Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දූෂිත ජනාධිපතිවරයෙක් බලයෙන් පහ කළ කිර්ගිස්තාන ජන අරගලය

මහජන දේපළ සිය හිතවතුන්ගේ සුඛ විහරණය උදෙසා භාවිතා කරන ජනාධිපතිවරයකුගෙන් රටේ මහජනතාවට කිසිදු සෙතක් සැලසෙන්නේ නැහැ. දූෂිත මැතිවරණ පවත්වමින් අඛණ්ඩ ව බලයේ රැඳී සිටීමට උත්සාහ කරන ජනාධිපතිවරයෙක් රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු ඇතැයි අපේක්ෂා කරන්නටත් බැහැ. දුර්වල තීන්දු තීරණ ගනිමින් රටේ ආර්ථිකය වළපල්ලට යවන ජනාධිපතිවරයෙකට රටක් දියුණු කළ නොහැකි යි. එවැනි ජනාධිපතිවරයෙක් බලයෙන් පහ කිරීම සඳහා එරට ජනතාව අරගල කිරීම අරුමයක් නොවෙ යි. 

මධ්‍යම ආසියානු රටක් වන කිර්ගිස්තානයේ මීට වසර 17කට පෙර එවැනි ජනතා අරගලයක් ඇති වුණා. ‘ටියුලිප් විප්ලවය’ නමින් ප්‍රසිද්ධියට පත් වුණු එම ජනතා පිබිදීමෙන් දූෂිත ජනපති අස්කාර් අකායෙව් බලයෙන් පහ කිරීමට හැකි වුණා. මෙතැන් සිට ඔබට කියන්නේ කිර්ගිස්තාන  ජනතාව පෙරට එමින් දූෂිත පාලනයෙන් තම රට මුදා ගත් ටියුලිප් විප්ලවය පිළිබඳව යි. 

අකායෙව් ජනාධිපති තනතුරට මුලින් ම පත්වීම 

කිර්ගිස්තානය 1936-1990 කාලයේ දී කිර්ගිස් සෝවියට් සමාජවාදී ජනරජය ලෙස හැඳින්වූවා. 1990 වසර වන විට සෝවියට් සංගමය බිඳ වැටෙමින් පැවතුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කිර්ගිස් සෝවියට් සමාජවාදී ජනරජයේ නම කිර්ගිස්තාන් සමාජවාදී ජනරජය ලෙසින් වෙනස් කර එරට ජනාධිපති තනතුරක් ඇති කිරීම 1990 ඔක්තෝබරයේ දී සිදුවුණා. එහි දී පැවති ඡන්ද විමසීම සඳහා අබ්සාමාත් මසලියෙව් සහ අපාස් ජුමගුලොව් යන අපේක්ෂකයන් දෙපළ ඉදිරිපත් වුණා. ඔවුන්ගෙන් කිසිදු අපේක්ෂකයකුට බහුතර බලයක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. 

අබ්සාමාත් මසලියෙව් – who.ca-news.org

 

එහි ප්‍රතිඵලයක් වශයෙන්කිර්ගිස්තානයේ එවක සිටි කීර්තිමත් පුද්ගලයෙක් ජනාධිපති තනතුර සඳහා පත් කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ අනුව අස්කාර් අකායෙව් කිර්ගිස්තාන් සමාජවාදී ජනරජයේ පළමු ජනාධිපතිවරයා වශයෙන් 1990 ඔක්තෝබර් 27 වැනිදා වැඩ ආරම්භ කළා. ඔහු ජනාධිපති තනතුරට පත් වී මාස 10ක් ගතවෙද්දී කිර්ගිස්තාන් සමාජවාදී ජනරජය සෝවියට් සංගමයෙන් නිදහස් වුණා.

ඉන් අනතුරුව එරට නාමය කිර්ගිස්තානය බවට පත් වුණා. නිදහස් කිර්ගිස්තානයේ පළමු ජනාධිපතිවරණය 1991 ඔක්තෝබර් 13 වැනිදා පැවැත්වුණා. එම ජනාධිපතිවරණයෙන් අස්කාර් අකායෙව් නිතරග ජයක් ලබා ගත්තා. 

අස්කාර් අකායෙව් – aa.com.tr

 

ජනාධිපතිවරණ 2ක් පිට පිට ම ජයග්‍රහණය කිරීම 

නිදහස් කිර්ගිස්තානය තුළ පැවති පළමු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගත් අස්කාර් අකායෙව් සිය පළමු ධූර කාලය තුළ දැඩි ලෙස අසාර්ථකත්වයට පත් වුණා. ඒ අනුව 1990-1995 කාල සමය තුළ එරට කෘෂිකාර්මික නිෂ්පාදනය 45% කින් ද, කාර්මික නිෂ්පාදනය 60% කින් ද පහත වැටුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ඍණ 20% දක්වා පහත වැටුණා. රටේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. 

 කිර්ගිස්තාන ආර්ථිකය බිඳ වැටී තිබුණු එවන් මොහොතක 1995 ජනාධිපතිවරණය පැවැත්වුණා. ඒ සඳහා අස්කාර් අකායෙව් සහ අබ්සාමාත් මසලියෙව් තරග වැදුණා. එහි දී අකායෙව්, කිසිවෙක් බලාපොරොත්තු නොවුණු අයුරින් 72.45%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. එම ජයග්‍රහණය පිළිබඳ විපක්ෂය චෝදනා එල්ල කළා. අකායෙව් ඡන්ද වංචාවක නිරත වුණු බවට එහි දී ඔවුන් චෝදනා කළා. එම චෝදනා ඔප්පු කිරීමට විපක්ෂයට හැකියාවක් ලැබුණේ නැහැ. 

1990 දශකය මුල් භාගයේ කිර්ගිස්තාන ජනතාව ගත කළ ජීවිතය – gettyimages.com

 

අස්කාර්ගේ දෙවන ධූර කාලය තුළ එරට වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 10% දක්වා ඉහළ ගියා. එම ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩ ව පවත්වා ගැනීමට අකායෙව් ප්‍රමුඛ රජයට හැකි වුණේ නැහැ. විවිධ හැලහැප්පීම් මධ්‍යයේ සිය දෙවන ධූර කාලය සම්පූර්ණ කළ අකායෙව් 2000 වසරේ පැවති ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වුණා.

එහි දී ස්වාධීන අපේක්ෂකයකු ලෙසින් තරග කළ අකායෙව් 76%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන කිර්ගිස්තාන ජනාධිපතිවරයා බවට නැවතත්  පත් වුණා. එම මැතිවරණය ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වුණු බවට ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් චෝදනා කළා. ඒ අනුව අකායෙව්ගේ ජයග්‍රහණය වංචනික එකක් බවට ප්‍රතිවාදී අපේක්ෂකයන් චෝදනා එල්ල කළා. 

දූෂිත පාලනයක් හරහා රට අරාජිකත්වයට රැගෙන යාම

දූෂිත ජනාධිපතිවරණයකින් පසු ව බලයට පත් වුණු අකායෙව් සිය විරුද්ධවාදීන් මර්දනය කරමින් ඒකාධිපති පාලනයක් ගෙන ගියා. ඔහු සිය ඥාතීන් සහ හිතවතුන් පිරිසකට රජයේ ඉහළ පෙළේ තනතුරු ලබා දෙමින් රාජ්‍ය දේපළ රිසි සේ අවභාවිත කිරීමට ඔවුන්ට ඉඩ ලබා දුන්නා. ඒ අයුරින් තනතුරු සඳහා පත් කළ පිරිසගේ අනුවණ තීරණ නිසා කිර්ගිස්තාන ආර්ථිකය යළි කඩාවැටුණා. ඒ අනුව මාස 18ක් ඇතුළත වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 5% සිට 0% දක්වා පහත වැටුණා. 

එම කාලයේ දී කිර්ගිස්තාන රජය චීනය සමඟින් ගිවිසුම් දෙකක් අත්සන් කළා. එම ගිවිසුම් හරහා එරට ඉඩම්  චීනයට පවරා දීමේ සූදානමක් තිබුණා. එරට ඉඩම් පවරා රටේ ආර්ථික තත්ත්වය පහත වැටී තිබුණු අවස්ථාවක අත්සන් කළ එම මතභේදාත්මක ගිවිසුම් ද්විත්වය නිසා රට පුරා ජනතා විරෝධතා ඇති වුණා. ඒ ජනතා විරෝධතා 2002 මැයි මාසය වන විට අරගලයක් දක්වා වර්ධනය වී තිබුණා. ඒ මොහොතේ ජනතා හඬට ඇහුම්කන් නොදුන් අකායෙව් ප්‍රමුඛ රජය උපරිම බලය යොදමින් විරෝධතා මර්දනය කළා. 

කිර්ගිස්තානයේ 2002 දී ඇති වුණු ජනතා විරෝධතා- stltoday.com

 

එම විරෝධතා අතරතුර ප්‍රතිවිරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට ද අකායෙව් කටයුතු කළා. විපක්ෂ දේශපාලන නායකයන්ට එරෙහි ව සිදු කළ මර්දනය දැඩි ලෙස පිළිකුල් කළ කිර්ගිස්තාන් ජනතාව අකායෙව්ට ජනාධිපති තනතුරෙන් ඉවත් වන මෙන් බල කර සිටියා. ඒ පිළිබඳ ව කිසිදු තැකීමක් නොකළ අකායෙව් සිය තනතුරේ දිගට ම රැඳී සිටිමින් දූෂිත පාලනයක් ගෙන ගියා. 

එහි ප්‍රතිඵලයක් වශයෙන් 2004 වසරේ අග භාගය වන විට අකායෙව් පාලනය එරට ජනතාව දැඩි පීඩනයට පත් කර තිබුණා. 2005 පෙබරවාරියේ දී පැවැත්වීමට නියමිත ව තිබුණු එරට පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී අකායෙව්ගේ පක්ෂයට දැඩි පරාජයක් උරුම කර දීමට ජනතාව පෙළ ගැසෙමින් සිටියා. 

ටියුලිප් විප්ලවයට පාර කැපූ 2005 පාර්ලිමේන්තු මැතිවරණය

2005 කිර්ගිස්තාන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණු පක්ෂ අතුරින් ඉදිරි කිර්ගිස්තාන් පක්ෂය පිළිබඳ කාගේත් අවධානය යොමු වුණා. ඒ අස්කාර් අකායෙව්ගේ දියණිය බර්මෙට් අකායේවා එම පක්ෂයට නායකත්වය දුන් නිසා යි. ඒ වන 32 හැවිරිදි වියේ පසුවුණු බර්මෙට් 2003 දී එම පක්ෂය ආරම්භ කිරීමට මූලිකත්වය ගත් අයගෙන් කෙනෙක්.

බර්මෙට් අකායේවා – akipress.com

එවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී අකායෙව් රජය සූක්ෂම අයුරින් සිය විරුද්ධවාදීන් මර්දනය කළා. නව නීතිරීති පනවමින් විරුද්ධවාදීන්ගේ නාම යෝජනා ප්‍රතිකේෂ්ප කිරීමට කටයුතු කළා. මැතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම පෙබරවාරි 27 වැනිදා ද, දෙවන වටයේ ඡන්ද විමසීම මාර්තු 13 වැනිදා ද පැවැත්වුණා. 

 

එහි දී ඉදිරි කිර්ගිස්තාන් පක්ෂය ආසන 17ක් දිනා ගනිමින් වැඩි ම ආසන ප්‍රමාණයක් දිනා ගත් තනි පක්ෂය බවට පත්වුණා. එවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයන් ආසන 75න් 47ක් දිනා ගෙන තිබීම විශේෂත්වයක් වුණා. එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂකයන් 75ක් අතුරින් 65ක් අස්කාර් අකායෙව්ට සහාය දැක්වීමට කැමැත්ත පළ කළා. අකායෙව්ට හිතවත් රජයක් කිර්ගිස්තානය තුළ බලයට පත් වීමේ ලකුණු නැවතත් පහළ වුණා. 

2005 පාර්ලිමේන්තු මැතිවරණය අතරතුර – gettyimages.com

එම මැතිවරණ පැවති ආකාරය පිළිබඳ ව විපක්ෂය මෙන් ම ජනතාව ද සෑහීමකට පත් වුණේ නැහැ. ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් ද එය දූෂිත මැතිවරණයක් බවට යළිත් තහවුරු කළා. නීති විරෝධී අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීම, ඡන්ද පත්‍රිකා වංචා සිදු කිරීම, මැතිවරණ දිනවල දී ප්‍රචණ්ඩ ක්‍රියා බහුල ව වාර්තා වීම වැනි හේතු නිසා එම මැතිවරණය ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලීමට නොහැකි වුණු මැතිවරණයක් බව මැතිවරණ නිරීක්ෂකයන් සිය වාර්තාවේ දක්වා තිබුණා. 

දූෂිත ජනාධිපතිවරයාට එරෙහිව ජනතාව වීදි බසියි 

කිර්ගිස්තාන පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ රට පුරා ජනතා විරෝධතා ආරම්භ වුණා. විපක්ෂ නායක රෝසා ඔටුන්බයේවා ජීවත් වුණු මහල් නිවාස සංකීර්ණයේ මාර්තු 3 වැනිදා බෝම්බයක් පුපුරා ගියා. එය අකායෙව්ගේ අනුදැනුම මත සිදුවුණු ක්‍රියාවක් බවට බොහෝ දෙනෙක් චෝදනා කළා.

අකායෙව් රජයට එල්ල වුණු ජනතා විරෝධය – gettyimages.com

2005 මාර්තු මුල් සතිය වන විට කිර්ගිස්තානයේ ප්‍රධාන නගර රැසක ජන විරෝධතා පැවැත්වුණා. එවකට කිර්ගිස්තාන මහජන ව්‍යාපාරයේ නායකයා වුණු කුර්මන්බෙක් බකියෙව් විරෝධතාකරුවන් සමඟින් මාර්තු 10 වැනිදා එක් වුණා. මැතිවරණයේ දෙවන වටයේ ප්‍රතිඵල මාර්තු 13 වැනිදා නිකුත් වීමත් සමඟින් විරෝධතා රැල්ල වර්ධනය වන්නට පටන් ගත්තා.

 

ජලාල්-අබාද් නගරයටමාර්තු 19 වැනිදා රැස් වුණු 50,000ක පිරිසක් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා. බිෂ්කෙක් නගරයට එකතු වුණු තවත් 3000කට අධික පිරිසක් දූෂිත අකායෙව් පාලනයට එරෙහි ව අරගල කළා.

පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල වහාම අවලංගු කර අකායෙව්ට ඉල්ලා අස් වන මෙන් විරෝධතාකරුවන් ඉල්ලා සිටියා. අකායෙව් ප්‍රමුඛ රජය මාර්තු 20 වැනිදා මර්දනය සුපුරුදු ලෙස ආරම්භ කළා. හමුදා භට පිරිස් යොදවා විරෝධතාකරුවන්ට පහර පිට පහර එල්ල කළා. එහි දී විරෝධතාකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගැනුණා.

ජලාල්-අබාද් නගරයට එක් වුණු විරෝධතාකරුවෝ – gettyimages.com

 

විරෝධතා රැල්ල විප්ලවයක් දක්වා වර්ධනය වෙයි 

අකායෙව් ආණ්ඩුවේ මර්දනයට එරෙහි ව විරෝධතාකරුවන් හඬ නැඟුවා. අමෙරිකාවේ සහ යුරෝපයේ ජීවත් වුණු කිර්ගිස් ජාතිකයන් අකායෙව් රජය ගෙන ගිය මර්දනකාරී වැඩපිළිවෙළට දැඩි විරෝධයක් පළ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කිර්ගිස්තානයේ ජනතා අරගලය පිළිබඳ ව ජාත්‍යන්තර අවධානයත් යොමු වුණා.

නව පාර්ලිමේන්තුව 2005 මාර්තු 22 වැනිදා රැස් වුණු අවස්ථාවේ අකායෙව් නිවේදනය කළේ තමන් විරුද්ධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට කිසිදු සූදානමක් නොමැති බව යි. එම අවස්ථාවේ දී අකායෙව්ගේ ඒකාධිපති පාලනයට එරෙහි ව පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් නැඟී සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මාර්තු 23 වැනිදා වන විට අකායෙව්ට පක්ෂපාතී ව සිටි මන්ත්‍රීවරුන් රැසක් ද ඔහු අතහැර විරුද්ධ පාර්ශවය සමඟ එකතු වුණා. 

ජනාධිපති අකායෙව් පාර්ලිමේන්තුව අමතමින් – gettyimages.com

2005 මාර්තු 23 වැනිදා වන විට අකායෙව්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වෙමින් පැවතුණා. ඒ අතරතුර බිෂ්කෙක් හි තරුණ සංවිධාන නගර මධ්‍යයේ දැවැන්ත විරෝධතා පාගමන් පවත්වමින් අකායෙව් රජය තවත් අඩපණ කළා. එම විරෝධතා දැඩි ලෙස මර්දනය කළ අකායෙව් රජය 200 කට අධික පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඒ සමඟ ම විරෝධතා රැල්ල විප්ලවයක් බවට පත් වුණා.

දූෂිත අකායෙව් පාලනය නිමා කිරීම අරගලකරුවන්ගේ එක ම අරමුණ වුණා. මාර්තු 24 වැනිදා වන විට 20000ක පමණ මහා ජනකායක් බිෂ්කෙක් නගරයට එකතු වී අකායෙව් පාලනයට එරෙහි ව දැවැන්ත විරෝධතාවක් ආරම්භ කළා. එදින ම කිර්ගිස්තාන රාජ්‍ය ලේකම්වරයා සහ ජනාධිපති අකායෙව් අතර යම් මත ගැටුමක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසින් රාජ්‍ය ලේකම්වරයා සිය තනතුරෙන් ඉල්ලා අස් වුණා. 

බිෂ්කෙක් නගරයේ පැවති මහා විරෝධතාව – gettyimages.com

 

2005 මාර්තු 24 වැනිදා සවස් යාමය වන විට විරෝධතාකරුවන් රජයේ ගොඩනැඟිලි බලහත්කාරයෙන් අල්ලා ගත්තා. ඒ අතරතුර රාජ්‍ය මාධ්‍ය පවා ජනාධිපති අකායෙව්ට එරෙහි වන්නට පටන් ගත්තා. එම මාධ්‍ය හරහා විප්ලවකරුවන්ට සහාය දක්වමින් පුවත් විකාශය වුණා. එමඟින් විප්ලවයට නව පණක් ලැබුණා.

ජනතාව බිෂ්කෙක් නගරයේ අරගලය ආරම්භ කර හෝරා කිහිපයක් ගත වෙද්දී ඔවුන්ට එරෙහි වහමුදා ප්‍රහාර දිගින් දිගට ම එල්ල වුණා. එයින් නොසැලුණු විප්ලවකරුවන් මහත් පරිශ්‍රමයක් දරා කිර්ගිස් ධවල මන්දිරය අත්පත් කර ගත්තා. එය විප්ලවකරුවන් ලබා ගත් විශාල ජයග්‍රහණයක් බවට පත් වුණා.  

විප්ලවයේ උච්චතම අවස්ථාවක් – gettyimages.com

 

ජනාධිපති අකායෙව් බලය අත් හැරීම 

විප්ලවකරුවන්ගේ බලය ක්‍රමයෙන් වැඩි වෙද්දී ජනාධිපති අකායෙව් සිය පවුලේ උදවිය ද සමඟින් රුසියාවට පලා ගියා. 2005 අප්‍රේල් 3 වැනිදා ඔහු නිල වශයෙන් ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් වුණා. ඉන් අනතුරු ව කුර්මන්බෙක් බකියෙව්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජයක් කිර්ගිස්තානය තුළ ඇති වුණා. අන්තර්වාර රජය ස්ථාපිත කර මාස 3කට වැඩි කාලයක් ගතවෙද්දී ජනාධිපතිවරණය පැවැත්වුණා.

එම ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී අයුරින් පැවැත්වුණා. ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් ද ඒ බව තහවුරු කළා. එම ජනාධිපතිවරණයේ දී 89.50%ක් තරම් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් කුර්මන්බෙක් බකියෙව් කිර්ගිස්තානයේ ජනාධිපතිවරයා බවට පත් වුණා. 

කිර්ගිස්තාන නව ජනාධිපති ලෙසින් පත් වුණු බකියෙව් – gettyimages.com

කවරයේ ඡායාරූපය- ටියුලිප් විප්ලවයේ එක් අවස්ථාවක්- gettyimages.com 

මූලාශ්‍ර:

nvdatabase.swarthmore.edu

worldatlas.com

refworld.org

rferl.org   

Related Articles