Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් නොවිසඳුණු අරුම පුදුම අතුරුදහන් වීම් -12: ජැමිසන් පවුලේ අබිරහස

තවමත් විසඳාගත නොහැකි වූ, අරුම පුදුම අතුරුදහන් වීම් ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි පසුගිය ලිපියෙන් අපි ඔබ වෙත ගෙන ආවේ අමෙරිකාව හා කැනඩාව පුරා විහිදී පවතින කම්කරු සංගමයක් වන ‘ද ස්ටීම්ස්ටර්’ හි එවක නායක ජිමී හොෆා ගේ අබිරහස් අතුරුදහන් වීම පිළිබඳව යි. නීතිය හා බලය දැඩි ලෙස අවභාවිත කළ බවට චෝදනා ලැබූ ජිමී හොෆා අවසානයේ ඝාතනය වූ බවට බොහෝ දෙනා විශ්වාස කරන අතර, අද වන විටත් ඒ පිළිබඳඩව පැහැදිලි සාක්ෂි නැහැ. 

අමෙරිකා එක්සත් ජනපදයේ 2009 වසරේ දී සිදු වූ ජැමිසන් පවුලේ හදිසි අතුරුදන් වීමත් එවැනිම ආකාරයේ අබිරහසක් ලොවට ඉතිරි කළ සිද්ධියක්. පසුකාලීනව යම් යම් සැකකටයුතු සාක්ෂි හමුවුව ද, ඒ කිසිවක් සාධක සහිත ව මීට සම්බන්ධ යැයි තහවුරු කරගන්නට කිසිවකුටත් නොහැකි වුණා. විශේෂයෙන් මොවුන්ගේ ශාරීරික අවශේෂ පසුකාලීනව හමුවුව ද, ඉන් එහා කිසිවක් සොයාගන්නට කිසිවකුත් සමත් වූයේ නැහැ.

ජැමිසන් පවුල- www.glossyfied.com

නිවසේ භූත බලවේග ඇතැයි කියූ බොබී ජැමිසන්

බොබී ඩේල් ජැමිසන්, ඔහුගේ බිරිය වන ෂර්ලින් හා සය හැවිරිදි ගැහැනු දරුවා වන මැඩිසන් යන තිදෙනා ජීවත් වුණේ අමෙරිකා එක්සත් ජනපදයේ, ඔක්ලහෝමා ප්‍රාන්තයේ එෆෝලා නම් පෙදෙසේ යි. තරමක අමුතු ගතිලක්ෂණ තිබූ බොබී, 2009 වසරේ එක් දිනෙක, ප්‍රදේශයේ දේවස්ථානයට ගොස්, එහි ප්‍රධාන දේවගැතිවරයා හමුවුණා. ඔහු පැවසුවේ තමන්ගේ නිවසෙහි භූතාත්ම සැරිසන බව යි. ඉන් ටික දිනකට පසු, එනම් 2009 වසරේ ඔක්තෝබර් මස 8 වන දින  ඔවුන් එක්වර ම සිය නිවසෙන් අතුරුදහන් ව තිබුණා.

අතැර දමා තිබූ ට්‍රක් රිය හමුවෙයි

එදින ජැමිසන් නිවස තදාසන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබුණා. ඉන් කියැවුණේ බොබ් ජැමිසන්, ඔහුගේ බිරිය හා දියණිය යන තිදෙනා ම ඔවුන්ගේ ට්‍රක් රථය ද සමඟින් නිවෙසින් අතුරුදහන් ව ඇති බව යි. මේ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් වහාම පර්යේෂණ ආරම්භ කළා. එහෙත් ඔවුන් සිතූ තරම් පහසුවෙන් සාක්ෂි හමු නොවූ අතර, ඉන් දින කිහිපයකට පසුව, ජැමිසන් පවුල ජීවත් වූ නිවෙසට පැයක පමණ ගමන් දුරකින් යුක්ත ලැටිමර් නම් පෙදෙසෙහි අතැර දමා තිබිය දී ඔවුන්ගේ ට්‍රක් රිය හමු වුණා. එහි බොබී හා ෂර්ලින්ගේ හැඳුනුම්පත්, මුදල් පසුම්බි, ජංගම දුරකථන මෙන් ම සුරතලයට ඇති කළ සුනඛයා ද වුණා. මොවුන් සොරකමකට ලක් වී නොමැති බැව් පෙන්වමින් එහි ඩොලර් 32,000 ක මුදලක් ද වුණා.

Buzzfeed, ජැමිසන් පවුලේ අතුරුදහන් වීම පිටුපස පවතින විවිධ සාධක ගවේෂණය කරයි.

බොබී ජැමිසන් සහ පවුල ඒ ආසන්න කාලයක දී තමන්ට ජීවත් වීම සඳහා නිසි ආදායමක් නැති බැව් පවසමින් සහනාධාර පවා ලබාගෙන තිබුණා. එම නිසා ඔවුන් සතුව ඩොලර් 32,000 ක් වැනි විශාල මුදලක් තිබීම පොලිස් නිලධාරීන්ගේ දෙබැම රැළි කරවන්නට සමත් වුණා. ඔවුන්ගේ නිගමනය වූයේ ජැමිසන් පවුල මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන්නට ඇති බව යි. මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන අතරතුර ඇති වූ මතභේදයක් නිසා ඔවුන් ඝාතනය වන්නට ඇති බවත් අනුමාන කෙරුණා. ඉදිරි පර්යේෂණ සිදු කෙරුණේ ඒ අනුව යි.

තදාසන්නව මතු වූ ඇටකටු

පොලිසිය සැක කළ පරිදි මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා බොබී ජැමිසන් යුවළ පැමිණියේ නම්, ඔවුන් සිය දියණිය හා සුරතල් සුනඛයා රැගෙන ආවේ මන්දැයි සමහර පර්යේෂකයන් ප්‍රශ්න කරන්නට වුණා.එමෙන්ම ඔවුන්ගේ වාහනයේ තිබූ දේ අනුව අනුමාන කළ හැකි වූයේ ඔවුන් දිගු හෝ රහස් ගමනක් සඳහා සූදානම්ව නොසිටි බව යි. දිගටම පර්යේෂණ පැවති අතර, 2013 වසරේ නොවැම්බර් මස 16 වනදා වනතුරු කිසිදු සාධනීය දෙයක් හමුවූයේ නැහැ.

දඩයක්කරුවන්ට හමු වූ අස්ථි කොටස් හා සුන්බුන්- buzzfeed.com

2013 වසරේ නොවැම්බර් මස 16 වැනි දා ප්‍රදේශයේ සැරිසැරූ දඩයක්කරුවන් කණ්ඩායමකට, ජැමිසන්ගේ වාහනය හමු වූ ස්ථානයේ සිට සැතපුම් 3 ක පමණ දුරක තිබී වැඩිහිටියන් දෙදෙනකුගේ සහ කුඩා දරුවකුගේ ඇට කැබලි හා ඇඳුම් ආයිත්තම්වල අවශේෂ හමුවනවා. මේ අනුව තමන් ජැමිසන් පවුලේ අතුරුදන් වීම පිළිබඳව වූ අභිරහසෙහි අවසානයට පැමිණ ඇති බවට පොලිසිය විශ්වාස කළා. මෙය ශපථ කරමින් මෙම ඇටකටු ජැමිසන් පවුලේ තිදෙනාට අයත් බැව් වෝහාරික පර්යේෂණවලින් ඔප්පු වුණා.

ජැමිසන් පවුල ඝාතනය කළේ කවුද?

හමු වූ අස්ථි කොටස් ජැමිසන් පවුලේ අයගේ බවට තහවුරු වුව ද, ඔවුන් හදිසි අනතුරකින් මිය ගියා ද? සිය දිවි නසා ගත්තාද?, එසේත් නැතිනම් ඝාතනය කළා ද යන්න පිළිබඳ ව කිසිදු ආකාරයකින් තහවුරු වූයේ නැහැ. මෙයින් වැඩි ඉඩකඩක් ඇත්තේ ඔවුන් ඝාතනය කර තිබීමට බැව් අනුමාන කළ පොලිසිය ඒ ඔස්සේ ඉදිරි පර්යේෂණ කරන්නට වුණා.

බොබී අතුරුදන් වන්නට ආසන්න දිනෙක හමු වූ පියතුමාට ප්‍රකාශ කර තිබුණේ තම නිවසෙහි වහලයේ සිටින භූතාත්ම දෙකත් හතරත් අතර ගණනක් තමන්ට කරදර කරන බව යි. ඔවුන් අතුරුදහන් වූ දින රාත්‍රියේ ඔවුන්ගේ ආරක්ෂක කැමරාවල යම් අසාමාන්‍ය දෙයක් සටහන් ව තිබුණා. ඒ බොබී හා ෂර්ලින් පිටත් වීමට පෙර සිය වාහනයට කලබලයෙන්  තමන් සතු වූ සමහර බඩු භාණ්ඩ පටවන ආකාරය යි. මේ අතර ෂර්ලින්ගේ මව පොලිසියට පැවසුවේ ෂර්ලින් හා බොබී යම් ආගමික කණ්ඩායමකට සම්බන්ධ බව හා ඇය සතු ව සාතන්ගේ කියැවීම් සහිත ග්‍රන්ථයක් තිබුණු බව යි.

ආරක්ෂිත කැමරාවල සටහන් වූ, ජැමිසන් යුවළ වාහනයට බඩු භාණ්ඩ පටවන ආකාරය- Youtube

බොබී ඩේල් ජැමිසන්, ඔහුගේ බිරිය හා දියණිය මියගියේ කෙසේ ද යන්න පිළිබඳ ව අදටත් ඔප්පු වී නැහැ. සමහරෙක් මත පළ කරන්නේ බොබී සිය බිරිය හා දියණිය ඝාතනය කර, තමන් ද සිය දිවි නසා ගන්නට ඇති බව යි. තවත් සමහරෙක් පවසන්නේ බොබී ගේ පියා මොවුන් ඝාතනය කරන්නට ඇති බව යි. ඒ බොබී සිය පියාට එරෙහි ව සිය නිවසට පැමිණීමේ වාරණ නියෝගයක් ලබා ගෙන තිබූ නිසා යි.

තම පියා ‘තමන් නීතියට වඩා ඉහළ යැයි සිතන, භයානක මිනිසෙක්’ බැව් ඔහු පවසා තිබුණා. කෙසේ නමුත් නිවසෙහි තිබී ෂර්ලින් ලියූ පිටු 11 ක් දිගැති ලියමනක් නිසා බොබී සිය පවුල ඝාතනය කර තමන් සිය දිවි නසා ගත් බවට වූ මතය වැඩි දෙනාගේ පිළිගැනීමට ලක් වුණා. එහිදී ඇය තදින් ම සිය ස්වාමි පුරුෂයාට බැන වැදී තිබුණා. කෙසේ නමුත් මේ කිසිවක් තහවුරු කරන්නට සාක්ෂි හමු නොවූ අතර, අදටත් මේ සිද්ධිය පිළිබඳ ව වාර්තා පොත්වල ඇත්තේ නොවිසඳුණු එකක් හැටියට යි.

කවරයේ ඡායාරූපය - ජැමිසන් පවුල - Medium.com
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Strangeoutdoors.com
Forensictales.com

Related Articles