Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

19 වන සියවසේ ලොව ජනප්‍රිය ම අලියා: ජම්බෝ

ලෝක ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගත් සතුන් බොහෝ දෙනෙක් අපගේ මතකයට නැගෙනවා. ඩොලී බැටළුවා, ලයිකා සුනඛයා, ඩේවිඩ් චිම්පන්සියා, ජිම් අශ්වයා, බැල්ටෝ සුනඛයා, පිකල්ස් සුනඛයා ගෙවුණු සියවස තුළ එසේ වඩාත් ජනප්‍රිය වුණු සතුන් අතුරින් කිහිප දෙනෙක්.

මෙම ලිපියේ කතා නායකයා වන ජම්බෝ නම් අලියා ඊටත් එහා යුගයේ දී ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව සිටි සත්ත්වයෙක්. ඒ උගේ සද්දන්ත පෙනුම සහ අපූරු හැකියා නිසා යි. සිය ජීවිත කාලය පුරාවට රටවල් කිහිපයක ජීවත් වුණු ජම්බෝ අවුරුදු 25 දී අවාසනාවන්ත අයුරින් මරණයට පත් වුණා. මෙතැන් සිට දිගහැරෙන්නේ ජම්බෝ නම් අලියාගේ ජීවිත කතාව යි.   

උපත සහ කුඩා කාලය 

ජම්බෝ නම් අලියා සුඩානයේ දී 1860 දෙසැම්බර් මාසයේ උපත ලැබූ බව ඇතැම් මූලාශ්‍රවල සඳහන් වෙනවා. සමහර මූලාශ්‍රවල ජම්බෝගේ උපන් වර්ෂය 1861 ලෙසින් සඳහන් ව තිබෙනවා. අලියාට ජම්බෝ යන නාමය ලැබුණේ සාමාන්‍ය අලියකුට වඩා ප්‍රමාණයෙන් විශාල වුණු නිසා යි. ජම්බෝ ඉපදුණු කාලයේ දී සුඩානයේ වනාන්තර ආශ්‍රිත ව අලි දඩයක්කරුවන් වැඩි වශයෙන් දක්නට ලැබුණා. ඔවුන් එල්ල කළ අනුකම්පා විරහිත ප්‍රහාරයක් නිසා ජම්බෝගේ මව මරණයට පත් වුණා. මවගේ මරණයෙන් පසුව වනාන්තරයේ අතරමං වී සිටි ජම්බෝ අලි පැටවා ටහාර් ෂෙරීෆ් සහ ජොහාන් ෂ්මිඩ් යන දඩයක්කරුවන් දෙදෙනාට හමු වුණා. ඔවුන් දෙදෙනා එකතු වී ජම්බෝ අල්ලා ගෙන සිය වාසස්ථානය කරා රැගෙන ගියා.

ජම්බෝ අලියා – manyheadedmonster.com

 

ඉතාලි ව්‍යාපාරිකයකු හරහා යුරෝපයට 

ජම්බෝගේ අපූරු පෙනුම නිසා ඌ ඉහළ මිලකට අලෙවි කිරීම දඩයක්කරුවන් දෙදෙනාගේ එක ම අරමුණ වුණා. ජම්බෝ විකුණන බවට කළ ප්‍රචාරය නිසා ගැණුම්කරුවන් කිහිපදෙනෙක් එහි පැමිණියා. ඒ අතුරින් වැඩි දෙනෙක් ආපසු හැරී ගියේ එතරම් අධික මුදලකට ජම්බෝ අලි පැටවා මිල දී ගැනීමට හැකියාවක් නොතිබුණු නිසා යි. එසේ  කාලය ගතවෙද්දී ලොරෙන්සෝ කැසනෝවා නම් ඉතාලි ජාතිකයා එහි පැමිණියා. 

සත්ත්ව වෙළෙන්දකු සහ දේශ ගවේෂකයකු ලෙසින් ද ප්‍රසිද්ධියට පත්ව සිටි කැසනෝවා කුඩා ජම්බෝ දැකීමෙන් පසු ඌ ගැන දැඩි උනන්දුවක් දක්වන්නට පටන් ගත්තා. එම අලි පැටවා යුරෝපයට රැගෙන ගියොත් විශාල මිලකට අලෙවි කළ හැකි බව ඉතාලි වෙළෙන්දාට ඒත්තු ගියා. එනිසා ඔහු දඩයක්කරුවන් නියම කළ මිලට ජම්බෝ මිල දී ගැනීමට එකඟ වුණා. එසේ මිල දී ගත් අලි පැටවා ඉතාලියේ ට්‍රයිස්ටේ නගරය දක්වා රැගෙන ගිය කැසනෝවා සිය සත්ත්ව ගබඩාව තුළ ඌ රඳවා තැබුවා. 

ඈත අතීතයේ දී අලි ඇතුන් ප්‍රවාහනය කළ ආකාරය  – shipit.co.uk

 

ලන්ඩන් සත්වෝද්‍යානයේ නවාතැන 

එම අවධියේ  ඉතාලිය වැනි රටක දී  අප්‍රිකානු අලි පැටවකු දැකගන්නට ලැබුණේ කලාතුරකින්. එනිසා ජම්බෝට ඉතාමත් ඉහළ ඉල්ලුමක් ලැබුණා. ජම්බෝ වෙනුවෙන් ධනවතුන් බොහෝ දෙනෙකු ඉහළ ලංසු එදා ඉදිරිපත් කළා. අවසානයේ පැරිස් සත්වෝද්‍යානයේ භාරකරුවන් සැලකිය යුතු තරම් විශාල මුදලකට ජම්බෝ මිල දී ගත්තා. අලුත් නවාතැන්පොළේ වසර කිහිපයක් ජීවත් වෙද්දී මෙම අලියා විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත්වුණා. 1865 වසර වන විට ලන්ඩන් සත්වෝද්‍යානයේ බලධාරීන් ද අප්‍රිකානු අලියෙක් සොයමින් සිටියා. 

පැරිස් සත්වෝද්‍යානයේ ජීවත් වුණු ජම්බෝ පිළිබඳ ඒ වන විට ඔවුන්ට තොරතුරු ආරංචි වී තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලන්ඩන් සත්වෝද්‍යානයේ අධිකාරි තනතුර හෙබැ වූ ඒබ්‍රහම් බාර්ට්ලට්, ජම්බෝ අලියා මිල දී ගැනීම සඳහා උනන්දු වුණා. එදා පැරිස් සත්වෝද්‍යානය සමඟින් කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ජම්බෝ අලියා විශාල මුදලකට මිල දී ගැනීමට බාර්ට්ලට්ට හැකියාව ලැබුණා. ඉන් පසුව ජම්බෝගේ නවාතැන්පොළ වුණේ ලන්ඩන් සත්වෝද්‍යානය යි. 

ලන්ඩන් සත්වෝද්‍යානයේ ජම්බෝ රඳවා සිටි ආකාරය – nytimes.com

සත්වෝද්‍යානය තුළ ගත කළ ජීවිතය 

ලන්ඩන් සත්වෝද්‍යානය තුළ රඳවා සිටි ජම්බෝ රැක බලා ගැනීම පැවරී තිබුණේ මැතිව් ස්කොට් නම් සේවකයාට යි. ස්කොට්ගේ සහායට තවත් සේවකයන් කිහිප දෙනෙක් එහි සිටියා. ජම්බෝට ආහාර වශයෙන් තණකොළ, පිදුරු සහ ඕට්ස් ලබා දුන්නා. මද කිපෙන කාලයට ජම්බෝ වඩාත් ප්‍රකෝපකාරී අයුරින් හැසිරුණා. එවිට ඌ සන්සුන් කිරීම අසීරු කාර්යයක් වුණා. ජම්බෝගේ එම හැසිරීම් රටාව පාලනය කිරීමට ස්කොට් අපූරු ක්‍රමයක් සොයා ගත්තා.

ඒ මත්පැන් ලබාදීම මඟින්  ඌ සන්සුන් තත්ත්වයට පත්කිරීම යි. මුල් කාලයේ දී මත්පැන්වල හොඳින් පෙඟවූ බිස්කට් ජම්බෝට ලබා දුන්නා. පසු යුගයක සාමාන්‍ය අයුරින් මත්පැන් පානය කරන්නට ජම්බෝ පුරුදු වුණා. එහි දී විස්කි සහ ෂැම්පේන්, ජම්බෝ වඩාත් ප්‍රිය කළ මත්පැන් වර්ග දෙක බවට පත් වුණා. ජම්බෝ 1870 දශකයේ ලන්ඩනය තුළ ජනප්‍රියත්වයට පත්ව සිටියා. එනිසා සත්වෝද්‍යානයේ පාලකයන් ඌට හොඳින් සත්කාර කළා.

ජම්බෝ ලන්ඩන් සත්වෝද්‍යානය තුළ දී – ranker.com

ලන්ඩන් නගරයේ ජනප්‍රියත ම සත්ත්වයා 

අඩි 10.7ක උසකින් යුක්ත වුණු ජම්බෝ එකල යුරෝපයේ ජීවත් වුණු විශාලත ම අලියා බවට පත් ව සිටියා. එනිසා ජම්බෝ නැරඹීමට දිනපතා ම සැලකිය යුතු තරම් පිරිසක් පැමිණියා. ඒ අනුව 1870 දශකය වන විට ජම්බෝ ලන්ඩන් නගරයේ ජනප්‍රියත ම සත්ත්වයා බවට පත් ව සිටියා. එපමණක් නොව යුරෝපයේ වෙනත් රටවල්වල සංචාරකයන් ද ජම්බෝ දැක බලා ගැනීම සඳහා ලන්ඩනයට පැමිණියා.

එසේ පැමිණි සංචාරකයන් ජම්බෝගේ පිටේ නැග සත්වෝද්‍යානය තුළ ගමන් කිරීමෙන් විශාල සතුටක් ලැබුවා. විශේෂයෙන් ම කුඩා දරුවන් ජම්බෝට විශාල ලෙස ඇලුම් කළා. එනිසා ඔවුන් ජම්බෝ බැලීමට පැමිණෙන අවස්ථාවල දී නොයෙකුත් ආහාර පාන රැගෙන ආවා.

ජම්බෝ නැරඹීමට පැමිණි විශාල ජනකාය – telegraph.co.uk

 

එකල බ්‍රිතාන්‍යය පාලනය කළ වික්ටෝරියා රැජන සහ ඇගේ දරුවන් ද ජම්බෝගේ පිට මත ගමන් කිරීමෙන් විශාල ආශ්වාදයක් ලැබුවා. වික්ටෝරියා රැජනගේ ආදරය දිනා ගත් ජම්බෝ 1880 දශකය ආරම්භ වෙද්දී යුරෝපයේ පමණක් නොව ලෝකය පුරා ම ප්‍රසිද්ධියට පත් ව සිටියා. ඒ අයුරින් ලෝක ප්‍රසිද්ධ වුණු ජම්බෝ 1881 අග භාගය වන විට අසනීප තත්ත්වයකින් පෙළුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඌ සෑම විට ම කෝපයට පත්වුණා. එදා සත්වෝද්‍යානයේ සිටි පාලකයන්ට ජම්බෝ සන්සුන් කර ගැනීම තරමක් අසීරු කාර්යයක් වුණා. එනිසා ජම්බෝ විකුණා දැමීමට සත්වෝද්‍යාන පාලන අධිකාරිය තීරණය කළා. 

ජම්බෝ වෙනුවෙන් ලන්ඩන් වැසියන් පෙරට එයි 

ජම්බෝ විකුණා දැමීමට තීරණය කළ පුවත එදා ලැව් ගින්නක් සේ ලන්ඩන් නගරය පුරා පැතිරී ගියා. ඒ සමඟ ම ජම්බෝ විකුණා දැමීමට එරෙහි ව විරෝධතා මාලාවක් ද ආරම්භ වුණා. බ්‍රිතාන්‍යය පුරා විසිරී සිටි පාසල් සිසුන් ලක්ෂයක් ජම්බෝ වෙනුවෙන් එකතු වුණා. එම සිසුන් පිරිස  වික්ටෝරියා රැජනගෙන් ඉල්ලා සිටියේ ජම්බෝ බේරා දෙන ලෙස යි.

එකල බ්‍රිතාන්‍යයේ ජීවත් වුණු ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරීන් ද ජම්බෝ වෙනුවෙන් පෙනී සිටියා. ඒ අතුරින් සමහර උදවිය පුවත්පත් ලිපි හරහා ජනතාව දැනුම්වත් කළා. ජම්බෝ විකිණීම සත්වෝද්‍යානයේ බහුවිධ නීති උල්ලංඝණය කිරීමක් බව පවසමින් සත්වෝද්‍යානයට එරෙහි ව නඩු පැවරීමට නීතිඥවරුන් පිරිසක් කටයුතු කළා. අධිකරණයේ තීරණය වුණේ ජම්බෝ විකිණීමට නීතිමය බාධාවක් නොමැති බව යි.

වික්ටෝරියා රැජන – royal.uk

 

අමෙරිකාවේ සර්කස් කණ්ඩායමකට එකතු වීම 

ජම්බෝ  මිල දී ගැනීම සඳහා බොහෝ රටවල්වලින් ධනවතුන් එදා පැමිණියා. ඒ අතුරින් ඉහළ ම ලංසුවක් ඉදිරිපත් කළේ පීනියස් බානම් නම් අමෙරිකා ජාතිකයා යි. අමෙරිකාවේ බේලි සර්කස් හි අයිතිකරුවා වුණු බානම් ජම්බෝ මිල දී ගැනීම සඳහා අමෙරිකා ඩොලර් 10000ක් තරම් අධික මුදලක් වියදම් කළා. ඔහු ජම්බෝ වෙනුවෙන් එතරම් මුදලක් වියදම් කළේ සිය සර්කස් සංදර්ශනය ලොව හොඳ ම සර්කස් සංදර්ශනය කිරීමේ අරමුණ ඇතිව යි.

ලන්ඩන් සත්වෝද්‍යානය තුළ ජීවත් වුණු කාලයේ ජම්බෝ රැක බලා ගත් මැතිව් ස්කොට් නම් සේවකයා ද අමෙරිකානු ගමනට එකතු වුණා. එම ගමන අතරතුර ජම්බෝ සන්සුන් ව තබාගැනීමට අවශ්‍ය වුණා. එනිසා ඌට අඛණ්ඩ ව විස්කි ලබා දුන්නා. 1882 අප්‍රේල් මාසයේ දී අමෙරිකාවට ගිය ජම්බෝ බේලි සර්කස් කණ්ඩායමට එකතු වුණා.

ජම්බෝ අමෙරිකාවට රැගෙන ගිය ආකාරය – dustyoldthing.com

 

සර්කස් කණ්ඩායමේ ගත කළ ජීවිතය 

ජම්බෝගේ ආගමනයත් සමඟින් බේලි සර්කස් කණ්ඩායමට හොඳ කාලයක් උදා වුණා. එම සද්දන්තයා දැක බලා ගැනීම සඳහා ජනතාව වැල නොකැඩී පැමිණෙන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජම්බෝ මිල දී ගැනීම සඳහා වැය කළ මුදල සති 3ක් තුළ සොයා ගැනීමට බානම්ට හැකි වුණා. ජම්බෝගේ වටිනාකම පිළිබඳ මනාව තේරුම් ගත් බානම් ජම්බෝ රැක බලා ගැනීම සඳහා තවත් සේවකයන් කිහිප දෙනෙක් පත් කළා.

එම සේවක පිරිස ස්කොට්ට ජම්බෝ රැක බලා ගැනීම සඳහා සහාය ලබා දුන්නා. එහි දී බානම්ගේ අරමුණ වුණේ ජම්බෝ හොඳින් රැක බලා ගෙන ඌ හරහා විශාල මුදලක් උපයාගැනීම යි. ඒ අයුරින් වසර 2ක පමණ කාලයක් ගතවෙද්දී ජම්බෝ මුළු අමෙරිකාව පුරා ම ප්‍රසිද්ධියට පත්ව සිටියා. සෑම දිනක ම වාගේ ජම්බෝ දැක බලා ගැනීමට අති විශාල පිරිසක් සර්කස් සංදර්ශන භූමිය වෙත පැමිණියා.

දහවල් සහ සවස් කාලවල සංදර්ශන

බේලි සර්කස් හි ප්‍රධාන කූඩාරමේ දහවල් සහ සවස් කාලවල සංදර්ශන පැවැත්වුණා. ඒ අතුරින් ප්‍රධාන සංදර්ශනය පැවැත්වුණේ සවස් කාලයේ දී යි. ජම්බෝ වැඩි වශයෙන් සහභාගි වුණේ එම ප්‍රධාන සංදර්ශනය සඳහා යි. ඒ අනුව සෑම දිනක ම සවස් වරුවේ ජම්බෝ දැක බලා ගැනීමේ අරමුණෙන් සැලකිය යුතු තරම් පිරිසක් සර්කස් භූමියට පැමිණියා. එම සංදර්ශනය ආරම්භයේ දී විසිතුරු ඇඳුමින් සැරසුණු තූර්ය වදක කණ්ඩායමක් සිය වාදනය ඉදිරිපත් කරද්දී එහි රිද්මයට නර්තන ශිල්පීන් කණ්ඩායමක් නර්තනයේ යෙදුණා. එම නර්තනය අවසන් වෙද්දී ම සර්කස් කණ්ඩායමේ සිටි ජනප්‍රිය චරිතය වුණු ජම්බෝ කරළියට පිවිසියා.

ජම්බෝ ඉන් පසුව සංගීත රිද්මයට අනුව නර්තනයේ යෙදුණා. එය බේලි සර්කස් හි ජනප්‍රියත ම අංගයක් බවට පත්ව තිබුණා. එය අවසන් වීමෙන් පසුව ජම්බෝ සහ තවත් අලින් පිරිසක් එකතු වී ඉදිරිපත් කළ විශේෂාංගය ද ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. එහි දී ජම්බෝ ඇතුළු අනිකුත් අලින්, සර්කස්කරුවන් ලබා දුන් විධානවලට අනුව ක්‍රියා කළා. කකුල් දෙකෙන් සිට ගැනීම, මේස උඩ වාඩි වී සිටීම, පසුපස කකුල් දෙකෙන් සිට ගෙන ඉදිරිපස කකුල් දෙක ඉදිරියේ සිටින අලියකුගේ පිටට තබාගෙන සිටීම ඇතුළු විශේෂාංග රැසක් ඊට අයත් වුණා. එහි දී ජම්බෝ අලි පිරිසේ නායකත්වය ගෙන කටයුතු කළා. එනිසා ජම්බෝ බේලි සර්කස් හි ජනප්‍රියත ම චරිතය බවට පත්වුණා.

ජම්බෝ සර්කස් කණ්ඩායමේ සිටි කාලය – history.com

හදිසියේ ම අසනීප වීම  

ජම්බෝ හදිසියේ ම 1885 මුල් භාගය වන විට අසනීප වුණා. අසනීප වීමෙන් පසු ජම්බෝ වඩාත් කලහකාරී අයුරින් හැසිරුණා. අවට සිටි පිරිසට පහරදීමට උත්සාහ කළා. ජම්බෝට ප්‍රතිකාර කිරීම සඳහා බානම්ට විශාල මුදලක් වැය වුණා. 1885 මැද භාගය වන විට ජම්බෝ තරමක් දුරට සුවය ලබා තිබුණා. එනිසා ඌට සර්කස් සංදර්ශන සඳහා සහභාගි වීමට හැකි වුණා. වැඩි කාලයක් ජම්බෝගෙන් සේවය ලබා ගත නොහැකි බවට වෛද්‍යවරුන් අනාවැකි පළ කළා. එනිසා ජම්බෝ නඩත්තු කිරීම සඳහා තවදුරටත් අධික මුදලක් වෙන් කිරීම නිශ්ඵල ක්‍රියාවක් බව බානම්ට ඒත්තු ගියා. 

අනපේක්ෂිත මරණය 

බේලි සර්කස් කණ්ඩායම කැනඩාවේ1885 සැප්තැම්බරයේ දී  සංචාරය කළා. එම සංචාරය සඳහා ජම්බෝ ද එකතු වුණා. 1885 ඔක්තෝබර් 15 වැනිදා ඔන්ටේරියෝ නගරයේ සර්කස් සංදර්ශනයක් පැවැත්වුණා. ඒ සඳහා සහභාගි වුණු ජම්බෝ පැමිණ සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් පිනවීමට සමත් වුණා. සර්කස් සංදර්ශනයේ දී සිය විශේෂාංගය ඉදිරිපත් කිරීමෙන් පසුව ජම්බෝ රේල් පාර අසල ඇවිදිමින් සිටියා. ඒ ටොම් තම්බ් නම් තරුණ අලියා සමඟ යි.

ඒ මොහොතේ දී වේගයෙන් පැමිණි දුම්රියක ගැටුණු ජම්බෝ බිම ඇදගෙන වැටුණා. එම අනතුර නිසා සිදුවුණු මාරාන්තික තුවාල හේතුවෙන් ජම්බෝ මරණයට පත්වුණා. ජම්බෝගේ හදිසි මරණය පිළිබඳ කනගාටුදායක පුවත අසා ලෝකයේ  බොහෝ දෙනෙක් කම්පාවට පත්වුණා. 

ජම්බෝ අනතුරට පත්වීමෙන් පසුව – 1069thex.com

මරණයෙන් පසු 

ජම්බෝගේ මරණය සම්බන්ධව කටකතා රැසක් එදා පැතිර ගියා. ඒ අතුරින් වඩාත් ප්‍රසිද්ධ කට කතාව බවට පත්වුණේ වැඩි කාලයක් ජම්බෝගේ සේවය ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණු නිසා සූක්ෂම අයුරින් ඌ මරණයට පත් කළ බව යි. එම අවස්ථාවේ ස්කොට් නම් සේවකයා ජම්බෝ රේල් පාරෙන් ඉවත් කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම විශාල සැකයකට තුඩු දුන් හේතුවක් වුණා.

ජම්බෝ මිය යාමෙන් පසු උගේ සිරුර සංරක්ෂණය කළා. එය වර්තමානය වන විට අමෙරිකාවේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. ඒ වාගේම ජම්බෝට ගෞරව දැක්වීම සඳහා ඌ මිය ගිය ස්ථානයේ ප්‍රතිමාවක් ඉදි කළ බව  ද සිහිපත් කළ යුතු යි. 

ජම්බෝ මිය ගිය ස්ථානයේ ඉදි ව තිබෙන ප්‍රතිමාව – pinterest.com

කවරයේ ඡායාරූපය- ජම්බෝ අලියා- cbc.ca 

මූලාශ්‍ර:

museumoflondon.org.uk 

dustyoldthing.com 

ranker.com 

theguardian.com 

hyperallergic.com 

cultofweird.com 

Related Articles