Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වරප්‍රසාද අහිමි ස්වීඩනයේ මහජන නියෝජිතයෝ

මිලිටරි ආඥාදායකත්වයක් තුළ හැදී වැඩුණු බ්‍රසීල ජාතිකයෙක් ලෙස ක්ලෝඩියා වොලින්ට දූෂිත දේශපාලනය ගැන මනා අත්දැකීම් තිබෙනවා. දූෂිත පාලන තන්ත්‍රයක දක්නට ලැබෙන ප්‍රචණ්ඩත්වය, සමාජ අසමානතාව, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති බාධා ඇයට හොඳට හුරු පුරුදු යි. මිලිටරි ආඥාදායකත්වයක් පැවති රටක් තුළ (1964 සිට 1985 දක්වා) ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් ගෙවා දැමූ ක්ලෝඩියාට ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැනීමක් තිබුණේ නැහැ. එහෙත්, 2000 වසරේ දී පමණ සිය ස්වීඩන් ජාතික පෙම්වතා සමඟ විවාහ වී ස්ටොක්හෝම් (ස්වීඩනයේ අගනුවර) වෙත ළඟා වූ දා සිට නවමු අත්දැකීම් ‍රැසක් විඳීමට ක්ලෝඩියාට හැකි වුණා. ඒ අතරින් ඇය වඩාත් සංවේදනයට පත් කළේ ස්වීඩනය තුළ පවත්නා දේශපාලන සංස්කෘතිය යි.

වම් පසින් සිටින්නේ ක්ලෝඩියා වොලින්ය – claudia-wallin.com 

“ස්ටොක්හෝම්වල පිහිටි සුපිරි වෙළෙඳසලක දී තමයි මට පළමු අත්දැකීම විඳින්න ලැබෙන්නේ. භාණ්ඩ මිල දී ගනිමින් සිටින විට මා හදිසියේ ම හිටපු ස්වීඩන් අගමැති කාල් බිල්ඩ් ඔහුගේ ම ට්‍රොලිය තල්ලු කරමින් එළවළු තෝරන ආකාරය දුටුවා.”

සුපිරි වෙළෙඳසලක එළවළු තෝරමින් සිටි හිටපු අගමැති කාල් බිල්ඩ්, ක්ලෝඩියාගේ ඇස ගැටන විට ස්වීඩනයේ විදේශ සබඳතා අමාත්‍යවරයා ලෙස සේවය කළා. බ්‍රසීලයෙන් පැමිණි ක්ලෝඩියාට එම දසුන සිතට දැනුණේ “පිටසක්වළ අත්දැකීමක්” ආකාරයට යි. බ්‍රසීලයේ දේශපාලකයන් එදිනෙදා අවශ්‍යතා සඳහා මෙලෙස පොදු ස්ථානවල නොහැසිරෙන අතර, ඒ සඳහා ඔවුන්ට ඕනෑ තරම් සේවකයන් සහ පෞද්ගලික සහායකයන් සිටියා. ක්ලෝඩියා ඉන්පසු තවත් අත්දැකීම් රැසකට මුහුණ දුන්නා.

පොතක් ලියන්න තරම් කරුණු!

“ඊට පස්සේ මං දැක්කා ස්වීඩන් පාර්ලිමේන්තුවේ කථානායක, ඒ කියන්නේ රටේ ඉහළ ම දේශපාලන තනතුරක් දරණ තැනැත්තා උමං දුම්රියක ගමන් කරන හැටි. ඔහු රැකියාවට යන්නේ දුම්රියෙන් බව මා සොයා ගත්තා. තවත් අවස්ථාවක ස්ටොක්හෝම් හි නගරාධිපතිවරයා අනෙකුත් සාමාන්‍ය පුරවැසියන් මෙන් සිල්ලර බඩු මළු අතැතිව බස් නැවතුවමක පෝලිමේ සිටිය අයුරු මා දුටුවා. මේ සියලු සිදුවීම් මා පුදුමයට පත් කළා.”

ක්ලෝඩියාට මේ අපූරු දේශපාලන සංස්කෘතියේ පදනම ගැන වඩාත් ගැඹුරට සෙවීමේ කුතුහලයක් ඇති වුණා. එම කුතුහලය අවසානයේ දී ස්වීඩනයේ දේශපාලනඥයන් ගැන පොතක් ලිවීමට පවා ක්ලෝඩියාට ශක්තිය ලබා දුන්නා.

Sweden-The Untold Story කෘතිය – mobile.twitter.com/wallinclaudia

මේ කෘතිය ඇය නම් කළේ “Sweden: The Untold Story” නමින්. 2014 දී පෘතුගීසි භාෂාවෙන් ක්ලෝඩියාගේ කෘතිය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළ අතර, එය පාඨකයන් වැලඳ ගත්තේ වාර්තාගත අලෙවියක් ද පෙන්නුම් කරමින්. 2019 දී “Sweden: The Untold Story” කෘතිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වීමෙන් පසු ස්වීඩන‍යේ දේශපාලන ක්‍රමය ප්‍රචාරණය කිරීම සඳහා ක්ලෝඩියා ලොව පුරා සංචාරය කිරීම ඇරඹුවා.

“දේශපාලනය කිරීමේ වෙනත් ක්‍රමයක් තිබෙන බව ජනතාව දැන ගැනීම වැදගත්. බොහෝ රටවලට ස්වීඩනයේ දේශපාලන ක්‍රමය ආශ්වාදයක් විය හැකි යි.”

තම ප්‍රචාරණ කටයුතු ගැන ක්ලෝඩියා දරන්නේ එවැනි අදහසක්.

අගමැති නිල නිවසේ වපසරියත් සාපේක්ෂ ව කුඩා යි – www.youtube.com 

අවම වරප්‍රසාදිතයෝ

ස්වීඩනය දිගු කාලයක් පුරා ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රගතිශීලි සමාජ ප්‍රතිපත්ති සඳහා ලෝකයට ආදර්ශ සැපයූ රාජ්‍යයක් ලෙස පිළි ගැනීමට ලක් වෙනවා. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කරන Corruption Perceptions (CP) දර්ශකයට අනුව දූෂණය අවම රටවල් 10 අතර ස්වීඩනය ස්ථානයක් වෙන් කරගෙන තිබීමත් ඊට සාක්ෂි සපයනවා. මෙවැනි තත්ත්වයකට පැමිණීමට නම් රටක දේශපාලනඥයන්ට තමාගේ ජීවන රටාවේ සිට ම කැප කිරීම් කරන්නට සිදු වෙනවා. ක්ලෝඩියා මඟතොට, පොදු ස්ථානවල දුටු දේශපාලකයන්ගේ ජීවන රටාව ඒ කැප කිරීම්වල කුඩා පිළිබිඹුවක් පමණ යි. තව දුරටත් පැහැදිලි කළහොත්, සාමාන්‍ය පුරවැසියකු සහ ස්වීඩන් දේශපාලකයකුගේ ජීවන රටාව අතර කිසිදු වෙනසක් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යාලයක ස්වභාවය – www.youtube.com 

 එතැනිනුත් ඔබ්බට ගොස් සාමාන්‍ය පුරවැසියකුට සාපේක්ෂ ව යම් යම් සීමාවලට යටත් වීමට ස්වීඩනයේ දේශපාලකයන්ට සිදු වෙනවා. ඒවා ගැන දැන දැනම දේශපාලනයට පිවිසෙන නිසා දේශපාලකයකුගේ අවංකභාවය ගැන තිබෙන්නේත් අවම සැකයක්. බොහෝ විට ඔවුන් දේශපාලනයට පිවිසෙන්නේ ආත්ම තෘප්තිය සහ රටට සේවය කිරීමේ වුවමනාව නිසා යි.

“දේශපාලකයන්ට මුදල් ගෙවන මිනිසුන් අතර මාත් එක්කෙනෙක්. ඉතින්, ඔවුන්ට සුඛෝපභෝගී ජීවිතයක් ලබා දීමට කිසිදු හේතුවක් මට පෙනෙන්නේ නැහැ.”

ස්වීඩනයේ පුරවැසියකු වන ජෝකීම් හෝම් පවසනවා.

ස්වීඩන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස වල වපසරිය ඉතා කුඩා යි. ඒ වගේ ම සරල යි – www.youtube.com 

ස්වීඩනයේ දේශපාලනයට සම්බන්ධ වූ පුද්ගලයන්ට වරප්‍රසාද හෝ සුඛෝපභෝගී ජීවිතයකට මං විවර කරන කිසිදු සාධකයකට ඉඩක් ලබා දෙන්නේ නැහැ. නිල රථ හෝ පෞද්ගලික රියදුරන් නොමැති ව ස්වීඩන් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඔවුන් නියෝජනය කරන පුරවැසියන් පරිදි ම මඟීන් ගෙන් පිරුණු බස් රථවල සහ දුම්රියේ ගමන් කරනවා. පාර්ලිමේන්තු මුක්තිය සඳහා කිසිදු අයිතියක් නොමැති ව වෙනත් ඕනෑම පුද්ගලයකුට මෙන් ඔවුන්වත් නඩු විභාගයකට යටත් කළ හැකි යි. රාජකාරී කටයුතු සඳහා පුද්ගලික ලේකම්වරුන් ලබා දීමක් සිදු නොකරන අතර, ඔවුන්ට ලබාදෙන පාර්ලිමේන්තු කාර්යාලයක වපසරිය පවා සීමා සහිත යි.

ගමනාගමනය දැඩි නීති වලට යටත්

මහජන නියෝජිතයකුට එදිනෙදා රාජකාරි වෙනුවෙන් රට තුළ මෙන් ම, විදෙස් ගමන්වලත් නිතර වෙන්නට සිදු වෙනවා. ස්වීඩනය තුළ මහජන නියෝජිතයන් සඳහා එවැනි සංචාර සැලසුම් වන්නේ දැඩි සීමා කිරීම්වලට යටත්ව යි. නිල සංචාරයක් සිදු කිරීමේ දී වඩාත් සුදුසු ප්‍රවාහන මාධ්‍යය තෝරා ගැනීමේ වගකීම පැවරෙන්නේ අදාළ පාර්ලිමේන්තු නියෝජිතයාට ම යි. ප්‍රවාහන මාධ්‍යය තෝරා ගැනීමේ දී ගමන සඳහා දැරිය යුතු පිරිවැය, ගමන් කාලය සහ සංචාරයෙන් සිදු වන පාරිසරික බලපෑම පවා සැලකිල්ලට ගැනීමේ වගකීම පාර්ලිමේන්තු නියෝජිතයාට පැවරෙනවා. ලාබ ම ප්‍රවාහන මාධ්‍යය සහ වඩා කෙටි මාර්ගය තෝරා ගැනීමට උත්සහ කළ යුතු අතර, එසේ කළ නොහැකි නම් එය සාධාරණීකරණය කිරීමේ හැකියාව තිබිය යුතු යි.

ස්වීඩන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාර්ෂික දුම්රිය ගමන් බලපත්‍රයක් ලබා දෙනවා – www.thestatesman.com 

පාර්ලිමේන්තු සාමාජිකයෙක් සිය පදිංචිය ලියාපදිංචි කර ඇති නිවස එම සාමාජිකයාගේ සේවා ස්ථානය ලෙස සලකනවා. මෙයින් අදහස් වන්නේ එම නිවසේ සිට ස්ටොක්හෝම් හි පිහිටි පාර්ලිමේන්තුව දක්වා ගමන් කිරීමත් නිල ගමනක් ලෙස ගණන් ගැනෙන බව යි. මේ නිසා සාමාජිකයාට ලාබදායී ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමට ද සිදු වෙනවා. බොහෝ දුරට ලාබ ම ප්‍රවාහන මාධ්‍යය වන්නේ පොදු ප්‍රවාහනය යි. සියලු ම සාමාජිකයන්ට අසීමිත වාර ගණනක් ඇතුළත් ව ඇති වාර්ෂික දුම්රිය බලපත්‍රයක් ඒ අනුව ලබා දීම සිදු කරනවා.

අවසර පත්‍රය පෞද්ගලික ගමන් සඳහා භාවිත කළ නොහැකි යි. ඒ නිසා අපේ රටේ මෙන් එක පෙළට ගමන් කරන නිල රථ රාශියක් ස්වීඩනයේ දකින්නට ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තු සාමාජිකයෙක් මහජන මුදලින් කොයි මොහොතක හෝ කුලී රථයක ගමන් කළහොත්, පසුදින එය පුවත්පත්වල සිරස්තලයක් වීමට තරම් ප්‍රබල වරදක්. පාර්ලිමේන්තු කථානායකවරයාට පවා පොදු ප්‍රවාහනය වෙනුවෙන් කාඩ්පතක් ලබා දෙනවා. ආරක්ෂක අංශ සහ මෝටර් රථයක් ස්ථිර පදනමින් භාවිත කිරීමේ අයිතිය ඇත්තේ අගමැතිවරයාට පමණ යි.

රෙදි සෝදන ස්ථානය පොදුවේ භාවිතා කරනවා – www.youtube.com 

නවාතැන් පහසුකම්

ගුවන් ගමන් සැලකීමේ දී ගුවන් සංචාරයේ යෙදෙන නියෝජිතයා සකසුරුවම් පංතිය තෝරාගත යුතු යි. අවැසි නම් සාමාජිකයන්ට නිල ගමන් සඳහා තමාගේ ම මෝටර් රථයක් භාවිත කිරීමේ හැකියාවක් පවතින අතර, කිලෝ මීටර් දහයකට ස්විඩිෂ් ක්‍රෝනා 26.50 (SEK) ක ප්‍රතිපූරණ මුදලක් ඒ වෙනුවෙන් ලබා දෙනවා. ඉන් SEK 18.50 ක් බදුවලින් නිදහස් කොට තිබෙනවා. කෙසේ නමුත්, ස්ටොක්හෝම් වැනි ජීවන වියදම අධික නගරයක මේ ප්‍රතිපූරණ මුදලෙන් අත් වන්නේ ඉතා කුඩා සහනයක් පමණ යි. ඉතින්, පොදු ප්‍රවාහනය පාර්ලිමේන්තු සාමාජිකයන්ට වඩාත් පහසුයැ යි හැඟෙන තැනට පත් කර තිබෙනවා.

නිල සංචාර අතරතුර සාමාජිකයන්ට හෝටලයක නවාතැන් ගැනීමට සිදු වුවහොත්, නිවස හෝ පාර්ලිමේන්තුවේ සිට කිලෝ මීටර් 50 කට වඩා දුරකින් එම හෝටලය පිහිටා තිබෙන අවස්ථාවල දී ප්‍රතිපූරණ මුදලක් ලබා දීම සිදු කෙරෙනවා.

ස්වීඩනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජීවත් වන්නේ අගනුවර කුඩා මහල් නිවාසවල වන අතර, රෙදී සෝදා ගැනීමේ සහ රෙදී මැද ගැනීමේ කටයුතු පොදුවේ භාවිත කරන රෙදි සෝදන ස්ථානවල (communal laundries) සිදු කරනවා. ඉතා හොඳින් නඩත්තු කර ගෙන යන බැවින්, පොදුවේ එවැනි ස්ථානයක් භාවතා කිරීම ඔවුන්ට ගැටලුවක් නොවෙ යි. අතීතයට සාපේක්ෂ ව ස්වීඩනයේ මහජන නියෝජිතයන් දැන් සැප පහසු ජීවිතයක් ගත කරන බව කිව හැකි යි. 1980 දශකයේ අවසානය දක්වා ම ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිදා ගත්තේ ඔවුන්ගේ කාර්යාල වල පිහිටි සෝෆා ඇඳන් මත යි!

2021 වසරට අදාළ දර්ශකය. ශ්‍රී ලංකාවට හිමි තැනත් සොයා බලන්න – www.transparency.org 

අපි හැමෝම සමාන යි.

මේ මහජන නියෝජිතවරුන් කිසිවෙක් ඉලක්කම් ගණනාවක වැටුපක් උපයන්නේ නැහැ. ස්වීඩනයේ ප්‍රාථමික පාසල් ගුරුවරයෙක් උපයන වැටුපට වඩා දළ වශයෙන් දෙගුණයක පමණ වැටුපක් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙනවා. එම වැටුප ආදායම් බදුවලට යටත් වන හෙයින්, එය විශාල වැටුපක් ලෙස සැලකිය නොහැකි යි. ස්වීඩනයේ පාලන තන්ත්‍රය තුළ දේශපාලනඥයන්ට ගෞරවාන්විත සැලකිල්ලක් දැක්විය යුතුය යන සංකල්පයට කවදාවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔවුන් එය සලකන්නේ නිර්ලජ්ජිත ක්‍රියා පිළිවෙතක් ලෙසට යි. සාමාන්‍ය පුරවැසියකුට වඩා කීර්තිමත් මට්ටමකට දේශපාලකයන් ඔසවා ඔවුන්ට වරදාන, වරප්‍රසාද ලබාදෙන ක්‍රමයක් ස්වීඩනයේ නැහැ.

රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලන නියෝජිතයන්ට විශේෂ වූ ගරු බුහුමන් හෝ විධිමත් නාම භාවිතය අත්හළ රටක් ලෙස ස්වීඩනය හඳුනා ගැනෙනවා. 1960 තරම් ඈත කාල වකවානුවක දී ඔවුන් විධිමත් සර්වනාම භාවිතය අහෝසි කළ අතර, සෑම කෙනකු ම සරල ව “ඔබ” යනුවෙන් ආමන්ත්‍රණය කරන සමාජයක් බවට පරිවර්තනය වුණා. ස්වීඩන් සාරධර්ම පද්ධතියට අනුව කිසිවකු තව කෙනකුට වඩා උසස් වන්නේ නැහැ. එබැවින්, තම දේශපාලකයන් පවා සාමාන්‍ය ජනතාව මුහුණ දෙන යථාර්ථය තුළ ජීවත් විය යුතු බව ස්වීඩන් සමාජය විශ්වාස කරනවා. මහජන නියෝජිතයන්ට පැන වූ මේ සෑම නීතියක් ම පිහිටුවා ඇත්තේ ඒ සාරධර්මය මත යි.

ප්‍රධාන සමාජ අසමතුලිතාවලින් හැකිතාක් දුරට මිදුණු ස්වීඩනය, නිසැකව ම ආරක්ෂිත සහ ප්‍රචණ්ඩත්වය ඉතා අවම රටක් වන බැවින්, දේශපාලකයන්ට වෙඩි නොවදින මෝටර් රථ තුළ ගමන් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. එදිනෙදා යථාර්ථය සහ වේදනාව සමඟ සම්බන්ධ වීමට තරම් සහකම්පනයක් තිබෙන දේශපාලකයන් පත් කර ගැනීම අන් හැමදේට ම වඩා වැදගත් කාර්යයක් ලෙස සලකන සමාජයක් ස්වීඩනය තුළ තිබෙනවා. විනීතභාවයේ සීමා තුළ දේශපාලන බලය ක්‍රියාත්මක කළ හැකි බව පෙන්නුම් කරන සමාජයක තම පෞද්ගලික අවශ්‍යතා ඉදිරියෙන් තැබීමේ ඉඩක් දේශපාලනඥයන්ට ලැබෙන්නේ නැහැ.

විනිවිදභාවයේ නීතිය

යුක්තිය පසිඳලීමේ පද්ධතියත් තුළත් ඉහත සඳහන් සාරධර්මය සහ පදනම එක සේ බල පවත්වනවා. ස්වීඩනයේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ පවා නිල මෝටර් රථ, පුද්ගලික ලේකම්වරුන් හෝ වරප්‍රසාද ලැබීමේ අයිතිය විනිසුරුවරුන්ට ලැබෙන්නේ නැහැ. එම බලධරයන් පවා මහ ජනතාවට වගකිව යුතු, සියලු තොරතුරු නොමිලේ මහ ජනතාවට ලබා දෙන පිළිවෙතක් අනුගමනය කළ යුතු බව පැවසෙනවා. ස්වීඩනයේ විවෘතභාවය, එරට දේශපාලන බලයේ විනිවිදභාවයෙන් පිළිබිඹු වන අතර, එය ලෝකයේ පැරණිත ම විනිවිදභාවය පිළිබඳ නීතියෙන් නිරීක්ෂණය කරනවා. එම නීතියේ බලපෑම මඟින් ජාතික මට්ටමේ දේශපාලනය තුළ පවතින දූෂණය, සාපේක්ෂ ව ඉතා දුර්ලභ සංසිද්ධියක් බවට පත් කරනවා.

මෙම නීතිය ක්‍රියාත්මක වන අයුරු නිරීක්ෂණය කිරීමෙන් ස්වීඩනයේ දූෂණය අවම වන අන්දම ගැන යම් අදහසක් ලබාගත හැකි යි. 1766 දී රජයේ නිල ලේඛන සඳහා වූ මහජන ප්‍රවේශය, සියලු ම පුරවැසියන් සඳහා ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් බවට පත් කළ අතර, එය ස්වීඩන් මාධ්‍ය නිදහස පිළිබඳ පනතේ විශේෂ පරිච්ඡේදයකට ඇතුළත් කෙරුණා. එමඟින්, ඇමතිවරුන්ගේ, රජයේ නියෝජිතයන්ගේ සහ විනිසුරුවරුන්ගේ වියදම් සොයා ගැනීම, අගමැතිගේ ආදායම් බදු ප්‍රකාශ කියවීමේ හැකියාව, ජාතික පොලිස් කොමසාරිස්වරයාගේ හෝ හමුදා ප්‍රධානීන්ගේ වියදම් පරීක්ෂා කිරීම, රාජ්‍ය ආයතන බදු මුදල් වියදම් කරන්නේ කෙසේ ද යන්න වග දැනුම්වත් වීම සහ ඕනෑම බලධාරියකු ගන්නා ක්‍රියා, නිල තීරණ නිරීක්ෂණය කිරීමේ හැකියාව මහ ජනතාවට ලැබුණා. ජනතාව දැනුම්වත් කරන තරමට ම දේශපාලන ප්‍රවාහය කුණාටුවලින් තොරව පවත්වා ගෙන යෑමේ හැකියාව ස්වීඩනය තේරුම් ගත්තේ එතරම් ම ඈත කාලයකදී යි.

මෝනා සලින් – www.tellerreport.com 

ටොබ්ලිරෝන් සිදුවීම

 ස්වීඩන දේශපාලනය තුළ පවා කලාතුරකින් දූෂණ වංචා සිදුවන අවස්ථා නැතුවා නොවෙයි. ඒවා ඉක්මනින් ම අනාවරණය වන අතර, පරීක්ෂණ කටයුතුත් යුහුසුළු ව සිදු වෙනවා. ඒ සෑම දෙයකටමත් වඩා ප්‍රබල වන්නේ අදාළ දූෂිතයාට විඳීමට සිදුවන සමාජ අපවාදය යි. දේශපාලකයන් අතින් වැරදි සිදු නොවීමට නීතිය ශක්තිමත් ලෙස ක්‍රියා කළ යුතු සේම, දූෂණයට සංවේදී ජන සමාජයක් රට තුළ ජීවත් වීම වැදගත්.

ස්වීඩනය තුළ සිදු වූ වඩාත් ප්‍රසිද්ධ දේශපාලන අපකීර්තිමත් අවස්ථාවක් වන්නේ “ටොබ්ලිරෝන් සිදුවීම” ලෙස හඳුන්වන වංචාව යි. 1995 දී සිදු වූ මේ අපකීර්තියේ වැරදිකරු වන්නේ එකල නියෝජ්‍ය අගමැති ධූරය හෙබ වූ මෝනා සලින්. රජය රාජකාරි කටයුතුවල වියදම් පියවීම සඳහා ලබාදෙන ක්‍රෙඩිට් කාඩ් පතක් සිය පෞද්ගලික වියදම් සඳහා භාවිත කිරීම ඇයට ඇති චෝදනාව යි. මෙලෙස ඇය අවභාවිත කළ මුදල ස්විඩිෂ් ක්‍රෝනර් 50,000 ක් පමණ වන අතර, ඇය ඒවා වියදම් කර තිබුණේ චොක්ලට් බාර්, ළදරු නැපි සහ වෙනත් පුද්ගලික අයිතම මිල දී ගැනීම සඳහා යි.

එදිනෙදා කටයුතුවලට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා රජයේ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කළ බව ඇය පසු ව පිළි ගත්තා. වැඩිදුර පාපොච්චාරණයේ දී රථගාලට ගෙවිය යුතු ප්‍රවේශපත්‍ර 19ක් සහ සිය දරුවන් රැක බලා ගැනීමට දුන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ බිල්පත් කිහිපයක් නියමිත වේලාවට ගෙවීමට අපොහොසත් වූ බව ඇය හෙළි කළා. වංචාව සම්බන්ධයෙන් ස්ටොක්හෝම් පුවත්පතක් හමුවේ සමාව අයැද සිටීමටත් ඇය අමතක කළේ නැහැ.

අවසානයේ දී මෝනා සලින්, ඉතිරි ව තිබූ බිල්පත් සියල්ල ම සහ ක්‍රෝනර් පහළොස්දහසක වැඩිපුර මුදලක් භාණ්ඩාගාරයට ගෙවීමට ක්‍රියා කළා. නමුත්, ඇයගේ දේශපාලන දිවියට එක් වූ කළු පැල්ලම ඉන් මැකී ගියේ නැහැ. මෝනා සලින් ඒ වනවිට දේශපාලනයේ ඉහළ ම මට්ටමට යෑමේ අවස්ථාවක් අබියස සිටියා. උප අගමැති පදවියේ සිට ඊළඟ අගමැති පදවිය දක්වා ගමන් කිරීමේ විභවය ඇය සතුව පැවති බව එකල බොහෝ ස්වීඩන් වැසියන්ගේ මතය වුණා. එහෙත්, හදිසියේ ම මතු වූ දූෂණ චෝදනාව ඒ සියල්ල ඇයගෙන් උදුරා ගත්තා. වසර කිහිපයකට පසු ඇයදේශපාලන ජීවිතයට නැවත  පිවිසුණත්, සිය වෘත්තීය ජීවිතයේ ස්වර්ණමය අවස්ථා ඒ වනවිටත් ඇයගෙන් ගිලිහී ගොස් අවසන්.

දූෂණය මතු වුණත්, එය ලත් තැනම ලොප් කරන සමාජයක් ස්වීඩනය සතු යි. සෑම අතකින් ම පරිපූර්ණ වීමට උත්සහ දරන සමාජයක ජන විඥානයත් දියුණු වන්නේ නිරායාසයෙන්ම යි. එවිට අසාධාරණයට ඉඩක් ලැබෙන සම්භාවිතාවත් ඉතා අවම යි.

කවරයේ ඡායාරූපය -ජාතික දිනය සමරන ස්වීඩන් වැසියෝ - ahenforadiodk.com

මූලාශ්‍ර:

thewire.in

timesofindia.indiatimes.com/

claudia-wallin.com

oxfordre.com

www.transparency.org

www.riksdagen.se 

Related Articles