Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුක්රේනය රකින්නට පෙරමුණට එන ස්වේච්ඡා සටන් කරුවෝ

විසිහතර හැවිරිදි ඇඩම්, ඊශ්‍රායෙල සහ අමෙරිකන් ද්විත්ව පුරවැසිභාවය හිමි යුදෙව්වෙක්. ඔහු දැන් ඉන්නෙ යුක්රේනයේ; රුසියානු හමුදාවට විරුද්ධ ව සටන් පෙරමුණට යන්න සූදානමින්. ඇඩම් කැලිෆෝනියාවේ මිලිටරි පාසලක පුහුණුව ලැබූ කෙනෙක්.

“මං වගේ ටැටූ ගහපු අයට අමෙරිකන් හමුදාවට බැ‍ඳ‍ෙන්න බෑ,” ඉකොනොමිස්ටි සඟරාවේ වෙන්ඩල් ස්ටීවන්සන්ට ඔහු කීවේ ඒ වගේ කතාවක්.

නැඟෙනහිර යුරෝපයෙන් පැවත එන, දෙවන ලෝක යුද්ධ සමයේ යුදෙව් සමූලඝානනයෙන් ගැලවුණු පවුලකින් පැවත එක ඇඩම් මේ යුද්ධය දකින්නෙ නිදහස සහ ගරුත්වය සඳහා තමන්ගෙ මුතුන්මිත්තන් ගෙනගිය අරගලයේ ම දිගුවක් විදියටයි:

“පූටින්ගෙ මරණය හෝ යුද්ධයේ අවසානය වෙනකල් ‍මං මෙහෙ ඉන්නවා. ඒක සතියක් වෙන්නත් පුළුවන්; අවුරුදු දහයක් වෙන්නත් පුළුවන්.”

රුසියානු ආක්‍රමණික හමුදාව යුක්රේනයට ඇතුළුවීමත් එක්ක ම ලෝකෙ ම ඇස් යුක්රේනය දිහාට හැරුණා. ලෝකෙ දැවැන්ත ම හමුදාවක් වන රුසියානු හමුදා ප්‍රහාර හමුවේ දින කීපයක් ඇතුළත යුක්රේනය සම්පූර්ණයෙන් යටත් වෙයි කියල යුද විශේෂඥයන් ඇතුළු බොහෝදෙනා විශ්වාස කළත් බලාපොරොත්තු නොවුණු විදියට ප්‍රබල රුසියානු හමුදාවල ගමන මැඬපවත්වන්න හා අඩාල කරන්න යුක්රේන හමුදාවට හැකි වුණා.

අසල්වැසි රටවලින් යුක්රේනයට උදව්

ගැටුම ඇරඹී පළමුවැනි සතිය පහුවෙද්දි ම අමෙරිකාව සහ යුරෝපෙ අසල්වැසි රටවල් යුක්රේනයට අවිආයුධවලින් උදව්කරන්න ඉදිරිපත් වුණත් පිරිස් බලය අතින් රුසියානු හමුදාවට වඩා සෑහෙන කුඩා වුණු යුක්රේන හමුදාවට කොච්චර කාලයක් මේ සටන අල්ලගනෙ ඉන්න පුළුවන් වෙයි ද කියන එක ගැන විවිධ මත පළ වුණා.

යුක්රේනයේ නිදහස වෙනුවෙන් සටන් කරන්න කැමති ලෝකයේ ඕන ම රටක පුරවැසියකුට ඇවිත් සම්බන්ධවෙන්න ආරාධනා කරමින් යුක්රේනය ආරක්ෂා කර ගැනීම සඳහා වූ ජාත්‍යන්තර හමුදාව (International Legion for the Defense of Ukraine) පිහිටුවන්න යුක්රේනය තීරණය කරන්නෙ මේ අතර යි.

සටනට එක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික සෙබලුන් (Photo: Kai Pfaffenbach/Reuters)
සටනට එක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික සෙබළු – Kai Pfaffenbach – www.reuters.com

 

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, රුසියන් හමුදාව යුක්රේනය ආක්‍රමණය කර දින තුනක් ඇතුළත, පෙබරවාරි 27 වැනි දා විශේෂ ප්‍රකාශයක් කරමින් ලෝකේ ඕනෑම රටක පුරවැසියකුට යුක්රේන හමුදාව හා එක් ව සටන් කරන්නට ආරාධනා කළා. ඊට පසු දින ම ඒ විදියට යුක්රේ‍නයට උදව්කරන්න එන විශේෂිතයන් සඳහා වීසා නීති ලිහිල් කරන්නත් යුක්රේන ආණ්ඩුව කටයුතු කළා. යුක්රේනය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සටන් කරන්නට එන පිරිසට අවශ්‍ය තොරතුරු ලබාදෙන වෙබ් අඩවියක් යුක්රේන විදේශ කටයුතු අමාත්‍යංශය ආරම්භ කළා.

රටවල් 52කින් ඇවිත් යුද්දෙට බැඳිල

මේ වෙනකොට අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ජනපදය ඇතුළු රටවල් ගණනාවකින් ආ, හමුදා පුහුණුව ඇති සහ නැති විශාල පිරිසක් මේ යුක්රේනියන් ලීජන් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. යුක්රේන බලධාරින් කියන විදියට රටවල් 52කින් ඇවිත් මේ විදියට යුද්දෙට බැඳිල ඉන්න සංඛ්‍යාව 20,000කට ආසන්න යි. කොහොම වුණත් මේ සංඛ්‍යාලේඛන ස්වාධින ව තහවුරු කරලා නෑ.

ලැත්වියානු පාර්ලිමේන්තු මන්ත්‍රි ජුරිස් ජුරස්, ජෝජියාවේ හිටපු ආරක්ෂක ඇමති ඉරක්ලි ඔක්රුවෂ්වීලි වගේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අය කීපදෙනෙකුත් සංකේතාත්මක ව යුක්රේන සටනට එකතු වුණා. 

යුක්රේන, පෝලන්ත සම්භවයක් තියෙන පවුලකින් පැවත එක ග්‍රිෆින්ට යුද පුහුණුවක් නෑ. ඒත් ඔහු සරණාගතයන් ප්‍රවාහනය වගේ මානුෂවාදී කටයුතුවලට උදව්කරනවා.

“මගේ මව්පියො තාම දන්නෑ මං කොහෙද ඉන්නෙ කියලා.” මෘදුකාංග ඉන්ජිනේරුවෙක් විදියට රැකියාව කරන ග්‍රිෆින් දවල් කාලයේ යුද බිමේ වැඩකරන ගමන් රෑට තාමත් ඔන්ලයින් වැඩකරනවා. තාම මගෙ බොස් දන්නෙත් නෑ මං මෙහෙ කියල. සමහර විට සඳුදා උ‍දේ කෝල් කළා ම දැන ගනියි,” කිසි දෙයක් බැරෑරුම්  විදියට බාරනොගන්න සැහැල්ලු තරුණයෙක් වුණු ග්‍රිෆින් ඉකොනොමිස්ට් වාර්තාකාරියට කීවේ ‍ඒ විදියට. 

(Photo: CHIEN-CHI CHANG / MAGNUM)
බැරැක්ක – CHIEN-CHI CHANG – www.magnumphotos.com

ලේන්, යුද්දෙට සම්බන්ධ වෙන්න හිතාගෙන යුක්රේනෙට ආවත් “යුද නීතිය අවසන්වන තුරු” දින නියමයක් නැති ව ලීජන් එකට සම්බන්ධ වෙන්න ගිවිසුම් අත්සන් කරන්න වෙන බව දැනගත්තට පස්සෙ ඉන්නෙ ඒ ගැන දෙගිඩියාවෙන්. වෙනත් රටවලින් ආපු ස්ව්ච්ඡා ‍සොල්දාදුවන්ගෙ පාස්පෝට් බලහත්කාරෙන් ගත්ත බවටත්, බැරැක්කවල සීතල අපිරිසුදු තත්ත්වය ගැනත්, අලුතින් බැඳෙන අය නිසි පුහුණුවක් නැතුව රයිෆලයක් අතට දීලා කීව් අගනුවර යුද පෙරමුණට යනව බවටත් ලඅතිර යන කටකතා ඔහුට ආරංචි වෙලා තිබුණා. 

යුද නීතිය ගැන අවබෝධය

යුද නීතිය පවතින තුරු හෝ යුද්ධය අවසාන වන තුරු රැඳී සිටින බවට ගිවිසුම් අත්සන් කිරීම සිද්ධ වුණත් කාගෙවත් පාස්පෝට් බලෙන් ලබා ගැනීමක් සිද්ධනොවන බවත්, පුද්ගලික හෝ වෙනත් හේතු උඩ ආපහු යන අය බලහත්කාරයෙන් නවත්තන්නෙ නැති බවත් යුක්රේනය ආරක්ෂා කර ගැනීම සඳහා වූ ජාත්‍යන්තර හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක  ඩේමියන් මුගෝ‍රෝ සඳහන් කරනවා.

“යුද පුහුණුවක් නැති නම්, යුද නීතිය ගැන අවබෝධයක් නැති නම්, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය ගැන මුලික අවබෝධයක් නැති නම්, ඒ අයට යුක්රේනියන් ලීජන් එක ඇතුඝළ ඉඩක් නෑ,” ඩේමියන් මුගෝ‍රෝ කැනේඩියානු CTV පුවත් සේවයට ප්‍රකාශ කළා.

යුක්රේනය ආරක්ෂාකරගැනීම සඳහා වූ ජාත්‍යන්තර හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක  ඩේමියන් මුගෝ‍රෝ (Photo: CTV News)
යුක්රේනය ආරක්ෂා කර ගැනීම සඳහා වූ ජාත්‍යන්තර හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ඩේමියන් මුගෝ‍රෝ –  www.ctvnews.ca

 

“යුක්රේනෙට ඇවිත් සටනට සම්බන්ධ වෙන අයට අපේ ස්තුතිය පළකරනවා. ඒත් සමහරු හිතන් ඉන්නෙ එයාලා මෙහෙට ආපු ගමන් අපි අතට රයිෆල් එකක් දීලා එයාලව යුද්දෙට යවයි කියල. හමුදාවක් වගේ විධිමත් ක්‍රියාපටිපාටිකට වැඩකරන තැනක එහෙම කරන්න බෑ. අපේ ලීජන් එකේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යන්න, යුද පෙරමුණේ වෙනසක් කරන්න පුළුවන් විදියට ඒ ක්‍රියා පටිපාටිය පවත්වාගෙන යන්න ඕන,” මු‍ගෝරෝ වැඩිදුරටත් සඳහන් කළා. 

කැනඩාව, එක්සත් රාජධානිය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ලැත්වියාව වගේ රටවල බලධාරින් නියමයෙන් සහ අනියමින් තමන්ගෙ රටවල වැසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වීම දිරිමත් කළත් මේ විදියට වෙනත් රටක යුද්ධයකට සම්බන්ධ වීමේ නීතිමය පසුබිම ගැනත් මේ වෙනකොට කතාබහක් ඇතිවෙලා තියෙනවා. 

වෙනත් රටක යුද්ධයකට සම්බන්ධ වීමේ නීතිමය පසුබිම

එක්සත් රාජධානිය, කැනඩාව වගේ රටවල පුරවැසියන්ට තමන්ගෙ රට සමඟ යුද වැදී නොසිටින රටකට එරෙහි ව යුදමය ක්‍රියාකාරකම්වල සහභාගි වෙන එක නීතියෙන් තහනම්. චෙක් ජනරජයේ නීතිවලට අනුවත් වෙනත් රටක හමුදාවට සම්බන්ධ වීම නීති විරෝධි යි. ජාත්‍යන්තර නීති කඩකරමින් යුක්රේන යුද්ධයට සම්බන්ධ වෙන තමන්ගෙ රටේ පුරවැසියන්ට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක කරන බවට ජර්මනිය දැනටමත් අනතුරු අඟවලා තියෙනවා. 

කොහොම වුණත් විදේශිකයන් යුද්ධයට සම්බන්ධ කර ගත්ත පළවෙනි යුරෝපා රට යුක්රේනය නෙවෙ යි. ප්‍රංශය 19 වන සියවසේ පටන් විදේශිකයන්ගෙන් සමන්විත ලීජන් පවත්වාගෙන ගිහින් තියෙනවා. කලින් බ්‍රිතාන්‍ය යටත් විජිත විදියට පැවතුණු බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල පුරවැසියන් බ්‍රිතාන්‍ය හමුදාවට බඳවා ගන්නවා.

යුක්රේන යුද්ධයට විදේශ රටවලින් සම්බන්ධ වී සිටින පිරිස (Graphic: Al Jazeera)
යුක්රේන යුද්ධයට විදේශ රටවලින් සම්බන්ධ වී සිටින පිරිස – Graphic: Al Jazeera.com

යුක්රේන යුද්ධයට සම්බන්ධවෙන පුද්ගලයන්ට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක කරන දඩුවම් දෙනවද නැද්ද කියන එක දේශපාලන තීන්දුවක් බවයි ප්‍රාග් හි ජාත්‍යන්තර සම්බන්ධතා ආයතනයේ පර්යේශිකා අස්යා මෙටොඩීවා සඳහන් කරන්නෙ.

“අයි එස් සංවිධානයට සම්බන්ධවුණු පුද්ගලයන්ට විරුද්ධ ව කටයුතු කරපු විදියට ඒ රටවල ආණ්ඩු යුක්රේන යුද්දෙට සම්බන්ධ අයට සලකයි කියල මම හිතන්නෙ නෑ,” අස්යා මෙටොඩීවා අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කළා. 

යුක්රේන යුද්ධයට සම්බන්ධ වන චෙක් ජාතිකයන්ට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක නොකරන බව චෙක් අග්‍රාමාත්‍ය පෙට්ර් පියාලා ප්‍රකාශ කළා. 

යුක්රේනය ආරක්ෂා කර ගැනීම සඳහා වූ ජාත්‍යන්තර හමුදාවට අමතර ව ජෝර්ජියානු ජාතික හමුදාවත් (Georgian National Legion) රුසියානු හමුදාවට විරුද්ධ සටනට යුක්රේනයට එකතුවෙලා ඉන්නවා. ජෝර්ජියානුවන් සහ වෙනත් රටවලින් පැමිණි ස්වේච්ඡා සෙබළුන්ගෙත් සමන්විත පැරා මිලිටරි කණ්ඩායමක් විදියට ජෝර්ජියානු ජාතික හමුදාව ආරම්භ වෙන්නෙ 2014 දි. ඒ රුසියානු සහාය ලබන නැඟෙනහිර යුක්රේන බෙදුම්වාදීන්ට විරුද්ධ ව සටන්කරන්න. 2016 පටන් ඔවුන් යුක්රේන හමුදාව යටතේයි ක්‍රියාත්මක වෙන්නෙ.

ජෝර්ජියන් ලීජන් හ‍ෙ සම්බන්ධ ව කටයුතු කරන ඇමරිකානු ජාතික හැරිසන් (Photo: CHIEN-CHI CHANG / MAGNUM)
ජොර්ජියන් ලීජනය හා එක්වූ අමෙරිකානු ජාතික හැරිස්  – CHIEN-CHI CHANG – www.magnumphotos.com

අවුරුදු පහක් අමෙරිකන් හමුදාවේ සෙබළකු ලෙස කටයුතු කළ, ඇෆ්ගනිස්ථාන මෙහෙයුම්වලටත් සම්බන්ධ වූ හැරිස්, චිකාගෝ පොලිස් දෙපාර්තමේන්තුවේ සිය රැකියාව අතහැර පැමිණ ජෝර්ජියන් ලීජන් හමුදාවට හා එක් ව රුසියාවට විරුද්ධ ව යුද වදිනවා.

“අමෙරිකන් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමෙන් වුණේ සම්පූර්ණ විනාශයක්. අමෙරිකානුවන්ට උදව්ක ළ අය පවුල් පිටින් ඔවුන්ගෙ ගෙවල්වල ම මරා දැමුණා. මට ඒ දේ මෙහෙත් වෙනව දකින්න ඕන නෑ.” හැරිස් 1843 සඟරාවට ප්‍රකාශ කර තිබුණා. 

කවරයේ ජායාරූපය - ලැත්වියානු පාර්ලිමේන්තු මන්ත්‍රි ජුරිස් ජුරස්, ජෝජියාවේ හිටපු ආරක්ෂක ඇමති ඉරක්ලි ඔක්රුවෂ්වීලි වගේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අය කීපදෙනෙකුත් සංකේතාත්මක ව යුක්රේන සටනට එකතු වුණා -  insidexpress.com

මූලාශ්‍ර:

www.aljazeera.com

www.economist.com

www.ctvnews.ca

lieber.westpoint.edu

Related Articles