විමර්ශනාත්මක මාධ්‍යවේදීන් අත්හළ පැන්ඩෝරා බෝම්බය!

ග්‍රීක මිත්‍යා කතා අනුව පැන්ඩෝරා යනු දෙවියන් මැවූ එක්තරා කාන්තාවක්. ඇය සතු ව දෙවියන් ලබා දුන් පෙට්ටියක් හෝ භාජනයක් වැනි දෙයක් තිබුණා. සාමාන්‍ය ව්‍යවහාරයේදී එය “පැන්ඩෝරා පෙට්ටිය” ලෙස හඳුන්වනවා. පෙට්ටිය කිසිදා විවෘත නොකරන ලෙස දෙවියන් පැන්ඩෝරාට උපදෙස් ලබා දී තිබුණා. එහෙත්, කුතුහලයෙන් මිරිකුණු පැන්ඩෝරා, පෙට්ටිය විවෘත කළා. සැණෙකින් පෙට්ටිය තුළ සිර වී සිටි යක්ෂ ආත්ම සියල්ල ම ලෝකයට නිදහස් වුණා. බියට පත් වූ පැන්ඩෝරා වහා ම පෙට්ටිය වසා දැමූ හෙයින්, එක්තරා දෙයකට පෙට්ටියෙන් එළියට එන්න හැකි වුණේ නැහැ.

පැන්ඩෝරා පෙට්ටිය යළි විවෘත වෙයි!

  සැබෑ යක්ෂයන් සදාකාලිකව ම පැන්ඩෝරා පෙට්ටියක සැඟ ව සිටීම උචිත වුණත්, මිනිස් සිත තුළ සිටින යක්ෂයන් සැමදා සැඟව සිටීම මානව සංහතියට හානිදායක යි. ඔවුන් ලෝකයට හෙළිදරව් කිරීමෙන් ඇතිවන දැනුම්වත්භාවය ජගත් ප්‍රජාවගේ සුබ සිද්ධියට යහපත් බලපෑමක් ඇති කරනවා. ඉතාම මෑතක දී විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය, නැත්නම් ICIJ ලෝකයට හෙළිදරව් කළ “පැන්ඩෝරා පත්‍රිකා” කියන්නේත් මානව සුබ සිද්ධිය උදෙසා විවෘත කළ එවැනි පැන්ඩෝරා පෙට්ටියක්.

පැන්ඩෝරා පත්‍රිකා යනු අක්වෙරළ ගනුදෙනු සම්බන්ධයෙන් මෙතෙක් කළ විශාලත ම හෙළිදරව්ව යි – www.bbc.com 

 පැන්ඩෝරා පත්‍රිකා යනු ලිපි ගොනු මිලියන 12 ට ආසන්න තොරතුරුවල එකතුවක්. ලෝකයේ ධනවත් සහ බලවත් පුද්ගලයන් සඟවා ඇති ධනය සහ ඒවා සඟවා ඇති අයුරු, බදු පැහැර හැරීම්, අයථා මුදල් රැස් කිරීම් සහ මුදල් විශුද්ධිකරණ කටයුතු වැනි තොරතුරු රාශියක් ඒ ලිපි ගොනුවල අඩංගු වෙනවා. ලිපි ගොනු පමණක් නොව, ඊ-මේල් පණිවිඩ, ඡායාරූප, පැතුරුම්පත් වැනි තොරතුරු හෙළි කරන තවත් බොහෝ ආකෘතීන් ICIJ නිකුත් කොට තිබෙනවා. ඒ තොරතුරුවල මුළු දත්ත ප්‍රමාණය ටෙරා බයිට් තුනකට ආසන්න යි.

 පැන්ඩෝරා පත්‍රිකා මඟින් හෙළි කළ පුද්ගලයන් අතර ලෝකයේ බලයේ සිටින සහ බලයේ හිටපු ලෝක නායකයන් 35 ක්, දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් 330 ට වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඔවුන් රටවල් සහ බල ප්‍රදේශ 91 ක් පුරා පැතිර සිටිනවා. මීට අමතරව, කලාකරුවන්, ක්‍රීඩකයන්, විවිධ හේතුමත පලා ගිය පුද්ගලයන්, අපරාධකරුවන් පවා පැන්ඩෝරා පත්‍රිකාවලට ඇතුළත්.

විමර්ශනාත්මක මාධ්‍යවේදියෝ

 ICIJ යනු එක්සත් ජනපදය පදනම් කර ගත් ලාභ නොලබන සුවිශේෂී සංවිධානයක්. ICIJ සතු ව රටවල් සහ බලප්‍රදේශ 100 ක පමණ පැතිරුණු හොඳ ම සහ විශ්වාසවන්ත ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 280 ක් පමණ සිටිනවා. ඔවුන් සියලු දෙනා සමඟ සහයෝගයෙන් වැඩ කරන ගෝලීය මාධ්‍ය සංවිධාන ජාලාවක් ICIJ වටා කේන්ද්‍රගත වී තිබෙනවා. ලෝකයේ වැදගත් සිදුවීම් වාර්තාකරණයෙන් පමණක්ම සීමා නොවී, විමර්ශනාත්මක ලෙස බොහොම ඉවසීමෙන් වැඩ කරන කලාවක් ICIJ සතු යි. එක අරමුණක් වෙනුවෙන් ඇතැම් විට වසර කිහිපයක් රහසිගත ව සහ නිශ්ශබ්ද ව ඔවුන් වැඩ කරන අතර, පසුව ලෝකයේ ප්‍රමුඛත ම ජාත්‍යන්තර මාධ්‍ය ආයතන හරහා ඒ සියලු තොරතුරු මිනිත්තු ගණනකින් ලොව පුරා බෙදා හැරෙනවා.

පැන්ඩෝරා පත්‍රිකා සඳහා ලැබුණු සහයෝගය සහ ප්‍රතිඵල සැකෙවින් – pk.mashable.com 

 පැන්ඩෝරා පත්‍රිකා යනු ඔවුන්ගේ අලුත් ම සහ වැදගත් ම ප්‍රයාමය යි. රටවල් 117 ක මාධ්‍යවේදීන් 600 කට වැඩි ප්‍රමාණයක් පැන්ඩෝරා පත්‍රිකා වෙනුවෙන් තම දායකත්වය සපයා තිබෙනවා.  ICIJ මීට පෙර වැදගත් හෙළිදරව් කිරීම් රාශියක් කොට තිබෙනවා. සුප්‍රසිද්ධ පැනමා පත්‍රිකා, 2013 අක්වෙරළ හෙළිදරව්ව, පැරඩයිස් පත්‍රිකා, චයිනා කේබල්ස් හෙළිදරව්ව ඒ අතරින් ප්‍රමුඛ යි. තොරතුරුවල ප්‍රමාණාත්මක විශාලත්වය සැලකීමේ දී නවත ම පැන්ඩෝරා පත්‍රිකා ඔවුන්ගේ විශාලත ම හෙළිදරව්ව ලෙස සැලකිය හැකි යි.

පැන්ඩෝරාවට නම ගිය අය

 පැන්ඩෝරා පත්‍රිකා මඟින් හෙළි කළ අක්වෙරළ ගනුදෙනුවල යෙදුණු පුද්ගලයන් අතර ජෝර්දානයේ රජු, යුක්‍රේනය, කෙන්යාව, රුසියාව සහ ඉක්වදෝරයේ ජනාධිපතිවරුන්, චෙක් ජනරජයේ අගමැති සහ මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්, ලෝකය තුළ වඩාත් කතා බහට ලක් වුණා. එක්සත් ජනපදය, රුසියාව, තුර්කිය, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් ගණනක් මුල් කර ගත් ප්‍රකෝටිපතියන් 130 කට වැඩි පිරිසක ගේ මූල්‍ය කටයුතු පැන්ඩෝරා පත්‍රිකා හරහා විස්තර කොට තිබෙනවා.  මේ සියල්ලන් ම අක්වෙරළ (රටින් එපිට) ගනුදෙනු පද්ධති අවසන් කිරීම සඳහා උදව් ලබාදිය හැකි පුද්ගලයන් බව ICIJ සංවිධානය පවසනවා. ඒ වෙනුවට ඔවුන් මේ අයථා ගනුදෙනු හරහා අධික ප්‍රතිලාභ ලබනවා.  අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවත් පැන්ඩෝරා පත්‍රිකාවට ඇතුළත් වී තිබෙනවා.

 ගෝලීය නීති විරෝධි මුදල් ප්‍රවාහ මන්දගාමී කිරීමට ලෝකයේ බොහෝ රජයන් ක්‍රියා නොකරන අතර, රහසිගත සමාගම්වලල මුල්‍ය ආයතතනවල වත්කම් ගබඩා කිරීමෙන් සිදුවන්නේ මූල්‍ය අපරාධකරුවන් තවත් පොහොසත් වීම පමණ යි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ මූල්‍ය විෂමතාව හමුවේ දුප්පත් ජාතීන් ලෝකය පුරා බිහි වීම යි. ගෝලීය නීති විරෝධි මුදල් ප්‍රවාහ පිළිබඳ සංවේදී වන රජයන් සහ පුරවැසියන් සිටින රටවල් ලෝකයේ නැතුවා නොවේ. සාධනීය මූල්‍ය විනිවිදභාවයක් පවත්වා ගෙන යන අතරේ පුරවැසියන්ට ප්‍රතිලාභ ලබාදීමත් ඒ රටවල සිදු වෙනවා. එවැනි රටක පුරවැසි වගකීම හා සම්බන්ධ ලිපියක සබැඳියක් ඔබට අවසානයේදී හමුවේවි.

බලයේ සිටින සහ හිටපු දේශපාලකයන් අනුව පැන්ඩෝරා පත්‍රිකා වලින් හෙළිකල බලපෑම – www.dw.com 

 කෙසේ නමුත්, අපගේ අරමුණ වන්නේ පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිදරව් වූ පුද්ගල නාම සහ ඔවුන්ගේ ගනුදෙනුවල වටිනාකම සාකච්ඡා කිරීම නොවේ. ඒ පිළිබඳ විස්තර ඔබට ඕනෑ තරම් සපයා ගත හැකි යි. අපගේ අරමුණ වන්නේ පැන්ඩෝරා පත්‍රිකාවල පසුබිම් කරුණු සහ පැහැදිලි කරගත යුතු කරුණු වල සාධනීය මාර්ගෝපදේශනයක් ලබාදීම යි. ඔබට පුද්ගලයන් ගැන දැන ගැනීමට අවශ්‍ය නම් මේ  සබැඳියට පිවිසෙන්න.

අක් වෙරළ මධ්‍යස්ථාන

 බදු තෝතැනි හෝ අක්වෙරළ මුල්‍ය මධ්‍යස්ථාන යනු ආයතනික බදු ඉතා අඩු හෝ නොමැති ව බාහිරින් පැමිණෙන පුද්ගලයන්ට පහසුවෙන් ව්‍යාපාර ආරම්භ කිරීමට නැත්නම් තැන්පතු සඳහා ඉඩ සලසන ස්ථාන යි. මේවා රටවල් හෝ යම් පරිපාලනමය ස්වාධීනත්වයක් ඇතිකර ගෙන තිබෙන බල ප්‍රදේශ විය හැකි යි. බදු තෝතැනි ලෙස තමා නිශ්චිතව හඳුන්වා නොදුන්නත්, සිංගප්පූරුව, ස්විස්ටර්ලන්තය, පැනමා වැනි රටවල් බදු තෝතැනි ලෙස ප්‍රකට යි. මීට අමතර ව, බ්‍රිතාන්‍යයට අයත් සයුරෙන් එතෙර පිහිටි ඇතැම් බල ප්‍රදේශත් බදු තෝතැනි ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. බදු තෝතැනි එක්තරා විදිහකින් තොරතුරු උකහා ගැනීමට දුෂ්කර, මූල්‍යමය වශයෙන් රහස්‍යභාවයක් පවත්වා ගෙන යන බල ප්‍රදේශ ලෙස හැඳින්විය හැකි යි.

මුදල් විශුද්ධිකරණය පොදුවේ සිදුවන අන්දම – pinkladyprisonconsultants.com 

බදු තෝතැන්නක වත්කම් සඟවන හැටි

 බදු තෝතැන්නක ක්‍රියාත්මක වන අක්වෙරළ සමාගම්වල කාර්යය වන්නේ තම ධනවත් සේවාදායකයන්ගේ වත්කම් වසන් කරමින් ඔවුන්ට බදු සහන ලබා දීම යි. හිමිකම් වෙනුවෙන් ව්‍යාජ ලෙස පෙනී සිටීම සහ අවම රෙගුලාසි යන මූලධර්ම වටා ගොඩනැඟුණු මූලික ක්‍රම කිහිපයකින් අක්වෙරළ සමාගම් තම සේවාදායකයන්ට වාසි සලසා දෙනවා.

මෙහිදී සිදුවන්නේ සත්‍ය වශයෙන් පිහිටුවා නොමැති වුණත්, සමාගමක් පිහිටුවා ඇති බවට සකස් කළ ලේඛන හරහා මුදල් විශුද්ධීකරණයට අවශ්‍ය පසුබිම සකස් කර දීම යි. කාර්යාලයක් හෝ සේවකයන් නොමැති මෙම සමාගම් කඩදාසිවලට පමණක් සීමා වූ සමාගම් වෙනවා. එහෙත්, මෙම සමාගම් සතුව බැංකු ගිණුම්, නිෂ්ක්‍රීය ආයෝජන, බුද්ධිමය දේපළ, නැව් වැනි ලියාපදිංචි වත්කම් තිබෙන්නට පුළුවන්. සේවාදායකයා වෙනුවෙන් ඔවුන් අදාළ වත්කම වෙනුවෙන් පෙනී සිටීමක් වැනි දෙයක් සිදු කරනවා. 

පැනමා පත්‍රිකා වලින් හෙළිවූ ලොව ප්‍රමුඛතම බදු නිදහස් කලාප – knoema.com 

 සේවාදායකයාට නාමික සමාගමක් පිහිටුවීමට සහ පවත්වා ගෙන යාම සඳහා අදාළ විශේෂඥ සමාගමට යම් මුදලක් ගෙවීමට සිදු වෙනවා. පසුව අදාළ නාමික සමාගමට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කෙරෙන අතර, ඔවුන්ගේ ලිපිනය පවා මුදලට ලබා දෙනවා. එමඟින් සේවාදායකයා තමාගේ අනන්‍යතාව සඟවා බාහිර ලෝකයට අධ්‍යක්ෂ මණ්ඩලය පෙනෙන්නට ඉඩ හැර රහසේ ම ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා.

 අක්වෙරළ ගනුදෙනු හරහා සිදුවන බරපතළ ම හානිය වන්නේ අදාළ සේවාදායකයා පුරවැසිභාවය දරන රටේ සුබසිද්ධිය සඳහා වෙන් වූ මුදලක් හෝ බදු මුදල් අහිමි වීම යි. මේ වත්කම්වල වටිනාකමත් සුළුපටු නැහැ. උදාහරණ ලෙස පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිදරව් වූ ජෝර්දානයේ රජුගේ සැඟවූ වත්කම්වල වටිනාකම පවුම් මිලියන 70ක් පමණ වෙනවා. අසර්බයිජානයේ ප්‍රමුඛ පෙළේ පවුලක් එක්සත් රාජධානිය තුළ පවුම් මිලියන 400 ක වටිනාකමක් ඇති ගනුදෙනුවක් සඳහා සැඟවුණු මැදිහත්වීමක් දක්වා තිබෙනවා.

මූල්‍ය විෂමතාවයේ අත්තිවාරම

 අපරාධමය ප්‍රහාරවලින් ආරක්ෂා වීම හෝ අස්ථාවර රජයන්වලින් ආරක්ෂා වීම වැනි සාධාරණ හේතු මත පුද්ගලයන් තම මුදල් සහ වත්කම් සයුරෙන් එතෙර ස්ථානයක රැඳවීමට ක්‍රියා කරන අවස්ථා තිබෙනවා. එවැනි කාරණාවක් මත රහසිගත අක්වෙරළ වත්කම් තිබීම නීති විරෝධි නැතත්, නීතියේ ඇති හිඩැස් භාවිත කොට බදු තෝතැන්නක සමාගම් පිහිටුවීම මඟින් නීත්‍යනුකූල ලෙස බදු ගෙවීම් පැහැර හැරීමට උත්සහ කිරීම බරපතළ සදාචාර විරෝධී ක්‍රියාවක්.

පැන්ඩෝරා පත්‍රිකා වලින් වැඩිම දේශපාලකයන් ගණනක් හෙළිදරව් වූ රටවල් – www.statista.com 

අක්වෙරළ ක්‍රමය අනීතික හෝ අපරාධ ක්‍රියා මඟින් උපයාගත් මුදල් සැඟවීමට ඇති හොඳ ම මාර්ගයක් ලෙසත් සැලකෙනවා.  විශේෂයෙන්ම නෝර්වේ, ස්වීඩනය වැනි නෝර්ඩික් රටවල සමාජය මෙම ක්‍රියාව ඉතා පිළිකුල් කොට සලකන්නේ ඒ නිසා යි. එම රටවල බදු මුදල් ගෙවීම සහ යෙදවීම ඉහළ විනිවිදභාවයකින් සිදුවන නිසා අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, වැනි බොහෝ අත්‍යාවශ්‍ය සේවාවලින් ජනතාව ඉහළ ප්‍රතිලාභ භුක්ති විඳිනවා. 

 ICIJ සංවිධානයේ ඇස්තමේන්තුට අනුව මෙලෙස විදෙස් රටවල සඟවා තිබෙන වත්කම්වල සම්පූර්ණ මූල්‍ය වටිනාකම ඩොලර් ට්‍රිලියන 32 ක් දක්වා විය හැකි බව පැවසෙනවා. නමුත්, එය නිශ්චිත අගයක් නොවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන අන්දමට බදු නොගෙවිය යුතු ස්ථාන භාවිත කිරීමෙන් ලොව පුරා රජයන්ට වාර්ෂික ව ඩොලර් බිලියන 600 ක් දක්වා වූ බදු මුදල් අහිමි වෙනවා.

 මුදල් සැඟවීමේ හැකියාව අපි හැමෝගේම ජීවිතවලට සෘජු බලපෑම් ඇති කරනවා. එය අපට සහ අපේ අනාගත පරම්පරාවට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, නිවෙස්, ආහාර පාන සපයා ගැනීම, මානසික නිදහස බුක්ති විඳීම, වැනි අයිතීන් රැසක් අහිමි කරවනවා. පැනමා පත්‍රිකා සිදුවීමෙන් පසු බදු ගෙවීම පැහැර හැරීම හෝ වත්කම් සඟවා ගැනීම් අසීරු කරන ලෙස ලෝකය පුරා සිටින දේශපාලනඥයන්ගෙන් ඉල්ලීම් සිදු කළත්, පැන්ඩෝරා පත්‍රිකාවල දේශපාලකයන්ගේ සැලකිය යුතු ගහණයක් ඇති නිසා මේවායේ අවසානයක් දැකීම ලෙහෙසි පහසු නැහැ.

පැන්ඩෝරා පෙට්ටියේ රැඳුණු දේ..

 මේ ලිපියට ප්‍රවේශය ලබා ගත්තේ එක්තරා ග්‍රීක මිත්‍යා කතාවකින්. එහිදී නිදහස් වූ යක්ෂයන් හමුවේ පෙට්ටිය වසාදැමූ නිසා එක් දෙයක් පැන්ඩෝරා පෙට්ටියෙන් නිදහස් වුණේ නැහැ. මේ නිදහස් නොවූ දෙය හඳුන්වන්නේ “බලාපොරොත්තුව” නමිනු යි.  විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය විශාල පරිශ්‍රමයක් දරා හෙළිදරව් කළ මේ තොරතුරුවලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක් ද කියා විමසා බැලීමත් වටිනවා. සරලව ම ඔවුන් බලාපොරොත්තු වන්නේ ක්‍රියාත්මක වීම යි. දැනටමත් බොහෝ රාජ්‍යයන් පැන්ඩෝරා පත්‍රිකා වල හෙළිදරව් කිරීම්වලට ප්‍රතිචාර දැක්වීම අරඹා තිබෙනවා.

පැන්ඩෝරා පත්‍රිකා හරහා රහස් ගනුදෙනු හෙළිදරව් වූ දේශපාලකයන් සහ නායකයන් වැඩි වැඩියෙන් විවේචනයට හා පරීක්‍ෂණවලට මුහුණ පා සිටින අතර, ලොව විශාලත ම අක්වෙරළ කාන්දු වීම හේතුවෙන් බොහෝ රජයන් පරීක්ෂණ සඳහා පොරොන්දු වෙමින් සිටිනවා. ඇතැම් නායකයන් හෙළිදරව් කිරීම් හමුවේ ආරක්ෂිතව සිටීමටත් උත්සහ දරනවා. පැන්ඩෝරා පත්‍රිකා හමුවේ ප්‍රතිචාර දැක්වූ  සිදුවීම් කිහිපයක් දෙස දැන් අවධානය යොමු කරමු.

  • පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළිදරව් වූ මතභාදාත්මක ව්‍යාපාරික ගනුදෙනුවක් සම්බන්ධයෙන් චිලී රාජ්‍යයේ ජනාධිපති මාධ්‍ය හමුවේ කරුණු පහදා දී ඇති අතර, ගනුදෙනුවේ පොලී අනුපාත පිළිබඳ ගැටලු ඔහු ප්‍රතික්ෂේප කොට තිබුණා.
  • මැලේසියාවේ විපක්ෂ නායක පැන්ඩෝරා හෙළිදරව් සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා හදිසි යෝජනාවක් පහළ මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කොට තිබෙනවා.
  • යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලෙයින්, පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළිදරව් කළ ක්‍රියා දැඩි ව විවේචනය කර තිබෙනවා. බදු පැහැර හැරීම් හා ආක්‍රමණශීලී බදු සැලසුම්වලට එරෙහිව සටන් කිරීමට යුරෝපා සංගමය වැඩි යමක් කළ යුතු බව එහිදී උර්සුලා පවසා තිබෙනවා.
  • ධවල මන්දිරය පැන්ඩෝරා වාර්තා කියවා ඇති බවත්, මූල්‍ය අපරාධවලට එරෙහිව එක්සත් ජනපදයේ සටන වැඩිදියුණු කිරීමට ජනාධිපතිවරයා කැපවෙන බවත්, ජෝ බයිඩන් වෙනුවෙන් ධවල මන්දිරයේ ප්‍රවෘත්ති අංශය වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.

 බොහෝ රටවල් පැන්ඩෝරා පත්‍රිකාවල හෙළිදරව් කිරීම් සැළකිල්ලට ගනිමින් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ නිකුත් කළත්, ඒවායේ සාර්ථක අසාර්ථකභාවය ගැන පිරික්සීමට තවත් කාලයක් බලා සිටීමට සිදු වේවි. ICIJ සංවිධානය සිදු කළ හෙළිදරව් නිසා ඇතිවූ ධනාත්මක බලපෑම් ඕනෑ තරම් තිබෙනවා. පැනමා පත්‍රිකා හමුවේ අයිස්ලන්තයේ ඇතිවූ උද්ඝෝෂණ මාලාව ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැකි යි.  “වත්කම් සැඟවූ අගමැති ගෙදර යැවූ අයිස්ලන්තයේ මිනිස්සු” නම් රෝර් අපේ ලිපිය කියවීමෙන් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි යි.

 කවරයේ ඡායාරූපය: පැන්ඩෝරා පත්‍රිකා හරහා ලෝක නායකයන් රැසකගේ මූල්‍ය අක්‍රමිකතා හෙළිවී තිබෙනවා- www.youtube.com

 මූලාශ්‍ර:

 www.icij.org 

 news.trust.org

www.theguardian.com

www.nytimes.com

www.bbc.com

www.bbc.com

www.greekmyths-greekmythology.com

Related Articles