Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැසිෆික් කලාපයේ සාමය කොනිත්තන සොලමන් දූපතේ චීන ගිවිසුම

සොලමන් දූපත් රාජ්‍යය සහ චීනය අතර නොබෝදා ඇති කර ගත් ආරක්ෂක ගිවිසුම හේතුවෙන් පැසිෆික් සාගර කලාපයේ දේශපාලනය උණුසුම් වෙමින් තිබෙනවා. විශේෂයෙන් ම කලාපීය බලවතුන් ලෙස පෙනී සිටින අමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වෙනවා.

පැසිෆික් සාගර කලාපයේ කුඩා දූපත් රාජ්‍ය කිහිපයක් තිබෙනවා. ඒ බොහෝමයක් සැලකිය යුතු මට්ටමකින් දරිද්‍රතාව පවතින හෝ මැදි ආදායම් ලබන රටවල්. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය බොහෝවිට මෙම දූපත් රාජ්‍ය සඳහා ආධාර සපයමින් ඔවුන් මත යම් ආර්ථිකමය ආධිපත්‍යයක් පතුරුවා තිබෙනවා. ඒ අතර එක්සත් ජනපදය යුදමය වශයෙන් පැසිෆික් කලාපයේ ආධිපත්‍ය තහවුරු කරගනිමින් සිටින්නේ වසර ගණනාවක සිට යි. මෙවැනි පසුබිමක් සහිත කලාපයක චීනය සහ සොලමන් දූපත් අතර ඇති වූ ආරක්ෂක ගිවිසුම ආන්දෝලනාත්මක වීම සාමාන්‍ය කරුණක්.

සාමයට බාධාවක් නැහැ

සොලමන් දූපත් සහ චීනය අතර මේ සතියේ දී අත්සන් කෙරුණු ගිවිසුම මඟින් ප්‍රබල පැසිෆික් ජාතීන්ට ඉතා සමීප වන අයුරින් නාවික කඳවුරක් ගොඩනැඟීමට මඟ පෑදෙන බව සැක පහළ කෙරෙනවා. සොලමන් දූපත් රාජ්‍යයේ විශාලත ම ආධාර පරිත්‍යාගකරු ලෙස අවසාන මොහොතේ පවා ඕස්ට්‍රේලියාව මෙම ගිවිසුමට විරුද්ධ වීමට ක්‍රියා කළේ ඒ නිසා යි. සොලමන් දූපත් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය මනාසේ සොගවර්, ගිවිසුම මඟින් කලාපීය සාමයට හා සහජීවනයට කිසිදු හානියක් සිදු නොවන බව පවසමින් ඕස්ට්‍රේලියාවේ විරෝධය නොසලකා හැරියා. එය හුදෙක් ම තම රටේ අභ්‍යන්තර ආරක්ෂක තත්ත්වය ඉලක්ක කර ගත් ගිවිසුමක් බව මනාසේ සොගවර් පවසා තිබෙනවා. කෙසේ නමුත්, සොලමන් දූපත් රාජ්‍යයේ අගමැති, ගිවිසුමේ අන්තර්ගතය ප්‍රසිද්ධ කර නොමැති බව පැවසෙනවා.

සොලමන් දූපත් රාජ්‍යයේ පිහිටීම – www.bbc.com

රටේ ආරක්ෂක කටයුතුවල සම්පූර්ණ වගකීම භාර ගැනීමට පොලිසිය නිසි ලෙස සන්නද්ධ කරමින් අනාගතයේ ඕනෑම අස්ථාවරත්වයකට මුහුණ දීම සඳහා පොලිසිය ශක්තිමත් කිරීම මෙම ගිවිසුම හරහා සිදු බව සොලමන් දූපත් පරිපාලනය පවසනවා. එවිට ද්විපාර්ශ්වික ආරක්ෂක විධිවිධාන සඳහා කිසිවක් ඉල්ලා සිටීමට සොලමන් දූපත් රාජ්‍යයට අවශ්‍ය නොවනු ඇති. ගිවිසුම දේශීය සහ ජාත්‍යන්තර නීතියට අනුකූල බව එරට අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට තිබෙනවා. ඔහු ව්‍යංගයෙන් මේ පවසන්නේ චීන ගිවිසුම භූ-දේශපාලනික ගනුදෙනුවක් නොවන බව යි. එය එක්තරා ආකාරයක කුලී හේවායන් ගෙන් ලබා ගන්නා සේවයකට මනාසේ සොගවර් සමාන කොට තිබෙනවා. කෙසේ නමුත්, සොලමන් දූපතට වඩාත් ආසන්න ප්‍රබලයා ලෙස ඕස්ට්‍රේලියාව, රහසිගත ක්‍රමවලින් ගිවිසුම වඩාත් ගැඹුරින් හදාරා තිබෙනවා.

අසල්වැසියා මඟ හැරීම

ඕස්ට්‍රේලියානු රජය තහවුරු කළ කාන්දු වූ කෙටුම්පතකට අනුව චීන යුද නෞකාවලට සොලමන් දූපතට ඇතුළු වීමේ අවකාශ මෙම ගිවිසුමෙන් ලැබෙන අතර, දූපතේ සමාජ පිළිවෙළ පවත්වා ගෙන යෑමට පවා චීන ආරක්ෂක හමුදාවේ සහාය ලැබෙනවා. මෑත කාලයේ දී සොලමන් දූපත් සමාජය තුළ නිතර නිතර නොසන්සුන්තා පැන නැඟුණා. පසුගිය නොවැම්බරයේ දී දූපත් රාජ්‍යයේ අගනුවර වන හොනිආරා හි කැරැලි කෝලාහල ඇති වූ බැවින්, ඒවා මැඬ පැවැත්වීමට ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පවා මැදිහත් වුණා. විරෝධතාකරුවන් ගේ අරමුණ වුණේ මනාසේ සොගවෙර්ගේ පාලනය පෙරළා දැමීම යි.

සොලමන් දූපතේ සේවයේ නියුතු ඕස්ට්‍රේලියානු හමුදා සාමාජිකයෝ –  www.aljazeera.com 

මෙයින් පෙනී යන්නේ ආර්ථික ස්ථාවරත්වයට පමණක් නොව ආරක්ෂාව වෙනුවෙන් පවා ඕස්ට්‍රේලියාව හොඳ මිතුරකුගේ ස්වරූපයෙන් සොලමන් දූපත් හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇති බව යි. දැන් එම භූමිකාව චීනය වෙත බාර දීමට සොගවර් පාලනය ක්‍රියා කරමින් සිටිනවා. ළඟ ම සිටින අසල්වාසියා නොසලකා හරිමින් දුර ඈත සිටින ආගන්තුකයකු වැදගත් කොට සැලකීම එතරම් හොඳ විදේශ ප්‍රතිපත්තියක් නොවෙයි. අද ශ්‍රී ලංකාවට පවා දුර සිටින ආගන්තුක මිත්‍රයන් අහිමි වී තිබෙන අතර, එදා වේල වෙනුවෙන් හෝ හැරීමට සිදු වී ඇත්තේ තම අසල්වාසියා දෙසට යි. සොලමන් දූපතට ඇත්තේ අපටත් වඩා දුර්වල ආර්ථිකයක් (අප ක්ෂණික ආර්ථික අවපාතයකට මුහුණ නොදුන්නේ නම්) වන අතර, එවැනි පසුබිමක් මධ්‍යයේ තම කලාපීය මිත්‍රයන්ගේ විශ්වාසය පළුදු කිරීම ගැටලුසහගත යි.

ඕස්ට්‍රේලියාව සොලමන් දූපත් පරිපාලනයේ ඉල්ලීම්වලට අනුව රටේ අභ්‍යන්තර ආරක්ෂාවට මැදිහත් වූ පළමු අවස්ථාව මෙය නොවෙ යි. 1990 ගණන්වල අවසානයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කුමන්ත්‍රණ ක්‍රියාවලට පසුව 2003 දී සිදු කළ බහුපාර්ශවීය මෙහෙයුමකටත් ඕස්ට්‍රේලියාව නායකත්වය දී තිබෙනවා. තස්මේනියා විශ්ව විද්‍යාලයේ චීන අධ්‍යන පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මා(ර්)ක් හැරිසන් සඳහන් කරන පරිදි මෙම ගිවිසුම ඕස්ට්‍රේලියාවට ව්‍යසනකාරී විය හැකි යි. දිගු කලක් මුළුල්ලේ ඕස්ට්‍රේලියානු-චීන සබඳතා වේගයෙන් පළුදු වෙමින් පැවතීම ඊට හේතුව යි. 2010 පටන් ඕස්ට්‍රේලියාව අවට සාගර කලාපය තුළ චීන ආධිපත්‍යයේ හැසිරීම ඕස්ට්‍රේලියාව වැරදි ලෙස විනිශ්චය කර ඇති බවත් ඔහු පවසනවා.

හොනිආරා නගරයේ චයිනාටවුන් ප්‍රදේශයේ හට ගන්නා ගින්නක්. මනාසේ සොගවර් ගේ පාලනයට එරෙහි ව ඇති වූ විරෝධතා වල ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යසන ඇති වුණා – www.aljazeera.com 

සාමය නොදකින සොලමන් දූපත්

 ලක්ෂ හතකට (700,000) අඩු ජනගහනයක් සහිත සොලමන් දූපත් යනු පැසිෆික් සාගරයේ පැපුවා නිව්ගිනියාවට නැඟෙනහිරින් පිහිටි දූපත් සිය ගණනක දාමයක්. එහි අගනුවර වන හොනිආරා, ග්වාඩල්කැනල් දූපතේ පිහිටා ඇති අතර, එය දෙවන ලෝක යුද්ධයේ දී එක්සත් ජනපදය සහ ජපන් හමුදා අතර රුදුරු සටන් පැවැති ප්‍රදේශයක් ලෙස ඉතිහාසයට එක් වී තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු අභ්‍යන්තර ව හට ගත් සමාජ ආතතීන් නිසා සොලමන් දූපත් රාජ්‍යයට සෞභාග්‍ය ළඟා වුණේ නැහැ. එම ආතතීන්වල උච්චත ම අවස්ථාව 1990 දශකයේ අග භාගයේ ඇති වූ අතර, දිගූ කාලීන වාර්ගික බෙදීමක් සහ ප්‍රචණ්ඩත්වයක් කරා එය වර්ධනය වුණා. 2000 වසරේ දී මනාසේ සොගවර් අග්‍රාමාත්‍ය ධූරයට ප්‍රථම වතාවට  පත් වූ විට රටේ අර්බුදකාරී වාතාවරණය සමනය කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් හමුදා සහාය ලබා ගත්තා. ස්ථාවරත්වයකට පැමිණි පසු සාම ගිවිසුමක් අත්සන් කිරීමට සොගවර් පාලනය උත්සහ කළත්, සන්සුන්කම වැඩි කලක් පැවතුණේ නැහැ.

2021 නොවැම්බර් මස ඇති වූ කැරලි කෝලාහලවල ප්‍රතිඵල – www.aljazeera.com 

අස්ථාවර රාජ්‍යයක්

2003 දී ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ කලාපයේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම වන “පැසිෆික් දූපත් සංසදයෙන්” සහාය ලබා ගැනීමට සොලමන් දූපත් රජය තීරණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවට ප්‍රමුඛත්වය දෙමින් බහුජාතික කලාපීය සහය මෙහෙයුමක් සොලමන් දූපත් හි පිහිටුවීමට පැසිෆික් දූපත් සංසදය මූලික වුණා. 2001 දී බලය අහිමි වූ මනාසේ සොගවර් නැවත 2006 දී අගමැති ධූරයට පත් වූ විට බහුජාතික කලාපීය සහය මෙහෙයුම සොලමන් දූපත් වෙතින් ඉවත් කිරීමට උත්සාහ ගත්තා. වසර 14 කට ආසන්න කාලයක් මෙහෙයුම බලාත්මක ව පවත්වා ගැනීමට කලාපීය බලවතුන් සමත් වුණා.

 මනාසේ සොගවර් බලයේ සිටි සෑම අවස්ථාවක ම සොලමන් දූපත් රාජ්‍යයට ලැබෙන කලාපීය සහාය වෙනත් පාර්ශවයක් කරා ගෙන යෑමට උත්සහ දරා තිබෙනවා. 2019 දී සිව්වන වතාවටත් අගමැති ධූරයට පත් වූ විට ඔහුගේ ප්‍රයත්නය ක්‍රමයෙන් සාර්ථක වීම ඇරඹුණා. අගමැති ලෙස තේරී පත් වී මාස කිහිපයකට පසු ඔහු චීනයට පක්ෂ වෙමින් තායිවානය සමඟ දිර්ඝ කාලයක් පවත්වා ගෙන ගිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හැරීමට පියවර ගත්තා. මේ තීරණය සොලමන් දූපත් පුරවැසියන් අතර එතරම් ජනප්‍රිය වුණේ නැහැ. මනාසේගේ ප්‍රායෝගික නොවන විදේශ ප්‍රතිපත්තිය රට තවදුරටත් අර්බුදයක් කරා රැගෙන යන බව රටේ අනෙකුත් දේශපාලකයන්ට වැටහුණා.

චීන පොලිස් සම්බන්ධීකරණ නිලධාරීන් කණ්ඩායමක් සොලමන් දූපත් පොලිස් නිලධාරීන්ට පුහුණුව ලබා දෙන අයුරු – www.aljazeera.com 

සොලමන් දූපත් යනු භූ දේශපාලනික ව වැදගත් වන ස්ථානයක්. එය චීන ක්‍රියාකාරීත්වය අධික ව පවතින දකුණු චීන මුහුද සහ පිලිපීන මුහුදට මෙන් ම, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත මුහුදු කලාපවලට අතරමැදි ව පිහිටා තිබෙනවා. ඒ අනුව සොලමන් දූපත් බල කඳවුරු දෙකක් වෙන් කරන තීරයේ පිහිටි වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි යි. සොලමන් දූපත් යනු ඉතා සුන්දර දූපත් රාජ්‍යයක්. ඔවුන්ට දියුණු වීමේ අවස්ථා කොතෙක් තිබුණත්, රටේ පවතින දේශපාලන, ආර්ථික අස්ථාවරත්වය සහ මැදහත් නොවන විදේශ ප්‍රතිපත්තිය නිසා වෙනත් පාර්ශවවලට නතු වුණු ස්වභාවයක් දක්නට ලැබෙනවා.

ඕස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තියේ දුර්වල ම අවස්ථාව

ගිවිසුම සම්බන්ධයෙන් වැඩි ම අවධානය යොමු කර ඇත්තේ ඕස්ට්‍රේලියාව වුවත්, නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආඩන් ද සොලමන් දූපත් පරිපාලනයේ ක්‍රියාකාලපය කෙරෙහි අවධානය යොමු කොට තිබෙනවා. ඇය පැසිෆික් කලාපයේ චීන බලපෑම දෙස බලන්නේ ඕස්ට්‍රේලියාවට සාපේක්ෂ ව මධ්‍යස්ථ ස්ථාවරයක සිට යි. චීනය සමඟ අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක් ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ඇය ඉස්මතු කර තිබෙනවා. එහෙත්, සොලමන් දූපත් පරිපාලනය චීනය සමඟ ඇති කර ගත් ගිවිසුම ගැන ඇයත් සිය කනස්සල්ල පළ කර තිබෙනවා. කලාපයේ වර්ධනය වන චීන බලපෑම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව තරම් නවසීලන්තය කලබල වී නැහැ. එය මර්දනය කළ නොහැකි නැඟී සිටීමක් නම් අනාගතයේ දී චීනය සහ අමෙරිකානු හිතවාදී කඳවුර අතර මධ්‍යස්ථ ආකාරයෙන් ක්‍රියා කිරීමට නවසීලන්තය අපේක්ෂා කරනවා ඇති.

ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් – www.forbes.com 

 ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය සොලමන් දූපත් ගිවිසුම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට යම් චෝදනාවක් නඟා තිබෙනවා. වසර 80 කට පසු පැසිෆික් කලාපයේ ඕස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තියේ දුර්වල ම සහ විශාලත ම අසාර්ථකත්වය මෙම ගිවිසුම හරහා පිළිබිඹු වන බව ඔවුන් පවසා සිටිනවා. ජාතික ආරක්ෂාව මූලික කර ගනිමින් නැවත වතාවක් අගමැති ධූරය සඳහා තේරීපත් වීම සඳහා මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන ස්කොට් මොරිසන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පැසිෆික් සයුරේ ඉන්දියාව

 ඔහුගේ විරුද්ධවාදීන් වන කම්කරු පක්ෂය අඟවන්නේ පැසිෆික් කලාපය තුළ ඕස්ට්‍රේලියානු බලයට විශාල පහරක් මෙම ගිවිසුම හරහා සිදු වූ බව යි. මේතාක් දුරට ආර්ථිකමය වශයෙන් සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවෙන් විශාල පරිමාණයේ ආධාර ලබා ගත් සොලමන් දූපත් පරිපාලනය, එක රැයින් ඕස්ට්‍රේලියාව නොසලකා හැරීම ඔවුන්ගේ කලාපීය බලයට එල්ල වූ ප්‍රබල පහරක්. ස්කොට් මොරිසන් පවසන්නේ පැසිෆික් දූපත් වල නායකයන්ට කළ යුතු දේ සහ නොකළ යුතු දේ පැවසීම තමාට කළ නොහැක්කක් බව යි. අනෙකුත් පැසිෆික් ජාතීන් චීනයට හිතකර ආකල්ප දැක්වූවත්, චීනය සමඟ ‍යටහත් සබඳතාවක් පැවැත්වීමට තමා අදහස් නොකරන බව ස්කොට් මොරිසන් වැඩි දුරටත් පවසා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකාවක් හොනිආරා වරායට ගමන් කරන අයුරු – edition.cnn.com 

චීනය සහ අමෙරිකානු හිතවාදී කඳවුර අතර බල අරගලය වැඩියෙන් ම පවත්නා සාගර කලාපය වන්නේ ඉන්දියන් සාගරය යි. එහි දී චීන බලයට අභියෝග කළ හැකි කලාපීය බලවතා වන්නේ ඉන්දියාව යි. දැන් දැන් එම බල අරගලය පැසිෆික් සාගරයේ මධ්‍ය දක්වා ම පැතිරෙමින් තිබෙනවා. එහි දී ඉන්දියාවේ භූමිකාවට සමාන භූමිකාවක් ඕස්ට්‍රේලියාවට පැවරෙන පසුබිමක් දැන් ඇති වෙමින් තිබෙනවා. එක්සත් ජනපදයේ සහයෝගය ඇති ව ඕස්ට්‍රේලියාව සිය යුද ශක්තිය මෑතක දී වර්ධන කර ගැනීමේ උත්සාහය එහි පෙර සූදානමක් විය හැකි යි.

කවරයේ ඡායාරූපය: චීන ජනාධිපති ෂී ජින්පින් සහ සොලමන් දූපත් හි අගමැති මනාසේ සොගවර්- edition.cnn.com

මූලාශ්‍ර:

www.bbc.com

www.aljazeera.com

www.bbc.com/news 

Related Articles