Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පසුගිය සතිය උණුසුම් කළ කතාබහට ලක් වූ සිදුවීම්

මුළු ලොව ම කම්පා කළ මහා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජනගේ අභාවය, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට නැවත පැමිණීම, රංගන ශිල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනීම සහ මහබැංකු අධිපතිවරයා ඉවත් කිරීමට කුමණ්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට පළ වන වාර්තා ඇතුළු පසුගිය සතියේ කතාබහට ලක් වූ සිදුවීම් කිහිපයක් පිළිබඳ ව සොයා බලමු.

දෙවන එලිසබෙත් රැජන – www.bbc.co.uk

දිවි ගමනට සමු දුන් එලිසබෙත් රැජන

මහා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජන ඊයේ පස්වරුවේ සිය දිවි ගමනට සමු දුන්නා ය. 96 හැවිරිදි වියේ පසු වූ ඇය ස්කොට්ලන්තයේ පිහිටි බැල්මොරල් මාලිගයේ දී අභාවප්‍රාප්ත වූ බව රැජනගේ අභාවය පිළිබඳ ව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ සහ ඊට යටත් ව පැවැති ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් ගණනාවක කිරුළ හිස දරා ගත් දෙවන එළිසබෙත් රැජන  බ්‍රිතාන්‍ය කිරුළ හෙබැවූ කාලය වසර 70 කි. ඇගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස් කුමරු අභිෂේක ලැබීමට නියමිත අතර, රැජනගේ දේහය ලන්ඩනයට අද රැගෙන එන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චාල්ස් කුමරු සහ ඔහුගේ ආර්යාව වන කොන්වෝල් හි ආදිපාද කැමිලා පාකර් ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන් බ්‍රිතාන්‍යයේ සිට ස්කොට්ලන්තයේ පිහිටි බැල්මොරල් මාලිගය වෙත ගුවන් මඟින් ඊයේ දහවල් පැමිණ තිබිණි.

22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ‍ය ලබා දුන් තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට සැප්තැම්බර් 6වැනි දින නිවේදනය කළේ ය. එම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් දෙවැනි සහ තෙවැනි වගන්ති ද ඇතුළු ඇතැම් කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එම කරුණු තවදුරටත් සංශෝධනය කළ යුතු බව හෝ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහිත ව හෝ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බව එම තීන්දුවේ සඳහන් විය. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කර තිබුණේ ජනමත විචාරණයකට යාමට සිදු නොවන ආකාරයෙන් අදාළ කරුණු සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව යි.

ගෝඨාභය රාජපක්ෂ නැවැත මෙරටට පැමිණි අවස්ථාව – www.adaderana.lk

ගෝඨාභය යළි මෙරටට

දැවැන්ත මහජන විරෝධතා මධ්‍යයේ පසුගිය ජූලි මස මෙරටින් පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැප්තැම්බර් 2 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී දිවයිනට යළි පැමිණියේ ය. සිංගප්පූරු ගුවන් සේවයට අයත් SU-468 ගුවන් යානයෙන් ඔහු සහ ඔහුගේ බිරිය – අයෝමා රාජපක්ෂ – මෙරටට පැමිණි අතර ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් ගණනාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොස් තිබිණි. ඔහුගේ ආරක්ෂාව සඳහා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන ආකාරයෙන් ම අදාළ ආරක්ෂක නිලධාරීන් අනුයුක්ත කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය වෙත පවසා තිබිණි.

දමිතා අබේරත්න බන්ධනාගාර ගත කෙරේ

මහජන අරගලයේ ඉදිරිපෙළ සාමාජිකාවක වූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සැප්තැම්බර් 7 වැනිදා පොලිස් අත්අඩංගුවට ගැනිණි. එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පසුගිය ජූලි මස පැවැති මහජන විරෝධතා අතරතුර කොළඹ ජනාධිපති ලේකම් කාර්යයාලයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.

සාමකාමී විරෝධතාවල නිරත වූ ඇය අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බව පවසමින්, ඇය නිදහස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී රජයෙන් ඊයේ (8) ඉල්ලීමක් කළේ ය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ පස්වරුවේ  ඉදිරිපත් කළ ඇය සැප්තැම්බර් 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දමිතා අබේරත්න අත්අඩංගුවට ගත් අවස්ථාව – www.facebook.com/ Malith Peiris

මහබැංකු අධිපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්?

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කුමන්ත්‍රණය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා චෝදනා කළේ ය. ඔහු පැවසුවේ එම කුමන්ත්‍රණයේ කොටසක් ලෙස මහබැංකු අධිපතිවරයා ඉලක්ක කර ගනිමින් ඇතැම් පිරිස් අසත්‍ය චෝදනා සිදු කරන බව යි. රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති වැඩමුළුවකින් අනතුරු ව මෙම කුමන්ත්‍රණය ආරම්භ වූ බව ද ඔහු සඳහන් කළේ ය.

උත්තර ලංකා සභාගය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී මේ වන විට ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන කණ්ඩායම නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් දේශපාලන සන්ධානය, ‘උත්තර ලංකා සභාගය’ එළිදැක්වීම සැප්තැම්බර් 4 වැනි දින සිදු විය. ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, යුතුකම ජාතික සංවිධානය හා විජය ධරණී ජාතික සභාව යන පක්ෂ හා දේශපාලන සංවිධාන හතෙන් සමන්විත මෙම සන්ධානයේ සභාපති ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ තේරී පත් විය.

උත්තර ලංකා සභාගය ජනගත කිරීම – www.facebook.com/ Wimal Weerawansha

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය විවෘත කිරීම බත්තරමුල්ලේ දී පසුගිය දා සිදු විය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජිවන් කුමාරතුංග ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී.ල.නි.ප. ව්‍යවස්ථා අර්බුදය

“පක්ෂ සභාපතිගේ අභිමතය පරිදි ව්‍යවස්ථාවේ දැක්වෙන තනතුරු දරන නිලධාරීන් ඉවත් කිරීමේ බලය සභාපතිට පවතී.” යනුවෙන් නව වගන්තියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමත් සමග පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ. එම ව්‍යවස්ථා සංශෝධනය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී සහ සමස්ත ලංකා කාරක සභාවේ දී පසුගිය දා සම්මත වුවත්, ඊට එම පක්ෂයේ සාමාජිකයන් වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර, සහ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක වැනි කිහිප දෙනෙක් සිය විරෝධය පළ කළහ. මෙම ගැටලුව හේතුවෙන් පක්ෂය තුළ මේ වන විට කණ්ඩායම් දෙකක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක්  – www.facebook.com/ Sri Lanka Freedom Party

දුරකථන සේවා ගාස්තු ඉහළට

සැප්තැම්බර් 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජංගම දුරකතන, ස්ථාවර දුරකතන, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, රූපවාහිනී ගාස්තු, හා අමතර සේවා (පෙරගෙවුම්/ පසුගෙවුම්) ගාස්තු 20% කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි ව තිබේ. ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කළ 2022 වසර සඳහා වන අතුරු අයවැය මඟින් වැට් බද්ද ද ඇතුළු බදු වර්ග ගණනාවක් ඉහළ දැමීම මීට හේතුව විය. ඉහත කී සියලු ම සම්බන්ධතා සඳහා එකතු කළ අගය මත බද්ද ද 15% දක්වා ඉහළට නංවා තිබේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට එක්සත් ජනපදයේ සහය

මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා සහාය ලබාදෙන බව අමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍ය නීතිරීතිවලට අනුව ආධාර ලබාදීමට සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකානු මූල්‍ය ආයතනවල සහය ලබාදීමට ද කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය  පහසුකමක් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමෙන් අනතුරු ව ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටී. 2022 අගොස්තු මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,716 ක් බව මහබැංකුව වාර්තා කරයි. මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,817 ට වඩා 5.6% ක පහළ යාමකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී – www.dailynews.lk

රාජ්‍ය සේවකයන්ට වැටුප් රහිත නිවාඩු

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ. ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි උපරිමය වසර 05කට යටත් ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබිණි. ඊට අමතර ව, අධ්‍යාපන කටයුතු සහ රැකියා සඳහා විදේශගත වන රාජ්‍ය සේවකයන්ට ද වසර 05ක වැටුප් රහිත නිවාඩු ලබාදීමට රජය තීරණය කර ඇත.

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට විරුද්ධව පෙත්සමක්

ග්ලයිෆොසෙට් වල්නාශකය තහනම් කරමින් පනවා තිබූ නියෝග ඉවත් කිරීමට රජය ගෙන තිබෙන තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා පරසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර තිබේ.

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත – www.adaderana.lk

විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට

2022 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ගණන් පසුගියදා ප්‍රකාශයට පත් විය. විභාග කොමසාරිස් ජෙනරාල් කේ.ඩී.ධර්මසේන පැවසුවේ මෙම වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් මස 4 වැනි දින පැවැත්වීමට සැලසුම් කර ඇති බව යි. උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වැනි දින ආරම්භ වීමට නියමිත අතර, සාමාන්‍ය පෙළ විභාගය 2023 ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත ය. සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග අගෝස්තු මාසයේ දී සහ සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන නමුත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා තැබීම නිසා එම විභාග කල් ගොස් තිබේ.

වාහනයක් නොමැති අයටත් ඉන්ධන QR කේතයක්?

පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ හඳුනාගත් විශේෂ කාණ්ඩ කිහිපයක් සඳහා මේ වන විට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ය. ළඹෙන සතියේ සිට සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩ සඳහා QR ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය. QR ක්‍රමවේදය වංචනික ආකාරයෙන් භාවිත කිරීම වැලැක්වීමේ අරමුණින් එළඹෙන සතියේ සිට ඉන්ධන ලබා ගැනීමේ දී නිකුත් කරන කෙටි පණිවිඩයට ඉන්ධන ලබා ගත් පිරවුම්හලේ අංකය ද ඇතුළත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ වන විට QR කේත පදනම් කරගත් ක්‍රමයක් යටතේ ඉන්ධන නිකුත් කරයි – www.dailymirror.lk

දිනෙන් දින ඉහළ යන පාන් පිටි මිල

මේ වන විට වෙළෙඳපොළේ පාන් පිටි මාෆියාවක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සහ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා චෝදනා කළේ ය. එම සංගම්වල නියෝජිතයන් සඳහන් කළේ ඉතා අසාධාරණ ලෙස ඉහළ යන පාන් පිටි මිල පාලනය කිරීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බව යි. දිගින් දිගට ම පාන් පිටි මිල ඉහළ යාම හමුවේ පාන් රාත්තලක මිල රුපියල් 300ක් දක්වා ඉහළ යනු ඇති බව බේකරි හිමියන් පසුගියදා සඳහන් කර තිබිණි. කෙසේවෙතත් පාරිභෝගික සුරක්ෂිතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගියදා සඳහන් කළේ මේ මොහොතේ පාන් පිටි මිල ඉහළ දැමීමට කිසිදු හේතුවක් නොමැති බව යි.

මී උණ පැතිරීම ඉහළට

පසුගිය අගෝස්තු මාසය තුළ දී මී උණ රෝගින් 384 දෙනෙක් වාර්තා වි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති මී උණ රෝගින් ගණන 3,539කි. වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, කෑගල්ල, ගාල්ල, කළුතර, මොනරාගල, සහ කොළඹ දිස්ත්‍රික්කවල ද මී උණ රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගනී. මේ තත්ත්වය තුළ ජනතාව, විශේෂයෙන් ම, වගා කටයුතුවල නියැළෙන පුද්ගලයන්, මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මී උණ පැතිරීම ඉහළ ගොස් ඇත – www.sundaytimes.lk

ගෑස් මිල පහළට

සැප්තැම්බර් 5 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩුකර තිබේ. එම මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 113කින් ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 45කින් ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 21කින් ද අඩු කර තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් එම මිල අඩු කිරිම් සම්බන්ධයෙන් දැනුම් දෙමින් පැවසුවේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් පහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම මිල සංශෝධනය සිදු කළ බව යි. කෙසේ වෙතත් මෙරට අනිත් ප්‍රධානතම ගෑස් සැපයුම්කරු වන ලාෆ්ස් සමාගම ගෑස් මිල පහත දැමීමට මෙතෙක් කටයුතු කර නැත. 

කවරයේ ඡායාරූපය- මහා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජන සැප්තැම්බර් 9 වැනි දා පස්වරුවේ සිය දිවි ගමනට සමුදුන්නා - www.facebook.com- The Royal Family

මූලාශ්‍ර:

www.dailymirror.lk

www.themorning.lk

www.newsfirst.lk

ජනාධිපති ලේකම් කාර්‍යයාලය නිකුත් කළ මාධ්‍ය නිවේදන

Related Articles