාශගාමින් විද්‍යා දේශනයක් සජීවී ව අභ්‍යවකාශයේ සිට විසුරුවන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන රසායනාගාර දෙකෙන් එකක් වන වෙන්ටියන් රසායනාගාර මොඩියුලයේ (Wentian module) සිට යි.  එය චීනය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ කරන්නේ පසුගිය ජූලි මාසයේ දී යි. පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ප්‍රධාන කොටස හා සම්බන්ධ කළ අනෙක් රසායනාගාර මොඩියුලය නම් කර තිබෙන්නේ මෙන්ග්ටියන් (Mengtian module) නමින්. නමුත් මෙය තවමත් මෙහෙයුම් මට්ටමේ නෑ.

අභ්‍යවකාශයේ සිට ප්‍රථම වරට විද්‍යා දේශනයක්  

මීට පෙර චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවියේ සිසුන් වෙනුවෙන් දේශන දෙකක් පවත්වා තිබෙනවා. නමුත් ඒවා විද්‍යාව සම්බන්ධ දේශන නොවුණු අතර ඒවා පවත්වා තිබෙන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන කොටසේ සිට යි. ඔක්තෝම්බර් 12 වන දින ප්‍රථමවරටයි විද්‍යාව සම්බන්ධ දේශනයක් වෙන්ටියන් රසායනාගාර මොඩියුලයේ සිට සජීවී ව විසුරුවා හරින්නේ. 

දේශනය සඳහා සහභාගී වූ සිසුන් – chinadaily

චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ භාවිතය සඳහා වූ ඉංජිනේරු තාක්ෂණ මධ්‍යස්ථානය දේශනයට අදාළ ප්‍රධාන පන්ති කාමරය ලෙස නම් කර තිබෙනවා. ඊට අමතර ව Yunnan, Henan හා Shandong නගරවල ද ශිෂ්‍යයන් වෙනුවෙන් පන්ති කාමර සුදානම් කිරීමට ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනය කටයුතු කරනවා.

වෙන්ටියන් රසායනාගාර මොඩියුලය

දේශනය ආරම්භයේ දී වෙන්ටියන් රසායනාගාර මොඩියුලය පිළිබඳ ව පූර්ණ හැඳින්වීමක් සිදු කරන අතර එය සම්පූර්ණයෙන් ම ස්වාධීන ව ක්‍රියාත්මක වන කොටසක් බවත් හදිසි අවස්ථාවක දී ප්‍රධාන කොටස ක්‍රියාත්මක නොවුණහොත් අභ්‍යවකාශ මධ්‍යස්ථානය පාලනය කිරීමේ හැකියාව මේ කොටස සතු වන බවත් ඔවුන් පෙන්වා දෙනවා. පසුව ශුන්‍ය ගුරුත්වාකර්ෂණ පරිසරයක ද්‍රවයක චලනය සහ කම්පනය සිසුන්ට පෙන්වීම සඳහා අභ්‍යවකාශගාමීන් මීටර් දෙකක් පමණ දිග බීම බටයකින් අඹ යුෂ පානය කර පෙන්වනවා. ගුරුත්වාකර්ෂණය ඉතාමත් අඩු ස්ථානයක සිට තමන්ගේ එදිනෙදා කාර්යයන් මෙන් ම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වැඩ කටයුතු කර ගෙන යන අන්දම  ද ඔවුන් සිසුන්ට විස්තර කර දෙනවා. 

ශුන්‍ය ගුරුත්වය යටතේ විවිධ ක්‍රියාකාරකම් (cdn)

පසුව තවත් විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් පිළිබඳ ව කරුණු සිසුන් සමඟ සාකච්ජා කිරීමට අභ්‍යවකාශගාමීන් කටයුතු කරනවා. ඉන් අනතුරු ව එළඹෙන්නේ සිසුන්ගේ ප්‍රශ්න ඇසීමේ වාරය යි. සිසුන්ගේ ප්‍රශ්න ඇසීමේ කාලය ඉතා අර්ථාන්විත මෙන් ම සුන්දර ලෙස ගතවුණු බව අභ්‍යවකාශගාමීන් සඳහන් කරනවා.

අභ්‍යවකාශයේ ඔබ දකින සුන්දර ම දසුන කුමක්ද ?

අභ්‍යවකාශයේ ඔබ දකින සුන්දර ම දසුන කුමක් ද? යන්න ශිෂ්‍යාවක් ඔවුන් තිදෙනාගෙන් අසනවා. ඔවුන් තිදෙනාගෙන් ම ලැබෙන්නේ එකම පිළිතුරක්. ඒ පෘථිවි වායුගෝලයේ දීප්තිමත්භාවය දැකීම යි. එහි වර්ණය වරින් වර වෙනස්වෙන බවත් සමහර විට රන්වන් වර්ණයෙනුත් තවත් අවස්ථාවලදී නිල් වර්ණයෙනුත් සමහර විට දම් වර්ණයෙනුත් දිස්වන බව ප්‍රකාශ කරනවා.

දේශනයේ එක් අවස්ථාවක් (news.cn)

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අභ්‍යවකාශගාමියෙක් ලෙස එකතු වෙන්නේ කොහොම ද? යන්න ශිෂ්‍යයන්ට තිබු තවත්  ප්‍රශ්නයක්. එයට පිළිතුරු දෙමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ වන විට නව අභ්‍යවකාශගාමීන් චීන රජය බඳවා ගනිමින් සිටින බවත් ඒ සඳහා චීනයේ ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු ගුවන් නියමුවන්ට අවස්ථාව හිමි වන බවත් සඳහන් කරනවා.

ඉදිරි අනාගතයේ දී තාක්ෂණයෙන් ඉහළ ම අභ්‍යවකාශ මධ්‍යස්ථානය තම මවුබිම සතු වන බවත් නුදුරේ දී ම අභ්‍යවකාශ තාක්ෂණයේ ඉහළින් ම වැජඹෙන රට චීනය වන බවත් අභ්‍යවකාශගාමින් සිසුන්ට දේශනය අවසානයේ දී ප්‍රකාශ කරනවා. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වැඩ සිදුවන ආකාරය පිළිබඳ ව මෙන් ම මූලික අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් දැනුමක් දේශනය අවසානයේ දී තමන්ට ලැබුණු බව බොහෝ සිසුන් පිරිසක් ප්‍රකාශ කරනවා.

Related Articles