Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තෙල් පෝලිමේ ත්‍රිවීලර් මාෆියාවේ නොපෙනෙන ඇතුළු පැත්ත

අංක තහඩු ක්‍රමය හෝ  කිව්. ආර්. කෝඩ් ක්‍රමය ආවත් ලංකාවේ තෙල් පෝලිම්වල නම් තවම අඩුවක් නැහැ.  තෙල් පෝලිම්වල වැඩිපුර ම දකින්නට ලැබෙන්නේ ත්‍රිරෝද රථ යි. පොඩි මිනිහාගේ වාහනය ලෙස සැලකුණු ත්‍රිරෝදයේ ගමන් යාමත් අද දුෂ්කර වී ඇත්තේ ඉතා අධික මිල ගණන් අයකිරීම නිසා යි.

ඒ වගේම ත්‍රිරෝද රියදුරන් කුලී ගමන් යනු වෙනුවට තෙල් එකතු කර වැඩි මිලට විකිණීමේ ජාවාරමක යෙදෙන බව අද සමාජයෙන් නිතර එල්ලවෙන චෝදනාවක්. මේ ත්‍රිරෝද රථවල තෙල් පෝලිමේ භූමිකාව ගැන කළ සොයාබැලීමක්.

 පොඩි මිනිහාගේ වාහනේ- Gamana facebook page

ශ්‍රී ලංකාවේ ඉන්ධන ඉල්ලුම

ඉන්ධන අර්බුදය මෙරට තුළ නිර්මාණය වුණේ 2022 වසරේ මාර්තුවලින් පමණ පසුව යි. ඊට පෙර රට තුළ සාමාන්‍ය දෛනික පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 3500ක් ද  ඩීසල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 6500ක් ද වුණා.  භූමිතෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 700ක් ලෙස සැලකුණා. කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය දැවිතෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 400ක් වුණා. ඉන්ධන සුපුරුදු පරිදි ගෙන්වා ගැනීමට ඩොලර් හිඟය හරස් වීමෙන් පසුව දිනපතා පිරවුම් හල්වලට ලැබෙන ඉන්ධන ප්‍රමාණය සීමා වුණා.

සමහර පිරවුම්හල්වලට තෙල් බවුසර දින කිහිපයකට වරක් පැමිණීම ඇරඹුණා. දැන් ඉන්ධන ඉල්ලුම පෙරට වඩා තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් පෙන්නුම් කරන බව  තෙල් සංස්ථාවේ ඉහළ පෙළේ නිලධාරීන් සඳහන් කරනවා.  මෙම ඉන්ධන මාෆියාව උග්‍ර වී ඇත්තේ බොහෝ ත්‍රිරෝද රථ, කාර්, වෑන්,ලොරි ආදිය පෙට්‍රල් සහ ඩීසල්  එකතු කිරීමේ ජාවාරමක  නිරත වී සිටීම නිසා බවත් පැවසෙනවා.

මේ වනවිට බොහෝ ත්‍රිරෝද රථවල විනිවිද පෙනෙන ප්ලාස්ටික් බටයක්  තබාගෙන සිටීම සාමාන්‍ය දෙයක්. ඒ ඉන්ධන ටැංකියෙන් පෙට්‍රල් පිටතට ලබා ගැනීමට යි. එම බටවලට කෙතරම් ඉල්ලුමක් පවතී ද යත් වෙළෙඳපොළේ  එම බට වර්ගවල  හිඟයක් දපවතින බව වෙළෙඳුන් පවසනවා. ඔබ තෙල් පෝලිම්වල කල් ගත කර ඇත්නම් පෝලිමට පැමිණෙන ත්‍රිරෝද රථ එන්ජිම නවතා ටැංකියේ ඇති සියලු ම තෙල් බටයකින් කෑන්වලට පුරවාගෙන රථය තල්ලු කරමින් යන අන්දම දැක තිබෙනු ඇති.

 ත්‍රිවීලර් නැවතුමක්- dailymirror.lk

ත්‍රිවීලර් කුලී රථ සේවය

1978 න් පසුව විවෘත ආර්ථික ක්‍රමය යටතේ තමයි ත්‍රීරෝද රථය අපේ රටට හඳුන්වා දුන්නෙ.  මේ වනවිට අප රටේ ලියාපදිංචි කර ඇති ත්‍රීරෝද රථ සංඛ්‍යාව ලක්ෂ දොළහකට ආසන්න යි.   ඉන්  යම් ප්‍රමාණයක්  වසරක් පාසා අලුත්වැඩියා කටයුතු, නඩත්තු කළ නොහැකි වීම හේතුවෙන් ධාවනයෙන් ඉවත් වෙනවා.  දල වශයෙන් ලක්ෂ අටහමාරක පමණ ත්‍රීරෝද රථ සංඛ්‍යාවක් මේ වන විට රටේ මාර්ගවල ධාවනය වෙනවා.   

එයින් ලක්ෂ පහක පමණ ත්‍රීරෝද රථ ධාවනය වන්නේ කුලී ත්‍රීරෝද රථ විදිහට යි.  මෙම එක් ත්‍රීරෝද රථයක් ගමන් වාර දහය බැගින් ක්‍රියාත්මක කළහොත් දෛනිකව මගීන් දස දෙනකු ගමන් කරයි නම් ලක්ෂ පනහක් පමණ මගීන් දිනකට ප්‍රවාහනය කිරීම සිදු වෙනවා. ඒ වගේම ත්‍රීරෝද රථ සේවාවෙන් ඍජුව ම ලක්ෂ විසිපහක් පමණ පිරිසක් යැපෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

ත්‍රීරෝද රථ සේවාවෙන් ඍජුව ම ලක්ෂ විසිපහක් පමණ පිරිසක් යැපෙනවා – Pradeep Dambarage/NurPhoto via Getty Images 

 

තදබදය පිරුණු කොළඹ නගරය හෝ වෙනත් එවැනි කාර්යබහුල නගරයන්හි මෙන් ම ගම්නියම් ගම් පුරාවට ත්‍රීරෝද රථයෙන් ලැබෙන්නේ විශාල සේවයක්.   මේ නිසා ම අප රටේ ත්‍රීරෝද රථ භාවිතය පසුගිය වසර දහය පහළොව කාලය තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබෙනවා. තෙල් අර්බුදයත් සමඟ මහ පාරේ හයර් දුවන ත්‍රීවීලර් සංඛ්‍යාව දැන් ඉතා  අඩු වෙලා. බොහෝ කුලී රථ ගාල්වල ත්‍රිවිලර් දැකගැනීමටවත් නැහැ. නමුත් තෙල් පෝලිම්වල නම් නිතර ම වැඩිපුර දකින්නට ලැබෙන්නේ ත්‍රිවිලර්.  

 හමුදා ආරක්ෂාව මැද ඉන්ධන ලබා ගනිමින් – India.com

මීටරය වැඩ නැහැ

බස් රථ පවා හිඟ මේ කාලයේ  ත්‍රීරෝද රථ රියැදුරන් කුලී රථ බොහොමයක් ධාවනය නොකිරීම හේතුවෙන් ජනතාව තවත් අර්බුදකාරී තත්ත්වයකට පත් ව සිටිනවා. දැන් බොහෝ ත්‍රිරෝද රථ මීටරය ක්‍රියාත්මක කරන්නෙ නැහැ.  

පසුගිය තෙල් මිල ඉහළ දැමීමෙන් පසුව පළමු කිලෝමීටරය සඳහා මේ වන විට අය කෙරෙන රුපියල් 100ක් ගාස්තුව වෙනසක් නොවන නමුත් දෙවැනි කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 80ක් වූ මුදල රුපියල් 90 දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කර තිබුණා. නමුත් එය ක්‍රියාත්මක වන බවක් නම් තව ම පේන්නේ නැහැ.

තෙල් පෝලිමේ තල්ලු කරමින් – Indiatoday.com

 

දැන් කිලෝ මීටරයකට අය කරන ගණන රුපියල් දෙතුන් සියයක් වෙලා. ඇතැමුන් රුපියල් 500කට අඩුවෙන් ත්‍රීවීලරය පණ ගන්වන්නේත් නැහැ. ඒ අතර සමහරුන් හැමදාම තෙල් පෝලිමේ. පෝලිමේ සිට තෙල් ගහගෙන ගොස් තෙල් ඉවත් කරගෙන  ආපසු පැමිණ හිටපු තැන ම ත්‍රීවීල් එක නැවත නවතා තබන බවත් පැවසෙනවා. දවස් ගණන් පෝලිම්වල ඉඳ තෙල් ලබා ගන්නා නිසා පොඩි ගණන්වලට හයර් දුවන්නට බැරි බවත් බොහෝ ත්‍රීවීල් රියැදුරන් පවසනවා. දින ගණනක් පෝලිමේ සිටින වියදම සමඟ ගණන් හැදූ විට පෙට්‍රල් ලීටරයකට රු. 3000ක් පමණ වැයවන බවත් ඔවුන් කියනවා.

සාමාන්‍යයෙන් ත්‍රීවීලරයකට තෙල් ලීටරයකින් ධාවනය කළ හැකි කිලෝමීටර් ගණන 30  සිට 36  දක්වා වෙනවා. සමහර ත්‍රිවිලර් රියදුරන් දැන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 2000 හෝ 3000 වැනි මිල ගණන්වලටයි විකුණන්නේ. සමහර පෙට්රල් ෂෙඩ් හිමිකරුවන් වගේම පොම්පකරුවන්, පොලිස් නිලධාරින් පවා මේ නීතිවිරෝධී ජාවාරමට  උදවු උපකාර කරන බවට චෝදනා නැඟෙනවා.

 දින ගණන් පෝලිමේ සිට තෙල් එකතු කරනවාද? –  Ravin Nalin facebook page

 

‘මම දැන් මෙතැන ඉන්න ත්‍රීවීලර් එකකින් ඇහුවා බොරැල්ලේ ඉඳලා දෙමටගොඩ ස්ටේෂන් එකට යන්න කීයක් ගන්නවාද කියලා. එයා කියනවා රුපියල් 1000ක්ක් ඕන කියලා. ඇත්තට ම මෙතැන ඉඳලා කිලෝමීටර් 3ක්වත් එතැනට නැහැ‘‘ යි එක් මගියෙක් පුවත්පතකට පවසා තිබුණා.

ත්‍රිවිලර්වල අසාධාරණ අයකිරීම් ගැන සමාජ මාධ්‍යවලත් නිතර දකින්නට ලැබෙනවා.

නිශාචාරයෝ ෆේස්බුක් පිටුවේ ජුලි 16 වැනි දා දාතමින් වූ පෝස්ටුවක මෙසේ පළකර තිබුනා.

‘‘අද මං හදිසියකට තලවතුගොඩ හන්දියේ ඉදන් නුගේගොඩට යන්න ත්‍රිවිලර් එකක් හෙව්වා. නුගේගොඩට රුපියල් 4000යි කිවුවා..මං කිවුවා මල්ලි කිලෝමීටර් 7 යිනේ නුගේගොඩට කියලා… ඉස්සර රුපියල් 350යිනේ කියලා..ඒ ඉස්සර… අද මං ලීටරේ ගත්තෙ රුපියල් 1750ට. දැන් ඒ ගණන්වලට දුවන්න බෑ. එනවනම් එන්න නැත්තන් නිකං ඉන්න කිව්වා.‘‘

නිරෝෂ් ගුණසේකර  පළ කර තිබූ පෝස්ටුවක් මේ:

‘‘නවලෝකෙ ගාව ඉඳන් කොටුවට එන්න ත්‍රිවීලර් මහත්මයෙක් රුපියල් අටසීයක් ඉල්ලුවා. මීටර දෙසීයක් පයින් ගිහිං කොම්පඤ්ඤ වීදියෙන් කෝච්චියට නැංගා. ටිකට් එක රුපියල් දහයයි. හත්සිය අනූවක් ලාබයි‘‘

 තෙල් ඉවරයි- cnn.com

ත්‍රිවිලර් රියදුරන්ගේ අදහස

තෙල් පෝලිම්වල දුක් විඳිමින් මගී ප්‍රවාහනය සිදුකරන ත්‍රිවිලර් රියදුරන් ද සිටින බව අප පැවසිය යුතුයි. සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර ඔවුන් මුහුණ දෙන ගැටලු ගැන මෙසේ සඳහන් කර සිටිනවා:

‘‘ඉන්ධන ලබාදීමේ දී බස් රථවලට ඩීසල් ලබා දීමට වෙනම ප්‍රමුඛතාවක් ලබා දුන්නා. ඒ රථවාහනවලට ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් ආරම්භ කළා. නමුත් මගී ප්‍රවාහනය ලබා දෙන ත්‍රීරෝද රථ සඳහා එවැනි සහනයක් හිමි වුණේ නැහැ. අලුතින් හඳුන්වා දෙන ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ත්‍රීරෝද රථයකට හිමිවන රුපියල් දෙදහසකට ලීටර් පහක ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. ඒකත් ලබා දෙන්නේ සතියකට දවස් දෙකයි.

කැබ් ආයතනවල ලියාපදිංචි වී ඇති ත්‍රීවිල් දිනකට පැය දහයක් දොළහක් දෛනික ව කිලෝමීටර් දෙසීයකට අධික ප්‍රමාණයක් ධාවනය කරනවා. ඒ නිසා දෛනික ව ම ඔවුන්ට ලීටර් දහයක් පමණ අවශ්‍ය වෙනවා. අද ගෙන්වන ඉන්ධනවල මිල නම් වැඩි යි. තත්ත්වය පෙර පැවැති ඉන්ධනවලට සාපේක්ෂව බාල යි. ඉස්සරට වඩා අඩුවෙන් තමයි දුවන්න වෙන්නේ. දවස් ගාණක් ඉන්ධන පෝලිමේ ඉඳලා රුපියල් දෙදහස් පන්සීයකට තෙල් ටික ලබාගත්තු කෙනෙක් ඒ තෙල් ටික ටැංකියෙන් ඇදලා ආයෙත් ඒ පෝලිමට එක්වෙන්නෙ නැහැ.  ‘‘    

 පෝලිමේ සිට තෙල් ලබාගනිමින් – Ceylontoday.lk

 

රුපියල් දෙදහස් පන්සීයකට ඉන්ධන ලබා ගැනීමට තිබුණු අවස්ථාව ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව් ආර් කෝඩ් ක්‍රමය හඳුන්වා දීමත් සමඟ රුපියල් දෙදහස දක්වා සීමාවී පවතිනවා. එම ප්‍රමාණය ලබාගත හැක්කෙත් සතියකට දින දෙකක් පමණ යි. එය කළ හැක්කෙත් පිරවුම්හලට තෙල් පැමිණිය හොත් පමණ යි.

‘‘ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් බහුතරයක් එදා දවසේ හයර් එකක් ගොස් එදා දවසට ඉන්ධන ලබාගන්න අය යි. බොහෝ ඉන්ධන පිරවුම්හල් ත්‍රීරෝද රථවලට ඉන්ධන ලබා දුන්නේ දවසකට ත්‍රීරෝද රථ දෙසිය හැත්තෑ පහකට වගේ ප්‍රමාණයකට යි. පැය ගණන් පෝලිම්වල හිටපු මේ ත්‍රීරෝද රථ රියැදුරන් බහුතරයකට රුපියල් දෙදහස නැති වෙලාවල් අනන්තවත් තිබුණා. සමහරු පෝලිම්වල පැය ගණන් ඉඳලා අතේ තිබුණු රුපියල් දාහෙන් තෙල් ලබා ගත්තු අවස්ථා තිබුණා. මේ ත්‍රීරෝද රථ හිමියන්ට තෙල් රැස්කර ගන්න තරම් ආර්ථිකයක් නැහැ.‘‘ සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සංගමයේ අදහස එය යි.

 කවරයේ ඡායාරූපය - නිමක් නැති තෙල් පෝලිමේ - Youdeesh Weerakoon facebook page

මූලාශ්‍ර:

Mawbima.lk

Deshaya.lk

Ceylontoday.lk

Youdeesh Weerakoon facebook page

Related Articles