Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බලශක්ති අර්බුදය හමුවේ විදුලිය සුරකින පිළිවෙළ

වර්තමානය වන විට අප රටේ ඉන්ධන අර්බුදය වඩාත් දරුණු තත්ත්වයකට පත් ව තිබෙනවා. රටේ තෙල් සංචිත අවසන් වීම හේතුවෙන් විදුලි උත්පාදන කටයුතු සඳහා අවශ්‍ය තරම් ඉන්ධන සපයාගැනීමටත් නොහැකි තත්ත්වයකට පත් ව තිබෙනවා. ඉන්ධන මිල ගණන් නැවත නැවතත් ඉහළ යාම හේතුවෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට සඳහා වැයවන මුදල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. එවැනි තත්ත්වයක් යටතේ ලංකා විදුලිබල මණ්ඩලය විශාල විදුලි බිල්පත් වැඩි කිරීමක් සඳහා මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබුණා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 82ක්.

835%ක් තරම් ඉහළ විදුලි බිල වැඩිවීමක්

එහි දී මුල් විදුලි ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 430ක්, ඒකක 30-60 සඳහා රුපියල් 1100ක්, ඒකක 60-90 සඳහා රුපියල් 1300ක් ලෙසින් මිල වැඩි කරන්නට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබුණා. එම වැඩි කිරීම්වලට අනුව ඒකක 60කට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට 835%ක් තරම් ඉහළ විදුලි බිල වැඩිවීමක් සිදුවීමට නියමිත ව තිබුණා.

මහජන උපයෝගිතා කොමිසම මඟින් එම වැඩිවීම් මුල් විදුලි ඒකක 30 සඳහා රුපියල් 150ක්, ඒකක 30-60 සඳහා රුපියල් 300ක්, ඒකක 60-90 සඳහා රුපියල් 450ක් ලෙසින් සංශෝධනය කරන්නැයි යෝජනා කර තිබුණා. 

විදුලි බිලක් – dinamina.lk

 

සමස්ත ගෘහස්ත අංශය සඳහා 138%ක තීරු බදු වැඩිවීමක් යෝජනා කර තිබුණත් එය 67% නොඉක්මවිය යුතු බවට මහජන උපයෝගීතා කොමිසම තීරණය කළා. ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවලියට අනුව  සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා 45% කින් ද, කාර්මික පාරිභෝගිකයන් සඳහා 61% කින් ද, හෝටල් සඳහා 43% කින් ද, රාජ්‍ය ආයතන සඳහා 43% කින් ද, ආගමික ස්ථාන සඳහා 189% කින් ද විදුලි ගාස්තු වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබුණා.

එම දැවැන්ත විදුලි බිල වැඩිවීම පිළිබඳ මහජන මතය විමසා සති 5කින් පසුව විදුලි බිල වැඩි කරන ප්‍රමාණය පිළිබඳ ව අවසන් තීරණය ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක (twitter.com)

මීට මාස කිහිපයකට පෙර අප රට තුළ ඇති වුණු විදුලි අර්බුදය තවමත් අවසන් වී නැහැ. ගෙවුණු මාස කිහිපය තුළ අඛණ්ඩ ව සිදුවුණු විදුලි කප්පාදුව තවමත් ක්‍රියාත්මක වන නිසා මහජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා. විදුලි අර්බුදය නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වුණේ අප රට මුහුණ දෙමින් සිටින ඩොලර් ගැටලුව යි.

රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන්  ඩීසල් සහ දැවිතෙල් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. එනිසා බලාගාරවල ක්‍රියාකාරිත්වය අඩපණ වී තිබෙනවා. එයින් මෙරට දෛනික විදුලි අවශ්‍යතාව සපුරාලීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. 

විදුලි කප්පාදුව නිසා දුක් විඳින ජනතාව – telegraph.co.uk

රට තුළ විදුලි විදුලි අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කිරීම කෙරෙහි අප කවුරුත් අවධානය යොමු කළ යුතු යි. බොහෝ දෙනෙක් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත නොකිරීම හේතුවෙන් දිනකට විශාල විදුලි ඒකක ප්‍රමාණයක් අපතේ යනවා. එ තත්ත්වය හමුවේ අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ආකාරය පිළිබඳ ව මෙම ලිපියෙන් අප කතා කරනවා.

මෙරට දෛනික විදුලි අවශ්‍යතාව 

මෙරට දෛනික විදුලි අවශ්‍යතාව මෙගාවොට් 3000කට ආසන්න අගයක් ගන්නවා. එයින් 51.6%ක් තාප විදුලි බලාගාරවලින්, 43.4%ක් ජල විදුලි බලාගාරවලින්, 5%ක් සූර්ය සහ සුළං ශක්තියෙන් ද සැපයෙනවා. වසරින් වසර විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩි වෙනවා. 2011-2020 කාලය තුළ මෙරට විදුලි පාරිභෝගික ගිණුම් සංඛ්‍යාව මිලියන 2කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම සෑම වසරක ම මෙගාවොට් 150කින් වැඩි වන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. 

නොරච්චෝලේ විදුලි බලාගාරය (newsfirst.lk)

 

දෛනික විදුලි අවශ්‍යතාව සපුරාලීමට බලාගාර ප්‍රමාණවත් ද?

ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ජල විදුලි බලාගාර යි. කොත්මලේ, වික්ටෝරියා, ඉහළ කොත්මලේ, රන්දෙණිගල, රන්ටැඹේ, නව ලක්ෂපාන, නෝටන්බ්‍රිජ්, කාසල්රී අප රට තුළ පිහිටා ඇති ජල විදුලි බලාගාරවලින් කිහිපයක්. ගල් අඟුරුවලින් ක්‍රියා කරන නොරච්චෝලේ බලාගාරය මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 900ක් එකතු කරනවා.

යුගදනව්, ලක්දනව්, කැලණිතිස්ස, සපුගස්කන්ද ඩීසල් වැනි බලාගාර ඉන්ධන සහ ගෑස් භාවිතයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතර ව මන්නාරම, නිර්මලපුර, අඹේවෙල, මාම්පූරි, කල්පිටිය යන ප්‍රදේශවල සූර්ය සහ සුළං බලාගාර පිහිටා තිබෙනවා.

 ඉහළ කොත්මලේ විදුලි බලාගාරය – dailynews.lk

 

අප රට තුළ පවතින දේශගුණයට අනුව ජල විදුලි බලාගාර පිහිටි ප්‍රදේශවලට මාස කිහිපයක් නිසි පරිදි වැසි ලැබෙන්නේ නැහැ. එනිසා වසර පුරා ම ජල විදුලි බලාගාරවලින්ජාතික විදුලි බල පද්ධතියට විදුලිය  ඒකාකාරී ව සපයන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා තවත් විදුලි බලාගාර කිහිපයක අවශ්‍යතාව මතු ව තිබෙනවා.

මෙගාවොට් 900ක ධාරිතාවකින් යුත් සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම සඳහා සියලු කටයුතු සූදානම් ව තිබුණත් එම ව්‍යාපෘතියට එරෙහිව එල්ල වුණු විරෝධතා නිසා එය නවතා දැමුණා. මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් කෙරවලපිටියේ ද්‍රව වායු බලාගාරය ද ඉදි වුණේ නැහැ. එනිසා ඉදිරියේ දී වර්ෂාව අඩුවෙන් ලැබෙන කාලයට මෙරට විදුලි අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් තරම් විදුලිය නිපදවීමට හැකි ද යන කාරණය පිළිබඳ ව ගැටලුවක් පවතිනවා. 

සාම්පූර් බලාගාරයට එල්ල වුණු විරෝධතා – roar.media

 

එවැනි තත්ත්වයක් යටතේ විදුලි නාස්තිය අවම කිරීම කෙරෙහි කාගේත් අවධානය යොමු වීම වැදගත්. දැනට අප රටේ දෛනිකව විශාල විදුලි ඒකක ප්‍රමාණයක් අපතේ යනවා. බොහෝ උදවියගේ නොදැනුම්වත්කම සහ නොසැලකිලිමත්කම ඒ අයුරින් විදුලිය අපතේ යාමට ප්‍රධාන හේතු ලෙස දක්වන්නට පුළුවන්. අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ආකාරය සාකච්ඡා කිරීමට පෙර විදුලිය අපතේ යන ක්‍රම පිළිබඳ ව අප අවධානය යොමු කළ යුතුයි.

 විදුලිය අපතේ යන ක්‍රම 

විදුලිය අපතේ යාම සඳහා ප්‍රධානත ම හේතුවක් වන්නේ නොසැලකිලිමත්කම යි. එදිනෙදා නිවසේ වැඩ කරන අතරතුර අප නිකරුණේ විදුලි බල්බ දැල්වා තැබීම, නිකරුණේ විදුලි පංකා, රූපවාහිනී, ගුවන් විදුලි යන්ත්‍ර, වැනි උපකරණ ක්‍රියාත්මක කර තැබීම මඟින් දිනකට විශාල විදුලි ඒකක ප්‍රමාණයක් නිකරුණේ වැය වෙනවා.

නොසැලකිලිමත්කම හේතුවෙන් නිවාසවලටත් වඩා විදුලිය අපතේ යාමක් සිදුවන්නේ පොදු ස්ථානවල යි. එහි දී රජයේ සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, දුම්රිය ස්ථාන, බස්නැවතුම්පොළවල්, විනෝද උද්‍යාන, මහා මාර්ග වැනි ස්ථානවල නිකරුණේ විදුලි බල්බ ආදිය දල්වා තිබෙන ආකාරය දැකගන්නට පුළුවන්. එපමණක් නොව සමහර ස්ථානවල නිකරුණේ විදුලි උපකරණ ද ක්‍රියාත්මක කර තබනවා. එවැනි පද්ධතිවල තිබෙන දුර්වල කළමනාකරණය නිසා දිනකට සැලකිය යුතු තරම් විදුලි ඒකක ප්‍රමාණයක් නාස්ති වෙනවා. 

කොළඹ වීදිවල දැල්වෙන විදුලි පහන් – theguardian.com

 

අප රටේ බොහෝ ප්‍රදේශවලට වීදි ලාම්පු මඟින් රාත්‍රියේ ආලෝකය සපයනවා. එවැනි වීදි ලාම්පු පසුදින උදෑසන නිවා දැමිය යුතු වුණත් ඇතැම් ප්‍රදේශවල උදෑසන 8  වන විටත් වීදි ලාම්පු දැල්වෙමින් තිබෙන අයුරු දැකගන්නට පුළුවන්. එමඟින් විශාල විදුලි ඒකක ප්‍රමාණයක් නාස්ති වෙනවා. ජල පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය සඳහා විශාල වශයෙන් විදුලිය වැයවෙනවා. එනිසා පොදු ස්ථානවල තිබෙන ජල කරාම නිකරුණේ විවෘත කර තැබීම දවිදුලිය  වක්‍රාකාරයෙන් නාස්ති කිරීමක්. 

නොදැනුම්වත්කම නිසා විදුලිය අපතේ යාම 

නොසැලකිලිමත්කම වාගේම නොදැනුම්වත්කම නිසා ද විදුලි නාස්තියක් සිදුවෙනවා. එහි දී සිදුවන්නේ විදුලි උපකරණ නිවැරදි ලෙස භාවිත කිරීම පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා සිදුවන විදුලි නාස්තියක්. ඒ වාගේම එක් එක් විදුලි උපකරණය සඳහා වැයවන විදුලි ප්‍රමාණය පිළිබඳ ව හරි අවබෝධයක් නැතිකම ද එසේ විදුලිය නාස්තිවීමට හේතුවක්. අකාර්යක්ෂම විදුලි උපකරණ අඛණ්ඩ ව භාවිත කිරීම මඟින් ද යම් කිසි විදුලි නාස්තියක් සිදුවෙනවා. 

නොසැලකිලිමත්කම නිසා සිදුවන විදුලි හානිය අවම කරගත හැකි ක්‍රම

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට නම් අප මුලින් ම කළ යුත්තේ නොසැලකිලිමත්කම නිසා සිදුවන විදුලි නාස්තිය අවම කර ගැනීම යි. එහි දී තමන් ජීවත් වන නිවස තුළ නිකරුණේ දැල්වෙන විදුලි බුබුළු නිවා දැමීම අපට සිදු කළ හැකියි. අනවශ්‍ය අයුරින් ක්‍රියාත්මක වන විදුලි පංකා, රූපවාහිනි සහ ගුවන් විදුලි යන්ත්‍ර ආදිය ක්‍රියා විරහිත කළ යුතු යි.

එපමණක් නොව නිවසේ විදුලි උපකරණ භාවිත නොකරන අවස්ථාවල ඒවා පේනුවලින් ගලවා ඉවත් කළ යුතු යි. ඉන් නොනැවතී පොදු ස්ථානවල නිකරුණේ දැල්වෙන විදුලි බුබුළු දුටු විට ඒවා නිවාදැමීම අප සතු යුතුකමක්. පොදු ස්ථානවල අනවශ්‍ය පරිදි විවෘත කර තිබෙන ජල කරාම වසා දැමීමෙන් ද විදුලිය වක්‍රාකාරව නාස්ති වීම වැලැක්විය හැකියි.

විදුලි උපකරණයක් පේනුවෙන් නිවැරදිව ගලවන ආකාරය – alamy.com

විදුලි බුබුළු භාවිතයේ දී සැලකිලිමත් විය යුතු කරුණු 

සාමාන්‍ය සූත්‍රිකා විදුලි බුබුළු වෙනුවට වැඩි බලශක්ති කාර්යක්ෂමතායෙන් යුක්ත CFL සහ LED විදුලි බුබුළු භාවිත කිරීම එක්ළතරා සාර්ථන විසඳුමක්. එවැනි විදුලි බල්බවල දීප්තිය ද සාමාන්‍ය විදුලි බල්බයක දීප්තියට වඩා බොහෝ සෙයින් වැඩි යි. එපමණක් නොව එවැනි බල්බවල අපේක්ෂිත ආයු කාලය ද සාමාන්‍ය බල්බයකට වඩා වැඩි යි.

විදුලි බුබුළු සහ ඒවා සවිකර තිබෙන හෝල්ඩර් දුහුවිලි බැඳීම හේතුවෙන් අපිරිසුදු වෙනවා. එනිසා ඒවා පිරිසුදු කළ යුත්තේ අපිරිසුදු විදුලි බුබුළුවලින් ලැබෙන දීප්තියට වඩා වැඩි දීප්තියක් පිරිසුදු විදුලි බුබුළු මඟින් ලැබෙන නිසා යි. 

CFL විදුලි බුබුළු- jungle.lk

 

අපතේ යන විදුලි ඒකක 

නිවසක භාවිත කරන විදුලි උපකරණ අතුරින් වැඩි ම විදුලි ඒකක ප්‍රමාණයක් වැය වන උපකරණ අතරට ශීතකරණය ද අයත්. සාමාන්‍යයෙන් ශීතකරණයක් පැය 18ක් පමණ විදුලිය ලබා ගන්නවා. ඒ වෙනුවෙන් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ශීතකරණයේ ප්‍රමාණය වැඩිවෙත් ම එයට භාවිත කෙරෙන විදුලි ඒකක ගණන තවත් වැඩි වෙනවා. 

ශීතකරණයක් භාවිත කරද්දී එහි දොර විවර කරන සහ එය නැවත වසා දමන වාර ගණන අඩු කළ යුතු යි.  නිකරුණේ එය සිදු කිරීම මඟින් සැලකිය යුතු තරම් විදුලි ඒකක ප්‍රමාණයක් අපතේ යනවා. එක් වරක දී වැඩි වේලාවක් ශීතකරණයේ දොර විවෘත කරගෙන සිටීමෙන් ද විදුලිය අපතේ යාමක් සිදු වෙනවා.

අකාර්යක්ෂම අයුරින් ක්‍රියාත්මක වන ශීතකරණ මඟින් ද විශාල විදුලි නාස්තියක් සිදු වෙනවා. එවැනි ශීතකරණ තිබෙන නිවෙස්වල මාසික විදුලි බිල ද අසාමාන්‍ය අයුරින් ඉහළ යනවා. 

ශීතකරණයේ දොර නිකරුණේ විවෘත කර තැබීම – pinterest.com

 

වර්තමානය වන විට පරිසරයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩි වී තිබෙනවා. එයට විසඳුමක් ලෙස බොහෝ උදවිය විදුලි පංකා භාවිත කරනවා. අප සාමාන්‍යයෙන් භාවිත කරන විදුලි පංකා වර්ග 3ක් තිබෙනවා. මේස විදුලි පංකා, බිම සිටුවා තබන විදුලි පංකා සහ සිවිලිමේ සවි කරන විදුලි පංකා එම වර්ග තුන යි.

ඒ අතුරින් වැඩි විදුලියක් වැයවන්නේ සිවිලිමේ සවි කරන විදුලි පංකාවලට යි. ඉතිරි විදුලි පංකා වර්ග දෙකෙන් බොහෝ දුරට විදුලිය පිරිමැසීමක් සිදුවෙනවා. එනිසා  නිවස සඳහා විදුලි පංකා තෝරාගැනීමේ දී ඒ පිළිබඳ ව කල්පනා කළ යුතු යි.

සිවිලිම් විදුලි පංකාවක් – mrright.in

 

විදුලි ඉස්ත්‍රික්කය ද අප අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු උපකරණයක්. ඒ සඳහා අනිකුත් උපකරණවලට වඩා වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් වැයවීම එයට හේතුව යි. එනිසා සතියකට අවශ්‍ය ඇඳුම් පැළැඳුම් එක් දිනක දී මැද තබා ගැනීමෙන් ඔබට විදුලිය ඉතිරි කරගන්නට පුළුවන්.

සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා කාල සීමාව උපරිම විදුලි ඉල්ලුමක් පවතින කාල සීමාව යි. එනිසා එම කාල සීමාව තුළ විදුලි ඉස්ත්‍රික්කය භාවිත කිරීම, විදුලි මෝටරය ක්‍රියාත්මක කිරීම වැනි කාර්යයන් කිරීමෙන් වැලකිය යුතුයි. එවිට ද ඔබට සැලකිය යුතු තරම් විදුලි ඒකක ප්‍රමාණයක් ඉතිරි කර දීමට පුළුවන්. 

 

වර්තමාන විදුලි අර්බුදය හමුවේ විදුලිය සුරැකීමේ ඇති වැදගත්කම 

මේ මොහොතේ රටට අවශ්‍ය තරම් විදුලිය නිපදවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. එනිසා නිපදවන විදුලි ඒකක ප්‍රමාණය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුයි. එසේ නොවුණහොත් රටේ අත්‍යවශ්‍ය කටයුතු කරගෙන යාමට අවශ්‍ය විදුලිය පවා හිඟවෙන්නට පුළුවන්. 

එනිසා මෙම අවස්ථාවේ අප කළ යුත්තේ අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරමින් ජාතික විදුලි සැපයුම් පද්ධතියට සැලකිය යුතු තරම් විදුලි ඒකක ප්‍රමාණයක් ඉතිරි කර දීම යි. එය මේ මොහොතේ අප අතින් ඉටුවිය යුතු යුතුකමක්. 

කවරයේ ඡායාරූපය- parentcircle.com 

 මූලාශ්‍ර-

ceb.lk

dinamina.lk

tharunie.lk

energy.gov.lk

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සහභාගි වුණු මාධ්‍ය සාකච්ඡා

 

 

  *URL- how-to-save-electricity

Related Articles