වෙනිසුවෙලාව: අසමත් රාජ්‍යයකින් ඇසෙන බිඳුණු ජීවිත කතා

උදෑසන කාලය වුවත්, බටහිර කරකස් ප්‍රදේශයට ඒ සෙනසුරාදාව ඉතා උණුසුම් එකක් වුණා. එදින එක්තරා පෝලිමක 18 වන ස්ථානයේ සිටි ලෝරා සිල්වා, සිය වාරය එනතුරු පෙරමඟ බලා සිටියේ සහනදායී මුදලකට කුකුළු මස් මිල දී ගැනීමට යි. ලෝරා නළලේ දහඩිය පිස දමමින් පැය තුනක් පුරා දැවෙන හිරු යට කුකුළු මස් පළුවක් වෙනුවෙන් කාලය මිඩංගු කළා.

වෙනිසුවෙලාවේ ගෘහණියකට ශීතකරණයට අවශ්‍ය භාණ්ඩ ගෙන ඒම යනු පූර්ණ කාලීන රැකියාවක් හා සමාන ක්‍රියාවක්. ලෝරාට පමණක් මූලික නිෂ්පාදන මිල දී ගැනීම සඳහා සතියකට සම්පූර්ණ දින තුනක් පෝලිම්වල කාලය ගත කිරීමට සිදු වෙනවා. කරකස් නගරය පමණක් නොව මුළු වෙනිසුවෙලාව ම මූලික අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය හිඟයකට මුහුණ දෙන්නේ කලක සිට යි.

වෙනිසුවෙලාවේ සිදු වන්නේ කුමක් ද යන්න විස්තර කිරීමට බොහෝ කරුණු තිබෙනවා. වෙනිසුවෙලාවේ ආර්ථික අර්බුදය එතරම් ම  දරුණු යි. රොකට්ටුවක් මෙන් ඉහළ යන උද්ධමනය, මූලික භාණ්ඩ සහ ඖෂධ හිඟය, මහජන සෞඛ්‍ය අර්බුදය, විදුලි කප්පාදුව, ජල හිඟය සහ මානසික පීඩනයෙන් පැන නැඟුණු ප්‍රචණ්ඩත්වය ආදි ගැටලු ගොන්නක් වෙනිසුවෙලාවේ ආර්ථික අස්ථාවරත්වය ඉදිරියේ ලැයිස්තුගත කළ හැකි යි.

විනාකිරි බෝතලයක් සහ බඩ ඉරිඟු පිටි පැකැට්ටුවක් පමණක් ඇති වෙනිසුවෙලානු පවුලක ශීතකරණය – www.hrw.org 

අපේක්ෂා භංග වූ ජීවිත

අද ශ්‍රී ලාංකිකයන් ගේ ජීවන තත්ත්වයත් ඇත්තේ අවදානම් අඩියක බව ඉතා පැහැදිලි යි. තවමත් වෙනිසුවෙලාවේ මිනිසුන් මෙන් සම්පූර්ණයෙන් ම බලාපොරොත්තු අත්හැර ගන්නා තැනට අප පත් නොවුණත්, අප ද ඉතා වේගයෙන් දැඩි අර්බුදයක් කරා ගමන් කරමින් සිටිනවා. ඒ අනුව දකුණු ආසියාවේ වෙනිසුවෙලාව ශ්‍රී ලංකාව තුළ බිහිවේවි යන බිය ද අපගේ සිත් තුළ තැන්පත් වෙමින් තිබෙනවා. අභාග්‍ය සම්පන්න ඉරණමක සේයා පෙනීමට ගත් ඇසිල්ලේ ම ජාතියක් වශයෙන් අප අවදි වීම අතිශයින් ම ධනාත්මක කරුණක් බව මෙහි දී සඳහන් කළ යුතු යි. ජාතියක් වශයෙන් අපට යහපත් අනාගතයකට පෙරමඟ කියන හැරවුම් ලක්ෂ්‍යයත් “සාමකාමී අරගලය” විය හැකි යි.

මෙම ලිපියෙන් වෙනිසුවෙලාව ආර්ථික අර්බුදයක් කරා ගමන් කළ අන්දම විස්තර කිරීමට උත්සහ කරන්නේ නැහැ. ලෝකයේ අසමත් ම රාජ්‍යයක් ලෙස අද එහි ජනයා ගත කරන අපේක්ෂා භංග වූ ජීවිතය ගැන පමණක් තොරතුරු ගෙන එනවා. එහි අරමුණ වන්නේ පාඨක ඔබ අධෛර්යමත් කිරීම නොවෙ යි. ඇතැම් විට ගැටලුවට පිළිතුරක් සොයා ගැනීමට නම් ගැටලුවේ බරපතලකම ගැන අවබෝධයක් තිබිය යුතු යි. එවිට “අපි මෙවැනි තැනකට පත් නොවිය යුතු යි!” යන හැඟීම හෝ ඇති වෙනවා.

සීනි, පිසින තෙල්, කිරි, සහල්, ටොයිලට් පේපර් යනු තවදුරටත් සුලභ ද්‍රව්‍ය නොවෙයි. මේ දිගු පෝලිම් ඇත්තේ ඒ සඳහා යි – www.hrw.org 

මේ කුමන පෝලිම ද?

කුකුළු මස් පෝලිමේ සිටි ලෝරා සිල්වාගේ සැමියා මසකට අමෙරිකානු ඩොලර් 15 පමණ වේතනයක් ලබන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරුවෙක්. ලෝරා පමණක් නොව ඇය ගේ සැමියා ද සෑම සෙනසුරාදාවක ම සාප්පු යන්නේ මහා මෙහෙයුමක් සිදු කරන ආකාරයෙන්. මස්, බිත්තර, කිරි සහ සනීපාරක්ෂක නිෂ්පාදන වැනි රජයෙන් මිල නියාමනය කළ භාණ්ඩ සීමිත ප්‍රමාණයක් එක් පුද්ගලයකුට ලබාගත හැකි යි. එදින ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ කුකුළු මස් කිලෝවක් බැගින් එක් එක්කෙනා කෙසේ හෝ මිල දී ගැනීම යි. පවුලේ සාමාජිකයෝ හය දෙනකුට සෑහෙන භාණ්ඩ මිල දී ගත යුතු වුණත්, භාණ්ඩ සීමිත ප්‍රමාණයකින් නිකුත් කරන නිසා පවුලක අවශ්‍යතාව පිරිමැසීම සැබැවින් ම අභියෝගයක්.

“ඉස්සර අපි මධ්‍යම පාන්තිකයෝ. දැන් අපිට කුකුළු මස් ගාතයක් වැනි සරල දේ ගැන පවා අවධානය යොමු කරන්න සිදු වෙලා!”
ලෝරා පවසනවා.

 බොහෝ වෙනිසුවෙලානු ජාතිකයන්ට අතර දැන් මේ ක්‍රියාවලිය සාමාන්‍යකරණය වී අවසන්. පාරිභෝගිකයන් හිරු උදාවට පෙර සිට ම වෙළෙඳසල් ආසන්නයේ පෝළිම් සාදා ගන්නවා. අහම්බෙන් මඟ යන එන්නන් ඒ පෝළිම්වලට සමීප වී පෝළිම කුමක් සඳහාදැ යි විමසන අතර, එය ඔවුන්ටත් අවශ්‍ය භාණ්ඩයක් සඳහා නම් වහාම ඔවුන් ද පෝළිමට එකතු වෙනවා.

කාන්දු වන නළ මාර්ගයකින් ජලය එකතු කරන ජනයා –  www.insider.com 

බේක් කළ නොහැකි බේකරිකරුවා

පිටි නොමැති ව පාන් කෙසේ සාදන්න ද!

 කරකස් නගරයේ බේකරියක් හිමි හාවියර් ඩොමින්ගෙස් ගේ අඳුරු යථාර්ථය එවැනි වචන කිහිපයකට ලඝු කළ හැකි යි. බේකරියේ කලක් නිරන්තරයෙන් උණුසුම් ව පැවති උඳුන් දහයක් දැන් සීතල වී ඇති අතර, පාන් ගෙඩි සිය ගණනක් ඇසිරීමට තිබූ රාක්ක ද ඇත්තේ හිස්ව යි. ඔහු බේකරියට අවශ්‍ය තිරිඟු පිටි ලබා ගත්තේ රජය හරහා යි. අදාළ සැපයුම තවදුරටත් ලබා නොදෙන හේතු ගැන ඔහුට විශ්වාසයක් නැහැ.

 කලකට ඉහත සේවකයන් 60 දෙනකු ගේ සහභාගීත්වයෙන් දිනකට පාන්පිටි කිලෝග්‍රෑම් 3000 ක් සැකසුම් කිරීමට තරම් හැකියාවක් ඔහුගේ බේකරියට තිබුණා. එහෙත්, අදූරදර්ශි පාලන තන්ත්‍රයක ශාපයට ලක් වූ හාවියර්ට සිය සේවක සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට සිදු වුණා. 1970 ගණන්වල හවුල්කරුවන් සමඟ ආරම්භ කළ ව්‍යාපාරයේ මුදල් සියල්ල ම අවසාන වූ විට හාවියර් සමඟ සිටින ඉතිරි සේවක සංඛ්‍යාවටත් අනිවාර්යයෙන් ම ඉවත් වීමට සිදු වෙනවා.

“මං හිතනවා සියලු දේ නැතිවෙලා කියලා.”

බංකොලොත් වෙමින් පවතින තම ව්‍යාපාරය දෙස බලමින් හාවියර් පවසනවා.

කරකස් නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසලක තත්ත්වය – www.theguardian.com 

ඖෂධ නියම කළ නොහැකි වෛද්‍යවරයා

ආචාර්ය ක්‍රිස්ටියන් රමෝස්,  අධ්‍යාපනයෙන්, පුහුණුවෙන් සහ පළපුරුද්දෙන් සන්නද්ධ වුවත්, එක් තැනක දී ඔහු අසරණ වෙනවා. වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ රමෝස්, ඖෂධ හිඟය නිසා රෝගීන්ගේ ප්‍රතිකාර නිසියාකාර ව පවත්වා ගැනීමෙහිලා අරගලයක නිරත වෙනවා. අදාළ ඖෂධ කලට වේලාවට සොයා ගැනීම යනු සැබැවින් ම අභියෝගයක්. බොහෝ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් වෙනිසුවෙලාවට ආනයනය කරන බැවින්, රටේ විදේශ සංචිත හිඟ වීමත් සමඟ සැපයුම් ආනයනයත් දැඩි අර්බුදයකට ලක් වී තිබෙනවා. ප්‍රතිජීවක වැනි මූලික අංග නොමැතිකම නිසා සරල, සුව කළ හැකි රෝග පවා බරපතල තත්ත්වයට හැරෙන්නේ වෛද්‍යවරුන් සහ හෙදියන් අසරණ කරමින්.

“මගේ භාරයේ සංකීර්ණ තත්ත්ව සහිත රෝගියකු සිටිය හැකි යි. නමුත්, මා දන්නවා ඔවුන් සුව කරන්නේ කෙසේ ද කියා. මට මගේ දක්ෂතාවෙන් ඒ දේවල් විසඳා ගන්න පුළුවන් වුණත්, ඖෂධ නොමැතිකම නිසා ප්‍රතිකාර කරන්න විදිහක් නැහැ.”

ඒ ක්‍රිස්ටියන් රමෝස් ගේ වචන යි.

වෙනිසුවෙලාවේ කරකස් නගරයේ පිහිටි කසළ ගොඩකින් ආහාර සොයා ගැනීමට වෙහෙසෙන මිනිස්සු – www.washingtontimes.com 

මරියෑන් ඩයස් යනු සිය ග්ලුකෝමා තත්ත්වය වෙනුවෙන් ප්‍රතිකාර ලබන තැනැත්තියක්. ඇයට නියම කළ ඖෂධ අවසාන වූ හෙයින්  ඖෂධ නැවතත්සෙවීමේ භාරදූර කාර්යය වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට සිදු වුණා. අදාළ ඖෂධයේ වෙනත් අනුවාදයක් හෝ සොයා ගැනීමට මරියෑන්ට හැකි වුණේ නැහැ. ඇයගේ අක්ෂි වෛද්‍යවරයා නව ඖෂධයක් නියම කළේ ඉන් මාස තුනකට පමණ පෙර යි. එතෙක් භාවිතාකළ පැරණි ඖෂධය ඔසුසල් රාක්කවලින් අතුරුදහන් ව තිබූ බැවින්, ප්‍රතිකාර වෙනස් කිරීමට ඇයගේ වෛද්‍යවරයාට සිදු වුණා. දැන් අලුත් ඖෂධයත් රාක්කවලින් ඉවත් ව ගොස් ඇති නිසා ප්‍රතිකාරවල වෙනසක් කිරීමට නැවතත් සිදු වෙනවා. ඒ පිළිබඳ ව මරියෑන් සිටින්නේ කනස්සල්ලෙන්.

දැන් දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වෙනිසුවෙලාව මුහුණ දෙන බැරෑරුම් තත්ත්වයට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෘත්තිකයන් ද මුහුණ දෙමින් සිටිනවා. ඒ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ඔබට මෙතැනින් කියවිය හැකි යි.

විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ සමඟ ඇති වූ නොසන්සුන්තාවක් – www.nbcnews.com 

කොණ්ඩා සැකසුම්කරුවකුගේ කතාව

ජේසුස් ලෝපෙස්, කොණ්ඩා මෝස්තරකරුවෙක් ලෙස තම ව්‍යාපාරයේ මූලික ම අවශ්‍යතාවක් වෙනුවෙන් අනවරත අරගලයක යෙදෙනවා. ඒ ජලය යි!

සෑම සතියක ම සඳුදා සහ අඟහරුවාදා ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට ජල සැපයුම ක්‍රියාත්මක වන අතර, සතියේ ඉතිරි දින කිහිපය සඳහා ජලය ගබඩා කර ගැනීමට ලෝපේස්ට සිදු වෙනවා. ජල ටැංකිය නොමැති නම් ඔහුගේ ව්‍යාපාරය ද පවතින්නේ නැහැ. එසේ වුව ද, ඔහු සහ ඔහුත් සමඟ ව්‍යාපාරය සිදු කරගෙන යන සගයන්ට සතියේ ඉතිරි දවස් කිහිපයට ජලය සංරක්ෂණය කිරීම දැවැන්ත අභියෝගයක්.

සීමිත ජල ධාරිතාව නිසා ව්‍යාපාරය නිදහසේ පවත්වා ගෙන යෑමට නොහැකි අතර, ව්‍යාපාරය පාලනය කිරීමේ අයිතිය ලෝපෙස්ගෙන් ජල ටැංකියට මාරු වී තිබෙනවා. ෂැම්පු සහ රැවුළ කැපීම සඳහා භාවිත කරන ජෙල් වර්ග සොයා ගැනීම ලෝපේස් හමුවේ තිබෙන තවත් අභියෝගයක්. රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳසල් සියල්ල ම පාහේ දැන් වැසී ගොස් තිබීම ඊට හේතුව යි.

“ව්‍යාපාරයක් විදිහට මෙවලම් මිල දී ගැනීම ඇත්තට ම කළ නොහැකි දෙයක්. එක් උපකරණයක් මිල දී ගැනීමට මාස කිහිපයක වැටුප හෝ ආදායම කැප කරන්න සිද්ධ වෙනවා. අමතර කොටස්වල මිල ගණන් නිසා උපකරණ වල දෝෂ හට ගැනීම බියකරු සිහිනයක් බඳු යි.”

22 හැවිරිදි තරුණයකු ලෙස සාර්ථක ව්‍යාපාරයක් ඇරඹූ ජෙසුස් ලොපේස්ට දැන් අනාගතය යනු සිහිනයක් ම පමණ යි.

රෝහලක හදිසි අනතුරු අංශයක දර්ශනයක් – www.hrw.org 

සීනි නැති කෝපි

හුවාන් ඉස්කියෙර්ඩෝ වෙසෙන නිවාස සංකීර්ණයට පෙරවරු හය වනවිටත් විදුලිය ලැබෙන්නේ නැහැ. අලුයම 4.00 ට පවා එම නිවාස සංකීර්ණය තුළ තිබෙන්නේ අඳුරු සහ උණුසුම් පරිසරයක්. මේ දුෂ්කරතාවලින් මිදීම සඳහා නිවැසියන් වේලාසන ම අවදි වී කෝපි කෝප්පයක් සාදා ගන්නේ ඉන් යම් අස්වැසිල්ලක් ලැබෙන නිසා වෙන්නට ඇති. නමුත්, ඒ කෝපිවලට සීනි යොදන්නේ නැහැ. ඊට හේතුව ඔබට ම අනුමාන කළ හැකි යි.

පෙරවරු 7.45 ට පමණ නිවාස සංකීර්ණයේ 90 ක් පමණ රැකියා ස්ථානවලට යෑම සඳහා ප්‍රවාහන පහසුකම් ලැබෙන තුරු පැය එකහමාරක් පමණ බලාගෙන සිටිනවා. මේ බොහෝමයක් දෙනා අඩුම තරමේ ස්නානයවත් කර නැහැ. හරිහමන් ජල සැපයුමක් සහ විදුලි සැපයුමක් නොමැති ව දෛනික රාජකාරි සඳහා පිටත් ව යෑම කොතරම් දුෂ්කරදැ යි අමුතුවෙන් පැවසිය යුතු නැහැ. ඒ සියල්ල කෙසේ හෝ කළමනාකරණය කර ගත්තත්, වේලාවට රැකියා ස්ථානයට යෑම සඳහා පොදු ප්‍රවාහන පහසුකම් නිසියාකාර ව ක්‍රියාත්මක වන්නේ නැහැ.

“පුරවැසියන් වශයෙන් දුර්වල රජයක ක්‍රියාමාර්ග සහ ප්‍රතිඵල අපට පිළිගැනීමට සිදු වී තිබෙනවා. දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස අප ජීවත් වෙන මේ භයානක මොහොත වෙත පැමිණ තිබෙනවා. සිරකරුවන් නොවුණත්, අපිට අපේ රටේ නිදහසේ ගමන් කිරීමට හැකියාවක් නැහැ. අපිට අවශ්‍ය ඕනෑම දෙයක් පරිභෝජනය කිරීමේ නිදහස නැහැ. ඒ වෙනුවට වෙනත් පාර්ශවයක් තෝරා දෙන දේ අපට පරිභෝජනය කිරීමට සිදු වී තිබෙනවා. මූලික දේවල්, සාමාන්‍ය දෛනික දේවල්, කලාකරුවකුගේ නිර්මාණයක්, චිත්‍රපටයක් හෝ රංග ශාලාවකට ගොස් නාට්‍යයක් රස විඳීමේ හැකියාවක් අපිට නැහැ.”

ජීවිතය යනු මූලික අවශ්‍යතා පමණක් ම නොවෙයි. මානසික නිදහස යනු මනුෂ්‍යයකුට ඇති වටිනාම දෙයක්. සීනි නැති කෝපි කෝප්පයක් බඳු වෙනිසුවෙලානු දෛනික ජීවිතය ගැන හුවාන් ඉස්කියෙර්ඩෝට තවත් පවසන්න බොහෝ දේවල් ඇති.

අගයක් නොමැති වෙනිසුවෙලාවේ සල්ලි දැන් ඇත්තේ මෙවැනි සැරසිලි සඳහා පමණ යි – www.insider.com 

කළු කඩයට ගිය සහල්!

ෆ්‍රැන්කෝ රොජස් යනු පේරු ආහාර පිසින සුප්‍රසිද්ධ අවන්හලක කළමනාකරුවෙක්.  බත් හෝ පැස්ටා නොමැති ව පේරුවියානු ආහාර පිසීම ඉතා දුෂ්කර දෙයක්. මේ ප්‍රධාන ආහාර වර්ග දෙක ම සොයාගත හැක්කේ නගරයේ කළුකඩවලින් පමණ යි. නැතහොත්, වෙනත් නගරවලට ගොස් පැය ගණනක් වෙහෙස වී එම ද්‍රව්‍ය සොයා ගැනීමට සිදු වෙනවා. ප්‍රවාහන වියදම් සැලකීමේ දී ව්‍යාපාරයක් සඳහා එය කොහෙත් ම උචිත වන්නේ නැහැ. ඔවුන්ගේ ව්‍යාපාරයට වින කටින උද්ධමනය සහ ආහාර හිඟය යන සාධකවලට අමතර ව ප්‍රචණ්ඩත්වයත් බලපා තිබෙනවා. මේ හේතුව නිසා කරකස් හි බොහෝ අවන්හල් සවස් වරුවේ වසා දැමීමට සිදු වෙනවා. ඇතැම් මිනිසුන් උදෑසන අවදි වන්නේ අවටින් ඇසෙන වෙඩි හඬ නිසා යි.

උපන් බිම හැරයාම

වෙනිසුවෙලාව දැන් බුන්වත් රාජ්‍යක් බවට පත් වී තව තවත් ආගාධයට වැටී අවසන්. කලකට පෙර මධ්‍යම පාංතිකයන් ලෙස සැලකූ මිනිසුන්ගේ දැන් එකම අරමුණ වන්නේ එදා වේල කෙසේ හෝ සපයා ගැනීම පමණ යි. ඊටත් වඩා පහළ ආදායම් ලබන මිනිසුන්ගේ ජීවිතය ගැන කතා කිරීමට දෙයක් වත් ඉතිරි වී නැහැ. අපිරිසුදු, දුගඳ හමන නාගරික වීදිවල දුක් විඳින මිනිසුන් වෙනිසුවෙලාවේ සුලබ යි.

කෙමෙන් කෙමෙන් අපිරිසුදු වන වෙනිසුවෙලාවේ නාගරික පරිසරය – www.wsj.com 

පවත්නා ආර්ථික සහ මානුෂීය අර්බුදය හේතුවෙන් 2014 සිට වෙනිසුවෙලාව හැරගිය මිනිසුන් සංඛ්‍යාව මිලියන 5.4 කට වැඩි යි. අද වෙනිසුවෙලා ජාතිකයකුට ගත හැකි වැදගත් තීරණ දෙකක් තිබෙනවා. එකක් නම් පවතින දුෂ්කරතා කෙසේ හෝ විඳදරා ගෙන තම ප්‍රියයන් සමඟ වෙනිසුවෙලාවේ ජීවත් වීම යි. දෙවැන්න වන්නේ වේදනාත්මක සමුගැනීමකින් තම ප්‍රියයන් ගෙන් වෙන් ව වෙනත් රටක සරණාගතයකු වීම යි. ඇතැම් අය සිය පවුල් සමඟ ම වෙනත් රටක සරණාගතභාවය පැතීමට ක්‍රියා කළත්, එය පහසු දෙයක් නොවෙයි.

ඩයන් ඇනබෙල් පෙරෙස් යනු එලෙස වෙනිසුවෙලාවේ සිට කොළොම්බියාවේ පැම්ප්ලෝනා ප්‍රදේශයට සංක්‍රමණය වූ සරණාගතයෙක්. මේ ඇයගේ වචන යි.

“මං ජීවත් වූ තත්ත්වය නිසා මගේ රට අතහැරීමට තීරණය කළා. මට රැකියාවක් තිබුණා. නමුත්, සෑම දිනක ම පිරිවැය වැඩිවන විට ව්‍යාපාර අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් මට ඉල්ලා අස් වෙන්න සිදු වුණා. මගේ පුත්‍රයා සිතුවිලි මන්දගාමී වීම සහ කායික ක්‍රියාකාරකම් මන්දගාමී ව සිදු වීමේ සංකූලතාවකින් පෙළෙනවා. වෙනිසුවෙලාවේ වෛද්‍ය, ස්නායු සහ ළමා රෝග උපදේශන මිලෙන් අධික යි. නමුත්, මං දිනෙන් දින ඔහුට සහාය වෙමින් ඔහුත් සමඟ සටනේ යෙදෙනවා. ඒ වගේ ම ඔහුගේ පියා අතින් සිදුවන ගෘහස්ථ හිංසනයටත් මා මුහුණ දුන්නා.”

ඩයන්ට තව දුරටත් වෙනිසුවෙලාව තුළ ජීවන අරගලයේ යෙදීමට ශක්තියක් තිබුණේ නැහැ. ඇය කොළොම්බියාවට පැමිණියේ සිය දරුවා වෙනුවෙන්.

අතීතය සිහිනයක් පමණ යි.

වෙනිසුවෙලාවේ දුක්ඛිත තත්ත්වය භෞතික හානියට වඩා එහා ගිය මානසික බිඳ වැටීමක් ලෙස සැලකිය හැකි යි. ආර්ථික අර්බුද ඔවුන්ගේ පවුල් නිර්දය ලෙස දෙකඩ කරමින් තිබෙනවා. වෙනිසුවෙලාවේ පවතින අනාරක්ෂිතභාවය සහ අවස්ථා නොමැතිකම නිසා බොහෝ තරුණ තරුණියන් රට හැර යනවා. ඔවුන්ට අනුව වෙනිසුවෙලාවේ ඇති එක ම ධනාත්මක සාධකය වන්නේ එය ගොඩබිමින් සම්බන්ධිත රාජ්‍යයක් වීම යි. ඒ නිසා අනවසර සංක්‍රමණයේ සිදුරු ඕනෑ තරම් වෙනිසුවෙලානු දේශසීමා තුළ ගොඩනැඟී තිබෙනවා. සාමාන්‍යයෙන් දකුණු අමෙරිකානු පවුල් සංස්ථාවත් සාපේක්ෂ ව ශක්තිමත් ව පවතින්නක්. එවැනි පසුබිමක් මධ්‍යයේ ප්‍රියයන් හැර යාම කොතරම් වේදනාවක් ද!

අවම මාසික වැටුපකට සමාන මිල ගණන් යටතේ ආහාර අලෙවි වන හැටි – www.insider.com 

“මං කවදාවත් හිතුවේ නැහැ මේ වගේ තත්ත්වයක් දකින්න මම ජීවත් වේවි කියලා. මං හැදී වැඩුණේ මතුපිටින් පමණක් අලංකාරය පෙනෙන නිෂ්ඵල රටක යි. බිඳෙනසුලු ආර්ථිකයක් ඇති නමුත්, තවමත් පවත්වා ගත හැකි රටක මං ජීවත් වුණා. සුපිරි වෙළඳසළකට ගොස් ආනයනික සහ සාම්ප්‍රදායික ආහාර මිල දී ගැනීමේ තත්ත්වයක් මේ රටේ තිබුණා. ඉඳහිට ලැබෙන නිදහස් සේවක වැටුපකින් විශ්ව විද්‍යාල උපාධි දෙකක් හදාරන්න පුළුවන්කම මේ රටේ තිබුණා. පුංචි ඉතුරුම් කිරීමකින් අලුත් මෝටර් රථයක් වුණත් මිලට ගන්න පුළුවන්.”

මිග්‍රේන් රෝගී තත්ත්වයට පිට රටකින් බෙහෙත් සොයමින් සිටින අග්ලායා බෙර්ලුටි එසේ පවසනවා. අග්ලයා බොහෝ කලක පටන් තම මාතෘ භූමිය මෙවැනි අර්බුදයක් කරා ගමන් කළ ආකාරය ගැන කල්පනා කළා. පෙර සඳහන් කළ ආකාරයට ම බිඳෙනසුලු ආර්ථිකයක් මත සියලු සහන විඳි ජාතියකට අනාගත ආයෝජනයක් ගැන සිහින දැකිය නොහැකි යි. දුර්වල ආර්ථික ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යන අතරේ යම්තාක් දුරකට යහපත් මට්ටමකින් ජන ජීවිතය පවත්වා ගෙන යෑමත් දූෂිත පාලකයන්ගේ උපාය මාර්ගයක්. නමුත්, එක තැනක දී ඒ සියල්ලම වීදුරුවක් මත පැටවූ අධික බරක් මෙන් ක්ෂණික ව කඩා වැටෙනවා. අද වෙනිසුවෙලාව අත් විඳින්නේත් එවැනි තත්ත්වයක්.

කවරයේ ඡායාරූපය: වෙනිසුවෙලාවේ දැන් ඇත්තේ අපේක්ෂා භංගත්වයට පත් වූ ජීවිත පමණ යි -  www.gettyimages.com 

මූලාශ්‍ර:

roadsandkingdoms.com

medium.com/@RachelG

edition.cnn.com

www.care.org 

Related Articles