Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇනලීස් මිෂෙල්ට ජීවිතය අහිමි කළ බිහිසුණු ශාන්තිකර්ම 67 ක්

ශාන්තිකර්මය වනාහී විශ්වාසයත් අවිශ්වාසයත් අතර පවතින මධ්‍යස්ථ අභිචාර විධික්‍රමයකි.  සිංහල ජන සමාජය තුළ සාමාන්‍යයෙන් මෙවැනි ශාන්තිකර්ම සිදුකරන්නේ “කට්ටඩියා” හෙවත් ගුරුන්නාන්සේ ය. යුරෝපාකරය ප්‍රමුඛ කිතුදහම අදහන රටවල ශාන්තිකර්මය හඳුන්වන්නේ Exorcism යනුවෙනි. එහි සරල අර්ථ විවරණය වන්නේ වස්තුවක් , ස්ථානයක් හෝ පුද්ගලයෙකුට ආවේශ වී ඇති නපුරු ආත්ම පලවා හැරීම සදහා සිදුකරන ආමන්ත්‍රණයක් යනුවෙනි.

මෙම ශාන්තිකර්ම සිදුකරන පුද්ගලයා හදුන්වන්නේ Exorcist එසේත් නොමැතිනම් “යකැදුරා” යනුවෙනි. ක්‍රිස්තු වර්ෂ 250 සිට ම ශාන්තිකර්ම සඳහා ම වෙන්වුණු පූජකවරුන් කණ්ඩායමක් නිර්මාණය වී තිබිණි. ඔවුන්ට ඒ සදහා විශේෂ පුහුණුවක් ලබාදීම ද සිදු විය.

පූජකවරයෙක් ශාන්තිකර්මයක් සිදුකරන අවස්ථාවක් – web.randi.org

එදා සිට අද දක්වා සිදුවූ ශාන්තිකර්මවල සාර්ථක අසාර්ථකභාවය පිළිබඳව ගැටලුකාරී වාතාවරණ ද මතු වී ඇත. ඇතැම් අවස්ථාවලදී ශාන්තිකර්ම නිසා පුද්ගලයින් මරණයට පත්වූ අවස්ථා ලොව පුරා බොහෝ රටවලින් වාර්තා වේ. ලෝකයේ මෙතෙක් සිදුකර ඇති බිහිසුණුම ශාන්තිකර්ම අතර ඇනලීස් මිෂෙල් නම් තරුණියට සිදුකළ ශාන්තිකර්ම පිළිබද සිදුවීම් මාලාව සුවිශේෂී වේ.

මෙය පසුබිම් කරගෙන 2005 වසරේදී The Exorcism Of Emily Rose චිත්‍රපටය නිර්මාණය විය. එහි අධ්‍යක්ෂවරයා වන්නේ ස්කොට් ඩෙර්ක්සන්  ය. අමෙරිකා ඩොලර් මිලියන 19 ක පිරිවැයකින් නිපද වූ මෙම චිත්‍රපටිය අමෙරිකා ඩොලර් මිලියන 145.2 ක ආදායමක් ඉපයීමට සමත්විය. මේ ගෙනහැර දක්වන්නේ ඇනලීස් මිෂෙල්ට ජීවිතය අහිමි කළ ශාන්තිකර්ම මාලාව පිළිබඳ කතාව යි.

ඇනලීස් ළමා කාලයේදී ලබාගත් ඡායාරූපයක් – www.mirror.co.uk

ඇනලීස් මිෂෙල් යනු කවුද?

බටහිර ජර්මනීයේ ලීබිල්ෆින් ක්ලින්බර්ග් , බැවේරියා හීදී 1952 සැප්තැම්බර් 21 වැනිදා උපත ලැබූ ඇනලීස්ගේ සම්පූර්ණ නම වූයේ ඇනා එලිසබෙත් මිෂෙල් ය. ඇයගේ මව මාර්තා මිෂෙල් වූ අතර ඇයගේ පියා ජෝසෆ් මිෂෙල්‍ වේ. ඇනලීස්ගේ පවුල දැඩි කතෝලික ආගමානුකූල පසුබිමකින් යුක්ත විය.මේ නිසා ඇය කුඩා අවදියේ සිට ම ආගම දහමට ළැදි දිවිපෙවතක් ගත කළා ය.

  ඇනලීස් ජීවත් වූ නිවස – www.icytales.com

ඇනලීස්ගේ වයස අවුරුදු 16 ක් පමණ වන විට හදිසියේ ම 1968 වසරේ දී ඇයගේ සිහිය ගිලිහී යන ආකාරයේ සිදුවීමක් ඇතිවී තිබිණි. මෙම අවස්ථාවේදී ඇයගේ හැසිරීම දැඩි නොසන්සුන්කාරී බවකින් යුක්ත වී ඇත. ඇය පවසා ඇත්තේ කිසියම් පුද්ගලයකු ඇයගේ ශරීරය තදින් අල්ලාගෙන සිර කරගෙන සිටින බව යි. මෙම අද්භූත සිදුවීමෙන් වසරකට ආසන්න කාලයක් ගතවූ පසු එනම් 1969 අගෝස්තු මාසයේ දී පෙර පරිදි අද්භූත සිදුවීමකට මුහුණදීමට ඇයට සිදුවිය.

එහිදී ඇයට තම ශරීරය පාලනය කර ගැනීම නොහැකි තත්වයකට පත් විය. මේ නිසා ඇයගේ මව්පියෝ ඇය වෛද්‍ය වෝග් සහ ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ලුතී දෙදෙනා වෙත රැගෙන ගියහ. එහිදී මොළයේ E.E.G පරීක්ෂණ ඇතුළු විවිධ වූ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදුකළ ද ඇයගේ රෝගය කුමක්ද යන වග නිසි පරිදි තහවුරු කරගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

ඇනලීස්ගේ තරුණ කාලය – www.mirror.co.uk

ඉදිරි වසර තුනක කාල සීමාව තුළ ද හිටිහැටියේ සිහිය ගිලිහී යෑම් සහ නොසන්සුන්කාරී හැසිරීම් වරින්වර සිදුවිය. රෝගය නිසි පරිදි තහවුරු කරගැනීමට අපොහොසත් වූ වෛද්‍යවරු දෙදෙනා ඇයට අපස්මාරයට ලබාදෙන බෙහෙත් වර්ගයක් නිර්දේශ කළහ. ඔවුන් සිතන්නට ඇත්තේ මෙම රෝගී තත්ත්වය අපස්මාර රෝග ලක්ෂණයක් විය හැකි බව ය.

ද්වේෂසහගත බැල්මක්

 මෙම ඖෂධ වර්ග භාවිත කළ ද ඇයගේ රෝගයේ කිසිදු අඩුවක් දක්නට නොවී ය. 1973 පමණ වනවිට ඇනලීස්ගේ අමුතු ආකාරයේ හැසිරීම් රටාව පෙරට වඩා දරුණු තත්වයකට පත් විය. ඇයගේ කාමරයේ දොරට එකවර ම තට්ටු කරන හඬක් ඇයටත් ඇයගේ සොහොයුරියටත් නිතර ම පාහේ ඇසිණි.එක් දිනක් ඇය මරිය තුමියගේ පිළිරුවක් දෙස ද්වේෂසහගත බැල්මක් හෙළූ බව ඇයගේ මව ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේ දී ඇයගේ ඇස් තද කළු පැහැ ගැන්වී තිබී ඇත.

1973 සැප්තැම්බර් මාසයේදී ඇනලීස් නැවත වරක් ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ලුතී හමුවීමට රැගෙන ගොස් ඇත. එහිදී ඇය පවසා ඇත්තේ තම ශරීරය තුළ යක්ෂයකු අරක්ගෙන සිටින බවත් එම යක්ෂයාගේ මුහුණ තමාට මැවී පෙනන බවත් ය. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුණු නිසා ඇයගේ මව්පියෝ ඇය මනෝ චිකිත්සකවරයකු වෙත 1973 නොවැම්බර් මාසයේ දී  රැගෙන ගියහ. එහිදී එම වෛද්‍යවරයා ඇය අපස්මාරයට සමාන රෝගී ලක්ෂණ පෙන්නුම් කරන බව පවසා පෙර වෛද්‍යවරුන් දෙදෙනා නිර්දේශ කළ ඖෂධයට වඩා ඉහළ අගයකින් යුතු ඖෂධ වර්ගයක් නිර්දේශ කළේ ය.

රෝගී තත්වය පෙරට වඩා දරුණු තත්වයට

1975 ජූලි මාසය වනවිට ඇනලීස්ගේ රෝගී තත්වය පෙරට වඩා දරුණු තත්වයකට පත්විය. ඇයගේ ශරීරයෙන් පිළිස්සුණු මළපහවල ගන්ධයක් පිටවන බවට ඇයටත් ඇයගේ සහෝදරියටත් දැනී ඇත. ඇය මේසයක් යටට බඩගාමින් ගොස් බල්ලකු මෙන් බිරීමට පටන් ගත්තා ය. ඇයගේ ආහාර වේල වූයේ මකුළුවන් , මැස්සන් සහ ගල් අඟුරු ය. ඇය මියගිය කුරුල්ලකුගේ හිස සපා කෑ බවද සඳහන් ය.

ඇයගේ තත්ත්වය කෙතරම් දරුණු අතට හැරුණා ද කිවහොත් ඇය තමන්ගේ ම මුත්‍ර පවා ලෙවකෑමට පෙලැඹී ඇත. ඇය තම නිවසේ තිබු කුරුස සහ අනෙකුත් ශුද්ධ වූ පින්තූර ආදිය විනාශ කර දමා ඇත. ඇය සතු ව බලවත් ශක්තියක් පැවතුණු බවට ඇතම්හු මත පළ කරති. ඔවුන් පවසන අන්දමට දිනක් ඇනලීස් තම නැගණිය බෝනික්කකු ඔසවා විසි කරන පරිද්දෙන් විසි කර ඇත. එවැනි විස්යමජනක ක්‍රියාකාරකම් කිහිපයක් ම ඇය සිදු කර ඇත. සාමාන්‍යයෙන් කාන්තාවකට එකවර ම එවැනි ශක්තියක් ලැබුණේ කෙසේද යන්න ප්‍රෙහේළිකාවකි.

ඇනලීස් රෝගාතුර වීමෙන් පසු – www.jdubuzz.com

දින තුනකට පසුව ඇය පරීක්ෂා කළ ශාන්තිකර්ම (Exorcism) පිළිබඳ ව විශේෂඥ දැනුමක් ඇති පූජකවරයකු වූ රොඩ්වික් පියතුමා ඇයට යක්ෂාවේශයක් පවතින බවට තහවුරු කළේ ය.

ඉන්පසුව ඇනලීස් සහ ඇයගේ පවුලේ අය ශාන්තිකර්මයක් (Exorcism) සඳහා පූජකවරුන් සොයා ගියත් ඔවුන් සියලුදෙනා ම පාහේ ඇනලීස්ගේ පවුලේ අයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ මතය වූයේ ඇයට අවශ්‍ය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර බවත්, එලෙස ශාන්තිකර්මයක් සිදුකිරීමට නම් බිෂොප්වරයාගේ අවසරය ලබා ගත යුතු බවත් ය.

රෝගයෙන් පීඩා විඳි ඇනලීස්-www.reddit.com

අවසානයේ දී ඇනලීස් සහ ඇයගේ මවට අර්නස්ට් ඕල්ට් නම් පූජකවරයෙක් හමුවිය. පසුව ඇනලීස් සියුම්ව පරීක්ෂා කළ ඔහු ඇයට යක්ෂ ආරූඪයක් පවතින බවට තහවුරු කළේ ය. පසුව ඔහු ප්‍රාදේශීය අගරදගුරු බිෂොප් ජොසෙෆ් ස්ටැන්ගල් වෙත පෙත්සමක් ඉදිරිපත් කළ අතර අවසානයේදී ඇනලීස්ට ශාන්තිකර්මයක් සිදුකිරීම සදහා වතිකානුව අවසර ලබා දුන්නේ ය.

මෙම ශාන්තිකර්මය සිදු කිරීමට භාර දුන්නේ ආනෝල්ඩ් රෙන්සි නම් ප්‍රාදේශීය පූජකවරයකුට ය. ඔහුගේ සහාය සදහා අර්නස්ට් ඕල්ට් පූජකවරයා ද සම්බන්ධ වී ඇත.  මෙම ශාන්තිකර්මය රහසිගත ව සිදු කරන ලෙස ඔවුන්ට උපදෙස් ලබාදී තිබිණි.

රෙන්ස් පියතුමා – www.themysticmedium.com

පලමු ශාන්තිකර්මය සිදුකරන ලද්දේ  1975 සැප්තැම්බර් 24 වෙනිදා ය. ආනෝල්ඩ් රෙන්ස් පියතුමන් මෙම ශාන්තිකර්ම පටිගත කරගැනීමට සමත්ව ඇති අතර මෙම සිදුවීම සම්බන්ධ සමස්ත හඬපට ප්‍රමාණය 42 කි. මෙම හඬපට පවතින්නේ ජර්මන් භාෂාවෙනි.  

එහිදී ඇනලීස් තම සිරුරට අරක්ගෙන සිටින යක්ෂයකු පිළිබඳ තොරතුරු හෙළි කරයි. ඒ වැලන්ටීන් ෆ්ලයිෂ්මන් නම් තැනැත්තෙකි. ඔහු ජර්මනීයේ බැවේරියා හි 16 වන සියවසයේ ජීවත් වූ ෆ්‍රෑන්කිෂ් නම් කතෝලික පූජකවරයෙක් විය. පහරදීම් සහ මිනීමැරුම් චෝදනා ලැබූ පුද්ගලයකු වන මොහු බේබදු ජීවිතයක් ගත කළ තැනැත්තෙකි. මෙම විෂමාචාරී ක්‍රියා නිසා ඔහු පල්ලියෙන් නෙරපා හැරිණි.

වැලන්ටීන් ෆ්ලයිෂ්මන් පියතුමා – www.buzzfeed.com

ඇනලීස්ට දිගින් දිගට ම ශාන්තිකර්ම  සිදු කළ අතර එකවර ම ඇය ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළා ය. එයට හේතුව කුමක්ද යැයි විමසූ විට ඇය ප්‍රකාශකර තිබුණේ යක්ෂයා තමාට ආහාර ගැනීමට අවසර ලබා නොදෙන බව ය. 1976 ජූනි මාසයේදී සි දුකළ ශාන්ති කර්මයක දී ඇයගේ මුවින් වචන කිහිපයක් පිටවිය. එහි සිංහල අර්ථය වන්නේ “කරුණාකර නවත්වන්න” යන්න යි.

ඇනලීස්ගේ තත්වය බරපතළ වී ඇති අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයක් – m.imgur.com

ශාන්තිකර්ම 67 කට පසු  1976 ජූලි මස පළමු වෙනිදා ඇය නිදන කාමරයේ දී මරණයට පත් ව තිබිණි. මියයන විට ඇනලීස්ට වයස අවුරුදු 23 කි. ඇයගේ මරණයට හේතුවී තිබුණේ විජලන තත්වය හා ආහාර නොගැනීම නිසා ඇතිවූ මන්දපෝෂණ තත්වයයි.

ඇනලීස් මිෂෙල්ගේ මරණින් පසු මෙම යක්ෂාවේශය පිළිබඳ සාකච්ඡාව අවසන් වුව ද මෙම සිදුවීම සම්බන්ධව ගෝලීය ප්‍රජාවගේ අවධානය යොමු  විය. ඇනලීස් ආහාර ප්‍රතික්ෂේප කළ පසු පවුලේ අය ඇයගේ ආහාර ආහාර රුචිය වර්ධනය කිරීම සදහා කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා නොදී ශාන්තිකර්ම සිදුකිරීම පිළිබදව බොහෝ දෙනා ස්වකීය අදහස් අවදිකිරීම ආරම්භ කළහ. මෙම ශාන්තිකර්ම නිසා සිදුවූයේ ඇය අධික ලෙස වෙහෙසට පත්වීම පමණි යනුවෙන් මතයක් ද සමාජගත විය. මව්පියන්ගේ සහ පූජකයන් දෙපළගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය නිසා ඇනලීස් මරණයට පත් වූ බවට මතයක් ජර්මනීය පුරා පැතිර ගියේ ය.

ඇනලීස්ගේ අවමංගල්‍යය – www.tumblr.com

මෙම සිදුවීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ ජර්මානු බලධාරීන් නොසැලකිලිමත් බව නිසා සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් ලෙසට  චෝදනා එල්ලකරමින් නඩුවක් ගොනුකළහ. මෙම නඩුවේ චූදිතයන් වූයේ ඇනලීස්ගේ මව සහ පියා වන මිෂෙල් යුවළ සහ රෙන්ස් පියතුමා හා ඕල්ට් පියතුමා ය. ස්වකීය නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සදහා ශාන්තිකර්ම අවස්ථාවල පටිගත කළ දර්ශන සහ හඬපටි සාක්ෂි ලෙස චූදිතයන් ඉදිරිපත් කර ඇත. අවසානයේදී ඇනා මිෂෙල් හා ජොසෙෆ් මිෂෙල් සහ රෙන්ස් පියතුමා හා ඇල්ට් පියතුමා යන අය මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් ලෙස තීන්දු කෙරිණි.

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන්

පූජකවරුන් දෙදෙනාට මාස හයක සිර දඬුවමක් සහ දඩයක් ද නියම විය. පසුකාලීනව මෙම දඬුවම වසර තුනක පරිවාස කාලයකට වෙනස් කෙරිණි. ජර්මානු නීතියේ නිර්ණායකයන්ට අනුව මිෂෙල් යුවළ දඬුවමින් නිදහස් විය. මෙම නඩුවේ නඩු වාර්තාවල අනුව ඇල්ට් පූජකතුමා ඇනලීස් අපස්මාර රෝගියකු මෙන් තමාට නොපෙනුණු බව තරයේ ප්‍රකාශ කර තිබිණි.

 තමාට සිදුවූයේ කුමක්ද යන වග හරියාකාර ව දන්නේ මෙම සිදුවීමේ කතා නායිකාව වන ඇනලීස් මිෂෙල්  ය. සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද කියා දන්නේ ඇය පමණකි. අවසානයේදී ස්වකීය මව්පියන්ගේ ආගමික අන්ධානුකරණය සහ නොසැලකිලිමත්කම නිසා ඇනලීස් මිෂෙල්ට වයස අවුරුදු 23 දී අකල් මරණයකට ගොදුරුවීමට සිදු විය.

Related Articles