Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කතාබහට ලක් වූ ලොව පුරා පිහිටි ‘නිරුවත් අවන්හල්’

2016 සිට රටවල් කිහිපයක විවෘත වූ “නිරුවත් අවන්හල්”, එනම් පාරිභෝගිකයන්ට සම්පූර්ණයෙන් ම නිරුවතින් පැමිණ ආහාරපාන සහ මත්පැන් ලබා ගත හැකි අවන්හල් කිහිපයක් විවෘත කර ඉතා කෙටි කාලයක් තුළ වසා දැමීමට සිදු විය. විවෘත අදහස් සහිත සමාජයන්හි පවා නිරුවත සම්බන්ධයෙන් පවතින යම් යම් විවේචනාත්මක මතවාද ඊට හේතු වූ බව බොහෝ දෙනකු ගේ අදහස යි.

බුන්යාඩි – ලන්ඩන්

එවැනි වසා දැමූ අවන්හල් අතරින් එකක් වූ “Bunyadi” එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ විවෘත වූ පළමු නිරුවත් අවන්හල ලෙස වාර්තා අතරට එක් විය. 2016 ජූනි මස විවෘත වූ එය පවත්වාගෙන යාමට හැකි වූයේ මාස තුනක් වැනි කෙටි කාලයක් පමණි. ස්වභාව ධර්මයේ අසිරිය උපරිමයෙන් විඳ ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට බව පවසමින් මෙම අවන්හල විවෘත කළ අතර, එහි පාරිභෝගිකයන්ට සම්පූර්ණයෙන් ම නිරුවතින් එහි රැඳී සිටීමට අවස්ථාව තිබිණි.

“Bunyadi” එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ විවෘත වූ පළමු නිරුවත් අවන්හලයි -www.timeout.com

ස්වාභාවිකත්වයට මුල්තැන දීමට අවශ්‍ය වූ බැවින් එම අවන්හල තුළ විදුලි පහන් දැල්වීමක් සිදු නොවිණි. ඒ වෙනුවට ඉටිපන්දම් ආලෝකයෙන් ආහාරපාන රස විඳීමට පාරිභෝගිකයන්ට සිදු විය. සරල මෙනුපතක් ක්‍රියාත්මක වූ එහි මාංශමය සහ නිර්මාංශ යන දෙවර්ගයට ම අයත් ආහාර වර්ග අලෙවි විය. සේවකයන්ට සහ පාරිභෝගිකයන්ට අවන්හල තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබීම සුවිශේෂී කරුණකි.

පැරිස් නගරයේ විවෘත වූ පළමු නිරුවත් අවන්හල වන ඕ’නැචුරල් ද මේ වන විට වසා දමා තිබේ – www.france24.com

ස්වාභාවිකත්වයට මුල් තැන

විදුලිය බලය හෝ ගෑස් භාවිත නොකළ බැවින් දර යොදා ගන්නා උඳුන් භාවිතයෙන් ආහාර පිළියෙළ කිරීම එහි සිදු විය. ආහාරපාන සහ වයින් වර්ග පිළිගැන්වීම සඳහා මැටි පිඟන් සහ බඳුන් භාවිත විය.

එහි භාවිත වූ සියලු හැඳි සහ ගෑරුප්පු වැනි ආහාරයට ගත හැකි, එළවළු වර්ගවල කොටස් හෝ පාන් වර්ග වීම සුවිශේෂී කරුණකි. අවන්හලේ පිළිගැන්වූ ආහාරපාන විවිධ මල් සහ සෝස් වර්ගවලින් කළ සැරසිලිවලින් යුක්ත වූ බැවින් ඒවා කලා නිර්මාණ මෙන් මනස්කාන්ත විය.

අවන්හලේ පිළිගැන්වූ ආහාරපාන විවිධ මල් සහ සෝස් වර්ගවලින් කළ සැරසිලිවලින් යුක්ත විය – www.businessinsider.com

අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන්ට පිළිගැනීමේ පානය (welcome drink) පිළිගැන්වීමෙන් පසු ඔවුන්ට ඇඳුම් ගලවා කුඩා ලොකර් තුළ තැබීමට උපදෙස් ලැබිණි. ඇඳුම් ඉවත් කිරීමෙන් අනතුරු ව වේටර්වරයෙක් පාරිභෝගිකයන් අවන්හලේ ප්‍රධාන ශාලාව වෙත කැඳවාගෙන ගියේ ය. එහි තනි තනි ව සහ කණ්ඩායමක් ලෙස ආහාරපාන ලබාගත හැකි මේස ගණනාවක් විය.

පහළ ගිය ආදායම

විවෘත කළ මුල් කාලයේ එම අවන්හලට විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් පැමිණි අතර ඒ නිසා ම එහි මේසයක් වෙන් කරගැනීම සඳහා මාස ගණනාවක් රැඳී සිටීමට පාරිභෝගිකයන්ට සිදු විය. වරක් එහි ආසන වෙන් කරගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව 30,000කට වැඩි විය. කෙසේ වෙතත් මාස තුනක් වැනි කාලයක් ගත වන විට එහි පැමිණෙන පාරිභෝගිකයන් සංඛ්‍යාව විශාල වශයෙන් පහළ ගිය බැවින් එය වසා දැමීමට හිමිකරුවෝ තීරණය කළහ.

අවන්හලට පැමිණි යුවළක් – www.telegraph.co.uk

එහි හිමිකරුවන් නැවතත් නිරුවත් අවන්හලක් විවෘත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව පසුගිය දා වාර්තා විය. එසේ වුවත් බුන්යාඩි වසා දැමීමෙන් පසු එවැනි අවන්හලක අවශ්‍යතාව පිළිබඳ ව සැලකිය යුතු ප්‍රතිචාරයක් නොමැති වීම සහ එතැන් පටන් කිසිදු එවැනි අවන්හලක් විවෘත වී නොතිබීම වැනි කරුණු මත ඔවුන් නැවත අවන්හලක් විවෘත කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

ඉනැටෝ – ස්පාඤ්ඤය

ස්පාඤ්ඤයේ ග්‍රැනඩිලා ඩි ඇඩෝනා හි 2017 දී විවෘත වූ ඉනැටෝ අවන්හල ස්පාඥ්ඥයේ විවෘත වූ පළමු නිරුවත් අවන්හල විය. ලන්ඩන් හි බුන්යාඩි අවන්හල පිළිබඳ ව දැනගත් ඉතාලි ජාතික ව්‍යාපාරිකයෙක් මෙම අවන්හල ආරම්භ කළේ ය. විදුලි බලය නොතිබූ එහි ඉටිපන්දම් සහ විදුලිපන්දම් භාවිත විය. ස්පාඤ්ඤයට ආවේණික ආහාරපාන එහි බහුල ව අලෙවි වූ අතර, ලිංගික රුචිය ඉහළ නංවන සංඝටක සහිත ආහාරපාන මිල දී ගැනීමට ද අවශ්‍ය පුද්ගලයන්ට එහිදී හැකියාව ලැබිණි.

ඉනැටෝ අවන්හල ස්පාඥ්ඥයේ විවෘත වූ පළමු නිරුවත් අවන්හල විය – www.indiatoday.in

මෙහි පැමිණෙන පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා මේස අතර උණ පතුරුවලින් සකස් කළ තිර යොදා තිබිණි. පෞද්ගලික වාහනවලින් පැමිණෙන පාරිභෝගිකයන්ට නිරුවතින් අවන්හලට ඇතුළු වීමට අවසර හිමි වූ අතර, සෙසු පාරිභෝගිකයන්ට අවන්හල තුළ ඇඳුම් ඉවත් කිරීමට පහසුකම් සලසා තිබිණි. විවෘත කර මාස කිහිපයක් ගත වන විට එහි පැමිණි පාරිභෝගිකයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගිය බැවින් එය වසා දැමීමට එහි හිමිකරු තීරණය කළේ ය.

ඕ’නැචුරල් – පැරිසිය

සම්පූර්ණයෙන් ම නිරුවතින් පැමිණ, ආහාර ගැනීමට සහ මත්පැන් පානය කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දුන් පැරිස් නගරයේ විවෘත වූ පළමු නිරුවත් අවන්හල වන ඕ’නැචුරල් ද මේ වන විට වසා දමා තිබේ. 2017 නොවැම්බර් මස විවෘත වූ එම අවන්හල පිළිබඳ ව බොහෝ පාරිභෝගිකයෝ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ යහපත් ප්‍රතිචාර පළ කළහ. ෆේස්බුක් ශ්‍රේණිගත කිරීම්වල එය 4.8/5 අගයේ පසු විය.

ඕ’නැචුරල් අවන්හලේ හිමිකරුවෝ – www.leparisien.fr

විශාල සුදු පැහැති තිරයක් යොදා අවන්හලේ මේස එකිනෙකින් වෙන් කර තිබූ අතර, එහි ලැබූ අත්දැකීම පිළිබඳ ව බොහෝ දෙනෙක් සුබවාදී ප්‍රතිචාර දැක්වූහ.

“ස්වභාවිකවාදය ප්‍රවර්ධනය කරන අනාගතවාදී අවන්හලක්. ඉවසීම, අන්‍යයන් පිළිබඳව වැරදි ලෙස විනිශ්චය නොකිරීම, සහ සියලු දෙනාට එක සමාන ව සංග්‍රහ කිරීම අපට උගන්වන ඕ’නැචුරල් බොහෝ වටිනා දෑ ලොවට දායාද කරයි.”

යනුවෙන් පාරිභෝගිකයෙක් අවන්හල පිළිබඳ ව සටහනක් තැබුවේ ය.

නිරුවත් නොවූ සේවකයෝ

අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන්ට ඇඳුම් ඉවත් කිරීම සඳහා වෙන ම ස්ථානයක් සකස් කර තිබිණි. අනවසරයෙන් ඡායාරූප ගැනීම සහ වීඩියෝ කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා අන්‍යයන්ගේ පුද්ගලිකත්වයට හානි වීමේ අවදානමක් ඇති බැවින් අවන්හලට ඇතුළු වන අවස්ථාවේ ම ජංගම දුරකථන විශේෂයෙන් සකස් කළ ස්ථානයක තබා යා යුතු බවට නීතියක් එහි ක්‍රියාත්මක විය.

අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන්ට ඇඳුම් ඉවත් කිරීම සඳහා වෙනම ස්ථානයක් සකස් කර තිබිණි – www.leparisien.fr

පාරිභෝගිකයන්ට නිරුවතින් ආහාරපාන ලබාගත හැකි වුවත් ආහාරපාන පිළිගන්වන සේවකයන් සහ අනිකුත් කාර්ය මණ්ඩලය විධිමත් නිල ඇඳුමකින් සැරසී සිටියහ. එහි හිමිකරුවන් පැවැසුවේ ආහාරපාන පිළිගැන්වීමේ දී සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බැවින් කාර්ය මණ්ඩලය නිල ඇඳුමින් සැරසී සිටීම අනිවාර්යය කළ බව යි.

පාරිභෝගිකයන්ට උපරිම නිදහසක්

“අපේ පරමාර්ථය වුණේ පාරිභෝගිකයන්ට ඉතා සැහැල්ලුවෙන් ඔවුන් කැමැති ආහාරවේලක් රස විඳීමට අවස්ථාව සලසා දීම යි. ඇඳුම් ආයිත්තම්වලින් සැරසිලා, ජංගම දුරකථන අතේ රඳවාගෙන ආහාරපාන ගැනීමට සිදු වීම තමන්ගේ නිදහස කොතරම් දුරට සීමා කිරීමක් ද කියලා බොහෝ දෙනෙක් මේ වන විට අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා මේ අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන්ට ‘සැබෑ නිදහසක්’ අත්විඳීමට සැලැස්වීම අපේ අරමුණ වුණා.” යනුවෙන් එහි හිමිකරුවෝ මාධ්‍ය වෙත අදහස් පළ කළහ.

අවන්හල ඇතුළත – www.oyeyeah.com

ඉතා යහපත් පාරිභෝගික ප්‍රතිචාර හිමි වුවත් අවන්හල පවත්වාගෙන යාම සඳහා වැය වූ මුදලට සාපේක්ෂ ව ආදායමක් නොලැබීම හේතුවෙන් 2019 පෙබරවාරි මස එය වසා දැමීමට එහි හිමිකරුවෝ තීරණය කළහ. මේ වන විට පැරිස් නගරය ආශ්‍රිත ව නැවැතත් එවැනි සංකල්පයක් මූලික කරගත් අවන්හලක් විවෘත කිරීමට ව්‍යාපාරිකයකු ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. බොහෝ දෙනෙක් පවසන්නේ පුද්ගලයන්ට නිරුවතින් රැඳී සිටීම සඳහා වෙන් කර ඇති මුහුදු වෙරළවල් මෙන් අවන්හල් වැනි ස්ථාන ද ඉදිරියේ දී වැඩි වශයෙන් බිහි වනු ඇති බව යි.

නීති කිහිපයක් ද සහිත අවන්හලක්

කැලිෆෝනියාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ හි පිහිටා “Gourmet Life” නම් අවන්හල ද පාරිභෝගිකයන්ට කාමෝද්දීපන අත්දැකීමක් ලබා දෙන ස්ථානයකි. ලිංගික උත්තේජනයක් ඇති කරවන ආකාරයේ ඇඳුම්වලින් සැරසුණු කාන්තාවෝ මෙම අවන්හලේ සේවය කරති. 2011 ජූලි මස විවෘත කළ මෙම අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන් පිළිපැදිය යුතු නීති කිහිපයක් එහි වෙබ් අඩවියේ සඳහන් වේ.

සැන්ෆ්‍රැන්සිස්කෝ හි පිහිටා “Gourmet Life” නම් අවන්හල ද පාරිභෝගිකයන්ට කාමෝද්දීපක අත්දැකීමක් ලබා දෙන ස්ථානයකි – www.ourgourmetlife.com

ඡායාරූප ගැනීමෙන් වැලකීම, ජංගම දුරකථන භාවිතය සඳහා වෙන් කළ ස්ථානයේ දී පමණක් දුරකථන භාවිත කිරීම, පිළිගන්වන්නන්ගේ ඇරියුමකින් තොර ව ඔවුන් ස්පර්ශ කිරීමෙන් වැලකීම, ඇරියුමකින් පසු වුවත් ඔවුන්ගේ ඉණෙන් ඉහළ ප්‍රදේශය පමණක් ස්පර්ශ කිරීම එම නීති අතර වේ. මෙම අවන්හල පාරිභෝගිකයන් අතර කෙතරම් ජනප්‍රිය ද කියතොත් එහි ආසන වෙන් කරගැනීමක් කළ පසු, යම්කිසි හේතුවක් මත එය අවලංගු කරන්නේ නම්, ඒ පිළිබඳව දින තුනකට පෙර දැනුම් දීමක් කළ යුතු ය.

කවරයේ ඡායාරූපය - පැරිස් නගරයේ විවෘත වූ පළමු නිරුවත් අවන්හල වන ඕ'නැචුරල් ද මේ වන විට වසා දමා තිබේ - www.france24.com
මූලාශ්‍ර :
www.timeout.com
www.ourgourmetlife.com
www.leparisien.fr
www.cnn.com

Related Articles