Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුරාතනයේ සිටි ඩයිනසෝරයන් නොවන භයානක සත්තු

පෘථිවිය සම්භවය වූ දා සිට අද දක්වා ගත වූ කාලය තුළ එක් සමයක දී මෙලොව රජ කරන්නට ඩයිනෝසරයින් සමත් වුණා. මීට වසර මිලියන 65 කට පමණ පෙර උල්කාවක් කඩාවැටීම නිසා සම්පූර්ණයෙන් මිහිමතින් වඳ වී යන තුරු වසර මිලියන 135 ක් පුරාවට ඔවුන් මෙලොව ජීවත් වූ ප්‍රධානත ම සත්ත්ව කොට්ඨාසය වුණා.

කෙසේ නමුත් ඒ තදාසන්න කාලයේ මිහි මත ජීවත් වූ, සැලකිය යුතු තරම් විශාල එක ම සත්ත්ව කොට්ඨාසය ඔවුන් පමණක් නොවේ. දුටුවන් ලොමුඩැහැගැන්වෙන තරමේ, ඩයිනසෝරයන් නොවන සත්ත්වයන් කිහිපදෙනෙක් ම එකල මෙහි වාසය කර වඳ වී ගියා. මේ ඔවුන් ගැන ඔබ වෙත ගෙන එන ලිපි පෙළක පළමුවැන්නයි.

 ටයිටනෝබාවකුගේ ජීවමාන ප්‍රමාණයට සැකසූ ආකෘතියක්- geologyin.com 

 

ටයිටනෝබා

ටයිටනෝබා සැලකෙන්නේ ලොව එදා මෙදා තුර ජීවත් වූ වඩත් විශාලත ම සර්පයා ලෙස යි. සාමාන්‍යයෙන් ටයිටනෝබා සත්ත්වයෙක් අඩි 40 කට වඩා දිගක් දක්වා වර්ධනය වන අතර, හොඳින් වැඩුණු මෙම සත්ත්වයෙක්ගේ බර කිලෝග්‍රෑම් 2500 ක් පමණ වෙනවා.

මෙය ආසන්න වශයෙන් වැඩුණු ජිරාෆ් සත්ත්වයකුගේ බරට සමාන වෙනවා. ටයිටනෝබාවන් ලොව පහළ වූයේ ඩයිනසෝරයන් මෙලොවෙන් වඳ වී කෙටි කාලයකට පසුව යි. මොවුන් මාංශ භක්ෂක සතුන් විශේෂයක් වෙනවා.

ලියෝප්ලියුරඩොන් – Pinterest.com

 

ලියෝප්ලියුරඩොන්

ප්ලැසියසෝරස් නම් උරග කුලය ලොව පහළ වී ඇත්තේ ඩයිනසෝරයින් මෙලොව පහළ වූ ආසන්නයේ ම වන අතර, ඩයිනසෝරයන්ගේ වඳ වීමත් සමඟ ම වාගේ ඔවුන්ගේ වඳ වීම ද සිදු වී තිබෙනවා. මෙම ප්ලැසියසෝරයින් අතරින් වඩාත් ලොව කතාබහට ලක් වූ විශේෂය ලෙස ලියෝප්ලියුරඩොන් සත්ත්වයන් හැඳින්විය හැකි යි.

මාංශ භක්ෂක මොවුන් විශාල සත්ත්වයන් වන අතර, එකි අයෙක් අඩි තිහකට වඩා වැඩි දිගකින් හා රාත්තල් 3,500 කට වඩා වැඩි බරකින් ද යුක්ත වෙනවා. මෙම දිගින් කාලක් පමණ ඔවුන්ගේ විශාල හිස්කබලට අයත් වන අතර, ඔවුන් සතු ව ඉතා ශක්තිමත් හනු හා තියුණු දත් පවතිනවා.

සාකොසුකස් – sciencefocus.com

 

සාකොසුකස්

මෙම භයානක සහ විශාල මාංශභක්ෂක සත්ත්වයා පෙනුමෙන් ඉතා විශාල කිඹුලෙක් මෙන් වෙනවා. මේ හේතුව නිසා ම ඒ හට ‘සුපර්ක්‍රොක් නම් නාමයක් ද පටබැඳී තිබෙනවා. කෙසේ නමුත් විද්‍යාත්මක ව සලකන කල මොහු කිඹුලෙක් වශයෙන් කාණ්ඩ ගත කිරීමේ හැකියාවක් නැහැ. සාකොසුකස් වර්තමාන කිඹුලන්ගේ ආදිත ම මුතුන්මිත්තකු ලෙස සැලකෙන අතර, ඔවුන්ගේ ශරීර ප්‍රමාණය වර්තමාන කිඹුලන්ට වඩා බොහෝ සෙයින් විශාල වෙනවා. එමෙන්ම ශාරීරික වෙනස්කම් ද කිහිපයකින් ම යුක්ත යි.

සාකොසුකස් සත්තවයෙක් සම්පූර්ණයෙන් වැඩුණු කල අඩි 40 ක මනණ දිගින් යුක්ත වන්නට ඇති බව විද්‍යාඥයන්ගේ මතය යි. එවැන්නෙකුගේ බර මෙට්‍රික් ටොන් අටක් පමණ වන්නට ඇති බවත් ඔවුන් පවසනවා. මොවුන් ඩයිනෝසරයන් හා සමකලීන ව ජීවත් වී ඇති අතර, ඔවුන් ආහාරයට ගන්නට තරම් ශක්තියක් ඇති සතුන් විශේෂයක් ලෙස පැවතී තිබෙනවා. කිඹුලන්ගේ මෙන් සැකසුණු, කියත් වැනි දත් හා ඉතා ශක්තිමත් හනු, ගොදුරු අල්ලා ගැනීමට හා, මාංශ ඉරා ගැනීමට මහෝපකාරී වී තිබෙනවා. මොවුන් ද ඩයිනසෝරයන් වැනසී ගිය උල්කා ගැටුමට තදාසන්න ව මෙලොවින් වඳ වී ගියා.

මොසසෝරස් – quora.com 

 

මොසසෝරස්

මොසසෝරස් සත්ත්වයන් ද ප්ලැසියොසෝරස් සත්ත්වයන් මෙන් ම, මුහුදු ජලයේ ජීවත් වූ උරග විශේෂයක් වෙනවා. ඩයිනසෝරයන්ට වඩාත් සමීප රූප හා චර්යාමය ලක්ෂණ පෙන්නුම් කළ ද මොවුන් ඩයිනසෝර කුලකයට අයත් වන්නේ නැහැ. හොඳින් වැඩුණු මොසසෝරස් සත්ත්වයෙක් දිගින් අඩි 60 ක් පමණ වෙනවා. මොවුන් එම විශේෂය කාණ්ඩගත කොට තිබෙන සත්ත්ව කුලයෙහි හමුවන විශාලත ම සත්ත්ව විශේෂය වෙනවා.

මාංශ භක්ෂකයකු වන මොසසෝරස් ක්‍රිටේසීය යුගයෙහි මුහුදුවලින් හමුවන වඩාත් භයානක ම සත්ත්වයා ලෙස විරුදාවලිය ලබා තිබෙනවා. මොවුන් ද රූප ලක්ෂණ අනුව වර්තමාන කිඹුලන්ට යම් සමානකමක් දක්වනවා. විශේෂයෙන් කියත් පටි වැනි, ඕනෑම තද යමක් කීතුවලට ඉරිය හැකි දත් ඇන්දක් සහ ශක්තිමත් හනුවක් මොවුන්ට ද පිහිටා තිබෙනවා. ජලයෙහි ඉතා කාර්යයක්ෂ්ම ව පිහින යා හැකි ආකාරයෙන් සැකසුණු ඉතා සුනම්‍ය හා ශක්තිමත් වරල් ද මොවුන්ට පිහිටා තිබෙනවා. ඒවා නිසා යම් ගොදුරක් වෙත ක්ෂණයකින් ඔවුන්ට ගමන් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. මොවුන් වර්තමාන මෝරුන්ගේ ගති සවභාවය හා රූප ස්වභාවය ද යම් පමණකට ප්‍රකට කර තිබෙනවා.

මෙගලඩොන් – Warpaintcobra via Getty Images

 

මෙගලඩොන්

මෙගලඩොන්, විද්‍යාඥයන්ගේ දැඩි ලෙසට කතාබහට ලක් වූ, වඳ වී ගිය පුරාතන මෝර විශේෂයක්. මොවුන් එදා මෙදා තුර ලොව ජීවත් වූ වඩාත් විශාලත ම මෝර විශේෂය යි. වර්තමානයේ වෙසෙන විශාල සුදු මෝරන්ගේ රූපකායට අතිශය සමාන රූපකායක් සහිත මොවුන් විශාලත්වයෙන් නම් ඊටත් වඩා බොහෝ සෙයින් වැඩි වෙනවා. සුදු මෝරුන් සාමාන්‍යයෙන් අඩි විස්සක දිගහ හා රාත්තල් 7000 ක පමණ බරකින් යුක්ත වෙද්දී, මෙගලඩොන් සත්ත්වයෙක් අඩි 60 ක දිගකින් හා මෙට්‍රික් ටොන් 50 සිට 100 ක පමණ බරකින් යුක්ත වී තිබෙනවා.

පෘථිවියේ සම්පූර්ණ ඉතිහාසය සැලකීමේ දී ඉතා මෑතක් වෙන තුරු මෙම මෙගලඩොන් සත්ත්වයන් ජීවත් වී තිබෙනවා. ඔවුන් මෙලොවින් සම්පූර්ණයෙන් වඳ වී ඇත්තේ මීට වසර මිලියන 2.6 කට පමණ පෙරයි. එනම් වර්තමානයේ ජීවත් වන සමහරක් සතුන් හා සමකාලීන ව ඔවුන් සාගරවල ජීවත් වී තිබෙනවා. දැවැන්ත මුහුදු කැස්බෑවුන්, තල්මසුන් වැනි සතුන් හා උරෙනුර ගැටී ඔවුන් ජීවත් වී තිබෙනවා. බොහෝ විට මෙම මෙගලඩොන් සතුන්ගේ ආහාර බවටත් ඔවුන් පත් වන්නට ඇති.

අතීතයේ මෙන්ම වර්තමානයේ දී ද මෙලොව ජීවත් වන සත්ත්ව විශේෂ අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් සොයාගන්නට හා අධ්‍යයනය කරන්නට අද වන විටත් විද්‍යාඥයන්ට නොහැකි වී තිබෙනවා. ඉහත දක්වා ඇත්තේ එලෙස හොඳින් හඳුනා ගෙන, කරුණු තහවුරු කරගත් සත්ත්ව විශේෂ කිහිපයක් පිළිබඳ යි. එලෙස හඳුනා නොගත්, සුවිශේෂී සත්ත්ව විශේෂ කෙතරම් ප්‍රමාණයක් මිහිමත ජීවත් වන්නට, අදටත් ජීවත් වෙමින් සිටිනු ඇති ද? මේ ලිපි පෙළෙහි දෙවන ලිපියෙන් තවත් මෙවැනි ම සත්ත්වයන් කිහිපදෙනකු පිළිබඳ තොරතුරු ඔබත් සමඟ බෙදාගන්නට අප අදහස් කරනවා.

පුරාතන යුගයෙහි සිටි ඩයිනසෝරයන් නොවන භයානක සත්තු -2 ලිපියත් කියවන්න.

කවරයේ ඡායාරූපය: ලියෝප්ලියුරඩොන් - thoughtco.com

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Cnet.com

Rd.com

Related Articles