Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 වසරේ ලොව දුර්වලත ම මුදල් ඒකක 5ක්

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික මෙන් ම විනිමය අර්බුදයක් ඇති වී තිබෙන බව ලොව බොහෝ දෙනා දන්නා කරුණක්. පසුගිය මාස කිහිපයේ දී ශ්‍රී ලංකා රුපියලේ අගය අමෙරිකානු ඩොලරය අභිමුව සැලකිය යුතු මට්ටමකින් කඩා වැටුණා. මෙම කඩාවැටීම කෙතරම් දරුණු තත්ත්වයකට පත්වේ දැයි බියෙන් ශ්‍රී ලාංකිකයන් නිතිපතා ඒ ගැන අවධානයෙන් සිටිනවා.

ලොව බොහෝ මුදල් ඒකක අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව අඩු අගයක් දක්වන අතර, ඉන් සමහරක් ශ්‍රී ලංකා රුපියලටත් වඩා අඩු අගයක් දක්වන මුදල් ඒකක බවට පත් වී තිබෙනවා. වර්තමානය වන විට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 360 පමණ අගයක් දක්වන විට ඉහත මුදල් ඒකක අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 1000 ක අගයටත් වඩා වැඩි අගයක් දක්වනවා. 

මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නේ එලෙස අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව අඩුම අගය 2022 වසරේ දී වාර්තා කරගෙන තිබෙන මුදල් ඒකක පිළිබඳව යි. මෙලෙස ඒවා ඉතා අඩු අගයකට අවප්‍රමාණය වන්නට විවිධාකාරයේ දේශපාලනික මෙන් ම ආර්ථික හේතු ද බලපා තිබෙනවා.

ඉරාන රියාල් – Vahid Salemi/AP

 

01). ඉරාන රියාල් (අමෙරිකානු ඩොලරය = ඉරාන රියාල් 42,250 )

ඉරාන රියාල් සැලකෙන්නේ වර්තමනයේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව අඩුම වටිනාකමක් ඇති, කිසියම් රටක ජාතික මුදල් ඒකකය ලෙස යි. මෙය සාමාන්‍යයක් වශයෙන් වර්තමානය වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 42,250 ක පමණ ඉතා අඩු අගයක් ගන්නවා. 

ශ්‍රී ලංකා රුපියලක් මිල දී ගැනීමට ආසන්න වශයෙන් ඉරාන රියාල් 117ක් පමණ වියදම් කළ යුතු අතර, වර්තමානයේ ඔවුනට බලපවත්වන ආර්ථික සම්බාධක හේතුවෙන්, ඔවුන් සතු ඛණිජ තෙල් අන්තර්ජාතික ව විකිණීමට නොහැකි වීම නිසා ඉරානයට මේ ඉරණම අත් වී තිබෙනවා. ඔවුන්ගේ දිගුකාලීන දේශපාලන අස්ථාවර භාවයත් මීට විශාල දායකත්වයක් සපයනවා.

වියට්නාම ඩොන්ග් -movetoasia.com 

 

02). වියට්නාම ඩොන්ග් (අමෙරිකානු ඩොලරයක් = වියට්නාම ඩොන්ග් 22,650 )

2020 වසරේ සිය ආර්ථිකය අන්තර්ජාතික වෙළෙඳපොළට යම් පමණකට විවෘත කිරීමෙන් පසු යම් ප්‍රගතියක් පෙන්වුව ද වර්තමානය් වන විටත් වියට්නාමයේ ජාතික මුදල් ඒකකය සැලකෙන්නේ ලොව දෙවන දුර්වලත ම මුදල් ඒකකය ලෙස යි. වියට්නාමය කුඩා ආර්ථිකයකට හිමිකම් කියන, ලොව බොහෝ රටවලට සාපේක්ෂව කුඩා සහ අඩු සම්පත් ප්‍රමාණයක් සහිත රටක් බැවින්, වර්තමානය වන විටත් බොහෝ ආයෝජකයන් එහි වෙළෙඳපොළ සමග සම්බන්ධ වන්නට මැලිකමක් දක්වනවා. මේ නිසා වර්තමානය වන වටත් අමෙරිකානු ඩොලරයක් වියට්නාම ගොන්ග් 22,650 ක පමණ වටිනාකමකින් යුක්ත වෙනවා. ඔබට ශ්‍රී ලංකා රුපියලකට වියට්නාම ඩොන්ග් 63 ක් පමණ ලබා ගත හැකි යි.

ඉන්දුනීසියානු රුෆියා – blog.remitly.com 

 

03). ඉන්දුනීසියානු රුෆියා (ඇමෙරිකානු ඩොලරයක් = ඉන්දුනීසියානු රුෆියා 14,365 )

ඉන්දුනීසියාවේ ජාතික මුදල් ඒකකය වන ඉන්දුනීසියානු රුෆියා පසුගිය වසර දෙක තුළ දක්වා ඇත්තේ ඉතා සුළු වර්ධනයක් පමණයි. මෙය ලොව දුර්වල ම මුදක් ඒකක ගොන්නේ තෙවන තැනට පත්ව තිබෙන අතර වර්තමානය වන විට එක් අමෙරිකානු ඩොලරයක් ඉන්දියානු රුෆියා 14,365 ක පමණ වටිනාකමකින් යුක්ත වෙනවා. 

ශ්‍රී ලංකා රුපියල සලකන කල් හී එය 40 ක පමණ අගයක් වෙනවා. කෙසේ නමුත් ඉන්දුනීසියානු රජය මේ වන විට මෙහි අගය වැඩිදියුණු කරගන්නට ක්‍රියාමාර්ග කිහිපයක් ම ක්‍රියාවේ යොදවා ඇති අතර, අනාගතයේ දී මෙහි අගය යම් පමණකට හෝ ස්ථාවර වෙනු ඇතැයි අපේක්ෂිත යි.

ලාඕස කිප් -pinterest.com)

 

04). ලාඕස කිප් (අමෙරිකානු ඩොලරයක් = ලාඕස කිප් 11,345)

ලාඕසයේ ජාතික මුදල් ඒකකය වන ලාඕස කිප් 2020 වසරේ සිට ඉතා දැඩි ලෙස අවප්‍රමාණය වී තිබෙන අතර, මේ වන විට එම මුදල් ඒකකය වසර 15 කට පසු වාර්තා වූ අවම වටිනාකම වෙත ළඟා වී තිබෙනවා. එරට මුහුණපා තිබෙන දැඩි අපනයන හිඟතාව මෙන් ම දිනෙන් දින ඉහළ යන උද්ධමනය නිසා මෙම තත්ත්වය උදා වී ඇති අතර, වර්තමානය වන විට එහි වටිනාකම සනිටුහන් වන්නේ අමෙරිකානු ඩොලරයට එදිරි ව 11,345 ක් ලෙස යි. ශ්‍රී ලංකා රුපියලකට ලාඕස කිප් 31.50 ක් වර්තමානයේ මිලදී ගත හැකි යි.

සියරා ලියෝන ලියොන් – dreamstime.com 

 

05). සියරා ලියෝන ලියොන් (අමෙරිකානු ඩොලරයක් = සියරා ලියෝන ලියොන් 11,330)

අප්‍රිකානු රටක් වන සියරා ලියෝනයේ මුදල් ඒකකය වන සියරා ලියෝන් ලියොන් 2021 වසරට සාපේක්ෂ ව මේ වන විට 16% කින් පමණ අවප්‍රමාණය වී තිබෙනවා. මේ ප්‍රවණතාව දිගට ම පැවතුණහොත් ඉක්මනින් ම මෙරට මුදල් ඒකකය ලොව දුර්වල ම මුදල් ඒකක 3 අතරට ගමන් කළ හැකි බවට වාර්තා පළ වී තිබෙනවා. එරට රජය මේ වන විටත් ඊට එරෙහිව ක්‍රියා කරන්නට පටන්ගෙන තිබෙනවා. මේ වන විට අමෙරිකානු ඩොලරයක් මිලදී ගන්නට සියරා ලියෝන ලියොන් 11,330 ක් වියදම් කළ යුතු අතර, ශ්‍රී ලංකා රුපියලකට මෙම මුදල් ඒකකයෙන් 31 ක් මිල දී ගත හැකි යි.

පසු සටහන

වර්තමානයේ නිල ලෙස පිළිගැනෙන, 2022 වසරේ ලොව දුර්වල ම මුදල් ඒකක 5 ඉහත පරිදි වෙනවා. කෙසේ නමුත් වෙනසුවෙලානු බොලිවාර් සහ සිම්බාබ්වේ ඩොලර් යන මුදල් ඒකක ඒවාට වඩා දැඩි ලෙස දුර්වල වී ඇති බවට අයෙක් තර්ක කරන්නට පිළිවන්. එහි සත්‍යතාවක් ඇති අතර, ඒවා නිල ලෙස මෙම වාර්තාවලට ඇතුළත් කළ නොහැක්කේ ඒ මුදල් ඒකක ද්විත්වය ම කිහිප විටක් ම ඒ දෙරටේ රජයන් මඟින් ‘ නැවත අගය සැකසීම්’ සිදු කළ නිසා යි.

ඒ දෙරටේ ම රජයන් පසුගිය වසර කීපය තුළ ඒ ඒ මුදල් ඒකකවල ‘බින්දු’ඉවත් කර හෙවත්, අගය දැක්වීම් දහයේ ගුණාකාරවලින් වෙනස් කරමින් මුදල් නෝට්ටු නිකුත් කිරීම සිදු කළ අතර  නිල වශයෙන් පිළිගැනෙන්නේ එලෙස අගය සැකසීමෙන් පසු දැක්වෙන වර්තමාන අගය යි. ඒ රටවල් ද්විත්වය ම ස්වභාවික සම්පත්වලින් අනූන රටවල් වන අතර, පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා නිසා මෙලෙස අගතියට පත් වී තිබෙනවා. වර්තමාන වෙනිසුවෙලානු බොලිවාරයක් අමෙරිකානු ඩොලරයට එදිරි ව 5 – 6 අතර ද, සිම්බාබ්වේ ඩොලරය 362 ක් ලෙස ද අගය නියම වී තිබෙනවා.

 කවරයේ ඡායාරූපය - ලොව බොහෝ මුදල් ඒකක අමෙරිකානු ඩොලරයට සාපේක්ෂ ව අඩු අගයක් දක්වනවා - Pinterest.com

මූලාශ්‍ර:

Trulyfinancial.com

Ugwire.com

infos10.com

Related Articles