Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු වසරේ ලෝක විත්ති -1

2020 වර්ෂය ජගත් ප්‍රජාවගේ ජන ජීවිතය සහ ජීවන රටාව උඩු යටිකුරු කළ වසරක් වුණා. 2021 වසර යම්තාක් දුරට සහනදායී වේයැ යි සිතුවත්, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝමයක් ආසියාතික රටවලට වසංගතයේ දරුණුත ම කාල පරිච්ඡේදයට මුහුණ දෙන්නට සිදු වුණේ 2021 වසර ඇතුළත යි. කෙසේ නමුත්, සමස්තයක් වශයෙන් වසංගතය හමුවේ ලෝක ප්‍රජාව යථා තත්ත්වයට පැමිණීම සඳහා සාධනීය උත්සාහයක් ගත් වසර ලෙස 2021 හඳුන්වන්නට පුළුවන්. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා උළෙල කිහිපයක් මේ වසරේ සාර්ථක ලෙස සංවිධානය වීම ඊට හොඳ ම උදාහරණයක් වෙනවා.

අද 2021 වසරේ අවසාන දිනය යි. ඊට පෙර ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් දෙස නැවත හැරී බැලීමට ඔබත් කැමති ඇති. ඒ සිදුවීම් හැකිතාක් දුරකට පෙළ ගස්වා ඔබ හමුවට ගෙන ඒමට යි මේ උත්සාහය.

උණුසුම් දේශපාලන වාතාවරණය මැද ජනපති ධූරයේ වැඩ කටයුතු නිළ වශයෙන් ඇරඹීමට ජෝ බයිඩන්ට සිදු වුණා – www.bbc.com 

බයිඩන් ජනපති වූ ජනවාරිය

ජනවාරි මාසය මූලික වශයෙන් අමෙරිකා එක්සත් ජනපදයට වෙන් වූ මාසයක් ලෙස හැඳින්වීම වරදක් නැහැ. අමෙරිකානු දේශපාලනය ජනවාරිය තුළ වඩාත් උණුසුම් වීම ඊට හේතුව යි.

2020 නොවැම්බර් පැවැත්වුණු අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ජය ගත් අතර, දෙවැනි වරටත් එක්සත් ජනපදයේ ජනපති වීමේ සිහිනය ඩොනල්ඩ් ට්‍රම්ප්ට අහිමි වුණා. ඒ අනුව 2021 ජනවාරි 20 වැනිදා ජෝ බයිඩන් ජනපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත ව තිබුණා. කෙසේ නමුත්, අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත කළු පැල්ලමක් ඇති කළ “කැපිටල් හිල් කෝලාහලය” ජනවාරි 06 වැනිදා සිදු වුණා.

පරාජිත ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන්, ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා කොංග්‍රස් සභිකයන් සහභාගී වන කැපිටල් ගොඩනැඟිල්ල අසළ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණේ මෙදින යි. සිදුවීම හේතුවෙන් පොලිස් නිළධාරියෙකු ඇතුළු ව පස් දෙනෙක් මිය ගියා. කෙසේ නමුත්, ජනවාරි 20 වැනිදා  ජෝ බයිඩන්, නිළ වශයෙන් ජනපති ධූරයේ වැඩ භාර ගත්තා.  

ට්‍රම්ප් හිතවාදී ආධාරකරුවන් ජනවාරි 6 වන දින එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැඟිල්ලට කඩා වැදුණා – www.nbcnews.com 

ජනවාරි 17: රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන්ගේ පාලනය ප්‍රබල ලෙස විවේචනය කළ ඇලෙක්සි නවාල්නි, ජර්මනියේ ප්‍රතිකාර ලබා මාස පහකට පසු යළි මොස්කව් පැමිණීමේ දී අත් අඩංගුවට ගත්තේ මෙදින යි. ඇලෙක්සි නවාල්නිට වස ලබාදීම සම්බන්ධයෙන් පුටීන් පාලනය ලෝකය හමුවේ අප්‍රසාදයට පත් වී සිටි අතර, ක්‍රෙම්ලිනය සියලු චෝදනා ප්‍රතික්ෂේප කොට තිබුණා. පෙබරවාරියේ දී නවාල්නිට වසර දෙකහමාරක සිර දඬුවම් නියම වුණා.

අඟහරු ජය ගත් පෙබරවාරිය

පෙබරවාරි 01: හමුදා කුමන්ත්‍රණයක් මඟින් මියන්මාරයේ අවුන් සාන් සුචීගේ පාලන තන්ත්‍රය පෙරළා දැමීම මෙදින සිදු වුණා. අවුන් සාන් සුචී සහ ඇයගේ පාලක පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රඳවා ගැනීමෙන් පසු මියන්මාර හමුදාව බලය අත්පත් කරගෙන තිබුණා. ප්‍රතිචාර වශයෙන් කුමන්ත්‍රණයට විරෝධය දක්වන ලෙස අවුන් සාන් සුචී සිය ආධාරකරුවන් ගෙන් ඉල්ලා සිටි අතර, මියන්මාරය පුරා විරෝධතා රැල්ලක් සමඟ දරුණු ගැටුම් ඇති වුණා.

හමුදා කුමන්ත්‍රණයක් මඟින් අවුන් සාන් සුචීගේ පාලන තන්ත්‍රය පෙරළා දැමීමත් සමඟ මියන්මාරය නොසන්සුන් වුණා – www.bbc.com 

පෙබරවාරි 18: අඟහරු ග්‍රහයාගේ ජීවය පිළිබඳ සාක්ෂි සෙවීම අරමුණු කොට ගත් “පර්සවේරන්ස් (Perseverance)” නමැති රෝවරය අඟහරුගේ “ජෙසෙරෝ ආවාටය” මත ගොඩ බැසීමට මෙදින සමත් වුණා. කොවිඩ් ව්‍යාප්තිය ප්‍රබල ව පැවති සමයක් වූ නිසා මෙම ව්‍යාපෘතියට ප්‍රමුඛත්වය දෙමින් සාර්ථක කර ගැනීමට නාසා ආයතනය දැඩි පරිශ්‍රමයක් යෙදුවා.

අඟහරු මත අතීතයේ හෝ තවමත් ජීවයේ සලකුණු පවතිනවා ද නැද්ද යන්න සෙවීමට අමතර ව, අඟහරුගේ අතීත කාලගුණික ස්වභාවය අධ්‍යයනය කිරීම, අඟහරුගේ භූ විද්‍යාව තේරුම් ගැනීමට උත්සහ කිරීම, නුදුරු අනාගතයේ දී මනුෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන් අඟහරු ගවේෂණය කිරීමේ හැකියාව අධ්‍යයනය කිරීම, යන අරමුණු “පර්සවේරන්ස්” හරහා ඉටු කර ගැනීමට විද්‍යාඥයන් අපේක්ෂා කරනවා.

පර්සවේරන්ස් රෝවරය සහ ඉන්ජෙනුවිටි හෙලිකොප්ටරය – www.sciencefocus.com 

 

ගෝලීය වෙළඳාම නැවකින් හරස් වූ මාර්තුව

මාර්තු 23: ලොව වඩාත් ම කාර්ය බහුල වෙළඳ මාර්ගයක් වූ සූවස් ඇළ, “එවර් ගිවන්” නෞකාව නිසා අවහිර වීම මාර්තුවේ වඩාත් කතා බහට ලක් වූ ගෝලීය සිදුවීම වුණා. “Evergreen Marine” යන නෞකා සමාගමට අයත් එවර් ගිවන්,  සූවස් ඇළේ ඉවුරු අතර සිර වුණේ, අධික සුළං සහ දූවිලි කුණාටු හමුවේ පාලනය අහිමි වී යාම නිසා යි. මේ නිසා සූවස් ඇළේ විශාල තදබදයක් ඇති වූ අතර, ගෝලීය වෙළෙඳාමටත් තාවකාලික ව බලපෑම් එල්ල වුණා.

එවර් ගිවන් නෞකාව සූවස් ඇළේ ඉවුරු අතර සිර වුණේ ගෝලීය වෙළඳාමට පවා බලපෑම් එල්ල කරමින් – www.nbcnews.com 

අප්රියෙල්: පිටස්තර ලොවක හෙලිකොප්ටරයක්!

අප්රියෙල් 13: 2011 වසරේ දී ජපානයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාව සහ අනතුරුව හටගත් සුනාමි තත්ත්වය හේතුවෙන් ටෝකියෝවේ සිට කිලෝ මීටර් 220 ක් පමණ උතුරින් පිහිටි ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයට සිදු වූ හානිය ඔබටත් මතක ඇති. එහි දිගු කාලීන බලපෑම් හැකිතාක් අවම කර ගැනීමට ජපානය උත්සහ කළා. ඉන් වසර දහයකට පසු ජපාන රජය, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පූර්ණ සහයෝගය ඇති ව බලාගාරයේ විකිරණශීලි ජලය පැසිෆික් සාගරයට මුදා හැරීමට තීරණය කළා. නමුත්, මෙම ක්‍රියාවට චීනය, තායිවානය සහ දකුණු කොරියාව සිය විරුද්ධත්වය ප්‍රකාශ කළා. 

පර්සවේරන්ස් රෝවරයේ කැමරාවක් මඟින් ඉන්ජෙනුවිටි හෙලිකොප්ටරය ඡායාරූපගත කොට ඇති අයුරු – mars.nasa.gov 

අප්රියෙල් 19:  “ඉන්ජෙනුවිටි” යනු නාසා ආයතනයේ “Mars 2020” මෙහෙයුමේ කොටසක් ලෙස ක්‍රියාත්මක වූ කුඩා රොබෝ හෙලිකොප්ටරයක්. එය 2021 පෙබරවාරියේ දී අඟහරු පෘෂ්ඨය මතට ළඟා වූ “පර්සවේරන්ස්” රෝවරයේ ම කොටසක් ලෙස ක්‍රියාත්මක වුණා. ඒ අනුව “ඉන්ජෙනුවිටි”, පිටස්තර ලොවක පාලිත තත්ත්වයෙන් පියාසැරියක් සාර්ථක ව නිම කළ පළමු ගුවන් යානය හෝ අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වුණා.  ඉන්පසු, හෙලිකොප්ටරය වැඩි දුරක් සහ වැඩි උන්නතාංශයක අතිරේක පර්යේෂණාත්මක ගුවන් ගමන් කිහිපයක් සාර්ථකව සිදු කළා.

කියුබාවේ කැස්ත්‍රෝ සහෝදරයන්ගේ වසර 62 ට අධික පාලනය අවසන් කරමින් රාවුල් කැස්ත්‍රෝ, කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ පළමු ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වුණෙත් අප්‍රියෙල් 19 වැනිදා යි.

ගාසා තීරය යළි ඇවිළුණු මැයි මාසය

මැයි 11:  පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පවත්නා උණුසුම් වාතාවරණය දශක ගණනාවක් පැරණි යි. වරින් වර ඔවුන් අතර ගැටුම් වගේ ම සාමකාමී කාල පරිච්ඡේදත් තිබුණා. 2021 මැයි මාසයේ මුල් සති කිහිපයේ දී දෙපාර්ශවය අතර පැවති සාමකාමී වාතාවරණය යළිත් දරුණු අන්දමින් දෙදරා ගියා.

ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරන අයුරු – www.bbc.com 

 නැගෙනහිර ජෙරුසලමේ ෂෙයික් ජරාහි පලස්තීන පවුල් කිහිපයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ එය ක්‍රියාත්මක කිරීම, පලස්තීන ජාතිකයන් අල්-අක්සා දේවස්ථානයේ වන්දනාමාන කරමින් සිටිය දී ඊශ්‍රායල පොලිසිය

දේවස්ථානය වටලෑම, උණුසුම් තත්ත්වයට ආසන්නත ම හේතූන් වුණා. ඊශ්‍රායලයේ ක්‍රියාවන්ට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ නගර කිහිපයකට හමාස් සංවිධානය ප්‍රහාර එල්ල කළා. මැයි 11 වැනිදා ඊශ්‍රායලය විසින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ සටන් දරුණු අතට හැරුණා.

ප්‍රහාර නිසා ගාසා තීරයේ බොහෝමයක් ගොඩනැඟිලි විනාශයට පත් වුණා – www.bbc.com 

මැයි 14: චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයට අයත් “සුරෝන්ග්” රෝවරය, අඟහරුගේ “යුටෝපියා ප්ලැනිෂියා” නම් ප්‍රදේශයට ගොඩ බැස්සේ මෙදින යි. සුරෝන්ග් රෝවරය අඟහරු පෘෂ්ඨය ස්පර්ශ කළ චීනයේ ප්‍රථම වෑයම ලෙස ඉතිහාසගත වන අතර, අමෙරිකාවේ “පර්සවේරන්ස්” මෙහෙයුමේ උණුසුම පහ ව යෑමටත් මත්තෙන් එවැනි ජයක් වාර්තා කිරීම විශේෂත්වයක්.

මැයි 20: ජාත්‍යන්තර බලපෑම් සහ මිනිසුන් 250 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වීමෙන් පසු ගාසා තීරයේ සටන්කාමීන් සමඟ සටන් විරාම ගිවිසුමක් උදෙසා එළඹීමට ඊශ්‍රායලය කැමැත්ත පළ කළා.

2020 යුරෝ පාපන්දු කුසලානය දිනූ ඉතාලි කණ්ඩායම – timesofindia.indiatimes.com 

ක්රීඩාවෙන් ඔපවත් වූ ජුනි

ජුනි 11: මාසයක් පුරා රටවල් එකොළහක සත්කාරකත්වයෙන් පැවැත් වූ යුරෝ පාපන්දු කුසලාන තරගාවලියේ සමාරම්භක දිනය වුණේ ජුනි 11 වැනිදා යි. අවසාන තරගයේ දී එංගලන්තය පරදා යුරෝ පාපන්දු කුසලානයේ නැවුම් ම හිමිකරුවන් වෙන්න ඉතාලිය සමත් වුණා.

ජුනි 13: පාපන්දු ලෝලීන්ගේ උද්‍යෝගය තවත් තීව්‍ර කරමින් “2021 කෝපා අමෙරිකා” තරඟාවලියේ සමාරම්භය සනිටුහන් වුණේ මෙදින යි. මෙහි ශූරතාවය ආජන්ටිනාව දිනා ගැනීමට සමත් වූ අතර, බ්‍රසීලයට අනුශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදු වුණා.

2021 කෝපා අමෙරිකා ජයග්‍රාහකයන් වූයේ ආජන්ටිනාව යි – www.reuters.com 

ජුනි 23: පාපන්දු රසිකයන්ට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට ළැදි පිරිසටත් සාධාරණයක් ඉටු වූ මාසයක් ලෙස ජුනි මාසය සැලකිය හැකි යි. ඒ වසර දෙකකට ආසන්න කාලයක් පුරා පැවැත්වුණු ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ අවසාන තරගය 2021 ජුනි මාසයට යෙදුණු නිසා යි.

ඉන්දියාව සහ නවසීලන්තය සමඟ ඇරඹි තීරණාත්මක තරගයේ ආරම්භය ජුනි 18 වන අතර, ටෙස්ට් තරගයේ අවසාන දිනය වූ ජුනි 23 වැනිදා ඉන්දියාව පරාජයට පත් කරමින් ප්‍රථම වතාවට ක්‍රිකට් ලෝක කුසලානයක පහස විඳීමට නවසීලන්තය සමත් වුණා.

ලෝක ටෙස්ට් ශූරතාව දිනූ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම – staddoha.com 

ජුනි 24: එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි නගරයට තදාසන්න ව පිහිටි සර්ෆ්සයිඩ් ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලක් අර්ධ වශයෙන් කඩා වැටීම නිසා සියයකට ආසන්න මිනිස් ජීවිත ගණනක් මරු දුටුවා.

ජූලි සිට දෙසැම්බරය දක්වා වූ මතකාවර්ජනය ඊළඟ කොටසින් කියවමු.

කවරයේ ඡායාරූපය: කොවිඩ් මැද වුණත්, ක්‍රීඩාව, දේශපාලනය සහ විද්‍යාව යන අංශ වලින් යම් පිබිදීමක් ඇති වූ වසරක් ලෙස 2021 හැඳින්විය හැකි යි -www.iaea.org/newscenter

 මූලාශ්‍ර:

www.aljazeera.com

www.aljazeera.com

www.bbc.com/sinhala

www.washingtonpost.com

www.newscientist.com 

Related Articles