හිජාබ් තහනම පසුපස එන ඉන්දීය මැතිවරණ උණුසුම

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයට අයත් උඩුපි ප්‍රදේශයේ එක්තරා රජයේ උසස් විදුහලක (විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට පූර්ව පාඨමාලා පවත්වන විද්‍යාල) පසුගිය ජනවාරි පළවැනිදා උණුසුම් වාතාවරණයක් හට ගත්තා. එම විදුහලේ අධ්‍යාපනය ලබන මුස්ලිම් ශිෂ්‍යාවන්ට හිජාබය පැළඳීම තහනම් කිරීම ඊට හේතුව යි. ඒ දිනයේ දී හිජාබය පැළඳි ශිෂ්‍යාවන් සය දෙනකුට සිය පන්ති කාමරවලට ඇතුළු වීමට විදුහල් පරිපාලනය ඉඩ නොදුන් අතර, පත් වූ අපහසුතාව සම්බන්ධයෙන් සිසුන් මාධ්‍ය හමුවක් පවා පැවැත් වූ බව වාර්තා වෙනවා.

හිජාබය සමඟ පන්ති කාමරවලට ඇතුළු වීමට ඉඩ දෙන ලෙස අවසර ඉල්ලා සිටි නමුත්, විද්‍යාල බලධාරීන් එය දිගින් දිගට ම ප්‍රතික්ෂේප කළ බව ශිෂ්‍යාවන් එහිදී පවසා සිටියා. අවසානයේ දී ඔවුන් විදුහල් පරිපාලනයට එරෙහි ව විරෝධතා ආරම්භ කළ අතර, කර්ණාටක ප්‍රාන්තය පුරා අර්බුදකාරී වාතාවරණයක් ඉතා ඉක්මනින් ඇති කිරීමට එය හේතු වුණා.

තහනමට පෙර හිජාබය මුස්ලිම් ශිෂ්‍යාවන්ගේ පන්ති සගයන්ට ගැටලුවක් වුණේ නැහැ – www.bbc.com 

 දැන් මෙම සිදුවීම ආගම්වාදී අර්බුදයක් දක්වා ගමන් කොට අවසන්. ඉන්දියාවේ උසස් විදුහල් කිහිපයක ම හිජාබයට සහාය දක්වන මුස්ලිම් සිසුන් සහ ඊට එරෙහි හින්දු සිසුන් අතර විරෝධතා පැවැත්වෙන අයුරු සමාජ මාධ්‍යවල පවා සංසරණය වී තිබුණා. හින්දු සිසුන් ඔවුන්ගේ ධර්මයට අදාළ උදාන පාඨ පවසමින් විරෝධතාවයේ යෙදුණු අතර, මුස්ලිම් ශිෂ්‍යයන් ද ඔවුන්ට අනන්‍ය වූ උදාන පාඨ පවසමින් විරෝධතාවයේ යෙදුණා. ආගම්වාදය, ජාතිවාදය වැනි බරපතල සමාජ බෙදීම් පිටු දැකීම සම්බන්ධයෙන් තරුණ පරපුර පුරෝගාමී මෙහෙවරක් සිදු කළ යුතු සමයක මෙවැනි සිදුවීමක් වාර්තා වීම ශෝකජනක තත්ත්වයක්.

 උඩුපි විද්‍යාලයේ විදුහල්පති රුද්‍රේ ගෞඩා පවසා සිටින්නේ හිජාබය පැළඳීම සම්බන්ධයෙන් තම ආයතනය තුළ කිසිදු නීතියක් නොතිබූ බව යි. පසුගිය වසර 35 තුළ කිසිවෙක් හිජාබය සමඟ විදුහලට පැමිණි නැති බවත් ඔහු පවසා තිබෙනවා. විදුහල්පතිට අනුව අදාළ සිසුවියන් හිජාබය පැළඳ පැමිණ ඇත්තේ බාහිර බලවේගවල බලපෑම් අනුව යි.

මුස්ලිම් කාන්තාවන් පළඳින හිස් ආවරණ – www.bbc.com 

අර්බුදය අධිකරණයට 

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14, 19 සහ 25 වගන්ති යටතේ මුස්ලිම් ශිෂ්‍යාවන්ට පන්ති කාමර තුළ හිජාබය පැළඳීමේ අයිතිය ඉල්ලා කර්ණාටක ප්‍රාන්ත මහාධිකරණයට පෙත්සම් කිහිපයක් ගොනු කොට තිබුණේ පසුගිය ජනවාරි 31 වැනිදා යි. ගොනු කළ පෙත්සම්වල පළමු වර විභාගය අධිකරණය පෙබරවාරි 8 වැනිදා සිදු කළ අතර, සියලු පෙත්සම් සලකා බලන තෙක් සිසුන්ට කුංකුම පැහැති සළු, හිජාබය සහ අනෙකුත් ආගමික ධජ පන්ති කාමර තුළ පැළඳීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් කළා. කුංකුම පැහැති සළුව යනු හිජාබයට විරුද්ධ ව හින්දු ආගමික සිසුන් පැළඳි සංකේතයක්. පසුව එවැනි සළු පැළඳි පිරිස් සහිත විරෝධතා උසස් විදුහල් කිහිපයක පැතිර ගියා.

ෂාෆා හම්සා යනු එක්තරා උසස් විදුහලක 12 වැනි පන්තියට ඇතුළත් ව සිටින ශිෂ්‍යාවක්. ඇයගේ විදුහලෙත් විරෝධතා පැතිර ගිය අතර, ෂාෆාගේ හොඳ ම යෙහෙළියත් විරෝධතාවලට සහාය දක්වන බව දැන ගත් විගස ඇය බියෙන් තිගැස්සුණා.

“මාගේ හොඳම යහළුවා පවා මා හට විරුද්ධ බව පවසමින් පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මට සමච්චල් කළා. මං ඒ ගැන දුක් වුණත්, මගේ මිතුරිය සළුව පැළඳුවේ විදුහලේ සිටි පිරිමි ළමයින්ගේ ඉල්ලීම මත බවට මා පසුව දැනුම්වත් වුණා.”

ෂාෆා හම්සා පවසන පරිදි ඇය කුඩා අවදියේ පටන් ම හිජාබය පැළඳ තිබෙනවා. විදුහලේ මිතුරන් හදිසියේ ම තම ප්‍රජාවේ සාම්ප්‍රදායික අංගයකට එරෙහි වීමත් සමඟ ෂාෆාගේ සහෝදර සහෝදරියන් නොසන්සුන් වී තිබෙනවා. ෂාෆාගේ අත්දැකීමෙන් පෙනී යන්නේ හිජාබය මුල පටන් ම විදුහලේ ශිෂ්‍යන්ට ගැටලුවක් නොවූ බව යි. එසේ නම්, හිටි හැටියේම හිජාබයට එරෙහි විරෝධයක් පැන නැඟීම සොයා බැලිය යුතු කාරණාවක්. විශේෂයෙන් ම මෙම අර්බුදය හට ගෙන ඇත්තේ යෞවන වියේ පසුවන ප්‍රජාව අතර යි. මානව සබඳතා පවත්වා ගෙන යාමට එක් එක් ප්‍රජාවගේ සාම්ප්‍රදායික අංග ගැටලුවක් නොවන බවට වූ අවබෝධය මොවුන් ගෙන් ඉවත් කළේ කවුද?

ආගම අනුව ඉන්දියාවේ සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජනගහනය බෙදී යන අයුරු – www.researchgate.net 

අනෙක් අතට, පෙත්සම් විභාගයේ දී හිජාබය පැළඳීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පෙන්වා දෙන්නේ කැමති ඇඳුමක් තෝරා ගැනීම ඉන්දීය ව්‍යවස්ථාවෙන් ම සහතික කර ඇති මූලික අයිතිවාසිකමක් බව යි. කර්ණාටක ප්‍රාන්ත රජය හිස් වැසුම් සහ හිජාබය තහනම් කරමින් අධ්‍යාපන ආයතන සඳහා ඇඳුම් කේතයක් පැනවීම මත ඇති නීත්‍යානුකූලභාවයත් ඔවුන් ප්‍රශ්න කර සිටිනවා.

ප්‍රාන්ත රජයේ මතය

අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් කාර්ණාටක ප්‍රාන්ත රජය මේ වනවිට ප්‍රතිචාර දක්වා තිබෙන අතර, 1983 අධ්‍යාපන පනත යටතේ කර්ණාටක ප්‍රාන්ත රජය හිජාබ් තහනම සාධාරණීකරණය කර තිබීම විශේෂත්වයක්. අදාළ පනතේ 133 වගන්තිය ප්‍රකාරව මහජන සාමය පවත්වා ගැනීම සහතික කිරීම සඳහා විදුහල්වලට සුදුසු උපදෙස් නිකුත් කිරීමට ඇති අයිතිය එයින් තහවුරු වී තිබෙනවා. කර්ණාටක පූර්ව විශ්ව විද්‍යාල අධ්‍යාපන මණ්ඩලයට අයත් විද්‍යාලවල සංවර්ධන කමිටුව හෝ පරිපාලන අධීක්ෂණ කමිටුව විසින් නියම කළ ඇඳුම් කේතය අනුගමනය කළ යුතු බවත්, පරිපාලනය ඇඳුම් කේතයක් සකස් නොකරන්නේ නම් සමානාත්මතාවයට සහ මහජන සාමයට තර්ජනයක් නොවන පරිදි ඇඳුම් පැළඳිය යුතු බව එහි තවදුරටත් සඳහන් වෙනවා.

හිජාබ් තහනමට එරෙහි විරෝධතා ඉන්දියාවේ නගර කිහිපයක පැතිර ගියා – scroll.in 

ප්‍රාන්ත ආණ්ඩුව පවසන පරිදි හිජාබයට එරෙහි විරෝධතා පවතින්නේ උසස් විදුහල් අටක පමණ යි. ප්‍රාන්තය තුළ ඇති 75,000 ක් පමණ වූ අධ්‍යාපන ආයතන අතරින් ස්ථාන අටක පමණක් විරෝධතා වාර්තා වීම හරහා සිදුවීමේ ඇති බරපතලකම අවතක්සේරු කිරීමට ප්‍රාන්ත රජය උත්සහ කරන බවක් පෙනී යනවා. කෙසේ නමුත්, ඉන්දියාවේ විශාලත ම නගර වන කොල්කටා, චෙන්නායි සහ හයිද්‍රබාද් නගර වල හිජාබ් තහනමට එරෙහි පෙළපාලි සංවිධානය වීමෙන් පෙනී යන්නේ ගැටලුව දැන් කර්ණාටක ප්‍රාන්තයට පමණක් උරුම වී නොමැති බව යි. ආතති ස්වභාවය සමනය කිරීම සඳහා උසස් විදුහල් තාවකාලික ව වසා දැමීමට පසුගිය සතියේ ප්‍රාන්ත රජය තීරණය කළ අතර, නැවතත් ඒවා ක්‍රමානුකූල ව විවෘත කිරීමට ඔවුන් පියවර ගනිමින් සිටිනවා.

මැතිවරණයක යටි අරමුණු

හිජාබය සම්බන්ධයෙන් ඉන්දීය අධ්‍යාපන ආයතන කුමන ආකාරයේ මතයක සිටියත්, මෙවැනි අර්බුදයක් හිටි හැටියේ මතු වීම පිටුපස ඇති සැබෑ බලවේග මොනවාදැ යි විමසා බැලීමට ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් උත්සහ ගනිමින් සිටිනවා. විශේෂයෙන් ම දකුණු ආසියානු කලාපයේ දේශපාලන බල තුලනය සඳහා ආගම්වාදය සහ ජාතිවාදය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනවා. පවතින රජය කෙරෙහි ජනතාව කොතරම් අප්‍රසාදයට පත්ව සිටියත්, ආගම, ජාතිය වැනි ජනතාවගේ සංවේදී ම තැන් තම වාසියට හරවා ගැනීමේ සුවිශේෂී දක්ෂතාවක් දකුණු ආසියාතික දේශපාලන ප්‍රවාහය සතු යි.

 කර්ණාටක ප්‍රාන්ත ආණ්ඩුව හදිසියේ ම නින්දෙන් අවදි වූවාක් මෙන් අධ්‍යාපන ආයතන වලටඇඳුම් කේතයක් ගෙන එද්දී, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය මැතිවරණ උණුසුමෙන් වෙළී ගොස් තිබෙනවා. මේ සිදුවීම් ද්විත්වය අතර යම් ගැළපීමක් තිබෙන බව ඇතැම් මාධ්‍ය වාර්තා අනුමාන කරනවා.

යෝගී ආදිත්‍යනාත් – www.deccanherald.com 

දැඩි මතධාරී හින්දු පූජකයා

හිජාබ් විරෝධතාව පැමිණෙන්නේ නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ (BJP) පරීක්ෂණයක් ලෙස සලකන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙන අතරතුර යි. මසකට ආසන්න කාලයක් (පෙබරවාරි 10 සිට මාර්තු 07 දක්වා) ඡන්ද විමසීම සිදුවන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය, භාරතීය ජනතා පක්ෂයේ තීරණාත්මකම සාධකයක් ලෙස ක්‍රියා කරනවා. පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව එරට ගොවියන් සිදු කළ දැවැන්ත අරගලය නිසා නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය දැඩි පසුබෑමකට ලක් වූ හෙයින්, උත්තර් ප්‍රදේශ් ඡන්ද ප්‍රතිඵලය මඟින් තම අනාගත මැතිවරණ ප්‍රතිඵලය ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෝදි ආණ්ඩුවට හැකි වෙනවා.

ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ධූරය දරණ යෝගී ආදිත්‍යනාත්, භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයෙන් වන අතර, දැඩි මතධාරී අදහස් දරණ හින්දු පූජකවරයකු ලෙසත් සැලකෙනවා. 2017 දී මහ ඇමති ධූරයට පත් වීමෙන් පසු තව දුරටත් බලය රැක ගැනීමේ සටන වෙනුවෙන් ඔහු මෙවර ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

2017 මැතිවරණ ජයග්‍රහණයේ දී යෝගී ආදිත්‍යනාත් මහ ඇමති පුටුවට පත් වීම ගැන ඉන්දීය මුස්ලිම් ජනයා එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහු විවාදාත්මක මුස්ලිම් විරෝධී දේශකයකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලීම ඊට හේතුව යි. මැතිවරණය “සියයට 80 ත් 20 ත් අතර සටනක්” බව පැහැදිලිව ම ප්‍රකාශ කළ මේ අන්තවාදී හින්දු දේශපාලකයා, ප්‍රාන්තය තුළ ඔහුගේ ඡන්ද පදනම ආගම අනුව තීරණය වන බව ව්‍යංගයෙන් හැඟවූවා.

කුංකුම පැහැති සළු පැළඳි හින්දු ශිෂ්‍යයෝ – www.bbc.com 

හිජාබය ඡන්ද ගුණ්ඩුවක් වන හැටි

භාරතීය ජනතා පක්ෂය බලයට පත් වූ දා පටන් හින්දු-මුස්ලිම් බෙදීම තරමක් පුළුල් වශයෙන් සිදුවන අතර, හිජාබ් තහනම නිසා එම බෙදීම දැන් අධ්‍යාපනික ආයතනවලටත් ඇතුළු වී අවසන්. භාරතීය ජනතා පක්ෂය ස්වභාවයෙන් ම හින්දු ජාතිකවාදය ප්‍රවර්ධනය කරමින් තම ඡන්ද ව්‍යාපාරය ගෙන යන නිසා ඔවුන් තරග කරන එක් එක් ප්‍රාන්ත සඳහා එකම න්‍යාය වෙනස් අයුරින් ක්‍රියාත්මක කරන බවක් පෙනී යනවා. උත්තර් ප්‍රදේශ් හි එම න්‍යාය පත්‍රය යෝගී ආදිත්‍යනාත් හරහා සිදු වෙද්දී, දකුණු ඉන්දියාව තුළ භාරතීය ජනතා පක්ෂයට බලය හිමි එකම ප්‍රාන්තය වන කර්ණාටක ප්‍රාන්තයේ එය ක්‍රියාත්මක වන්නේ අයුරකින්.

“මෙය විශාල න්‍යාය පත්‍රයක කොටසක්. මැතිවරණ කාලය තුළ ඡන්ද ලබා ගැනීම සඳහා ආගම පෙර මඟට ඇද දැමීම ඉන්දියාව තුළ සිදු වෙනවා. එය හුදු මැතිවරණ ව්‍යායාමයකට වඩා වැඩි යමක් වන අතර, මුස්ලිම් ප්‍රජාව බිත්තියට හේත්තු කරමින් ඉන්දියාව හින්දු රටක් බව හැඳින්වීමේ ක්‍රියා පිළිවෙතක් මත භාරතීය ජනතා පක්ෂය ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාව ආගම මත පදනම් වූ රටක් ලෙස හුවා දක්වමින් මුළු ප්‍රජාවක්ම යක්ෂාවේශ කිරීමේ උත්සාහයක ඔවුන් නියැලෙමින් සිටිනවා.”

මුස්ලිම් කාන්තාවන් ගොඩ නඟා ගත් සංවිධානයක් වන “භාරතීය මුස්ලිම් මහිලා ආන්දෝලන්” හි සම නිර්මාතෘවරියක් වන නූර්ජෙහන් සෆියා නියාස්, ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වෙනුවෙන් සිය අදහස් දක්වා තිබුණේ ඒ අයුරින්.

හිජාබය පැළඳි මුස්ලිම් ශිෂ්‍යාවන් ඉන්දියාවේ සුලබ සහ සාමාන්‍ය දසුනක් – www.bbc.com 

ඕනෑම දේශපාලන පක්ෂයක් ආගම, ජාතිය හෝ වෙනත් සංවේදී සමාජීය කරුණක් දේශපාලන වේදිකාව මත ප්‍රවර්ධනය කරනවා නම්, එම දේශපාලන පක්ෂය ඉදිරියේ ප්‍රවේශම් වීමට ඡන්ද දායකයා ක්‍රියා කිරීම වඩාත් සුදුසු යි. සිය ඡන්ද පදනම රටේ එක් ජන කොට්ඨාශයක් මත පදනම්ව  ඇතැයි පවසන යෝගී ආදිත්‍යනාත් වැනි දේශපාලකයන් ගෙන් සමාජයට වන සේවයක් නොමැති තරම්. ආගම හරහා සිදු කරන දේශපාලන ධ්‍රැවීකරණය කර්ණාටක ප්‍රාන්තය තුළ නොසිතූ සාර්ථකත්වයක් දැන් අත් කරගෙන තිබෙනවා. ඊට පෙර ෂාෆා හම්සා වැන්නවුන් පැළඳි හිජාබය පන්ති කාමර සගයන්ට ගැටලුවක් වූයේ නැහැ. කර්ණාටක ප්‍රාන්තය තුළ “හිජාබය” ඡන්ද ගුණ්ඩුවක් වී ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා පවසන්නේ ඒ නිසා යි.

කවරයේ ඡායාරූපය: කර්ණාටක ප්‍රාන්තයේ හිජාබ් තහනම දැන් අධිකරණය කරා ගොස් ඇති අර්බුදයක් -www.lawinsider.in

මූලාශ්‍ර:

www.ndtv.com

www.bbc.com

www.france24.com 

Related Articles