Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිලිපීන ඒකාධිපති පවුලක දේශපාලන පුනරාගමනය

පිලිපීනයේ ජනාධිපතිවරණය පසුගිය දා පැවැත් වුණු අතර බොහෝ ජාත්‍යන්තර හා දේශීය මාධ්‍යය අපේක්ෂා කළ පරිදි ම පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයකු වූ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ගේ පුත් කණිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කොස් නොහොත් බොන්බොන් මාර්කෝස්, පිලිපීනයේ ජනාධිපතිවරයා ලෙස ඉන් තේරී පත්වුණා. එම මැතිවරණයේ දී බොන්බොන් මාර්කොස්, තම ප්‍රතිවාදියාට වඩා දෙගුණයක් ඡන්ද ලබා ගත් අතර ඔහුට සහයෝගය දැක්වූ උප ජනාධිපතිවරයා ද, ඇයගේ ප්‍රතිවාදියාට වඩා තුන්ගුණයක් ඡන්ද ලබා ගත්තා.

ජනතා උද්ඝෝෂණ මාලවක්

මෙහි අපූර්වත්වය වන්නේ බොන්බොන් මාර්කෝස් යනු 1986 දී ජනතා උද්ඝෝෂණ මාලවක් මඟින් අපකීර්තිමත් ලෙස බලයෙන් පහ කළ පිලිපීන ඒකාධිපති පාලකයකු ලෙස හැඳින්වුණු ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ගේ හා ඔහුගේ බිරිය වූ ඉමෙල්ඩා මාර්කොස් ගේ පුත්‍රයා වීම යි. මීට දශක තුනකට පෙර රටක් නොව ලොවක් දැඩි පිළිකුළෙන් ප්‍රතික්ෂේප කළ දූෂිත පවුලක් රටක දේශපාලන බලය නැවතත් ලබා ගැනීමේ ක්‍රියාවලිය වත්මන් ශ්‍රී ලාංකීය අපට ද වැදගත් වනු නොඅනුමාන යි. ඒ අනුව 2022 දී සිදු වූ විපර්යාසය ගැන කරුණු සොයා බැලීමට පෙර මාර්කොස් පවුලේ අතීත ක්‍රියාකාරකම් ගැන විමසීම වඩා යහපත් වනු ඇති.

මාර්කෝස් පවුලේ සමූහ ඡායාරූපයක් – දකුණේ කෙළවර සිටින්නේ බොන්බොන් මාර්කෝස්ය –  Flicker.com

 

ෆර්ඩිනන් මාර්කෝස් පිලිපීනයේ ජනාධිපති ධූරයට  මුලින් ම පත්වන්නේ 1965 දී යි. 1969 දී 61% අධික ඡන්ද ප්‍රතිශතයකින් ඔහු පිලිපීනයේ ජනාධිපති ධූරයට නැවතත් පත්වෙනවා. එවකට බලපැවත් වූ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට වාර දෙකකට වඩා ධූරය දැරීමේ හැකියාවක් නැහැ. ආමේනියාව වැනි රටවල නායකයන් ගේ ක්‍රියාමාර්ගය වූ ව්‍යවස්ථාව වෙනස් කිරීමට මාර්කෝස් පියවර ගත්තා. ඒ අනුව 1970 දී නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ඔහු ව්‍යවස්ථා කවුන්සිලයක් පත් කර ගත්තා. මීට එරෙහි ව එරට ජනතාව විදී බැස්සත් ඊට ප්‍රතිකර්මයක් ලෙස මාර්කෝස් 1972 දී හමුදා නීතිය පැනවූවා. 1973 දී නව ව්‍යවස්ථාව ඔස්සේ ජනාධිපතිවරයාගේ ධූර දෙකක සීමාව ඉවත් කළා පමණක් නොව උප ජනාධිපති ධූරය ද අහෝසි කළා. එතැන් පටන් මාර්කෝස් පිලිපීනය පාලනය කළේ  අයෝමය හස්තයකින්.

මාර්කෝස් 1981 දීජනාධිපතිවරණයක්  නැවත කැඳ වූ නමුත් එරට ප්‍රධාන පක්ෂ එම ඡන්දය වර්ජනය කළා. එම ඡන්දයේ දී මාර්කෝස් 88% කට අධික වාර්තා ගත ජයක් ලබා ගත්තා. මේ වනවිට අමෙරිකාව – රුසියානු සමූහාණ්ඩුව අතර පැවති නිරවි යුද තත්ත්වයේ දී පිලිපීනය, අමෙරිකාව හා පාර්ශව ගත වී සිටියා. එවකට අමෙරිකානු ජනාධිපතිවරයා ව සිටි රොනල්ඩ් රේගන් ගේ අපරිමිත සහායක් මාර්කෝස්ට ලැබී තිබුණ අතර අවශ්‍ය වූ විට අමෙරිකාව තමන්ගේ සහායට සිටින ඇපය මත ඔහු රිසිසේ බලය අවභාවිත කළා. ඒ වන විට පිලීපීනයේ දේශපාලන, ආර්ථික හා සමාජිය සියලු ම ලීවර මෙහෙයවූවේ මාර්කෝස් හා ඔහුගේ පවුලේ හිතවතුන්.

ඉමෙල්ඩා මාර්කෝස්

මාර්කෝස්ට අමතර ව ඔහුගේ බිරිය වන ඉමෙල්ඩා මාර්කෝස් අති සුපිරි ජීවිතයක් ගත කළා. ඇය ප්‍රිය සම්භාෂණ සඳහා ලොව සුපිරි ගණයේ ලා සැලකෙන ඇඳුම් පැළඳුම් හා පාවහන් ද පාවිච්චි කළා. ඇය අමාත්‍ය ධූර, ආණ්ඩුකාර ධූර දරමින් විවිධ සමාජ සුබසාධන ව්‍යාපෘති හරහා ජනතා මුදල් ගසා කෑවා. බලයෙන් පහ කළ විට ඇයගේ නිදන කාමරයේ තිබී සොයා ගත් ඉතා ඉහළ අගයකින් යුත් සපත්තු කුට්ටම් 3,000 ඇයගේ මුදල් ගසා කෑමේ ප්‍රමාණය ගැන කිසියම් ඉඟියක් සපයනවා.

ඉමෙල්ඩා මාර්කෝස් – frontrowfeatures.com

 

මාර්කෝස්ගේ ඒකාධිපති පාලනයට එරෙහි ව හඬ නැගූ දේශපාලකයන් අතර සෙනට් සභික බෙනිනෝ අකීනෝ ඉදිරියෙන් සිටියා. ඔහු මාර්කෝස් ගේ හමුදා නීතියට එරෙහි ව හඬ නැගීම හේතුවෙන් සිර බාරයට ගැනුණා. අකිනෝට ඇති වූ හෘදයාබාධකයට ප්‍රතිකාර කිරීමට ඉමෙල්ඩා මාර්කෝස් ගේ සානුකම්පිත ඉල්ලීම සලකා බැලූ මාර්කෝස් ඔහුට අමෙරිකාවට යාමට අවසර දුන්නත් පිලිපීනය බලා නැවත ඒමට ඉඩ දුන්නේ නැහැ. 

කෙසේ වෙතත් 1983 අගොස්තු 21 වන දින අකිනෝට නැවත තම මවුරටට පැමිණිමේ අවසරය ලැබුණා. අකීනෝ මැනිලා නුවර ගුවන් තොටුපළේ දී ගුවන් යානය තුළදී ම අත් අඩංගුවට ගැනුණු අතර ඊට විනාඩි කිහිපයකට පසු එක එල්ලේ හිසට තැබූ වෙඩි පහරවලින් අකීනෝ ඝාතනය වුණා. ඒ ඝාතනයට සැක කළ අය ද ඒ මොහොතේ ම ඝාතනය වූ අතර ඒ අනුව අකීනෝ ගේ නියම ඝාතයකයා සැඟවී ගියා. විදේශ ජනමාධ්‍යය ඉදිරියේ මහ දවල් සිදු වු ඝාතනය පිළිබඳ වීඩියෝ දර්ශන අදටත් යූ ටියුබ් හි තියෙනවා. එය නැරඹීමට මේ සබැඳිය භාවිත කරන්න.

ජනාධිපතිවරණය වසරකට කලින්

ජනතාව තම සදාදරණීය නායකයා වෙනුවෙන් වීදි බැස්සා. එම උද්ඝෝෂණ හමුවේ ජනාධිපතිවරණය වසරකට කලින් පැවැත්වීමට මාර්කෝස් තීරණය කළා. ඒ අනුව 1986 දී පැවති ජනාධිපතිවරණයෙන් මාර්කෝස්ට 53% ක ජයක් ලැබුණත් ජනතාව එම ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළා. ඔවුන් කහ පටි පැළඳ ගනිමින් උද්ඝෝෂණවල නිරක වූවා. මෙම උද්ඝෝෂණ තීරණාත්මක තලයකට යොමු කරමින් පිලිපීනයේ කතෝලික පල්ලියේ බිෂොප්වරයා මෙන්ම හමුදාව ද ඊට එකතු වුණා. මාර්කෝස් තම මිතුරා වූ රොනල්ඩ් රේගන්ගේන් උදව් ඉල්ලා සිටියත් ඊට යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ. ඒ අනුව 1986 පෙබරවාරි 23 දී ඝාතනයට ලක් වූ අකීනෝ ගේ බිරිය වූ කොරොසින් අකීනෝ එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර මාර්කොස් ඇතුළු පිරිස මිලියන ගණනක් වටිනා මුදල්, රත්‍රන්, දියමන්ති සමඟින් හවායි දූපතට පලා ගියා.

මාර්කෝස් 1989 දී මිය ගියත් මාර්කොස් ගේ පවුලට එරෙහි ව පරීක්ෂණ දිගට ම ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් ම, මාර්කෝස් ගේ පාලන අවධියේ දී පිලිපීනයේ යටිතල පහසුකම්වලට අතිශය දැවැන්ත මුදලක් වියදම් කළා. ඒ මඟින් මාර්කොස් පවුල උපයා ගත් වත්කම් අදටත් ගණානය කර නැහැ. එය අමෙරිකානු ඩොලර් බිලියන 5 – 10 ක් අතර යැයි පැවසෙනවා. මේ පරික්ෂණ ඉමෙල්ඩා මාර්කෝස්ට එරෙහි ව පැවැත්වුණා. මේ පරික්ෂණ අතර තුර මාර්කොස් ගේ පවුල පිලිපීනයේ දේශපාලනයෙන් ඉවත් වුණේ නැහැ.

දේශපාලන බලය තහවුරු කර ගැනීමේ වෑයම්

ඉමෙල්ඩා 1992 හා 1998 ජනාධිපතිවරණයට පවා ඉදිරිපත් වුණා . 1992 දී ඇය 10% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර 1998 ඇය ජනාධිපතිවරණය අතර මැද දී සිය අපේක්ෂකත්වය ඉල්ලා අස් කර ගත්තා. ඒත් ඇය කිහිප වතාවක් එරට මහජන මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වුණා. ඇයගේ වැඩිමහල් දියණියත්, පුතාත් මහජන මන්ත්‍රී මණ්ඩලයට වරින් වර තේරී පත් වුණා. මේ සියල්ල ම දේශපාලන බලය තහවුරු කර ගැනීමෙන් තමන්ට ඇති චෝදනාවලින් නිදහස් වීමට සිදු කළ දේ බව බැලූ බැල්මට පෙනෙන කරුණක්. අවසානයේ 2018 දී ඉමෙල්ඩා මාර්කෝස්ට එරෙහි ව තිබූ චෝදනාවලට ඇය වරදකරු වුවත් ඇය එම තීන්දුවට එරෙහිව කළ අභියාචනයෙන් ඇයට ඇප ලැබුණා.

 
Image
රාජවංශ දේශපාලනයේ ගමන් මඟ – twitter.com/AFP

 

බොන්බොන් මාර්කෝස්

 

දැන් අපි අපේ කතානායකයා වන බොන්බොන් මාර්කෝස් දෙසට හැරෙමු. තමන්ගේ පියා පිලිපීනයේ ජනාධිපතිවරයා ව සිටි අවදියේදී ඔහුගේ මැතිවරණ වේදිකාවල ගීත ගායනා කරන බොන්බොන් දක්නට ලැබිණි.  කෙළදෙළෙන් සිය ජීවිතය ගත කළ මෙම නව යොවුන් තරුණයා රාජතාන්ත්‍රික නිල විදේශ ගමන් බිමන්වල දී දූත පිරිස් සමඟ එක් වුණා.  ඔහු තමන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු බව කියා සිටියත්, ඔහු එහි දී දේශපාලන විද්‍යාව දෙවරක් හා ආර්ථික විද්‍යාව එක් වරක් අසමත් වී ඇති අතර ඒ අනුව ඔහුට එම විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලැබී නැහැ. ඔහු අමෙරිකාවේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාවකට ලියාපදිංචි වුව ද එයින් ද ඔහු අසමත් වුණා. මේ සඳහා එරට ජනාධිපති අරමුදලින් මසකට ඩොලර් 10,000 ක් පමණ වැය කර තිබුණා. 

 

බොන්බොන් 2016 දී එරට උප ජනාධිපති ධූරය සඳහා තරග කර තිබුණා. එහිදි ඔහු සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ ලෙනි රොබ්‍රෙඩෝ වෙතින් පරාජයට පත් වුයේ දෙලක්ෂ පනස් දහසක් (250,000) වැනි ඡන්ද ගණනකින්. එය ප්‍රතිශතයක් ලෙස 0.5% ක අගයක් ගත්තා.

බොන්බොන් මාර්කෝස් මැතිවරණ රැළියක් අතරතුර – www.rocketnews.com

කෙසේ වෙතත් 2022 මැතිවරණයේ දී බොන්බොන්ගේ මැතිවරණ ප්‍රචාරණය ඉතා ආකර්ෂණීය තැනක තිබුණා. සිය පියාණන්ගේ දැක්ම අනුව යමින් පිලිපීනය ඉතා වේගයෙන් සංවර්ධනය කරන බවත්, දුගී දුප්පත්කම තුරන් කරන බවත් ඔහුගේ ආකර්ෂණීය ඡන්ද පොරොන්දු අතර කිහිපයක්. ඔහු තමන්ගේ ප්‍රචාරක කටයුතු සදහා සම්ප්‍රදායික ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකා භාවිත කළේ නැහැ. ඔහුට අනුව එම නාළිකා ඔහුගේ පියා පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම ඊට හේතුව යි. ඔහු ප්‍රචාරය සඳහා භාවිත කළේ සමාජ මාධ්‍ය ජාලා යි. එයිනුත් ටික් ටොක් මාධ්‍ය හරහා ඔහුගේ ප්‍රචාරණ යාන්ත්‍රණය වැඩිමනත් සිදු කර තිබුණා.

ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ කෲර ක්‍රියා

 

විශේෂයෙන් එරට තරුණ ප්‍රජාව ඔහු සමඟ එක් වී සිටියා. මෙම තරුණයන් බොහෝ අය ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ කෲර ක්‍රියා ගැන අසා ඇත්තේ වැඩිහිටියන්ගෙන්. බොන්බොන්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණය මේ තොරතුරු විකෘති තොරතුරු බව ප්‍රචාරය කර සිටියා. ඔවුන්ගේ දැවැන්ත ප්‍රචාරණය එරට මිනිසුන් අන්ධ වූවා. බොන්බොන් ඉතා සුක්ෂම ලෙස ප්‍රධාන මාධ්‍ය මඟ හරිමින් ඔහුගේ ප්‍රචාරණ යාන්ත්‍රණය හරහා ජනතාව ආකර්ෂණය කර ගත්තා. 

ඔහුගේ ප්‍රචාරණය යන්ත්‍රණය ශක්තිමත් කිරීමට ඔහුගේ උප ජනාධිපති අපේක්ෂකයා ද එකතු කර ගැනුණා. ඔහුගේ උප ජනාධිපති අපේක්ෂකයා වූයේ හිටපු ජනාධිපති රොඩ්‍රිගෝ දුටෙර්ටේ ගේ දියණිය වන සාරා දුටෙර්ටේ. රොඩ්‍රිගෝ ද සෙනට් සභික ධූරයකට තරග වැදී ඇත්තේ තමන්ට එල්ල වන මානව හිමිකම් චෝදනාවලින් ගැලවීමට බව බොහෝ දෙනාගේ මතය යි. 

 

දැන් පිලීපීන ජනතාවගේ නායකයා බවට පත් වී තියෙන්නේ තමන්ගේ කලින් පරම්පරාව ලේ , කඳුළු හා දහදිය මතින් පන්නා දමන ලද කෲර පාලකයකුගේ ඊළඟ පුරුක යි. රටේ සංවර්ධන මිථ්‍යාවන් හරහා ජනතා මුදල් ගසා කෑම තම පරම අරමුණ කරගත් මාර්කෝස් පරපුරේ ඊළඟ පුරුක දෙස එරට තරුණ පරපුර තම නෙත් අයා බලා සිටිනු නොඅනුමාන යි. 

 

කවරයේ ඡායාරූපය - කණිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කොස් නොහොත් බොන්බොන් මාර්කෝස් - gettyimages.com

මූලාශ්‍ර: 

www.rocketnews.com
web.archive.org 
news.abs-cbn.com

Related Articles