Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විශ්වාසභංගය නිසා අවුලෙන් අවුලට යන ඉම්රාන් ඛාන්ගේ පාලනය

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඔහුගේ දේශපාලන දිවියේ විශාලත ම අභියෝගයට මේ වනවිට මුහුණ දෙමින් සිටිනවා. පාකිස්තාන විපක්ෂ දේශපාලන පක්ෂ ඉම්රාන් ඛාන්ට එරෙහි ව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ අතර, ඔහුගේ ප්‍රධානත්වයෙන් ගොඩනැඟූ රජයේ ප්‍රධාන හවුල්කාර පාර්ශවයක් විශ්වාසභංගයට සහයෝගය ලබා දීමට පසුගිය බදාදා තීරණය කළා. ඒ සමඟ ම විපක්ෂයේ උත්සාහයට අලුත් පණක් ලැබුණේ ඉම්රාන් ඛාන්ගේ අගමැති ධූරය තව තවත් අනතුරේ හෙළමින්.

යුදමය වශයෙන් ශක්තිමත් රාජ්‍යයක් වුවත්, පාකිස්තානයේ ආර්ථිකය දිනෙන් දින දුර්වල වෙමින් පවතිනවා. චීන ණය උගුලේ දරුණු ලෙස සිර වී සිටින රාජ්‍යයක් ලෙසත් පාකිස්තානය හැඳින්විය හැකි යි. ඇෆ්ගනිස්ථානය හැරුණු කොට කලාපයේ අස්ථාවර ම දේශපාලනයක් සහිත රටක් ලෙස පාකිස්තාන ජනයා කලක පටන් පීඩා විඳිනවා. රාජ්‍ය හමුදාව නිරතුරුව ම එරට දේශපාලනයට සිදු කරන අත පෙවීම් එම අස්ථාවර බවට සෘජු බලපෑම් එල්ල කරනවා.

ඉහළ යන උද්ධමනයට එරෙහි විරෝධතා පාකිස්තානය පුරා පැවැත්වුණා – www.bbc.com 

 ඉම්රාන් ඛාන් භාර ගත්තේ මෙවැනි වියවුල් සහගත රාජ්‍යයක්. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයත් පාකිස්තානයේ සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරක රාමුවෙන් අපගමනය වී තිබූ නිසා විශාල ජනප්‍රසාදයක් ඉම්රාන් ඛාන්ට ලැබී තිබුණා. දිගු ඉතිහාසයක් ඇති පාකිස්තානයේ දුර්වල දේශපාලන ස්ථාවරත්වයට පිළියමක් සෙවීමට ඔහුටත් නොහැකි වුණා.

විශ්වාසභංගය ක්‍රියාත්මක වන හැටි

පාකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරුන් 342 න් සමන්විත පහළ මන්ත්‍රණ සභාවේ බහුතර ඡන්දයෙන් අගමැතිවරයකු තෝරා පත් කර ගන්නවා.  අපේක්ෂකයකුට අගමැති වීමට නම් මන්ත්‍රීවරුන් 172 ගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ අනුව විශ්වාසභංගයක දී අගමැති ඉවත් කොට ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමට අවශ්‍ය වන්නේත් ඒ හා සමාන ඡන්ද සංඛ්‍යාවක්. මෙය තරමක් අපහසු ඉලක්කයක් සේ පෙනෙන්නට තිබුණත්, හිටපු ක්‍රිකට් පුරාවෘත්තය ඉදිරියේ විපක්ෂය ජය ගනිමින් සිටින වාතාවරණයක් උද්ගත වී තිබුණා.

ඉම්රාන් ඛාන් නියෝජනය කරන දේශපාලන පක්ෂය “පාකිස්ථාන් ටෙහ්රීක්-ඊ-ඉන්ෆාස් (PTI)” ලෙස හඳුන්වන අතර, ඔහුගේ ප්‍රධාන හවුල්කාර පාර්ශවයක් වන “මුටාහිඩා ක්වාමි ව්‍යාපාරය (MQM)”, විපක්ෂය සමඟ එක්වීමෙන් පසු ඉම්රාන් ඛාන්ට පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය අහිමි වුණා. එය සංඛ්‍යාත්මකව ගත් කල ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආණ්ඩුවට ඡන්ද 164 ක් සහ විපක්ෂයට ඡන්ද 175 වශයෙන්  පහළ මන්ත්‍රණ සභාව බෙදී පැවතුණා.

පාර්ලිමේන්තුව වටා ආරක්ෂාව තහවුරු කරන පාකිස්තාන හමුදාව – www.bbc.com 

විරුද්ධ පක්ෂ මාර්තු මස මුල දී විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ අතර, පසුගිය සඳුදා එය ජාතික සභාවට ඉදිරිපත් කර සභාගත කළා. ඉන්පසු විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම දින තුනකට නොඅඩු සහ දින හතකට නොවැඩි කාලයක දී පැවැත්වීමට ජාතික සභාවේ කථානායකවරයාට සිදු වෙනවා. ඒ අනුව ඡන්ද විමසීම පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වීමට සැලසුම් කරගෙන සිටියත්, ඡන්ද විමසීම ඉරිදා (අද) පැවැත්වීමට තීරණය වුණා.

ඉම්රාන් ඛාන් පරාජය වුණොත්..?

ඉම්රාන් ඛාන් විශ්වාසභංගය හමුවේ පරාජයට පත් වුවත්, පාර්ලිමේන්තුවේ පස් අවුරුදු ධූර කාලය 2023 අගෝස්තු මාසය දක්වා ම ක්‍රියාත්මක වන අතර, ඉන් පසු දින 60 ක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්විය යුතු යි. එතෙක් රටට සේවය කිරීම සඳහා නව අගමැතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා ජාතික සභාව තුළ ඡන්දයක් පැවැත්වීමේ හැකියාව පවතිනවා. පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයේ සිටින ඕනෑම පක්ෂයකට අපේක්ෂයන් ඉදිරිපත් කළ හැකි යි. කෙසේ වෙතත්, නව අගමැතිවරයාට 2023 තෙක් බලා නොසිට වහා ම මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවකුත් පවතිනවා. ඉදිරිපත් කරන කිසිදු අපේක්ෂකයකුට අගමැති වීමට වැඩි ඡන්ද ගණනක් ලබා ගැනීමට නොහැකි වුවහොත්, සභාව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට නිතැතින් ම සිදු වෙනවා.

ආර්ථිකය සම්බන්ධයෙන් ඛාන් පාලනයේ පවතින වියවුල් සහගත ප්‍රතිපත්ති උද්ධමනය ඉහළ යෑම කෙරෙහි බලපෑවා – foreignpolicy.com 

ඉම්රාන්ට ඇයි අකමැති?

2018 ජූලි මාසයේ දී ඉම්රාන් ඛාන් අගමැති ධූරයට පත් වුණේ පාකිස්තානය තුළ දූෂණය මැඩලමින් ආර්ථිකය ශක්තිමත් කරන බව පුරවැසියන්ට පොරොන්දු වෙමින්.  පොරොන්දු වූ පරිදි පාකිස්තානයේ ගැටලු විසඳීමට ඔහුට හැකි වුණේ නැහැ. රොකට්ටුවක් මෙන් අධි වේගයෙන් ඉහළ යන උද්ධමනය, පාකිස්තාන රුපියලේ අගය වේගයෙන් පහත වැටීම සහ දරා ගත නොහැකි විදේශ ණය හමුවේ ඉම්රාන් ඛාන්ගේ ජනප්‍රියත්වය වේගයෙන් බිඳ වැටුණා. උදාහරණයක් ලෙස 2020 ජනවාරි සිට 2022 මාර්තු දක්වා ඉන්දියාවේ ආහාර මූලික කොටගත් උද්ධමනය 7% ක් වෙද්දී පාකිස්තානයේ එම අගය 23% ක් තරම් ඉහළ අගයක් ගෙන තිබුණා.

පාකිස්තානය වෙළා ගෙන ඇති දූෂණය දින අනූවක් ඇතුළත අවසන් කිරීම සහ රැකියා මිලියන 10 ක් උත්පාදනය කිරීම වැනි ආකර්ෂණීය පොරොන්දු හරහා පාකිස්තානයේ බලය අත්පත් කරගෙන සිටි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් රට මුදා ගැනීමට ඔහුට හැකි වුණා. එහෙත්, බලයට පත් වූ පසු ඒ කිසිදු පොරොන්දුවක් ඉටු කිරීමට ඛාන්ගේ රජයට පහසු නොවන බව ජනතාවට පසක් වුණා.

පාකිස්තාන දේශපාලන අස්ථාවරභාවයේ ඉතිහාසය පිළිබඳ සරල රූපීය සටහනක් – www.aljazeera.com 

ආර්ථිකයේ අවපාලනය

මේ සියලු ගැටලු ඉම්රාන් ඛාන්ගේ පාලන තන්ත්‍රය ම ඇති කර ගත් ඒවා බව පැවසිය නොහැකි යි. ඉහළ යන බලශක්ති පිරිවැය, වසංගතයත් සමඟ ගෝලීය වශයෙන් බලපෑ සැපයුම් දාම වල ගැටලු, පාකිස්තානයේ වත්මන් අර්බුදය උද්ගත වීම කෙරෙහි යම් කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. පසුගිය ආණ්ඩුවල අවපාලනයෙන් ඉතිරි කර ගිය අඩුපාඩුත් ඉම්රාන් ඛාන්ගේ අවාසියට බලපෑවා.

කොවිඩ් වසංගතයේ බලපෑම සහ යුක්‍රේන-රුසියානු ගැටුමත් සමඟ උග්‍ර වූ බලශක්ති අර්බුදය ලෝකයට එක සේ බලපෑ කාරණයක්. එය නිසි ලෙස කළමනාකරණය කරගත් පාලන තන්ත්‍රවලට අව ම හානියකින් යුතු ව ආර්ථිකය පවත්වා ගැනීමට හැකි වුණත්, නිසි කළමනාකාරීත්වයකින් තොර පාලකයන් හමුවේ ඇතැම් රටවල් අර්බුදයෙන් අර්බුදයට පත් වුණා. ඉම්රාන් ඛාන්ට එල්ල වී ඇති ප්‍රබල චෝදනාව වන්නේත් එය යි.

ක්‍රිකට් වලින් තම රටට ගෞරවයක් ගෙන දීමට ඉම්රාන්ට හැකි වුණත්, දේශපාලනයේ දී ඔහු රැස් කරගත් ගෞරවය අභියෝගයට ලක් වුණා – www.theguardian.com

ඉම්රාන් ඛාන්ගේ ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීම ඉතා අවුල් සහගත යි. ඔහු කෙටි කාලයක් ඇතුළත ඔහුගේ ආර්ථික උපදේශක කණ්ඩායම කිහිපවතාවක් වෙනස් කළ අතර, ණය අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය ලබා ගැනීමත් ප්‍රමාද කළා. පසුව ඩොලර් බිලියන හයක අරමුදල් වැඩසටහනක් පාකිස්තානය වෙනුවෙන් ඇරඹීමට පසුගිය වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟත්වය පළ කළා. නමුත්, එම වැඩසටහන හමුවේ පාකිස්තාන ජනයාට වේදනාකාරී ආර්ථික ප්‍රතිසංස්කරණයකට මුහුණ දීමට සිදු වෙනවා. ඉන්ධන මිල සහ විදුලි බිල තවදුරත් ඉහළ දැමීමට ඛාන්ගේ පරිපාලනයට සිදු වුණේ ඒ නිසා යි.

වසර 26 ක දේශපාලන පරිණතභාවයක් ඇති ඉම්රාන් ඛාන්, ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු ව සිටි අවදියේ පටන් ම බලය පසුපස හඹා යෑමට කැමැත්තක් දැක්වූ පුද්ගලයෙක්. සැබෑ ජීවිතයේ දී ඔහු සෙල්ලක්කාරයෙක් සහ සමාජවාදී අදහස් දරන්නකු ලෙස ප්‍රචලිතව සිටියත්, දේශපාලන දිවියේ දී ඉස්ලාම් දහම තුළ ගතානුගතික අදහස් ඇත්තකු ලෙස හැසිරුණා. පාකිස්තානය තුළ තවමත් සැලකිය යුතු මට්ටමකින් සිටින මධ්‍යස්ථ අදහස් දරණ ඉස්ලාම් භක්තිකයකු ගේ භූමිකාව ඔහු වැලඳ ගත්තේ නැහැ. දැඩි ආගමික මතධාරියකු ලෙස සිදු කළ ඇතැම් ප්‍රකාශ නිසා ඉම්රාන් ඛාන් හට “තලිබාන් ඛාන්” යනුවෙන් අන්වර්ථ නාමයක් පවා පට බැඳුණා.

අලුත් මුහුණෙන් වැසුණු පරණ බලවේග

2013 මැතිවරණ ව්‍යාපාරයේ දී ඉම්රාන් ඛාන් දූෂණ විරෝධී සටන්කරුවකු ලෙස පෙනී සිටිමින් විශාල මහජන සහයෝගයක් තමා වටා ඒකරාශී කර ගත්තා. එහෙත්, 2018 මැතිවරණ ව්‍යාපාරයේ දී ඔහු පාකිස්තාන දේශපාලනයේ මුල් බැස සිටි අතිශයින් දූෂිත, වැඩවසම් යුගයේ අදහස් දරණ දේශපාලකයින්ගේ ද සහයෝගය ලබා ගැනීමට පෙලැඹුණා.

විපක්ෂයේ නායකයින් තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් අගමැතිවරයා ඉවත් කිරීමට උත්සාහ කළා – www.bbc.com 

බැලූ බැල්මට ම පාකිස්තාන දේශපාලනයේ නැවුම් ප්‍රවාහයක් ලෙස ඉම්රාන් ඛාන්ගේ පක්ෂය පෙනෙන්නට තිබුණත්, ඔහු පිටුපස සිටියේ පරණ බලවේග ම බව මෙයින් පෙනී යනවා. විපක්ෂයේ සිටි කාලයේ දී ජන ජීවිතයට පාකිස්තාන හමුදාව සිදු කරන බලපෑමට එරෙහි ව හඬ නැඟීමට ඉම්රාන් ඛාන් ක්‍රියා කළා. ජනරාල්වරුන්ට රට පාලනය කිරීම සඳහා දැක්මක් නැති බව ඉම්රාන් ඛාන් පැවසුවා. 2018 දී අගමැති ධූරයට පත්වීම සඳහා එරට හමුදාවේ අනුග්‍රහය ඔහුට නොඅඩු ව ලැබුණා. පාකිස්තානයේ දේශපාලනය අත්පත් කරගෙන සිටින දේශපාලන ප්‍රවාහය සැලකීමේ දී ඉම්රාන් ඛාන් පිටස්තරයකු ලෙස පෙනෙන්නට තිබුණත්, හමුදාව සමඟ පැවැත්වූ සමීප සබඳතාව නිසා ඔහුගේ ජනප්‍රියත්වයට වෙනස් ම මුහුණුවරක් ලැබුණා. වත්මන් අර්බුදය තුළ ඔහුට දේශපාලන පක්ෂවලට අමතර ව හමුදාවේ අනුග්‍රහයත් අහිමි වුණා.

පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ අගමැතිවරුන් විශ්වාසභංගයකට මුහුණ දුන් අවස්ථා දෙකක් තිබෙනවා. 1989 දී බෙනාසීර් භූතෝ සහ 2006 දී ෂවුකට් අසීස්, මෙම විශ්වාසභංගවලට මුහුණ දුන්නා. ඒ අවස්ථා දෙකේ දී ම අගමැතිවරුන්ට කිසිදු හානියක් සිදු වුණේ නැහැ. මෙවර විශ්වාසභංගය මුල සිට ම ඉම්රාන් ඛාන්ට අවාසි සහගත වන තත්ත්වයෙන් පැවතුණා.

නවතම තත්ත්වය

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි ව, විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද  පැවැත්වීමට නියමිත ව තිබුණත්, පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර් ඊට විරෝධය දක්වමින් විශ්වාසභංගය අවලංගු කළා. ඒ, එම විශ්වාසභංගය, ව්‍යවස්ථාවට පටහැනි බවත්, පාකිස්තානයේ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් බවත් පෙන්වා දෙමින්.

ඒ සමඟ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීගෙන් ඉල්ලා සිටියේ ‘පාකිස්තාන ජාතික සභාව’ වහා විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස යි. ඒ අනුව, පාකිස්තාන ජාතික සභාව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා අද (4) දහවල් තීරණය කළා.

පාකිස්තාන අගමැතිට එරෙහි විශ්වාසභංගය ජාත්‍යන්තර මාධ්‍ය තුළ වඩාත් අවධානයට ලක් වූ සිදුවීම් අතර ඉදිරියෙන් තිබෙනවා. ඒ නිසා ම මෙම සිදුවීමේ තත්ත්වය නිරතුරුව ම යාවත්කාලීන වෙමින් පවතිනවා. පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාව නිෂ්ප්‍රභ කිරීමෙන් පසු ජාතිය අමතමින් ඉම්රාන් ඛාන්, මැතිවරණයකට සූදානම් වන ලෙස ජනතාවට දැන්වූවා. දින 90 ක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව එරට තොරතුරු සහ විකාශන රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ජාතික සභාව – theprint.in 

නියෝජ්‍ය කථානායක කාසිම් ඛාන් සූරි, අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ව්‍යවස්ථා විරෝධී බව පැවසූ අතර, එය ප්‍රතික්ෂේප වුණා. ඉම්රාන් ඛාන් නැවත මැතිවරණයක් කැඳවීමට තීරණය කළේ ඉන් පසුව යි. මෙය එක්තරා අන්දමකින් ඉම්රාන් ඛාන් ගත් ආරක්ෂාකාරී පියවරක් ලෙස හැඳින්විය හැකි යි. කෙසේ නමුත්, දිගින් දිගට ම ජනතා අප්‍රසාදයට පත් වෙනවාට වඩා රටේ ඉදිරි අනාගතය තීරණය කිරීමේ අවස්ථාව ඉතා ඉක්මනින් ජනතාව වෙත ලබා දීමට ඔහු කටයුතු කළ අන්දම ඉතා ප්‍රශංසනීය යි. පක්ෂ ව හෝ විපක්ෂ ව රට පුරා නැඟෙන විරෝධතා රැල්ලත් සමඟ දේශපාලන අස්ථාවරභාවය එකට බැඳුණු විට සිදු වන්නේ පාකිස්තානයේ අර්බුද තව ඔඩු දිවීම පමණ යි. දැන් පාකිස්තාන ජනයාට බුද්ධිමත් ව රටේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය - පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් - nenow.in

මූලාශ්‍ර:

 indianexpress.com

www.ndtv.com

www.hindustantimes.com

www.theguardian.com

 www.bloomberg.com

indianexpress.com

 www.lankadeepa.lk

Related Articles