ඉන්දියාව ආර්ථික අර්බුදයෙන් 31වසරකට පෙර ගොඩ ආ හැටි

වර්තමානය වන විට ලොව ශක්තිමත් ම ආර්ථිකයක් හිමි රටවල් 10 අතරට අප අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව ද අයත්. එනිසා ඉන්දියාව ආසියාවේ බලවතුන් අතර ඉදිරියෙන් ම සිටිනවා. එලෙස ස්ථාවර ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාව මීට දශක 3කට පමණ පෙර බංකොලොත් වන තත්ත්වයට පත්වුණු බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!

එදා සති කිහිපයකින් බංකොලොත් වීමට නියමිත ව තිබුණු ඉන්දියාව අවසානයේ දී එම ආර්ථික අර්බුදයෙන් ජය ගත්තා. ඔබට මේ කියන්න යන්නේ ඉන්දියාව තම ආර්ථික සටන එදා ජය ගත් ආකාරය පිළිබඳ යි. 

1991 ආර්ථික අර්බුදයට පසුබිම සැකසුණු හැටි 

1980 දශකය තුළ ඉන්දියාවේ ගෙවුම් ශේෂය විශාල ලෙස ඉහළ ගියා. 1980 දශකය ආරම්භ වන විට රුපියල් කෝටි 2214ක් ලෙසින් පැවති ගෙවුම් ශේෂය 1990 දශකය මුල් භාගය වන විට ඉන්දීය රුපියල් කෝටි 17,367 දක්වා ඉහළ ගොස් තිබුණා. එම ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා එවකට ඉන්දීය ආණ්ඩු විශාල වශයෙන් විදෙස් ණය ලබා ගත්තා. ඒ වාගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශාල ණය මුදලක් ලබා ගත්තා.

එසේ ණය ලබා ගනිද්දී ඉන්දීය රුපියලේ වටිනාකම අඩුවීමට පටන් ගත්තා. ඉන් අනතුරුව එරට භාණ්ඩ මිලත් විශාල ලෙස ඉහළ ගියා. කෙටි කාලයක් තුළ එරට උද්මධන අනුපාතිකය ද 6.7% සිට 16.7% දක්වා ඉහළ ගියා. ඉන්දියාව තුළ මතු වුණු ආර්ථික අර්බුදය හේතුවෙන් 1991 ජනවාරි මාසය වන විට ඉන්දියාවේ විදෙස් විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 1.2 දක්වා පහත බැස තිබුණා. 

ඉන්දීය මුදල් නෝට්ටු – gettyimages.com

 

1980 දශකයේ අග භාගය දක්වා ම ඉන්දියාව සහ සෝවියට් රුසියාව වෙළෙඳ ගනුදෙනු විශාල වශයෙන්  සිදු කළා. එම වෙළෙඳ ගනුදෙනුවල දී රුපියල්වලින් ගෙවීම් සිදු කිරීම සඳහා ඉන්දියාවට අවස්ථාව ලැබුණා. ඒ අයුරින් සිදුවුණු වෙළෙඳ ගනුදෙනු හරහා ඉන්දියාවට විශාල වාසි ලැබුණා. 1990/91 කාලයේ සෝවියට් රුසියාව බිඳ වැටීම ඉන්දියාවේ ආර්ථිකයට මරු පහරක් එල්ල කළා.

1990/91 කාලයේ පැවති ගල්ෆ් යුද්ධය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාව තුළ ඉන්ධන මිල ද වේගයෙන් ඉහළ ගියා. එය රටේ භාණ්ඩ මිල ඉහළ නැඟීමටත් හේතුවක් වුණා. ගල්ෆ් යුද්ධය නිසා එම රටවල්වලින් විදෙස් මුදල් ගලා ඒම අඩු වුණා. එනිසා 1991 වසර ආරම්භ වෙද්දී ඉන්දියාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර වුණා. 

1990-91 ගල්ෆ් යුද්ධයේ අවස්ථාවක් – gettyimages.com

 

රටේ පැවති දේශපාලන අස්ථාවරත්වය

1984 දෙසැම්බරයේ පැවති ඉන්දීය මහා මැතිවරණයේ දී රජිව් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ලෝක් සභාවේ ආසන 543න් 414ක් දිනා ගනිමින් පැහැදිලි බහුතරයක් දිනා ගත්තා. ඉන් පසුව 1989 නොවැම්බරයේ පැවති මහා මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ.

එහි දී රජිව් ගාන්ධිගේ නායකත්වය යටතේ තරග කළ ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ආසන 197ක් දිනා ගනිද්දී, විශ්වනාත් ප්‍රතාප් සිං යටතේ තරග වැදුණු ජනතා දාල් පක්ෂය ආසන 143ක් දිනා ගත්තා. ජනතා දාල් 1988 වසරේ ඔක්තෝබර් මාසයේ දී පක්ෂ කිහිපයක එකතුවෙන් පිහිටුවා ගත් පක්ෂයක්. ලාල් ක්‍රිෂ්ණ අද්වානිගේ නායකත්වය යටතේ තරග වැදුණු භාරතීය ජනතා පක්ෂයත් ආසන 85ක් දිනා ගෙන තිබුණා. 

විශ්වනාත් ප්‍රතාප් සිං – gettyimages.com

 

කිසිදු පක්ෂයකට බහුතරයක් නොතිබුණු නිසා තනි ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු පක්ෂයකට අවස්ථාවක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් ඉන්දියාව තුළ උද්ගත වුණේ 1934 වසරෙන් පසුව යි. ඒ මොහොතේ ජනතා දාල් පක්ෂය, භාරතීය ජනතා පක්ෂය සහ වමේ පක්ෂ කිහිපයක් එකතු වී හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.

එදා විශ්වනාත් ප්‍රතාප් සිං ඉන්දියාවේ අගමැතිවරයා බවට පත් වුණා. ඔහු එම තනතුරට පත් වී මාස 11ක් ගත වෙද්දී ජනතා දාල් පක්ෂයේ ප්‍රබලයෙක් වුණු චන්ද්‍ර ශේකර් සිං තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 64ක් සමඟින් එකතු වී සමාජවාදී ජනතා පක්ෂය නමින් නව පක්ෂයක් වෙනම ම පිහිටුවා ගත්තා. 

චන්ද්‍ර ශේකර් සිං – gettyimages.com

 

එම පක්ෂය පිහිටුවා ගෙන දින කිහිපයක් ගත වෙද්දී අගමැති ප්‍රතාප් සිංට එරෙහි ව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමටත් විපක්ෂය කටයුතු කළා. ඒ වන විට විපක්ෂයේ බලය වැඩි වී තිබුණු නිසා විශ්වාසභංගයෙන් පරාජය වීමට පෙර අගමැති ප්‍රතාප් සිං ඉල්ලා අස් වුණා.

ඉන්දීය ජාතික කොංග්‍රසය, සමාජවාදී ජනතා පක්ෂය සහ තවත් සුළු පක්ෂ එකතු වී ආණ්ඩුවක් අනතුරු ව බිහි කළා. එහි අගමැති තනතුර චන්ද්‍ර ශේකර් සිංට හිමි වුණා. ඉන්දියාවේ ඒ අයුරින් පැවතුණු දේශපාලන අස්ථාවරත්වය නිසා ආර්ථික අර්බුදය තවත් උග්‍ර වුණා. 

රට පුරා පැන නැඟි විරෝධතා රැල්ල

1990 දී කරළියට පැමිණි මැන්ඩල් කොමිෂන් වාර්තාව හරහා හීන කුලවල අයට රැකියා ලබා දීමට ඉන්දීය රජය කටයුතු කළා. ඒ සමඟ ම රට තුළ විශාල විරෝධතා රැල්ලක් නිර්මාණය වුණා. එම රැල්ල රට පුරා පවතිද්දී ඉන්දීය ආර්ථිකය කඩා වැටෙමින් පැවතුණා. ඊට ආසන්න කාලයක දී එරට භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ ගල්ෆ් යුද්ධයේ බලපෑම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගිය නිසා යි.

ඉහළ යන භාණ්ඩ මිල දරා ගැනීමට නොහැකි වුණු නිසා තවත් විරෝධතා රැල්ලක් රට පුරා පැතිරී ගියා. රටේ සෑම ප්‍රධාන නගරයක දී ම එම විරෝධතා මාලාව ක්‍රියාත්මක වුණා. සෑම ප්‍රධාන නගරයක ම පැවති විරෝධතා හේතුවෙන් රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ද නිර්මාණය වුණා. එවකට බලයේ පැවති ආණ්ඩුව ශක්තිමත් එකක් නොවුණු නිසා රටේ පැවති අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම ඔවුන්ට තරමක් අපහසු වුණා.

ඉන්දියාව පුරා ඇති වුණු විරෝධතා- gettyimages.com

 

බලාපොරොත්තු නොවුණු මොහොතක මහා මැතිවරණයක් 

1991 පෙබරවාරියේ දී ලෝක් සභාවට ඉදිරිපත් කළ අයවැය සම්මත කරගැනීමට චන්ද්‍ර ශේකර් සිං ප්‍රමුඛ රජයට හැකි වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහා මැතිවරණයක් හදිසියේ ම පැවැත්වීමට තීන්දු වුණා. එම මැතිවරණයේ දී ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය, ජනතා දාල් පක්ෂය සහ භාරතීය ජනතා පක්ෂය අතර තුන්කොන් සටනක් පැවතුණා. මැතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම මැයි 20 වැනිදා පැවැත්වුණා. පළමු වටයේ දී ප්‍රතිඵලවලට අනුව ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය දැඩි පසුබෑමකට ලක්ව සිටියා. 

දෙවන වටයේ ඡන්ද විමසීමට පෙර ද මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු වුණා. තමිල්නාඩුවේ ශ්‍රීපෙරුම්බුදූර් හිදී ජන රැළියක් මැයි 21 වැනිදා පැවැත්වුණා. එහි දී පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බයකින් ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායක රජිව් ගාන්ධි මිය ගියා. එම මරණයත් සමඟින් දෙවන සහ තෙවන වටයන් හි ඡන්ද විමසීම් කටයුතු ජූනි 12 සහ 15 දින දක්වා කල් ගියා.

රජිව් ගාන්ධිගේ අවසන් මොහොත – srilankabriefly.org

 

රජිව් ගාන්ධිගේ හදිසි මරණයෙන් පසුව පැවති දෙවන සහ තෙවන වටවල දී ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයට සානුකම්පිත ඡන්ද රැසක් ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් ලෝක් සභාවේ ආසන 543න් 244ක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එම පක්ෂය සමඟින් කරට කර සටනක නිරත වුණු භාරතීය ජනතා පක්ෂය සහ ජනතා දාල් පක්ෂය ආසන 120ක් සහ 59ක් පිළිවෙළින් ජයග්‍රහණය කළා.

නව රජයක් යටතේ බලාපොරොත්තු රැසක් 

1991 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ඉන්දීය ජාතික කොංග්‍රසය ආසන 244ක් දිනා ගත්ත ද එම පක්ෂයට තනි රජයක් පිහිටුවා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. එනිසා ඔවුන් සුළු පක්ෂ කිහිපයකගේ සහාය ඇතිව නව රජයක් බිහි කළා. නරසිම්හ රාඕ එම රජයේ අගමැති තනතුරට පත් වුණා. ආර්ථික විද්‍යාඥයකු වුණු ආචාර්ය මන්මෝහන් සිං නව රජයේ මුදල් අමාත්‍යවරයා බවට පත් වුණා.

ඒ වන විට ඉන්දියාව මුහුණදෙමින් සිටි ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීමේ වගකීම මන්මෝහන් සිංට පැවරුණා. නව රජයක් යටතේ සිය ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනු ඇති බවට ද ඉන්දීය ජනයා බලාපොරොත්තු තබාගත්තා.    

අගමැති නරසිම්හ රාවෝ – gettyimages.com

 

ආර්ථික අර්බුදය විසඳීමට ගත් ක්ෂණික පියවර 

නරසිම්හ රාඕ ප්‍රමුඛ කොංග්‍රස් රජය බලයට පත්වෙද්දී රටට අත්‍යවශ්‍ය ආනයන කිරීම සඳහා මුදල් ඉතිරිව තිබුණේ සති 3ක කාලයකට පමණ යි. සති 3කින් ඉන්දියාව බංකොලොත් වනු ඇති බවට ද රාවයක් එනිසා පැතිර ගියා. එම තත්ත්වය පාලනය කිරීම සඳහා ක්ෂණික පියවර දෙකක් ගැනීමට ඉන්දීය රජය තීරණය කළා. ඉන් පළමු පියවර වශයෙන් ඉන්දීය සංචිත බැංකුව සමඟින් එක් ව පියවර දෙකක් යටතේ ඉන්දීය රුපියල අවප්‍රමාණය කිරීමක් සිදු කළා.

ඉන්දීය රජය සිය රටේ රන් සංචිත ඇපයට තබා මුදල් ලබා ගැනීමටත් තීරණය කළා. ඒ අනුව ඉන්දියාව රන් සංචිත ටොන් 67ක් ඇපයට තබා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.2ක හදිසි ණයක් ලබා ගත්තා. එංගලන්ත සහ ස්විට්සර්ලන්ත බැංකුවලට තවත් රන් සංචිත උකසට තබා ඩොලර් මිලියන 600ක ණය මුදලක් ලබා ගත්තා. එසේ ලැබුණු මුදල් හරහා ඉන්දීය ආර්ථික කඩාවැටීම තාවකාලික ව නවත්වා ගැනීමට ඔවුනට හැකි වුණා.  

ආචාර්ය මන්මෝහන් සිං – mint.com

ඉන්දියාව ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීම 

ආර්ථික විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් තිබුණු මන්මෝහන් සිං මුදල් අමාත්‍යවරයා එරට තිබුණු ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කළා. එහි දී අපනයනය තුළින් ලැබෙන ආදායම වැඩි කිරීම ඔහුගේ අරමුණ වුණා. අත්‍යවශ්‍ය නොවන ආනයන නැවැත්වීමට ද ඉන්දීය රජය කටයුතු කළා.

රටේ විදෙස් සංචිත ගොඩනැඟීම, ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම, පෞද්ගලික අංශය හරහා රටට ලැබෙන ආදායම වැඩි කර ගැනීම, නව කාර්මික ප්‍රතිපත්තියක් හරහා රට තුළ ක්‍රියාත්මක වුණු ව්‍යාපාර දියුණු කිරීම පිළිබඳත් මුදල් අමාත්‍යවරයා අවධානය යොමු කළා. 

1992 වසරෙන් පසුව ඉන්දියාවේ ආර්ථික වර්ධනය සිදුවුණු ආකාරය (hindustantimes.com)

 

1991 ජූලි 24 වැනිදා ඔහු රටට ඉදිරිපත් කළ අයවැය ලේඛනය ඉන්දීය ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා සාර්ථක අඩිතාලමක් දැමුවා. සෑම ඉන්දියානුවෙක්ම නව රජය සහ මුදල් අමාත්‍යවරයා ගැන උපරිම විශ්වාසය තැබුවා. සිය රට වැටී තිබුණු ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීම සඳහා ඔවුන් ද හැකි තරම් කැප කිරීම් කළා. ඒ අතරතුර මන්මෝහන් සිංගේ ආර්ථික ප්‍රතිපත්ති රට තුළ ක්‍රියාත්මක වුණා.

වසර කිහිපයක් ගත වෙද්දී ඉන්දියාවේ ආර්ථිකය යළිත් ස්ථාවර වන්නට පටන් ගත්තා. එදා ඉන්දීය ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදුන් මන්මෝහන් සිං ජාතික වීරයෙක් බවට පත් වුණා. එනිසා 2009 දී ඔහුට ඉන්දියාවේ අගමැතිවරයා බවට පත්වීමට ද වරම් ලැබුණා.  

කවරයේ ඡායාරූපය- නරසිංහ රාඕ සහ මන්මෝහන් සිං, තවත් ඇමතිවරුන් පිරිසක් සමඟ- hindustantimes.com

මූලාශ්‍ර:

theprint.in

prepp.in

indiabefore91.in

indianexpress.com 

Related Articles