Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘My Car – My Patrol’ තියරියෙන් ‘Twitter’ දුවවන මස්ක්ට වැඩ වරදියි ද?

ඉලෝන් මස්ක් ට්විටර් ආයතනය මිල දී ගැනීමත් සමඟ බොහෝ ට්විටර් පරිශීලකයන් වෙනත් විකල්ප මැස්ටොඩෝන් වැනි වේදිකා වෙත යොමු වෙමින් පවතින බව තාක්ෂණ විශ්ලේෂකයෝ පවසති. ට්විටර් සමඟ අඛණ්ඩ ව රැඳී සිටීම හෝ වෙනත් වේදිකාවක් වෙත යොමු වීම පරිශීලකයන් ගේ කැමැත්ත වුවත්, මේ තත්ත්වය තුළ මෙතෙක් හෙළි නොවූ, ඩිජිටල් තොරතුරු පද්ධතිවල අස්ථාවරත්වය පිළිබඳ තොරතුරු රැසක් හෙළි වෙමින් තිබේ.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ ට්විටර් ගිණුම් අත්හිටුවීමට ට්විටර් සමාගම පසුගියදා තීරණය කළේ ය. එම තීරණය පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය, හියුමන් රයිට්ස් වොච් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් අදහස් පළ කර තිබිණි. එවැනි ක්‍රියාකාරකම් නිසා ට්විටර් සමාගමට ඉදිරියේ දී බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වෙතැයි ද ඒ සංවිධාන අනතුරු අඟවා තිබේ.

සමාගමේ ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ට්විටර් ප්‍රමුඛ මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ ගිණුම් අත්හිටුවීමට ඉලෝන් මස්ක් තීරණය කිරීමෙන් පසු, යුරෝපා සංගමය පවසන්නේ ට්විටර් සමාගම ඉලක්ක කර ගත් සම්බාධක ඒ වෙත පැමිණෙමින් පවතින බව යි.

ඉලෝන් මස්ක්, ට්විටර් මිල දී ගැනීමත් සමග බොහෝ ට්විටර් පරිශීලකයන් විකල්ප වේදිකා වෙත යොමු වෙමින් සිටියි – www.foxbusiness.com

ට්විටර් හැර යන පරිශීලකයෝ

යම්කිසි පරිශීලකයෙක් සිය ට්විටර් ගිණුම මකා දැමූ විට ඔවුන් පළ කළ ට්විටර් පණිවිඩ සහ ඔවුන් එම ගිණුම්වලින් වෙනත් පරිශීලකයන්ට යොමු කළ පණිවිඩ ඇතුළු සියලු තොරතුරු අතුරුදහන් වීම පිළිබඳ ව මේ වන විට කතාබහක් ඇති වී තිබේ. සමීක්ෂණවලට අනුව මස්ක් ට්විටර් සමාගම මිල දී ගත් දින පටන් මේ දක්වා ආසන්න වශයෙන් පරිශීලකයන් මිලියනයක් ට්විටර් යෙදවුම හැර ගොස් ඇත. ඔවුන් පළ කළ පණිවිඩ ඇතුළු සියලු තොරතුරු ද ඒ සමඟ අතුරුදහන් වී ඇති බවට චෝදනා නැඟෙමින් පවතියි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ යම්කිසි යෙදවුමක් භාවිත කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය කිරීම පරිශීලකයන්ට භාර කාර්යයක් නමුත්, ට්විටර් යෙදවුම සම්බන්ධයෙන් අනාවරණය වී ඇති ඉහත කරුණ ඩිජිටල් තොරතුරු පද්ධතිවල ඇති බරපතල දුර්වලතාවක් හෙළි කරන බව යි. යම්කිසි පුද්ගලයකුට පරිශීලනය කළ හැකි ව තිබූ, සමහර විට ඔවුන්ට අයත් ව තිබූ, තොරතුරු පවා ක්ෂණයකින් අතුරුදහන් වීමේ අවදානම බරපතල ගැටලුවක් බව ඔවුහු පෙන්වා දෙති.

ට්විටර් හැර යන්නන් පිළිබඳ ව සිදු කළ මාර්ගගත සමීක්ෂණයක ප්‍රතිපල -www.digitalinformationworld.com

මැකී යන තොරතුරු

පරිශීලකයකුගේ පුද්ගලික තොරතුරුවලට පිවිසීමට තවත් අයකුට ඇති හැකියාව අහිමි කිරීම පිළිබඳව ගැටලුවක් නැත. එහෙත් රජයන්, දේශපාලන පක්ෂ, ගෝලීය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, කලාකරුවන් සහ සමාගම් වැනි පාර්ශව පිළිබඳ ව සැලකීමේ දී මෙය බරපතල තත්ත්වයකි. සමහර අවස්ථාවල රජයන්, දේශපාලන පක්ෂ, ජාත්‍යන්තර සංවිධාන සහ සමාගම් සිය නිල නිවේදන නිකුත් කිරීම සඳහා ට්විටර් වේදිකාව යොදා ගනී. දේශපාලන පක්ෂ ට්විටර් හරහා සිය ප්‍රතිපත්ති මාලා ප්‍රසිද්ධ කරන අවස්ථා ඕනෑ තරම් තිබේ. කලාකරුවන් සහ ලේඛකයන් වැනි පිරිස් සිය නිර්මාණ ප්‍රවර්ධනය කිරීම සඳහා වන පළ කිරීම් ට්විටර් හරහා සිදු කරති.

එවැනි පසුබිමක, යම් හෙයකින් ට්විටර් යෙදවුම සම්පූර්ණයෙන් ම බිඳ වැටි ඉහත කී ආකාරයේ පාර්ශවයන්ට අයත් ගිණුම් මැකී ගියහොත් ඉන් ඇති වන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ව ඔබට සිතාගත හැකි ද? එවැනි අවස්ථාවක ඔවුන් ගේ කිසිදු පළකිරීමක් පරිශීලනය කිරීමට හෝ යම්කිසි නීතිමය කරුණක දී යොදා ගැනීමට කිසිවකුට හැකියාවක් හෝ අවස්ථාවක් උදා වන්නේ නැත. පුද්ගලික ගිණුම්වල අන්තර්ගතයන් කෙසේ වෙතත් රජයන්, දේශපාලන පක්ෂ සහ ජාත්‍යන්තර සංවිධාන වැනි ඒවායේ ට්විටර් ගිණුම්වල අඩංගු තොරතුරු මැකී ගියහොත් එය බරපතල ගැටලු ගණනාවක මූලාරම්භය වනු ඇත.

රජයන් මා රාජ්‍ය කායනයන් සිය නිල නිවේදන නිකුත් කිරීම සඳහා ට්විටර් වේදිකාව යොදා ගනී – www.twitter.com

ඩිජිටල් ලේඛනාගාර

“මා මෙවැනි ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරනවා. එහි ප්‍රතිපලයක් විදියට මීට වසර 25කට පෙර මා අන්තර්ජාල ලේඛනාගාරයක් ආරම්භ කළා. ඕනෑම අයකුට එම ලේඛනාගාරය හරහා 1990 දශකයේ මැද භාගයේ සිට මේ දක්වා වන අන්තර්ජාලයේ පළ වූ විවිධ ලේඛන පරිශීලනය කරන්න හැකියාව තියෙනවා. ලෝකය පුරා විහිදී ඇති පුස්තකාල 1,000කට ආසන්න සංඛ්‍යාවක සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙහි ජනාධිපතිවරු නිකුත් කළ ට්විටර් පණිවිඩ, සංස්කෘතික වටිනාකමක් සහිත ලේඛන සහ පොත්වල ඩිජිටල් පිටපත්, රූපවාහිනී වැඩසටහන් සහ විවිධ වාර්තා වැඩසටහන්වල පිටපත් සහ තවත් බොහෝ දෑ ගබඩා කර තියෙනවා.” අන්තර්ජාල ලේඛනාගාරයක් පවත්වාගෙන යන අයෙක් සඳහන් කළේය.

විශේෂඥ අදහස්

2010 දී පැරැණි ට්විටර් පණිවිඩ සංරක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට, ට්විටර් සමාගම එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයට නිල වශයෙන් සේවා සපයන පර්යේෂණ පුස්තකාලයක් සමඟ කටයුතු කරමින් තිබිණි. එම වැඩසටහන යටතේ ඩිජිටල් තොරතුරු සංරක්ෂණ වැඩසටහනක් සකස් කිරීමට යෝජනා වී තිබූ නමුත්, විවිධ හේතු නිසා 2017 සිට එම වැඩසටහන ක්‍රියාත්මක නොවී ය. ඒ සඳහා ඩිජිටල් පුස්තකාල පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ දුෂ්කරතා සහ විවිධ නීතිමය තත්ත්වයන් හේතු වූ බව කියැවේ. නැවැත එවැනි වැඩසටහනක් සකස් කිරීමට ට්විටර් සමාගමේ නව කළමනාකාරීත්වය කටයුතු කරන බවක් පෙනෙන්නන්ට ද නැත.

“මස්ක් මේ සම්බන්ධයෙන් ගන්නේ මොන වගේ පියවරක් ද යන්න අපැහැදිලියි, නමුත් ඩිජිටල් උරුමයන් සංරක්ෂණය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම එක සමාගමකට හෝ පුද්ගලයකුට භාර දීලා නිහඬ ව ඉන්න හැකියාවක් නැහැ. පොතක හෝ වෙනත් දෘඩ ලේඛනයක පිටපතක් වසර ගණනාවකට පසු වුවත් මිල දී ගන්න හෝ තිබෙන පිටපතක් ඡායා පිටපත් කර ගන්න පරිශීලකයන්ට හැකියාවක් තියෙනවා. ඊට සමානව, යමක් නැවත නැවත පරිශීලනය කරන්න ඩිජිටල් ලේඛන පරිශීලනය කරන පුද්ගලයන්ටත් අවස්ථාව සලසා දිය යුතු යි. ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. ට්විටර් සමාගම සම්බන්ධයෙන් මේ ඇති වී තිබෙන තත්ත්වය එවැනි ප්‍රතිපත්තිවල අවශ්‍යතාව ඉස්මතු කරනවා”යි තවත් විශේෂඥයෙක් විදෙස් මාධ්‍ය වෙත පැවසුවේ ය.

ට්විටර් පණිවිඩ සංරක්ෂණයට ට්විටර් සමාගම එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයට නිල වශයෙන් සේවා සපයන පුස්තකාලයක් සමග කටයුතු කරමින් සිටියේ ය -www.nytimes.com

මස්ක් ට්‍රම්පීකරණය වෙලා ද?

ට්විටර් සමාගම මිල දී ගත් දින පටන් මස්ක් එහි පරිපාලන කටයුතු කරන ආකාරය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය පාලනය කළ ක්‍රමයට සමාන බව බොහෝ දෙනෙක් චෝදනා කරති. ජනාධිපති ධුරය දැරීමට ට්‍රම්ප් සුදුස්සකු නොවූ ආකාරයට ට්විටර් සමාගමේ හිමිකාරිත්වය දැරීමට මස්ක් සුදුස්සකු නොවන බව ඔවුහු පෙන්වා දෙති. මස්ක්, අනුකම්පා විරහිත සහ පළිගැනීමේ අරමුණු සහිත අයෙක් බවත්, ඔහු යටතේ ට්විටර් සේවකයන්ට අඳුරු කාල සීමාවකට මුහුණ දීමට සිදු වී ඇති බවත් චෝදනා එල්ල වන පසුබිමක, සමාගමේ හිටපු ප්‍රධාන පෙළේ නිලධාරියෙක් එල්ල වූ තර්ජන හේතුවෙන් සිය පවුලේ සාමාජිකයන් ද සමඟ නිවසින් පළා ගොස් ඇති බවත් වාර්තා වේ.

සමහරුන් පවසන්නේ රට පාලනය කිරීමේ දී ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප්ට තිබූ බලයට වඩා කිහිප ගුණයක බලයක් (සමාගම තුළ) ට්විටර් සමාගමේ හිමිකරු ලෙස මස්ක්ට තිබීම ඉතා අනතුරුදායක බව යි. කිසිදු සැලසුමක් රහිතව මස්ක් කටයුතු කරන ආකාරය ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කටයුතු කළ ආකාරයට බෙහෙවින් සමාන බව ඔවුහු පවසති. ට්‍රම්ප් කිසිදු පැහැදිලි දර්ශනයකින් තොරව ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති නිසා එක්සත් ජනපදය විශාල පරිහානියකට පත් වූ ආකාරයට මස්ක් ද නුදුරේදී ම ට්විටර් සමාගම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට හෝ, එය කිසිදු සමබරතාවයකින් තොර අන්ත දක්ෂිණාංශික වේදිකාවක් බවට පත් කිරීමට ඉඩ ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

ජනාධිපති ධුරය දැරීමට ට්‍රම්ප් සුදුස්සකු නොවූ ආකාරයට ම ට්විටර් සමාගමේ හිමිකාරිත්වය දැරීමට මස්ක් සුදුස්සෙක් නොවන බව සමහරු පෙන්වා දෙති – www.wired.com

මාධ්‍යවේදීන් සමඟ පැටලෙන මස්ක්

ට්විටර් සමාගම, එහි නව පරිපාලනය සහ මස්ක් පිළිබඳ ව වාර්තා කළ New York Times, Washington Post සහ CNN ඇතුළු ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයකට අයත් මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ ට්විටර් ගිණුම් අත්හිටුවීමට පසුගිය දා කටයුතු කර තිබිණි. මස්ක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සිටින ස්ථාන පිළිබඳ සජීවී තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් එම ගිණුම් අත්හිටුවා ඇත. පාර්ශව ගණනාවක් අදාළ ගිණුම් අත්හිටුවීම පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කර ඇත.

ජර්මානු මාධ්‍ය සංවිධාන සහ ජර්මානු විදේශ කාර්යාලය මේ තහනම් කිරීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති අතර යුරෝපා සංගමය ට්විටර් සමාගම අරබයා වන සම්බාධක ගැන තර්ජනාංගුලිය ඔසොවා ඇත. තම පුද්ගලික ජෙට් යානා ලුහුබැඳීම සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් මෙම අත්හිටුවීම් සිදු වූ බව ඉලෝන් මස්ක් පිළිතුරු ලෙස පවසා තිබිණි.

ජර්මානු විදේශ කාර්යාලය සිකුරාදා ට්විටර් විසින් අත්හිටුවන ලද මාධ්‍යවේදීන්ගේ ගිණුම්වල තිරපිටපත් (screen Shots)සිය ට්වීටර් ධාරාවේ පළ කර ඇති අතර, ඔවුන්ගේ ගිණුම් අත්හිටුවීම පිළිගත නොහැකි බව සමාජ මාධ්‍ය වේදිකාව හරහා ප්‍රකාශ කළේ ය.

ට්විටර් ගිණුම් අත්හිටුවීම මාධ්‍ය නිදහසට තර්ජනයක් – techcrunch.com

ට්විටර් ගිණුම් අත්හිටුවීම මාධ්‍ය නිදහසට තර්ජනයක්

මාධ්‍යවේදීන්ගේ ට්විටර් ගිණුම් අත්හිටුවීම මාධ්‍ය නිදහසට තර්ජනයක් බව Human Rights Watchහි තාක්ෂණ හා මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ Frederike Kaltheuner කියයි.

”ට්විටර් සමාගම මාධ්‍ය නිදහසට තර්ජනය කරමින් මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ සිය සමාජ මාධ්‍ය වේදිකා අත්හිටුවා තිබෙනවා. නව හිමිකරු ඉලෝන් මස්ක් යටතේ ක්‍රියාත්මක වන සමාගම තවත් කනස්සල්ලට පත්වන පියවරක් ලෙස එය අප දකිනවා. එහි වෙනස්කම් මානව හිමිකම් පිළිබඳ අනුපිළිවෙළක් රහිත අවුල් සහගත බඳුනක් ලෙස වඩාත් හොඳින් විස්තර කළ හැකියි. අන්තර්ගතය මධ්‍යස්ථ කිරීම සහ ගිණුම් අත්හිටුවීම පිළිබඳ තීරණ මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සඳහා දුරදිග යන ප්‍රතිවිපාක ගෙන දෙන්නක් බවයි අප දකින්නේ. ට්විටර්වේ දිකාවේ හිංසනය ක්‍රියාත්මක කිරීම ප්‍රචණ්ඩත්වයට හේතු විය හැකි බව අපි දැනටමත් අත්දැක ඇත්තෙමු. එය දැනටමත් කොන් කර ඇති ප්‍රජාවන්ට අසමානුපාතික ලෙස බලපෑම් ඇති කරනවා” යි Frederike Kaltheuner කියයි.

ට්විටර් ගිණුම් තහනම් කර තිබූ මාධ්‍යවේදීන් ඇතුළත් කණ්ඩායම් සංවාදයකට එලොන් මස්ක් සම්බන්ධ වීමෙන් පසු ට්විටර් එහි කණ්ඩායම් සංවාද ශ්‍රව්‍ය විශේෂාංගය වන Spaces තාවකාලිකව ඉවත් කර ඇත. ඉලෝන් මස්ක් පසුව යාවත්කාලීන කර තිබුණේ එම කාවකාලික Spaces තහනම ඉවත් කළ බව යි.

පවුලේ සාමාජිකයන් ගැන සජීවී තොරතුරු නිරාවරණය ගැටලුවක්

ට්විටර් ගිණුම් තහනම පිළිබඳව මස්ක් සෘජුව අදහස් පළ කර නැති නමුත් ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයක “දවස පුරාවටම වුවත් මා ගැන විවේචනය කිරීම පිළිබඳව ගැටලුවක් නැත. එසේ වුවත්, මගේ සහ මගේ පවුලේ සාමාජිකයන් යන එන ස්ථාන පිළිබඳව සජීවී තොරතුරු නිරාවරණය කිරීම පිළිබඳව ගැටලුවක් තිබේ.” යනුවෙන් සඳහන් විය.

තවත් ට්විටර් පණිවිඩයක සඳහන් වූයේ යම්කිසි පුද්ගලයකු යන එන ස්ථාන පිළිබඳව තොරතුරු පළ කරන පුද්ගලයන්ගේ ගිණුම් දින හතක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවනු ඇති බව යි. “සෑම අයකුටම අදාළ වන නීති රීති මාධ්‍යවේදීන්ට ද වලංගු වනු ඇත” ඔහු පැවසුවේ ය.

මස්ක් පසුගියදා පළ කළ ට්විටර් පණිවිඩ – www.twitter.com

ට්විටර් සමාගමට එරෙහිව සම්බාධක?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය සන්නිවේදනය පිළිබඳ ලේකම්වරියක් වන මෙලිසා ෆ්ලෙමින් ද මාධ්‍යවේදීන්ගේ ට්විටර් ගිණුම් අත්හිටුවීම පිළිබඳ ව අදහස් දැක්වූවාය . ඇය පැවසුවේ මාධ්‍යවේදීන් ගේ ගිණුම් මේ ආකාරයෙන් අත්හිටුවීම පිළිබඳව අසා ඇය විශාල ලෙස කලබලයට පත් වූ බව යි. මාධ්‍ය නිදහස යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ඉතා වැදගත් අංගයක් බවත්, හානිකර දුස් තොරතුරුවලට එරෙහිව කරන සටනේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ මාධ්‍ය බවත් ඇය සඳහන් කළා ය.

යුරෝපා සංගමයේ කොමසාරිස්වරියක් වන වේරා ජුරෝවා ද මාධ්‍යවේදීන්ගේ ගිණුම් අත්හිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. යුරෝපා රටවල ක්‍රියාත්මක වන නව ඩිජිටල් සේවා පිළිබඳ පනත යටතේ ට්විටර් සමාගමට විරුද්ධව සම්බාධක පනවන බව ඇය සඳහන් කළාය.

“රතු රේඛා තිබෙන බව මස්ක් දැන සිටිය යුතුයි, කඩිනමින් සම්බාධක පැනවෙනු ඇත.” ඇය සඳහන් කළා ය. මේ පිළිබඳව ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය නිකුත් කළ පණිවිඩයක “මාධ්‍ය නිදහස යනු වරින් වර ක්‍රියාත්මක කළ හැකි සහ ක්‍රියා විරහිත කළ හැකි යමක් නොවේ” යනුවෙන් සඳහන් කර තිබිණි.

යුරෝපා සංගමය ට්විටර් සමාගමට එරෙහි ව සම්බාධක පනවන බවට අනතුරු අඟවා ඇත – www.twitter.com

කවරයේ ඡායාරූපය - මස්ක් ට්විටර් පරිපාලන කටයුතු කරන ආකාරය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය පාලනය කළ ක්‍රමයට සමාන බව බොහෝ දෙනෙක් චෝදනා කරති - www.gettyimages.com
මූලාශ්‍ර :
www.time.com
www.wired.com
www.bbc.com
www.dw.com
www.mashable.com
www.hrw.org
techcrunch.com
www.dw.com/en

Related Articles