Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාවණ ජනප්‍රවාදය ගෙතුණු ලංකාවේ පළමු දැඩි රක්ෂිතය

නුවරඑළියට යන වැඩි දෙනකුට හක්ගල උද්භිද උද්‍යානය බලන්න ගියත් එයට යාබද ව පිහිටි හක්ගල කන්දේ වටිනාකම ගැන නම් එතරම් දැනුමක් නැහැ. දැඩි රක්ෂිතයක් නිසා එයට ඇතුළුවීමට නම් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය අවශ්‍ය වෙනවා. මේ කන්ද නිතර ම මිහිදුමෙන් වැසී ඇති අයුරු දැකගන්නට පුළුවන්. 

ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත රාවණ ජනප්‍රවාදය ගෙතුණු ලංකාවේ පළමු දැඩි රක්ෂිත වනාන්තරය වන හක්ගල කන්දේ සුන්දරත්වය ගැන සොයා බලමු.   

අඹේවෙලට පෙනෙන මිහිදුමින් වැසුණු හක්ගල – Kusumsiri Wijayawardhana

පිහිටීම

නුවරඑළිය බදුල්ල පාරේ කිලෝ මීටර් 15ක් පමණ දුරින් කටුමාන සහ සීතාඑළීය පසුකළ විට තමයි අඳුරු වනාන්තරයකින් යුක්ත හක්ගල කඳුවැටිය පිහිටා තිබෙන්නේ. මෙය නුවරඑළිය, අඹේවෙල වැනි අවට බොහෝ පෙදෙස්වලට තේ වතුවලට ඉහළින් අලංකාර අයුරින් දර්ශනය වෙනවා. කඳු මුදුන් ත්‍රිත්වයක් එක පොකුරට ඇති හෙයින් මේ කන්ද හඳුනා ගැනීමට පහසුයි. විවිධ දිශාවලට හක්ගල දිස් වන්නේනම් විවිධ හැඩවලට යි.

 හක්ගල කන්ද නුවරඑළිය නගරයට ගිනිකොන පැත්තට වෙන්නටයි පිහිටා ඇත්තේ. නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලට අයත් මෙහි හෙක්ටයාර් 1142ක් දැඩි රක්ෂිතයට අයත් වෙනවා. දැඩි රක්ෂිතය අක්කර 2885ක් පමණ විශාල යි. එය ලංකාවේ පළමු දැඩි ස්වභාව රක්ෂිතය  ලෙස ප්‍රකාශයට පත් කරන්නේ  වර්ෂ 1938 පෙබරවාරි මස 25 වැනි දින යි.   

කන්දේ පැතිරි කුරු වනාන්තර – Researchgate.net

ඉහළ කඳුකර වැසි වනාන්තර

කඳුවැටියේ ඉහළ කොටසේ පිහිටා තිබෙන්නේ ඉහළ කඳුකර වනාන්තරයක්. මේ වනයේ පිහිටි ශාකවලින් සියයට 40ක් ශ්‍රී ලංකාවට ආවේණික යි. මෙම කුරු වනාන්තරය  කඳුකර උණහපුලුවා වගේ ම කොටියාගේ ද වාසස්ථානයක්.  ශ්‍රී ලංකාවේ අනෙක් දැඩි ස්වභාව රක්ෂිත වෙන්නේ වර්ෂ 1938.03.01 වැනි දින ප්‍රකාශිත යාල දැඩි ස්වභාව රක්ෂිතය – යාල II කොටස (හෙක්ටයාර් 28,904.7) සහ  1941.11.07 ප්‍රකාශයට පත්කළ  රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය (හෙක්ටයාර් 1528.1) යි. 

දැඩි ස්වභාව රක්ෂිත තුනෙන් කුඩා ම දැඩි ස්වභාව රක්ෂිතය හක්ගල වුවත් ජෛව විවිධත්වයෙන් නම් එය අනෙක් දැඩි   රක්ෂිතවලට වඩා ඉහළ අගයක් ගන්නවා. මුහුදු මට්ටමේ සිට මීටර් 1650 –2178ත් අතර වූ උසක පැතිර තිබෙන හක්ගල දැඩි ස්වභාව රක්ෂිත වනය මේ කන්ද පුරා හා ඒ අවට ව්‍යාප්ත යි.

හක්ගල කන්ද විවිධ තැන්වලට පෙනෙන අයුරු –  attractionsinsrilanka.com

වනය ව්‍යාප්ත බිමෙන් වර්ග සැතපුම් 35කට ආසන්න ප්‍රමාණයක් හක්ගල කඳුවැටියට අයිති යි.  ජෛව විවිධත්වයෙන් අනූනව දිය සීරාව සහිත තෙත්බිම් සහිත පිරිපුන් ජල ධාරා ප්‍රදේශයක් වන හක්ගල පාරිසරික වශයෙන් ඉහළ වටිනාකමක් හිමි කර ගන්නවා. දැඩි ස්වභාව රක්ෂිතයකට ඇතුළුවීමට අවසරය හිමි වෙන්නේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසර මත පර්යේෂණ හා අධ්‍යයන කාර්යයන් සඳහා පමණ යි.

 ශ්‍රී ලංකාවේ ඉතා සුළු වශයෙන් පවතින ඉහළ කඳුකර වැසි වනාන්තරයක් හක්ගල දැක ගත හැකි යි. එහි වර්ෂාපතනය මිලි මීටර 2400කට ඉහළ යි. කුරු වශයෙන් පවතින ගස් එතරම් උස නැහැ. ගස්වල සාමාන්‍ය උස මීටර 3-4ක් පමණ වෙනවා.  

හක්ගල කඳු මුදුනක් – attractionsinsrilanka.com

රාවණා ජනප්‍රවාදය

රාවණා ජනප්‍රවාදවල සඳහන් පරිදි හක්ගල යනු හනුමාන් හිමාලය කඳුවැටියේ කොටසක් කඩාගෙන ගුවනින් රැගෙන එනවිට ඉන් වැටුණු කොටසක්. හක්ගල ඖෂධ හා දුර්ලභ පැළෑටිවලින් සමන්විත වන්නේ ඒ නිසා බව ගැමියන්ගේ පිළිගැනීම යි.

මෙහි නම හැදුණු අන්දම ගැන ඇති කතාවත් රාවණ ජනප්‍රවාදයට සම්බන්ධ යි. අතීතයේ ලංකා පුරයේ සිටි රාවණා රජු, රාම කුමරුන් සමඟ යුද වැදීම සඳහා තමන්ගේ සේනාව රැස් කිරීමට සීතල කඳුකරයේ උස් කඳ මුදුනක සිට හක් ගෙඩියක් පිඹ තියෙනවා. හක්ගෙඩිය පිඹින ලද කන්ද හක්ගල වූ බව ජන විශ්වාසය යි.

හක්ගල කන්දෙන් පෝෂණය වන කන්දේ ඇළ ජලාශය- commons.wikimedia.org

   හක්ගල කඳු දෙක අතරේ පිහිටා ඇති නිම්නයෙන් මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වෙන උමා ඔයේ ජලපෝෂක ප්‍රදේශය ආවරණය කරනවා. හක්ගල කන්දෙන් ගලා බසිනා දිය කදුරුවලින් පෝෂණය වෙමින්  ගලා බසින උමා ඔය සීතාඑළිය ලයිසන් පාලම යටින් හැල්මේ දිව යනවා. ඒ වගේ ම අඹේවෙල හා කන්දේ ඇළ ජලාශවල ජල පෝෂක බිම ලෙසත් ක්‍රියා කරන්නේ හක්ගල වනය යි.

සුළං මුහුණතට වෙන්නට ව්‍යාප්ත බිමේ ගස් කුරු ගස් බවට පත් ව ඇත්තේ සුළඟට ඔරොත්තු දීමට යි. හක්ගල මුදුනත ගල්පරවලින් ගහණ ව විවෘත පෙදෙසකින් සමන්විත යි. ඒ මත ව්‍යාප්ත තෘණ බිම් විශේෂ පරිසර පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා.

හක්ගල අවට සරන කඳුකර රාජාලියා – Wikipedia.org

ජෛව විවිධත්වය

කන්ද පහළ ස්ථරයේ ව්‍යාප්ත වී ඇති වනාන්තරයේ  ශාක ලෙස වල් කුරුඳු, සීතා පේර, වැල් කපුරු, මහමීමන, නෙලු, කීන, පොල් කටු වැනි ශාක දැකගත හැකි යි.

වනාන්තරයේ ජීවත් වන සත්ත්ව විශේෂ අතර කොටියා, කඳුකර කළු වඳුරා, ගෝනා,  , බළල් දිවියා, වල් ඌරා, අං කටුස්සා, හාවා, දඬුලේනා, කඳුකර ලේනා  වැනි සතුන්ට හිමි වන්නේ විශේෂ  තැනක්. අපට ආවේණික කුරුල්ලන් අතරේ අරංගයා, පීතකන් කොණ්ඩයා, කඳුකර නිල් මැසිමාරාවා, ලංකා මල් කුරුල්ලා ආදීන් මෙහි දී දැක ගත හැකි යි. 

සර්පයන් මේ කඳුකරයේ ඇත්තේ ඉතා අඩුවෙන්. ඒ අතරේ දළ  මැඩිල්ලාට හිමි වන්නේ වැදගත් තැනක්.

හක්ගල ඈතට දිස්වන අයුරු- Wikipedia.org

මෙහි ජීවත්වන උභය ජීවී විශේෂවලින් සියයට 57ක්  ශ්‍රී ලංකාවේ පමණක් දැකගත හැකි ආවේණිකයන් වෙනවා. පක්ෂින්ගෙන් සියයට 17ක් ද, ක්ෂීරපායින්ගෙන් 32ක් ද, සමනළ විශේෂවලින් සියයට 26ක් ද ආවේණික ගොන්නට අයත්.

කඳු මුදුනේ පොකුණ

කන්දේ අඩක් පමණ තරණය කරන විට වැසි ජලයෙන් පෝෂණය වන පොකුණක් හමු වෙනවා. පොකුණ පිහිටියේ මීටර් 1800 කට වැඩි උසකින්. ජලය නොමැති අවස්ථාවල එය තණ බිමක් බවට පත්වෙනවා.  මෙම තණ පිට්ටනිය පර්චස් 20ක් පමණ කුඩා ප්‍රදේශයක් වූ නමුත් කඳු බෑවුමේ පිහිටි නිසා එය සුන්දරත්වයෙන් ඉහළ යි.   

දිය සිඳුණු කන්දේ අතරමැද පොකුණ – lankadeepa.lk

කඳු මුදුනට ළං වනවිට ගස්වල උස ඉතාමත් අඩු වෙනවා. ඒවා උසින් මීටරයක් දෙකක් පමණ වෙනවා. හක්ගල කන්දේ දෙවැනි කඳු මුදුනට ද ගමන් කළ හැකි යි.

එම ගමන යා යුත්තේ කුරු වනාන්තරයක් මැදින්. හෝටන් තැනිතලාවේ ජීවත්වන කඳුකර කොටියා එහි  සිට හක්ගලට පැමිණ ඉන්පසු කොනිකල් කන්දටත් පිදුරුතලාගලටත් මාරු වන බව පැවසෙනවා.

  කන්දේ තණ තලාව – Wikipedia.org

 හක්ගල වන විනාශය

ශ්‍රී ලංකාවේ රක්ෂිත ප්‍රදේශ මුහුණ පා ඇති ප්‍රධානත ම තර්ජනයක් වනුයේ නිසි පාරිසරික තත්ත්ව ඇගයීමකින් තොරව සහ නිසි පියවර අනුගමනය නොකරමින් රක්ෂික ප්‍රදේශයන්හි සිදු කරන කෘෂිකාර්මික කටයුතු යි.

  හක්ගල රක්ෂිතය තුළ වන රජයේ ඉඩම් ජනතාවට ලබා දීම මෙන් ම රජය, ගොවිපොළවල් ඇති කර ඒවා පුද්ගලික අංශය වෙත පැවරීම ද පසුගිය දශක කිහිපය තුළ  සිදු ව ඇත්තේ පරිසරවේදීන්ගේ විරෝධතා නොතකා හරිමින්. හක්ගල රක්ෂිත මායිම්වල ජනතාව නීති විරෝධී ලෙස මෙන් ම පරිසරයට හානිදායක අයුරින් කෘෂිකාර්මික කටයුතුවල නිරතවීමත් මෙහි වසන සතා සතුන්ට සහ ගහකොළවලට තර්ජනයක් වෙලා.

හක්ගල වනාන්තරයට අයත් ඉඩම්වල ගොවිතැන් – Efi.lk

මේ නිසා දැඩි රක්ෂිතයට අයත් හෙක්ටයාර් 200ක් පමණ අහිමි වී තිබෙනවා. රක්ෂිතයේ වයඹ දෙසින් පිහිටි මීපිලිමාන ප්‍රදේශයේ අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම බහුල ව සිදු ව තිබෙනවා. ඊට අමතර ව අඹේවෙල, රේන්දපොළ ප්‍රදේශවලිනුත් අනවසර අල්ලා ගැනීම් පසුගිය කාලයේ වාර්තා වුණා.

කවරයේ ඡායාරූපය : රම්බොඩට නුවරඑළිය සහ හක්ගල කන්ද දර්ශනය වූ අයුරු 1926 දී - gettyimages.com
මූලාශ්‍ර:
Dinamina.lk
Silumina.lk
Lankadeepa.lk
Journals.sjp. ac.lk
Efi.lk

Related Articles