Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොල්මන් අවතාර නිසා ප්‍රසිද්ධියට පත්වුණු හෝටල් 2ක්

බොහෝ වෙහෙස මහන්සි වී රාජකාරි කටයුතුවල නිරත වන උදවිය විවේකයක් ලද විගස ම තම මනස සැහැල්ලු කරගැනීම සඳහා විනෝද චාරිකාවල නිරත වීමට කැමැත්තක් දක්වනවා. එවැනි පුද්ගලයන් බොහෝ විට නිස්කලංක ප්‍රදේශයකට ගොස් දින කිහිපයක් විවේකයෙන් ගත කරමින් වෙහෙස නිවා ගන්නවා. එහි දී ඔවුන් නවාතැන් ගැනීම සඳහා එම ප්‍රදේශයේ තිබෙන සුපිරි පැලැන්තියේ හෝටලයක් තෝරා ගැනීම සාමාන්‍ය දෙයක්. 

ඒ අයුරින් විවේකය ගත කිරීමට බලාපොරොත්තුවෙන් ගිය සංචාරකයකුට මධ්‍යම රාත්‍රියේ දී සිය කාමරය තුළින් ගමන් කරන අද්භූත සුදු පැහැති ඡායාවක් දක්නට ලැබුණොත් ඔහුට කුමන හැඟීමක් ඇතිවේවි ද?  මධ්‍යම රාත්‍රිය පුරාවට තම කාමරයෙන් ඇසෙන විලාප හඬවල් නිසා ඔහු කෙතරම් බියට පත්වේවිද?

එවැනි සිදුවීම් චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා තුළින් අප ඕනෑ තරම් දැක තිබෙනවා. නමුත් ඇත්තට ම එවැනි අත්දැකීම්වලට මුහුණදුන් පුද්ගලයන් ද සිටින බව ඇසුවොත් සමහර විට ඔබ පුදුමයට පත්වේවි! 

හෝටලයක දී දක්නට ලැබුණු අවතාරයක් (istock.com))

 

එසේ හොල්මන් අවතාර පිළිබඳ සිදුවීම් වාර්තා වුණු හෝටල් රැසක් ලෝකයේ විවිධ රටවල්වලින් හමු වෙනවා. ඒ අතුරින් වඩාත් ජනප්‍රිය හෝටල් දෙකකින් අසන්නට ලැබුණු එම අද්භූත සිදුවීම් ගැන තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා. 

1). ස්ටැන්ලි හෝටලය- අමෙරිකාව 

ප්‍රීලන් ඔස්කාර් ස්ටැන්ලි 19 වන සියවසේ අග භාගය වන විට අමෙරිකාව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටි දක්ෂ නව නිපැයුම්කරුවෙක්. ඔහු දිගු කලක සිට ක්ෂය රෝගයෙන් පීඩා විඳි නිසා සිය අසනීප තත්ත්වයෙන් මිදීම සඳහා කොලරාරෝ ප්‍රාන්තයට අයත් එස්ටෙස් පාක් ප්‍රදේශයේ පදිංචියට පැමිණියා. 1903 දී ස්ටැන්ලි එහි පැමිණෙන විට ඔහුගේ සිරුරේ බර විශාල ලෙස අඩු වී තිබුණා. ඒ වාගේම ශරීරය දුර්වල වී තිබුණා.

ඔහුට තවත් වැඩි කාලයක් ජීවත් විය නොහැකි බවට වෛද්‍යවරුන් අනාවැකි පළ කර තිබුණා. නමුත් එස්ටෙස් පාක් හි මාස කිහිපයක් ජීවත් වෙද්දී ස්ටැන්ලිගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරුණා.  එහි ප්‍රතිඵලයක් ලෙසින් ස්ටැන්ලි එම ප්‍රදේශයට දැඩි සේ ඇලුම් කරන්නට පටන් ගත්තා. එනිසා ඔහු එස්ටෙස් පාක් හි ස්ටැන්ලි නමින් හෝටලයක් ඉදි කළා. 1909 දී එහි වැඩ අවසන් වුණා. එකල කොලරාඩෝ ප්‍රාන්තයේ තිබුණු සුඛෝපභෝගි හෝටලයක් වුණු එය වැඩි කල් යන්නට පෙර සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධියට පත්වුණා. 

ඔස්කාර් ස්ටැන්ලි – alchetron.com

 

හදිසි අනතුරක් නිසා මියගිය සේවිකාව 

1909-1911 කාලය තුළ ස්ටැන්ලි හෝටලයේ වැඩ කටයුතු සාමාන්‍ය අයුරින් සිදුවුණා. එහි තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තේ 1911 දී සිදුවුණු එක්තරා සිදුවීමක් නිසා යි. එම වසරේ එක්තරා දිනයක මෙම ප්‍රදේශය හරහා දරුණු කුණාටුවක් හමා ගියා. එම කුණාටුව අතරතුර හෝටලයේ ප්‍රධාන ගෘහ සේවිකාවක් වුණු එලිසබෙත් විල්සන් 217 කාමරයේ විදුලි පහන් දැල්වීම සඳහා ගියා. ඒ මොහොතේ ඇති වුණු පිපිරුමක් නිසා ඇය බරපතල තුවාල ලැබුවා. ඉන් දින කිහිපයක් ප්‍රතිකාර ලැබූ ඇය අවාසනාවන්ත අයුරින් මරණයට පත්වුණා.

එම මරණය සිදු වී  ටික දිනක් ගතවෙද්දී 217 කාමරයෙන් විවිධ ශබ්ද ඇසෙන්නට පටන් ගත්තා. විදුලි පහන් ඉබේ ම සක්‍රිය සහ අක්‍රිය වීම නිතර සිදු වුණා. කාමරයෙන් විලාප හඬක් ඇසෙන්නට පටන් ගත්තා. මැදියම් රාත්‍රියේ කාමරය තුළ යම් කිසි කෙනකු ඇවිදින හඬ හොඳින් ම ඇසුණා. මියගිය එලිසබෙත් විල්සන්ගේ අවතාරය එම කාමරය ඇතුළත  සහ ඒ අවට ප්‍රදේශයේ සැරිසරන බවට විශ්වාසයක් පවතිනවා. 

2) 217 කාමරය- amyscrypt.com

ස්ටැන්ලිගේ අවතාරය සැරිසරයි 

217 කාමරය ආශ්‍රිත ව එවැනි දේ සිදුවුණත් සුපුරුදු පරිදි සංචාරකයන් හෝටලය වෙත පැමිණි නිසා ස්ටැන්ලි හෝටලයේ ජනප්‍රියත්වය එලෙස ම පැවතුණා. ඒ අයුරින් වසර 29ක කාලයක් ගෙවී යද්දී ඔස්කාර් ස්ටැන්ලි මිය ගියා. ඒ වන විට ඔහු 91 වැනි වියේ පසුවුණා. ස්ටැන්ලි මිය ගොස් දින  කිහිපයක් ගෙවී යද්දී හෝටලයේ විවිධ ස්ථානවල ඔහු සක්මන් කරන ආකාරය එහි සේවය කළ උදවියට දැකගන්නට ලැබුණා. එහි දී ඔහුගේ ඡායාව වැඩිපුර ම දැකගන්න ලැබුණේ බිලියඩ් සහ මත්පැන් කාමරවල දී යි.

ස්ටැන්ලිගේ බිරිය වුණු ෆ්ලෝරා ද මෙම හෝටලය ආශ්‍රිත ව  පසු යුගයක හොල්මන් කරන්නට පටන් ගත්තා. ඇය එහි තිබෙන පියානෝව වාදනය කරන ආකාරය ඇතැම් සේවිකාවන් දැක තිබුණා. ඔටිසම් රෝගය සෑදී මියගිය දරුවකුගේ අවතාරයක් ද මෙම හෝටලය තුළ තිබෙන බවට මතයක් පවතිනවා.

එම දරුවා සිව්වන මහලේ දුවමින් සෙල්ලම් කරන ආකාරය සමහර අමුත්තන් පවා දැක තිබුණා. ඒ වාගේම ඔහු සිනාසෙන හඬ පවා සමහර අයට ඇසී තිබුණා. 

ස්ටැන්ලි හෝටලයේ ඇතුළත පෙනුම – independent.co.uk

ලේඛකයා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම 

ස්ටැන්ලි හෝටලයේ සැරිසැරූ අවතාර ඇසින් දුටු උදවිය අතරට සුප්‍රකට අමෙරිකානු ලේඛකයකු වන ස්ටීවන් කිං ද අයත්. ඔහුසිය බිරිය සමඟ මෙම හෝටලයට  1974 දී පැමිණ 217 වන කාමරයේ ලැගුම් ගෙන තිබුණා.

ඒ වන විට ස්ටැන්ලි හෝටලයට පැමිණි සංචාරකයන්ගේ ප්‍රමාණය පහත වැටී තිබුණා. එනිසා ස්ටීවන් සිය බිරිය සමඟින් නිදහසේ කාලය ගත කළා. දහවල් කාලයේ දී ඔවුන් දෙපලට අමුතු අත්දැකීමකට මුහුණදීමට සිදුවුණේ නැහැ. 

ස්ටීවන් කිං තරුණ කාලයේ දී – medium.com

 

රාත්‍රී කාලයේ දී ස්ටීවන්ට කාමරය තුළින් විවිධ ශබ්ද ඇසෙන්නට පටන් ගත්තා. එයින් බියට පත්වුණු ස්ටීවන් දුම්වැටියක් පානය කිරීම සඳහා කාමරයෙන් ඉවතට පැමිණියා. ඒ මොහොතේ ඔහු  කොරිඩෝව දිගේ ගමන් කරන සුදු පැහැති ඡායාවක් දුටුවා. එම අවස්ථාවේ ස්ටීවන් දැඩි ලෙස බියට පත් ව සිටියත් පසුව එම තත්ත්වය සමනය වුණා.

එදා ස්ටැන්ලි හෝටලය තුළ  විඳි අත්දැකීම් අළලා පොතක් ලිවීමට ස්ටීවන් තීරණය කළා. පසු කලෙක The Shining නමින් කරළියට පැමිණියේ එම ග්‍රන්ථය යි. එය එදා පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය වුණා. ඒ වාගේම 1980 දී එම කෘතිය ආශ්‍රයෙන් චිත්‍රපටයක් ද නිර්මාණය වුණා.

The Shining චිත්‍රපටයේ දර්ශනයක් – travelandleisure.com

වර්තමාන තත්ත්වය

පසුගිය දශක කිහිපයේ දී මෙම හෝටලය නවීකරණය කළා. එනිසා අද  වන විට මෙම හෝටලයට නවීන පෙනුමක් ලැබී තිබෙනවා. හොල්මන් සහ අවතාර පිළිබඳ ජනප්‍රවාද විශ්වාස කරන උදවිය මෙම හෝටලයට පැමිණෙනවා.

එසේ පැමිණි සමහර උදවිය හොල්මන් සහ අවතාර දැක තිබුණා. එනිසා මෙම හෝටලයේ නවාතැන් ගැනීම සඳහා සංචාරකයන් තව තවත් උනන්දු වෙනවා.  හොල්මන් අවතාර නිසා මෙම හෝටලය අද වන විට වඩාත් ජනප්‍රියත්වයට පත් ව තිබෙනවා.

ස්ටැන්ලි හෝටලයේ අදටත් දක්නට ලැබෙන අද්භූත පෙනුම – locationshub.com

 

2). ලැංහැම් හෝටලය – එංගලන්තය

ජෝන් ජයිල්ස් නම් නිර්මාණකරුවා 1863-1865 කාලයේ ලැංහැම් හෝටලය නිර්මාණය කළා. එහි මුල් අයිතිය පැවතුණේ ලූකස් සොහොයුරන්ට යි. පවුම් ලක්ෂ 3ක මුදලක් වැය කොට ඉදි කළ ලැංහැම් හෝටලය එකල ලන්ඩන් නගරයේ තිබුණු නවීනත ම හෝටල් අතුරින් එකක් වුණා. 7 වන එඩ්වඩ් හෙවත් වේල්ස් කුමරු 1865 ජූනි 10 වැනිදා මෙම හෝටලය විවෘත කළා.

එකල ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් නිතර පැමිණි මෙය එංගලන්තයේ ජනප්‍රියත ම හෝටලයක් බවට පත් ව තිබුණා. එම ජනප්‍රියත්වය නිසා මාක් ට්වේන්, ඔස්කා වයිල්ඩ්, ආතර් කොනන් ඩොයිල් වැනි ලේඛකයන් ලියූ ග්‍රන්ථවල ලැංහැම් හෝටලය ගැන සඳහන් වුණා.

ලැංහැම් හෝටලය මුල් යුගයේ දී – pinterest.com

පළමු ලෝක යුද සමයේ සිදුවුණු මරණය 

ලැංහැම් හෝටලය තුළ හොල්මන් අවතාර සිටින බවට මතයක් මුලින් ම පැතිර ගියේ පළමු ලෝක යුද සමයේ දී යි. එම යුද්ධය ආරම්භ වීමට ආසන්න කාලයේ දී ජර්මානු කුමාරයෙක් මෙම හෝටලයේ ජනේලයකින් පැන සිය දිවි නසා ගෙන තිබුණා. ඔහුගේ අවතාරය එදා සිට මෙහි සැරිසරන බව පැවසෙනවා. ඔහු සිව්වන මහලේ ජනේලයක් අසල හමුදා ඇඳුමකින් සැරසී සිටින ආකාරය ඇතැම් උදවිය දැක තිබුණා. ඒ වාගේම අතීතයේ මෙම හෝටලයට නිතරම පැමිණි 3 වන නැපෝලියන් නම් හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාගේ අවතාරය ද පහළ මාලයේ සැරිසරන බවට මතයක් පවතිනවා.

අද්භූත 333 වන කාමරය 

මෙම හෝටලයේ 333 වන කාමරයේ වික්ටෝරියානු සන්ධ්‍යා ඇඳුමක් ඇඳ සිටින අවතාරයක් සිටින බව වාර්තා වී තිබෙනවා. එක්තරා වෛද්‍යවරයෙක් එම කාමරය තුළ දී සිය බිරිය මරා දමා පසු ව ඔහු ද සිය දිවි හානි කර ගෙන තිබෙනවා. එම වෛද්‍යවරයාගේ අවතාරය 333 වන කාමරයේ තවමත් සිටින බව පැවසෙනවා. එම අවතාරය ඔක්තෝබර් මාසයේ දී වැඩි වශයෙන් දර්ශනය වීම විශේෂත්වයක් ලෙසින් දක්වන්නට පුළුවන්. 

ලැංහැම් හෝටලයේ කාමරයක් – langhamhotels.com

 

1973 ඔක්තෝබර් මාසයේ බීබීසී ගුවන් විදුලි නිවේදකයකු වුණු ජේම්ස් ඇලෙක්සැන්ඩර් ඕඩන් මෙම හෝටලයේ 333 කාමරයේ නවාතැන් ගත්තා. එදින මධ්‍යම රාත්‍රියේ ඔහු එක් වරම සිහිනෙන් අවදි වුණා. එවිට ඔහු දුටුවේ වික්ටෝරියානු සන්ධ්‍යා ඇඳුමකින් සැරසුණු මිනිසකුගේ ඡායාවක් කාමරයේ එහා මෙහා ගමන් කරන ආකාරය යි. 

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලැබූ අත්දැකීම් 

2014 ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය අතරතුර එංගලන්ත ක්‍රීඩකයන් ලැංහැම් හෝටලයේ නවාතැන් ගෙන සිටියා. එදා ස්ටුවර්ට් බ්‍රෝඩ් නවාතැන් ගෙන සිටි කාමරය තුළ යම් කිසි අද්භූත දෙයක් සිදුවුණා. එම අත්දැකීම පිළිබඳ ව ඔහු මෙසේ විස්තර කළා :

ස්ටුවර්ට් බ්‍රෝඩ් (espncricinfo.com)

 

“කාමරේ ඇතුළෙ හොඳට ම රස්නෙ නිසා මට හරියට නින්ද ගියේ නැහැ. මධ්‍යම රාත්‍රිය පහුවෙලා පැය කිහිපයක් යද්දි එක් වර ම නාන කාමරයේ කරාමය විවෘත වුණා. ඊට පස්සෙ මx කාමරයේ විදුලි බල්බය දල්වලා නාන කාමරය වෙත ගොස් කරාමය නිවා දැමුවා. ඒ වෙලාවෙ මා විදුලි බල්බය නිවා දමා නිදාගන්නට සැරසෙද්දි ආපසු කරාමය විවෘත වන හඬ ඇසුණා.

ඇත්තට ම මට ඒක ටිකක් විතර අමුතු අත්දැකීමක් වුණා. පසුව මං කාමරය මාරු කර දෙන මෙන් කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කළා. මට විතරක් නොවෙයි අපේ කණ්ඩායමේ සිටින තවත් ක්‍රීඩකයකු වන බෙන් ස්ටෝක්ස් ද එවැනි අත්දැකීමකට මුහුණ දී තිබුණා.

ලැංහැම් හෝටලය ඇතුළත දර්ශනයක්  – brintons.com

ගෙවුණු දශක කිහිපය තුළ ලැංහැම් හෝටලයෙන් එවැනි අද්භූත සිදුවීම් රැසක් වාර්තා වුණා. ලන්ඩන් නගරයේ හොල්මන් අවතාර සඳහා වඩාත් ප්‍රසිද්ධ හෝටලය බවට පත්ව ඇත්තේ මෙය යි. 

කවරයේ ඡායාරූපය- හෝටලයක සැරිසරන අවතාරයක් ගැන සැකසූ සේයාරුවක් - scoopwhoop.com

මූලාශ්‍ර:

londonist.com

townandcountrymag.com

usatoday.com

momondo.com

thehindu.com 

 

Related Articles