Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තායිවාන නාවුක පුහුණුවේ සුවිශේෂී අත්දැකීම: දෙව් ලොව යන මඟ

ශීතල සුළං නිරතුරුව හමන තායිවාන සමුද්‍රසන්ධියේ, හිමිදිරි උදෑසන, එක්තරා ස්ථානයක ඇති කුඩා ජැටියකි. එහි තරුණ නාවුක භටයන් කිහිප දෙනෙක් සිටිති. පැය ගණනාවක් මුහුදු ජලයේ ගත කිරීම නිසා ඔවුන්ගේ ඇඳුම් වන කොට කලිසම් හා තුනී කබා සම්පූර්ණයෙන් තෙත් බරිත වී ඇති අතර, අත් පාවල ඇඟිලි රැලි ගැන්වී ඇත. මේ හේතුවෙන් ඔවුන් සිටින්නේ වෙව්ලමිනි.

“නිදි කුමාරියෝ වෙන්න යනවද?, කට්ටි පනින්න යනවද? ” පුහුණුකරුවකුගේ ගිගුරුමකින් සියලු දෙනා ගැස්සී යති. දින ගණනකින් හරිහැටි නින්දක් නොලබා සිටියත්, දරුණු දඬුවම් ලැබීමට සිදුවන නිසා, සිය ශාරීරික අපහසුතා පසෙක ලන ඔවුහු අපහසු ශාරීරික ව්‍යායාමවල නිරත වන්නට නැවතත් පටන් ගනිති. ඔවුන් ‘සිට් අප්’ ව්‍යායාමය කරන්නට පටන්ගන්නේ රළු කොන්ක්‍රීට් පොළොවෙහි වැදී සිය අල්ල රිදුම් දෙද්දී ය. මෙහි දී සමහරක් දෙනා ක්ලාන්තය සෑදී ඇද වැටෙති. එහිදී ඔවුන් නැවත පුබුදුවාලන්නේ හෝස් බටයකින් වේගයෙන් එල්ල වන ශීතල ජල පහරකි.

 පුහුණුවේ නිරතවෙන තායිවාන තරුණයෝ- Reuters/ Ann Wang 

 

ඉතා අපහසු පුහුණුවක්

තායිවානයේ නාවුක හමුදාවට අයත් උසස්, උභයචර, ඔත්තු බැලීමේ හා ක්‍රියාන්විතයේ යෙදීමේ හමුදාව හෙවත් ඒ.ආර්.පී බළකායට අනුයුක්ත වීම එතරම් පහසු එකක් නොවේ. ඉතා ශක්තිමත් ශරීරයක් හා මනසක් මේ සඳහා තිබිය යුතු ය. විශේෂයෙන් ඔවුනට නිතරම හැප්පෙන්නට ඇත්තේ චීනය වැනි, ඉතා ශක්තිමත් හමුදාවක් සමඟ නිසා ඔවුනට ලබා දෙන පුහුණුව ඉතාමත් දුෂ්කර ය.

මේ බළකායට අනුයුක්ත කිරීමට ලබා දෙන පුහුණුව සති දහයක් දිගැති එකක් වේ. සාමාන්‍යයෙන් එයට සහභාගී වෙන අයගෙන් එය සාර්ථකව අවසන් කරන්නේ 50% කටත් වඩා අඩු පිරිසකි. මොවුන් සිය පුහුණුවේ අවසන් සතිය තායිවානයේ සුයොයින්ග් නාවුක කඳවුරේ ගතකරන අතර එය එහි ඉතාමත් අපහසු අදියරකි.  

පුහුණු වන්නකුට දොස් නඟන පුහුණුකරුවෙක් – Reuters/ Ann Wang 

 

දිව්‍යලෝකයට යන මාර්ගය

 පුහුණුවේ අවසන් අදියර හැඳින්වෙන්නේ ‘දිව්‍යලෝකයට යන මාර්ගය’ ලෙස යි. මෙය පුහුණුවේ අපහසු ම අදියර යි. මෙහි එක් කොටසක් පවත්වන ස්ථානයක මීටර 100ක් පමණ දිගට විහිදුණු විශාල ගල් කැට ඇතිරූ මාර්ගයක් ඇති අතර, පුහුණුවට ලක්වන්නන් මෙහිදී රළු ගල්කැට ඔස්සේ බඩගා යාම ඇතුළු අපහසු ව්‍යායාම රාශියක් කරමින් එම දුර තරණය කළ යුත්තේ සිය පුහුණුකරුවන් සෑහීමකට පත් වන තුරු යි.

ඔවුන් කිසි ලෙසකින් සෑහීමකට පත් නොවෙන බවත්, මරණය අත දරාගෙන පුහුණුවීම් සිදුකළ යුතු බවත්, එයට සහභාගී වූවෝ පවසති.

 ගල් කැට ඇතිරූ මාර්ගය තරණය කරන පුහුණුවන්නෙක් – Reuters/ Ann Wang 

 

‘දිව්‍යලෝකයට යන මාර්ගය ‘ අදියර දින හයක්, එනම් දිවා වරු හයක් හා රාත්‍රී වරු පහක් පුරාවට අඛණ්ඩව ඇදී යන අතර, පාඨමාලාවට සම්බන්ධ වූවන්ට එම කාලය පුරාවට දීර්ඝ දුරකින් යුක්ත සරඹ, පැය ගණන්  ජලයේ බැස සිටීම වැනි දේට මුහුණ දීමට සිදු වේ. ඒ පුහුණුකරුවන්ගෙන් නිබඳ ව ලැබෙන දඬුවම් වලට හා කෑගැසීම් වලට ද ලක් වෙමිනි. මෙහිදී ඔවුන් පිහිනුම් තටාකවල හෝ මුහුදෙහි පැය ගණනක් බස්සවා තබා ගෙන, දීර්ඝ කාලයක් ජලයෙහි හුස්ම අල්ලා සිටින්නට පුරුදු කරවන අතර, සම්පූර්ණ සන්නද්ධ ඇඳුමක් සමඟ, උදම් රළ කපාගෙන දිගු දුරක් පිහිනීමටද හුරු කෙරෙයි.

පැය හයකට වරක් පැයක විවේකයක්

සෑම පැය හයකට වරක් ම පැයක විවේකයක් ඔවුනට ලැබෙන අතර, එම කාලය තුළ දී ඔවුනට කෑම සඳහා සුදුළූණු ලබා දෙන්නේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීම සඳහා යි. මේ කාලය තුළදී ම ඔවුන් සිය වෛද්‍යමය අවශ්‍යතා, ශාරීරික අවශ්‍යතා ඉටු කර ගැනීම හා නිදා ගැනීම  ද සිදු කර ගත යුතු ය. මේ සියල්ල සිදු කර ගැනීමෙන් අනතුරු ව ඔවුනට නිදාගැනීම සඳහා ඉතිරි වන්නේ විනාඩි පහක දහයක කාලයක් වන අතර, පුහුණුකරුවන්ගේ උරුවම් නාදයෙන් ඇහැරී නැවත පුහුණුවට දිව යන්නට සිදු වේ. 

 තායිවාන ඒ.ආර්.පී භටයෙක් ඕනෑම දුෂ්කර අවස්ථාවකට මුහුණදීමට සූදානම් කෙරේ – Reuters/ Ann Wang 

 

මෙවැනි දුෂ්කර තත්ත්වයන්ට සාමාන්‍යයෙන් මිනිසකුට මුහුණ දිය නොහැකි මුත්, දේශප්‍රේමීත්වයෙන් ඔදවැඩී, කෙසේ හෝ සිය සිතැඟි ඉටුකරගැනීමට මාන බලන මෙම පුහුණුවට ලක්වන්නෝ කෙසේ හෝ මෙම පුහුණු කාලය අපහසුවෙන් ගෙවා දමති.

පුහුණුවේ මුල් කාලයේදී මිනිත්තු කිහිපයක් තුළ ශාරීරික අවශ්‍යතා හා ආහාර ගැනීම වැනි දේ සිදුකරගැනීමට නොහැකිව පුහුණුවට ලක්වන්නන් දැඩි අපහසුතාවයට පත්වූවත්, කල් ගත වෙද්දී ඔවුහු කෙමෙන් කෙමෙන් මෙම දුෂ්කර තත්ත්වයට හුරු වෙති.  පුහුණුවේ අවසන් සමය වන විට බොහෝ දෙනා මෙම තත්ත්වයට හොඳින් හුරු වී සිටිය ද ඔවුනට පුහුණුකරුවන්ගෙන් ලැබෙන දඬුවම් හා බැණුම් සංග්‍රහවල කිසිදු අඩුවක් සිදු නොවේ.

ශීතල සුළං නිරතුරුව හමන හිමිදිරි උදෑසන කුඩා ජැටියක නිදන පුහුණු වන්නෝ – – Reuters/ Ann Wang 

 

පුහුණුවෙන් පසු

දිව්‍යලෝකයට යන මාර්ගය නම් වූ පුහුණුවේ අවසන් අදියර අවසන් වූ විගස ඔවුන්ට නාවුක භට කොමදෝරුවරයාගේ සුබපැතුම් ලබා දීම සිදුවේ. වර්තමානය වන විට මෙම නිලය උසුලන්නේ වැන් ජුයි-ලින් විසිනි. මෙය ඉතා හැඟීම්බර අවස්ථාවක් වන අතර, පාඨමාලාව සමත් වූ අය සතුටු කඳුළු හෙළන්නේ පසුගිය සති කිහිපයේ ගතකළ අති දුෂ්කර ජීවිතය සාර්ථක ලෙස අවසන් කිරීමට හැකිවීම පිළිබඳ තුටු වෙමිනි. මෙම පාඨමාලාව නිසිලෙස අවසන් නොකළ හෝ සමත් නොවූ අයට, මෙම ඛණ්ඩයට නැවත ඇතුළු වීමට අවශ්‍යනම් නැවතත් ආරම්භයේ සිට මෙම පාඨමාලාවේ නිරත වන්නට සිදුවේ.

දුෂ්කර පුහුණුවෙන් පසු තම පියා වැලඳ ගෙන හඬන තරුණයෙක් – – Reuters/ Ann Wang

 

පාඨමාලාවට සම්බන්ධවූවන් විසිර යන දිනයේ සිදුවන තවත් සුවිශේෂී ම කරුණක් වන්නේ තමන් තදින් සිටියේ ඇයිද යන්න, පුහුණු වූ අයට පුහුණුකරුවන් පැහැදිලි කිරීම ය. මෙහිදී තමන් දඬුවම් සිදු කළේ නපුරු අදහසකින් නොවන බැව් පවසන ඔවුහු, තමන් යුද බිමෙහි මුහුණ දීමට සිදුවන අතිශය දුශ්කර අවස්ථාවලට ශිෂ්‍යයන් හුරු කළ බැව් සඳහන් කරමින් තව දුරටත් අදහස් දක්වති. මෙහිදී සැබවින් ම ඒවාට මුහුණ දිය හැකි අය පමණක් තෝරාගත යුතු වූ බව ද, අවසානයේ එලෙස තෝරාගත් බව ද ඔවුහු පවසති. තෝරාගත් ශිෂ‍්‍යයන් කෙටි දිනකින් සේවයට වාර්තා කරන්නේ ප්‍රෞඪ ලෙසිනි. මෙය සිය ජීවිතයේ වටිනාම අවස්ථාව ලෙස එලෙස තේරී පත් වන බොහෝ දෙනා සලකති.

 කවරයේ ඡායාරූපය -  පුහුණුවේ අවස්ථාවක් - Reuters/ Ann Wang 

මූලාශ්‍ර:

Reuters.com

Scmp.com

Businessinsider.com

Related Articles