පොලිස් ප්‍රචණ්ඩත්වය ගැන ලොවෙන් ඇසෙන කතා

මේ දිනවල රට පුරා පැවැත්වෙන මහජන විරෝධතා අතරතුර පොලිසිය සිය බලය අනිසි ලෙස භාවිත කළ අවස්ථා ගණනාවක් පසුගිය දිනවල වාර්තා විය. විශේෂයෙන්ම විරෝධතාකරුවන් කලහකාරී ආකාරයෙන් කටයුතු නොකළ අවස්ථාවලදී පවා කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතා මැඬ පැවැත්වීමට පොලිසිය උත්සාහ කරන අයුරු දැකගත හැකි විය. මෙවැනි සිදුවීම් නිසා මතුවන පොලිස් ප්‍රචණ්ඩත්වය, නැත්නම් පොලිසිය සිදු කරන මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව මේ වන විට සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.

 ලොව පුරා තත්ත්වයන් පිළිබඳව සලකා බැලීමේ දී පොලිස් ප්‍රචණ්ඩත්වය යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් බොහෝ රටවල ජනතාව මුහුණ දෙන ගැටලුවක් බව පෙනී යයි. නොදියුණු, සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් නොව අතිශයින් දියුණු රටවල පවා පොලිස් ප්‍රචණ්ඩත්වය ඇතැම් අවස්ථාවල ඉස්මතු වනු දැකිය හැකි ය. ඒ නිසා ම පොලිස් ප්‍රචණ්ඩත්වය සහ ලොව පුරා රටවල් කිහිපයක ඊට අදාළ තත්ත්වයන් පිළිබඳ ඔබ දැනුම්වත් කරන්නට මේ ලිපිය උපකාරී වනු ඇත. 

විරෝධතාකරුවන් පිරිසකට පහර දෙන ශ්‍රී ලංකා පොලිස් නිලධාරීහු – www.sundaytimes.lk 

පොලිස් පහරදීම්වල දීර්ඝ ඉතිහාසය

පොලිස් පහරදීම්වලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එම පහරදීම් සීමාව ඉක්මවා යාමෙන් ප්‍රචණ්ඩත්වයට පෙරළීමට ඇති ඉඩකඩ බොහෝ ය. එවන් බරපතළ සිදුවීමක් වාර්තා වීමෙන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ගැඹුරින් කතා කෙරෙන නමුත් එවැනි සිදුවීම් නැවත නැවතත් වාර්තා වනු අපට දැක ගත හැකි ය.

සොරකමක්, පහරදීමක්, යම්කිසි දෙයක් අස්ථානගත වීමක් හෝ ඝාතනයක් වැනි ඕනෑම අවස්ථාවක දී අපට නිතැතින්ම සිහියට එන ආයතනයකි- පොලිසිය. ජනතාවට කරදරයක් හිරිහැරයක් සිදු වන අවස්ථාවක ඒ පිළිබඳව අපක්ෂපාතී ව සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටු කිරීම පොලිසියේ ප්‍රධානත ම වගකීම්වලින් එකකි.

 පොලිසිය යනු මානව හිමිකම් යනුවෙන් හඳුන්වන, පුරවැසියකුට ඇති අයිතිවාසිකම් සුරැකීම සඳහා පිහිටුවා ඇති ආයතන කිහිපය අතරින් එකකි. කෙසේ වෙතත්, මානව හිමිකම් සුරක්ෂිත කොට, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා පිහිටුවා ඇති පොලිසිය ම මානව හිමිකම් උල්ලංඝණය කරමින්, ජනතාව අනතුරේ හෙළන අවස්ථා ද ඕනෑ තරම් ඇත.

පොලිස් ප්‍රචණ්ඩත්වය යනු පොලිසිය සිදු කරන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ය – www.lankaviews.com 

 

පොලිස් ප්‍රචණ්ඩත්වය

පොලිස් ප්‍රචණ්ඩත්වය යනු පොලිසිය සිදු කරන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හැඳින්වීම සඳහා භාවිත වන යෙදුමකි. අත්අඩංගුවේ සිටින පුද්ගලයකුට හෝ බාහිර පුද්ගලයකුට පොලිස් නිලධාරියෙක් පහරදීම, පොලිස් ස්ථානයක් තුළ යම්කිසි පුද්ගලයකුට වාර්ගික වශයෙන් වෙනස්කොට සැලකීම, පොලිස් භාරයේ සිටි හෝ වෙනත් පුද්ගලයකුට පහර දී හෝ වෙඩි තබා ඝාතනය කිරීම හෝ වෙනත් ආකාරයෙන් වද හිංසා පැමිණවීම සහ කැරලි මර්නදය කරන නිලධාරීන් අසීමිත ලෙස බලය පාවිච්චි කිරීම වැනි අවස්ථා පොලිස් ප්‍රචණ්ඩත්වය යටතට ගැනෙන සිදුවීම් ය.

පොලිස් ප්‍රචණ්ඩත්වයෙන් මානව හිමිකම් උල්ලංඝණය 

පොලිස් ප්‍රචණ්ඩත්වයේ උච්චත ම අවස්ථාවේ දී පොලිසිය අනිසි ලෙස බලය පාවිච්චි කිරීම හරහා පුද්ගලයකුට සිය ජීවිතය පවා අහිමි විය හැක. එවැනි සිදුවීමක් හරහා මානව හිමිකම් අතර ප්‍රධානත ම හිමිකම වන ජීවත් වීමට ඇති අයිතිය අහිමි වෙයි. ඊට අමතර ව ශාරීරික හෝ මානසික වශයෙන් වධහිංසාවලට ලක්වීම හරහා ද මානව හිමිකම් උල්ලංඝනය වෙයි. පොලිසිය අනිසි ලෙස සිය බලය යොදාගනිමින් ප්‍රචණ්ඩකාරී ආකාරයෙන් ක්‍රියා කිරීම හරහා සමානාත්මතාව, නිදහස සහ ආරක්ෂාව, රැස්වීමේ නිදහස සහ විරෝධතා දැක්වීමට ඇති අයිතිය වැනි මූලික මිනිස් අයිතිවාසිකම් ද උල්ලංඝණය විය හැක.

පොලිස් නිලධාරීන්ගේ පහරදීමකට ලක් වූ අයෙක් බිම වැටී සිටින අයුරු – www.latimes.com

 පුද්ගල ඝාතනයට පොලීසියට අයිතියක් තිබේ ද?

පොලීසියට සිය බලය, විශේෂයෙන් ම මාරාන්තික බලය, භාවිත කළ හැක්කේ කෙසේ ද සහ කුමන අවස්ථාවලදී ද යන්න නිර්වචනය කරන, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති රෙගුලාසි තිබේ. බලය සහ ගිනි අවි භාවිතය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්මවල පොලිස් බලය භාවිත කළ යුත්තේ කෙසේ ද යන්න විස්තර කර ඇත.

එවැනි ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව, පොලිස් නිලධාරීන් මාරාන්තික බලය (සැකකරුවකු හෝ වෙනත් පුද්ගලයකු මරා දැමීම) භාවිත කළ යුත්තේ අවසාන විකල්පය ලෙස පමණි. මෙයින් අදහස් කරන්නේ තමන් හෝ වෙනත් අයකුට යම්කිසි පුද්ගලයකුගෙන් ජීවිත හානියක් හෝ බරපතල ශාරීරික තුවාල සිදුවීමේ අවදානමක් පවතින අවස්ථාවක, අදාළ හානිකර පුද්ගලයා මෙල්ල කිරීම සඳහා වෙනත් කිසිදු ක්‍රමයක් නැත්නම් පමණක් ඔහු මරා දැමීමට පොලිසියට බලය ඇත.

පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් – www.reuters.com

අවදානමක් නොමැති පුද්ගල ඝාතනයකට මාරාන්තික බලය භාවිතය

කෙසේ වෙතත් ලොව බොහෝ රටවල පොලිසිය මාරාන්තික බලය භාවිත කර ඇත්තේ ඉහත සඳහන් කළ ආකාරයේ අවස්ථාවල දී නොවන බව අධ්‍යයනවලින් හෙළි වී ඇත.

විශේෂයෙන්ම මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් අමෙරිකා එක්සත් ජනපදයේ සිදු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය, සහ මයිකල් බ්‍රවුන්, බ්‍රෙයෝනා ටේලර් සහ එරික් ගාර්නර් වැනි අයගේ ඝාතන සිදු කළේ ඉහත සඳහන් කළ ආකාරයේ අවදානමක් පදනම් කරගෙන නොවේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ අයුරු –  www.rodneyhurst.com

ඊට අමතරව 2019 නොවැම්බර් මස ඉරානයේ පැවති විරෝධතා අතරතුර ළමයින් 20කට වැඩි සංඛ්‍යාවක් සමග අදාළ විරෝධතාවලට කිසිදු සහයෝගයක් නොදැක්වූ, අතිශය සාමකාමී පුද්ගලයන් සිය ගණනක් ඝාතනය කිරීමට එරට පොලිසිය කටයුතු කර තිබිණි.

 මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සම්බන්ධයෙන් ඉතා දැඩි පිළිවෙතක් අනුගමනය කරන පිලිපීනයේ, මත්ද්‍රව්‍ය භාවිත කළ හෝ අලෙවි කළ බවට සැක කරන පුද්ගලයන් සමාව අයදිමින් බිම වැතිර සිටිය දී පවා පොලිසිය ඔවුන්ට වෙඩි තබා ඝාතනය කර තිබේ.

විරෝධතාවක් අතරතුර – www.theguardian.com

 ජාත්‍යන්තර නීතිරීති නොසලකා පොලිස් ප්‍රචණ්ඩත්වයට මඟ පෑදීම

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීතිරීති හා සමපාත වන සේ ඒ ඒ රටවල නීතිරීති සකස් වීම ඉතා වැදගත් කරුණකි. කෙසේ වෙතත් පොලිස් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන නීතිරීති සකස් කිරීමේ දී සමහර රටවල් ඊට අදාළ ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳ ව සැලකිල්ලක් දක්වා නැති බව පෙනෙන්නට තිබේ.

උදාහරණයක් ලෙස අන් අයට කිසිදු හානියක් නොමැති පුද්ගලයකු සඳහා වුවත් මාරාන්තික බලය භාවිත කිරීමට පොලිසියට හැකි වන ආකාරයේ නීතිරීති මෙක්සිකෝව තුළ ක්‍රියාත්මක වේ. ඒ අනුව අවම බලය භාවිත කිරීමෙන් තොරව, අවශ්‍ය නොවන අවස්ථාවක දී පවා මාරාන්තික බලය භාවිත කිරීමට එරට පොලිසියට හැකි ය.

 අමෙරිකා එක්සත් ජනපදයේ ජනපද 50 අතරින් නවයක ම පොලිස් මාරාන්තික බලය භාවිත කළ යුත්තේ කුමන අවස්ථාවල දී ද යන්න සම්බන්ධයෙන් කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවේ. ඒ නිසා එම ප්‍රාන්තවල පොලිසියට අවශ්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබේ. ඒ නිසාම එම ප්‍රාන්තවල කළු ජාතිකයන් ඝාතනය කිරීම සහ වදහිංසාවට ලක් කිරීම වැනි සිදුවීම් බහුල ය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව පැවැති විරෝධතා – www.reuters.com

වෙනස් කොට සැලකීම

ප්‍රංශය වැනි රටවල ජීවත් වන උතුරු අමෙරිකානු සහ කළු ජාතික පිරිමි පුද්ගලයන් නිරන්තරයෙන් පොලිස් හඳුනා ගැනීමේ පරීක්ෂණවලට ලක් වන බව වාර්තා වේ. 2015 එක්තරා අවස්ථාවක ප්‍රංශය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කළ අවස්ථාවක පොලිසිය මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස, පල්ලි සහ අනිකුත් ව්‍යාපාරික ස්ථාන වැනි දෑ ඉලක්ක කර ගනිමින් සෝදිසි මෙහෙයුම් සිදු කළ අතර ඒ මෙහෙයුම් අතරතුර දහස් ගණනක් මුස්ලිම් ජාතිකයන් කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගැනිණි.

 සිර අඩස්සියේ සිටින කළු ජාතිකයන් පොලිස් නිලධාරීන්ගේ පහරදීම්වලට ලක් වීම නිසා මිය ගිය සහ තුවාල ලැබූ අවස්ථා ගණනාවක් ද විවිධ රටවලින් වාර්තා වේ. එවැනි බොහෝ සිදුවීම්වල දී වින්දිතයන්ට හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සාධාරණයක් ඉටු නොවේ.

සමරිසි පුද්ගලයෝ

සමරිසි පුද්ගලයන් ද පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන කණ්ඩායමක් ලෙස හඳුනාගෙන ඇත. 2017 දී රුසියාවේ එක්තරා ප්‍රදේශයක සිදු කළ වැටලීමක් අතරතුර අත්අඩංගුවට ගත් සමරිසි පුද්ගලයන් ගණනාවක් බරපතල ලෙස වදහිංසාවට ලක් වූ බවත්, ඔවුන්ගෙන් කිහිප දෙනෙක් හඳුනා නොගත් රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයක දී මරා දැමූ බවත් පැවැසේ. ලිංගික ශ්‍රමිකයන් ද නිරන්තරයෙන් පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වේ.

පොලිස් ප්‍රචණ්ඩත්වය නිසා මිය යන සුදු ජාතිකයන් සංඛ්‍යාවට වඩා කළු ජාතිකයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගනී – www.washingtonpost.com

පොලිස් ප්‍රචණ්ඩත්වය ඉහළ යාමට හේතු

පොලිස් ප්‍රචණ්ඩත්වය ඉහළ මට්ටමක පවතින රටවල, ප්‍රමාණවත් නීති රෙගුලාසි නොමැති වීම, පවතින නීති රෙගුලාසි ක්‍රියාත්මක නොවීම, පොලිසිය ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු නොකිරීම සහ වාර්ගික හෝ වෙනත් ආකාරයේ වෙනස්කොට සැලකීම් බහුල වීම වැනි ගැටලු පවතින බව පෙනී යයි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමට ඇති නිදහස වැනි අනෙකුත් මානව හිමිකම් උල්ලංඝණය කරන ආණ්ඩු පවතින ඉරානය, ඉරාකය, සුඩානය, හොංකොං සහ නිකරගුවා වැනි රටවල පොලිස් ප්‍රචණ්ඩත්වය ඉහළ මට්ටමක පවතී.

කලු ජාතික තරුණයෙක් පරීක්ෂා කරන පොලිස් නිලධාරියෙක් – www.vjamesdesimonlaw.com

 පොලිසිය සිදු කරන ඝාතන සහ වෙනත් හිංසනවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහි ව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිපලයක් ලෙස ද පොලිස් ප්‍රචණ්ඩත්වය ඉහළ යයි. උදාහරණයක් වශයෙන්, බ්‍රසීලයේ පොලිස් නිලධාරීන්, කිසිදු අවදානමක් නොමැති – බොහෝ විට තරුණ කළු ජාතිකයන් – හිංසනයට ලක් කරන්නේ තමන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක නොවන බව හොඳින් දන්නා බැවිනි.

පොලිස් ප්‍රචණ්ඩත්වයෙන් මිය ගිය පුද්ගලයෝ

පොලිස් ප්‍රචණ්ඩත්වය නිසා මිය යන පුද්ගලයන් පිළිබඳ නිවැරදි තොරතුරු බොහෝ විට අනාවරණය නොවේ. ඊට ප්‍රධාන හේතුව එවැනි සිදුවීම් බහුල රටවල අදාළ ආයතන එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදි දත්ත එක්රැස් නොකිරීම යි. කෙසේ වෙතත් 2007 සිට 2012 දක්වා වූ කාලය තුළ ලොව පුරා පුද්ගලයන් 19,000කට ආසන්න ප්‍රමාණයක් සෑම වසරක දී ම පොලිස් ප්‍රචණ්ඩත්වය නිසා මිය ගිය බව රාජ්‍ය නොවන සංවිධාන එක්රැස් කළ දත්තවල සඳහන් වේ.

එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචණ්ඩත්වය නිසා මිය යන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගනී – www.washingtonpost.com

මෑතකාලීනව, එනම් 2019 දී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ අගනුවර පොලිසිය පුද්ගලයන් 1,810ක්, කෙන්යානු පොලිසිය පුද්ගලයන් 122ක් සහ ඉරාක පොලිසිය පුද්ගලයන් 600ක් මරා දමා ඇත. ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචණ්ඩත්වය නිසා පුද්ගලයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මිය යන බව වාර්තා වේ. තවත් බොහෝ රටවල ද පොලිස් ප්‍රචණ්ඩත්වය නිසා මිය යන සහ වෙනත් හිංසාවලට ලක් වන පුද්ගලයන් සංඛ්‍යාව අති විශාල ය.

කවරයේ ඡායාරූපය- පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධතාවක් - www.latimes.com

මූලාශ්‍ර:

www.amnesty.org

www.reuters.com

www.washingtonpost.com

Related Articles

Exit mobile version