විවාදයට යළි ලක් වන කච්චතිව් දූපතේ කතාව

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමිල්නාඩුවට පසුගිය මාසයේ දී පැමිණියා. එම ගමනේ දී ඔහු ඉන්දීය මහ ඇමති එම්. කේ. ස්ටාලින් හමු වුණා. එහි දී තමිල්නාඩු මහ ඇමතිවරයා, ඉන්දීය අගමැතිවරයා හමුවේ පවසා සිටියේ දැනට ශ්‍රී ලංකාවට අයිත් ව තිබෙන කච්චතිව් දූපත යළි අත්පත් කරගැනීමට මෙය හොඳ ම අවස්ථාව බව යි. ඔහුගේ එම ප්‍රකාශයත් සමඟින් දශක කිහිපයක් පුරා පැවතුණු කච්චතිව් දූපත පිළිබඳ ගැටුම යළිත් කරළියට පැමිණියා.

එවැනි මොහොතක කච්චතිව් දූපතේ ඉතිහාසය සහ වැදගත්කම පිළිබඳව ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප කල්පනා කළා. 

කච්චතිව් දූපතේ පිහිටීම 

කච්චතිව් දූපත, කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 75.2ක් නිරිතදිගින් පිහිටා තිබෙනවා. කච්චතිව් දූපතට වඩාත් ආසන්නයෙන් පිහිටා තිබෙන්නේ ඩෙල්ෆ්ට් දූපත යි. ඩෙල්ෆ්ට් සහ කච්චතිව් යන දූපත් අතර පවතින දුර කිලෝමීටර් 23.5ක්. කච්චතිව් දූපතට වඩාත් ආසන්නයෙන් පිහිටි ඉන්දීය ගොඩබිම් ප්‍රදේශය වන්නේ පම්බන් දූපතේ පිහිටි රාමේෂ්වරම් ප්‍රදේශය යි. රාමේෂ්වරම් ප්‍රදේශය කච්චතිව් දූපතේ සිට කිලෝමීටර් 24.7ක් තරම් දුරකින් පිහිටා තිබෙනවා. 1964 දී සුළි කුණාටුවක් නිසා විනාශ වුණු ධනුස්කොඩි නගරය ද කච්චතිව් දූපතේ සිට කිලෝමීටර් 25.1ක දුරකින් පිහිටා තිබෙනවා.

එමඟින් පැහැදිලි වන්නේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් ඩෙල්ෆ්ට් දූපත සහ දකුණු ඉන්දියාවට අයත් රාමේෂ්වරම් ප්‍රදේශයට ආසන්න වශයෙන් සමාන දුරකින් පිහිටා තිබෙන බව යි.

කච්චතිව් දූපත ආශ්‍රිත ප්‍රදේශයේ සිතියම – maps.google.com

කච්චතිව් දූපත පැරණි සිතියම්වල සටහන් වුණු ආකාරය 

බ්‍රිතාන්‍ය ජාතිකයන් 1815 දී අප රට සම්පූර්ණයෙන් ම යටත් කර ගත්තා. ඉන් පසුව වසර 133ක් අප රට ඔවුන්ගේ පාලනය යටතේ පැවතුණා. එම කාලය තුළ බ්‍රිතාන්‍යයන් සකස් කළ සිතියම් කිහිපයකට කච්චතිව් දූපත ඇතුළත් කර තිබුණා. ඒ අතුරින් එක් සිතියමක් ජෝන් ඇරෝස්මිත් 1857 දී නිර්මාණය කර තිබුණා.

එම සිතියමේ කච්චතිව් යාපන අර්ධද්වීපයට අයත් දූපතක් බව දක්වා තිබුණා. බ්‍රිතාන්‍ය ජාතික සිවිල් නිලධාරියෙක් වුණු සර් ජේම්ස් එමර්සන් ටෙනස්ට් 1860 දී සිලෝන් නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළා. එම ග්‍රන්ථයේ අඩංගු වුණු සිතියමක දක්වා තිබුණේ කච්චතිව් දූපත ලංකාවේ උතුරු ප්‍රදේශයට අයත් වුණු බව යි. 

පැරණි ලංකා සිතියමක් – wikipedia.org

 

කච්චතිව් දූපත වැදගත් ස්ථානයක් වීමට හේතු 

කච්චතිව්, අක්කර 285ක විශාලත්වයකින් යුත් දූපතක්. එය ධීවර කටයුතු සඳහා ඉතාමත් වැදගත් ප්‍රදේශයක්. එපමණක් නොව සාගර සම්පත් ගවේෂණ කටයුතු සඳහා ද වැදගත් ස්ථානයක්. ඈත අතීතයේ දී මෙම දූපත පිහිටි ප්‍රදේශයේ වෙළෙඳ කටයුතු සිදුවුණු බව ද පැවසෙනවා.

ස්වභාව සුන්දරත්වයෙන් අනූන ප්‍රදේශයයක් වන මෙහි ස්වභාවික ඛනිජ තෙල් සහ ගෑස් තිබෙන බවට ද මතයක් පවතිනවා. එනිසා දශක ගණනාවක සිට මෙම දූපත අයිති කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සීතල යුද්ධයක් ඇති ව තිබෙනවා.

කච්චතිව් දූපත – thehindu.com

 

කච්චතිව් අයිති කර ගැනීමට පැවති සටන 

20 වන සියවසේ මුල් භාගයේ සිට කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳ ව ගැටලුවක් පැවතුණා. එම ගැටලුව විසඳා ගැනීම සඳහා 1921 දී දෙරට අතර සාකච්ඡාවක් පැවතුණා. එම සාකච්ඡාවට ලංකාවෙන් සහ ඉන්දියාවෙන් නියෝජිතයන් හතර බැගින් සහභාගි වුණා. මාස 7ක් පුරා පැවති එම සාකච්ඡාවල දී දෙරටෙහි නියෝජිතයන් තම රටට දූපතෙහි ඇති අයිතිය පෙන්වීම සඳහා සාක්ෂි ඉදිරිපත් කළා.

එහි දී ඉන්දියානුවන් ඉදිරිපත් කළ ප්‍රධාන තර්කයක් වුණේ කච්චතිව් හි පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වැඳ පුදා ගන්නට ඈත අතීතයේ සිට දකුණු ඉන්දීය කතෝලිකයන් එහි පැමිණ ඇති නිසා දූපතට ඔවුන් සතු ව අයිතියක් ඇති බව යි. තමිල්නාඩුවේ රාමනාථපුරම් හි රාමනාද් පෙළපත 19 වන සියවස මුල් භාගයේ කච්චතිව් දූපත පාලනය කළ බවට ද ඉන්දියානුවන් තර්කයක් ඉදිරිපත් කළා.

කච්චතිව් හි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය – brunch.lk

 

එම තර්කවලට පිළිතුරු දුන් ලංකාවේ නියෝජිත පිරිස පැරණි ඉතිහාස මූලාශ්‍ර උපුටා දක්වමින් පෙන්වා දුන්නේ යාපනයේ රජකම් කළ සංකිලි කුමාරන් නම් පාලකයා ඔහුගේ ප්‍රියත ම ආහාරයක් වුණු එක්තරා ඉබි විශේෂයක් ඇල්ලීම සඳහා කච්චතිව් දූපතට සිය මිනිසුන් යවා තිබෙන බව යි. කච්චතිව් දූපත එකල යාපනය රාජධානියට අයත් ව තිබුණු බව ඉන් මනාව පැහැදිලි වන බව ඔවුන් පෙන්වා දුන්නා.

ඉන් නොනැවතුණු ලාංකික නියෝජිත පිරිස 1766 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසීන් සමඟ ගිවිසුමකට එළඹෙමින් යාපන අර්ධද්වීපය ආශ්‍රිත ව පැවති දූපත් ලන්දේසීන්ට පවරා දුන් ආකාරය පිළිබඳව ද පැහැදිලි කළා. 

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා – life.lk

 

එලෙස ලන්දේසීන්ට අයිති වුණු යාපන අර්ධද්වීපයේ දූපත් පසු ව ඉංග්‍රීසින්ට අයිති වුණා. පසු යුගයක ඉංග්‍රීසින් එම දූපත් පාලනය කිරීම සඳහා රාමනාද් පෙළපතට භාර කළා. එම පෙළපතේ නියෝජිතයන් ඉංග්‍රීසින් වෙනුවෙන් බදු එකතු කිරීමේ නිරත වුණා.

ඈත අතීතයේ සිට කච්චතිව් දූපත ලංකාව සතුව තිබුණු බව ඉන් තවදුරටත් පැහැදිලි වන බව ලංකා නියෝජිත පිරිසේ තර්කය වුණා. එම සාකච්ඡාවලින් පසුව ද දූපතේ අයිතිය පිළිබඳ ගැටලුව එලෙස ම පැවතුණා. එහි දී ඉතිහාසඥයන්ගේ මතය වුණේ ආගමික අයිතිය තුළින් දූපතේ අයිතිය තීරණය කිරීමට නොහැකි බව යි. 

ශ්‍රී ලංකාවට කච්චතිව් දූපතේ අයිතිය ලැබීම

1940 දශකය අග භාගයේ දී ලංකාව සහ ඉන්දියාව නිදහස ලබා ගත්තා. කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳ ගැටලුව නිරාකරණය කරගැනීමට හැකි වුණේ නම් නැහැ. එනිසා 1950 සහ 1960 යන දශකවල දීත් කච්චතිව් දූපත සම්බන්ධ සාකච්ඡා පැවැත්වුණා. ඉන්දියාව සහ ලංකාව අතර පැවති කච්චතිව් දූපත සම්බන්ධ ගැටලුවට 1974 දී විසඳුමක් ලැබුණා. එම යුගයේ ඉන්දියාවේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ අගමැතිනිය ලෙස කටයුතු කළ සිරිමා බණ්ඩාරනායක දෙපළ දූපත සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළා. 

සිරිමා බණ්ඩාරනායක සහ ඉන්දිරා ගාන්ධි – gettyimages.com

 

1974 ජූනි මාසයේ දී අත්සන් කළ එම ගිවිසුමට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට අයත් කොටසක් බව ඉන්දීය රජය පිළි ගත්තා. එම දූපතේ අයිතිය ලබා ගැනීම සඳහා යළි සටන් නොකරන බව ඉන්දීය රජයේ ස්ථාවරය වුණා. කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවීම අප රට ලැබූ විශාල ජයග්‍රහණයක් බව මෙරට ජනයා සැලකුවා. 

 1974 ජූනි 29 වැනි දින පළ වුණු එක්තරා පුවත්පතක ප්‍රධාන සිරස්තලයේ දැක්වුණේ “කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට”. මවුබිමේ අයිතිය මැතිනිය දිනාගනී, ඉන්දියන් යෝධයෝ දණ ගසති. යන වාක්‍ය පෙළ යි. එකල ඉන්දිරා ගාන්ධි සහ සිරිමා බණ්ඩාරනායක අතර සමීප මිතුදමක් පැවතුණා. එනිසා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා හරහා කච්චතිව් දූපතේ අයිතිය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වුණා. 

ඊළාම් යුද සමයේ කච්චතිව් දූපත 

1976 දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවත් ගිවිසුමක් අත්සන් කළා. එම ගිවිසුමට අනුව මෙරට ධීවරයන්ට ඉන්දියානු මුහුදු සීමාවේ ද, ඉන්දියානු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ද ධීවර කර්මාන්තයේ යෙදීම තහනම් වුණා. එනිසා කච්චතිව් දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රිසි සේ ධීවර කටයුතු සිදුකිරීමට මෙරට ධීවරයන්ට හැකි වුණා.

1980 දශකයේ මුල් භාගයේ දී ඊළාම් යුද්ධය ආරම්භ වීමත් සමඟ ම කච්චතිව් දූපත තහනම් කලාපයක් බවට පත් වුණා. යුද සමයේ දී මෙම දූපත හමුදා අභ්‍යාස සඳහා ද යොදා ගත්තා. ඊළාම් යුද්ධය දරුණු ලෙසින් පැවති කාලයේ ඉන්දියාව සිය බලය යොදමින් කච්චතිව් දූපත අත්පත් කරගැනීමට මාන බැලුවා. නමුත් මෙරට පාලකයන්ගෙන් ඊට ඉඩක් ලැබුණේ නැහැ. 

ඊළාම් යුද්ධයේ අවස්ථාවක් – gettyimages.com

 

තමිල්නාඩුවෙන් දිගින් දිගට ම බලපෑම් 

1991 වසරේ දී තමිල්නාඩු රජය කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳ ව යළි ප්‍රශ්න කිරීමට පටන් ගත්තා. එම කාලය වන විට ඉන්දියානු ධීවරයන් ද අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ අවස්ථාවල ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට ගැනුණා. ගෙවුණු දශක කිහිපය තුළ වැඩි කාලයක් තමිල්නාඩුවේ මහ ඇමති ධූරය හෙබ වූ ජයලලිතා ජයරාම් සහ මුතුවේල් කරුණානිධි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් උදුරා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වුණා. 

අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයෝ – deccanherald.com

 

එහි දී ඔවුන් ඉන්දීය මධ්‍යම රජයට දැඩි ලෙස බලපෑම් කළා. එක් අවස්ථාවක ජයලලිතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරමින් ඉල්ලා සිටියේ 1974 සහ 1976 ගිවිසුම් බල රහිත කරන ලෙස යි.

ඇයගේ එම උත්සාහය අසාර්ථක වුණු නිසා කච්චතිව් හි අයිතිය දිගට ම ශ්‍රී ලංකාව සතු ව පැවතුණා. ජයලලිතා මිය යන තුරුම කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් උදුරා ගැනීමේ ප්‍රබල සටන අත්හැරියේ නෑ.

ජයලලිතා ජයරාම් – bbc.com

 

කච්චතිව් දූපතේ වර්තමාන තත්ත්වය

2009 දී ඊළාම් යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව කච්චතිව් දුපතේ ආරක්ෂාව තර කළා. නමුත් අනවසර ඉන්දීය ධීවර ප්‍රශ්නය අවසන් වුණේ නැහැ. ඔවුන් දිගින් දිගට ම අනවසරයෙන් කච්චතිව් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වුණා.

මෙම දූපත තුළ පිහිටා තිබෙන ශාන්ත අන්තෝනි දේවස්ථානය වැඳ පුදා ගැනීම සඳහා ද ඉන්දියානුවන් මුහුදු මාර්ග ඔස්සේ පැමිණෙනවා. ඒ සඳහා ඔවුන්ට අවසර ලැබී තිබෙනවා. කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල ව අයිති වුණත්, ඉන්දීය ධීවරයන් සහ විවිධ ජාවාරම්කරුවන් මුහුදු සීමා උල්ලංඝණය කරමින් එහි පැමිණෙනවා. 

කච්චතිව් දූපත සුරකින ශ්‍රී ලංකා නාවික හමුදාව – dailynews.lk

 

තමිල්නාඩු රජය ද කච්චතිව් දිනාගැනීමේ සටන තවමත් අත්හැර නැති බව පැහැදිලිවම පෙනී යන කරුණක්. ශ්‍රී ලංකා ආර්ථිකය දුර්වල වී තිබෙන මෙම අවස්ථාවේ කච්චතිව් දූපත අත්පත් කරගැනීමට ඉන්දියාව සැරසෙමින් සිටින බව ඇතැම් පිරිස් උපකල්පනය කරනවා. එනිසා කච්චතිව් වැනි වැදගත් භූමි ප්‍රදේශයක් ඉදිරියටත් ශ්‍රී ලංකා රජයේ පාලනය යටතේ තබාගැනීම වැදගත්. 

කවරයේ ඡායාරූපය- සිරිමා බණ්ඩාරනායක සහ ඉන්දිරා ගාන්ධි අගමැති දෙපළ - gettyimages.com

මූලාශ්‍ර:

ipcs.org

livemint.com

lankadeepa.lk

wionews.com

dailymirror.lk

Related Articles