Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ඉතිහාසයේ කැපී පෙනෙන විරෝධතා 11ක්

අතීතයේ පටන් දේශපාලනය ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ ගැටලුවලට සිය විරෝධය දැක්වීමට ලොව රටවල ජනතාව හුරු වී සිටියි. එවැනි සෑම විරෝධතාවක් පසුපස’ම ඒ හරහා සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වන අරමුණු එකක් හෝ කිහිපයක් තිබේ. එවැනි සමහර විරෝධතා නිසා විරෝධතාකරුවන්ගේ, ඒවා පැවැති රටේ පමණක් නොව මුළු ලෝකයේ ම ඉතිහාසය පවා වෙනස් වී ඇතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

මෙම ලිපිය විවිධ රටවල පැවැති එවැනි කැපී පෙනෙන විරෝධතා කිහිපයක් පිළිබඳව යි.

1. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි විරෝධතා

එක්සත් ජනපදයේ මිනෙයාපොලිස්හි පොලිස් නිලධරයකු වූ ඩෙරෙක් චෞවින්, අප්‍රිකානු-අමෙරිකානු සම්භවයක් සහිත ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමේ සිදුවීමට විරෝධය පළ කරමින් ආරම්භ වූ මෙම විරෝධතා මෑතකාලීන ව ලොව පුරා ඇති වූ විරෝධතා අතරින් විශාල අවධානයක් දිනා ගත් එකක් විය. 2020 මැයි 25 දින ඉහත කී පොලිස් නිලධරයා සිය පාදයක දණහිසෙන් විනාඩි අටක පමණ කාලයක් ෆ්ලොයිඩ්ගේ ගෙල සිර කර ගෙන සිටීම නිසා ඔහු ජීවිතක්ෂයට පත් විය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට විරෝධය පළකරමින් පැවැති විරෝධතාවක් – Stephen Maturen- Getty Images

ඊට විරෝධය දක්වමින් එක්සත් ජනපදයේ සියලු ප්‍රාන්තවල 2020 මැයි 26 දින සිට ආරම්භ වූ විරෝධතා මාස ගණනාවක් තිස්සේ පැවති අතර ඒවාට ලක්ෂ ගණනක් විරෝධතාකරුවෝ සහභාගී වූහ. විරෝධතාකරුවන් අවධාරණය කළේ වර්ණභේදවාදය සහ පොලිස් කෲරත්වයට වහා ම තිත තැබිය යුතු බව යි. 2020 ජූනි 3 දින වන විට මෙම විරෝධතා අතරතුර ඇති වූ ගැටුම්වලින් සහ පොලිස් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 12ක් ජීවිතක්ෂයට පත් වී තිබිණි. ඊට අමතරව දේපළ හානි ද රැසක් සිදු විය.  මෙම විරෝධතාවලට සුදු කළු භේදයකින් තොර ව අමෙරිකානුවන් ලක්ෂ ගණනක් සහභාගී වීමත් සමඟ වර්ණභේදවාදය පිටුදැකීම සම්බන්ධයෙන් ලොව පුරා විශාල කතාබහක් ඇති විය.

2. ජගත් මිහිතල දින පා ගමන

2017 අප්‍රේල් 22 දින, එනම් ජගත් මිහිතල දින එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර වෙත රැස් වූ 100,000කට ආසන්න පිරිසක් විරෝධතා පා ගමනක යෙදුණහ. ඔවුන් බලධාරීන්ට බල කළේ දේශගුණික විපර්යාස සහ මහජන සෞඛ්‍යය වැනි කරුණු සම්බන්ධයෙන් වන තීරණ ගැනීමේ දී විද්‍යාත්මක කරුණු සැලකිල්ලට ගන්නා ලෙස යි.

මිහිතල දින පාගමන – The Washington Post- Getty Images

මෙම පා ගමන සංවිධානය කිරීමට බලපෑ ප්‍රධාන හේතුව 2017 දී ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීම යි. ට්‍රම්ප් එක්තරා අවස්ථාවක දේශගුණික විපර්යාස ප්‍රෝඩාවක් ලෙස හැඳින් වූ අතර ගෝලීය දේශගුණය අවම කිරීම පිළිබඳ පැරිස් ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් කරගන්නා බව ද පැවැසුවේ ය.

 පරිසර ආරක්ෂණ ඒජන්සිය (EPA) ක්‍රියාත්මක කරන රෙගුලාසි අහෝසි කරන බවට සහ විද්‍යා හා පර්යේෂණ ආයතන සඳහා වෙන් කරන ෆෙඩරල් අරමුදල් කපා හරින බවට ඔහු කළ ප්‍රකාශ ද ඊට හේතු විය. වොෂින්ටන් හි පැවැති පා ගමනට අමතර ව ලොව පුරා නගර 600කට අධික සංඛ්‍යාවක එදින පා ගමන් සංවිධානය කර තිබිණි. එම පා ගමන් සඳහා මිලියනයකට වැඩි පිරිසක් සහභාගී වූහ.

3. වොෂින්ටන්හි කාන්තාවන්ගේ පා ගමන

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ දිනට පසු දින, එනම් 2017 ජනවාරි 21 දින වොෂින්ටන් නගරයේ පැවැති කාන්තාවන්ගේ මෙම පා ගමනට හාර ලක්ෂ හැත්තෑ දහසක (470,000ක) පමණ පිරිසක් සහභාගී වූහ. කාන්තාවන්ගේ අයිතීන් තහවුරු කරන ලෙස ඉල්ලා පැවැති ඊට ප්‍රධාන වශයෙන් හේතුව වූයේ ට්‍රම්ප්, කාන්තාවන්ට අපහාස වන ආකාරයෙන් වරින් වර සිදු කළ ප්‍රකාශ යි.

ඊට අමතර ව කාන්තාවන් 25කට වැඩි පිරිසක් ඔහුට එරෙහි ව ලිංගික හිංසන චෝදනා එල්ල කර තිබිණි. මෙම විරෝධතාවට ලොව පුරා රටවල ජනතාවගේ සහාය ලැබිණි. එක්සත් ජනපදයට අමතර ව තවත් රටවල් කිහිපයක ද පා ගමන් සංවිධානය කර තිබිණි. එදින වොෂින්ටන්හි පැවැති පා ගමනට මිලියන පහකට ආසන්න පිරිසක් සහභාගී වූයේ එය එක්සත් ජනපද ඉතිහාසයේ වැඩි ම පිරිසක් සහභාගී වූ එක්දින පා ගමන බවට පත් කරමිනි.

කාන්තාවන්ගේ පාගමන/ Mario Tama- Getty Images

4. තැඹිලි විප්ලවය

2004 නොවැම්බර් මස පැවැති, යුක්‍රේන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ දී සිදු වූ අක්‍රමිකතාවලට විරෝධය දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කියෙව්හි ප්‍රධාන චතුරශ්‍රය අසලට රැස් වූහ. 2005 ජනවාරි දක්වා පැවැති මෙම විරෝධතාවයේ ප්‍රතිපලයක් ලෙස ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිපල නැවැත ගණන් කිරීමට එරට බලධාරීන්ට සිදු විය.

ඡන්ද නැවත ගණන් කිරීමෙන් පසු, මුල්වරට ඡන්ද ගණන් කළ අවස්ථාවේ පරාජය වූ අපේක්ෂකයා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය. ඔහුගේ පක්ෂයේ පාට තැඹිලි පාට නිසා මෙම විරෝධතාව තැඹිලි විප්ලවය ලෙස හඳුන්ව යි.

තැඹිලි විප්ලවය/ www.russiancouncil.ru

5. ටියනාන්මෙන් චතුරශ්‍රයේ විරෝධතා

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලෙස චීන රජයට බල කරමින් මිලියනයකට ආසන්න පිරිසක් චීනයේ බෙයිජිංහි ටියනාන්මෙන් චතුරශ්‍රය අසල 1989 අප්‍රේල් 15 දින සාමකාමී උපවාසයක් ආරම්භ කළ හ. ඔවුන්ගෙන් බොහොමයක් සිසුන් වූ අතර, සති හතකට ආසන්න කාලයක් තිස්සේ මෙම විරෝධතාව පැවැත්විණි.

කෙසේ වෙතත් 1989 ජූනි 4 දින, චීන රජය යුද නීතිය පනවා මෙම විරෝධතාව මර්දනය කිරීමට හමුදාව යෙදවීමත් සමඟ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් විරෝධතාකරුවන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබුහ. මෙම ජන සංහාරයත් සමඟ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් චීනයට එල්ල වූයේ දැඩි විරෝධයකි.

ටියනාන්මෙන් චතුරශ්‍රය – www.shutterstock.com

6. වොෂින්ටන් හි පෙළපාලිය

එක්සත් ජනපදය තුළ වාර්ගික සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා 1963 අගෝස්තු මාසයේ පැවැති මෙම රැලිය ලොව පුරා අවධානය දිනා ගත් එකකි. ඊට ප්‍රධාන හේතුව මාටින් ලූතර් කිංගේ ඓතිහාසික “මට සිහිනයක් තිබේ” දේශනය පැවැත්වූයේ මෙම රැලිය අතරතුර වීම යි. වොෂින්ටන් අගනුවර ඒබ්‍රහම් ලින්කන් ස්මාරකය අසල පැවැති ඊට දෙ ලක්ෂ පනස් දහසකට (250,000) වැඩි පිරිසක් සහභාගී වූහ.

මෙම රැලිය හරහා එක්සත් ජනපදය පුරා ඇති වූ පිබිදීම හේතුවෙන් එවකට ක්සත් ජනපද ජනාධිපති ව සිටි ජෝන් එෆ්. කෙනඩි ස්ථිර සිවිල් අයිතිවාසිකම් පිළිබඳ නව නීති සම්පාදනය කළ බව කියැවේ.

වොෂින්ටන් හි පෙළපාලිය –  US Library of Congress –  www.loc.gov

7. දකුණු අප්‍රිකාවේ ජාතික දින විරෝධතාව

නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වයෙන් ආරම්භ වූ මෙම දකුණු අප්‍රිකාවේ ජාතික දින විරෝධතාව තරමක වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක විය. ඕනෑම දේශපාලන සංවිධානයක්, පක්ෂයක් සහ ඒවායේ සාමාජිකයන් පිළිබඳ ව විමර්ශනය කළ හැකි වන ආකාරයෙන් එරට රජය ගෙන ආ පනතකට විරෝධය දක්වමින් මෙම විරෝධතාව ආරම්හ විය. 

1950 ජූනි 26 දින ලක්ෂ ගණනක පිරිසක් සිය සේවා ස්ථානවලට නොගොස් නිවෙස්වල රැඳී සිටිය හ. එතැන් පටන් දශක කිහිපයක් පුරාවට දකුණු අප්‍රිකාවේ භාවිත වූ ප්‍රබල විරෝධතා දැක්වීමේ ක්‍රමවේදයක් බවට එය පත් විය. 1994 දක්වා දකුණු අප්‍රිකාවේ නිදහස් දිනය ලෙස සැලකුවේ ද ජූනි 26 දින යි.

නෙල්සන් මැන්ඩෙලා/ www.wikipedia.org

8. ලුණු පා ගමන

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ලුණු ඒකාධිකාරයට සහ උග්‍ර බදු ප්‍රතිපත්තිවලට විරෝධය දක්වමින් සංවිධානය කළ, ‘දණ්ඩි මාර්තු’ සහ ‘දණ්ඩි සත්‍යග්‍රහය’ ලෙසින් ද හඳුන්වන ‘ලුණු පා ගමනට’ මහත්මා ගාන්ධිතුමන් නායකත්වය ලබා දුන්නේ ය. 1930 මාර්තු 12 දින ආරම්භ වූ මෙය 1930 අප්‍රේල් 6 දක්වා දින 24ක කාලයක් පැවතිණි.

සිය අනුගාමිකයන් 78 දෙනකු සමඟ ආරම්භ කළ මෙම පා ගමන හරහා තමන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන පිරිස වැඩි කරගැනීමට හැකි වේ යැයි ගාන්ධි විශ්වාස කළේ ය. ‘Sabarmati’  නම් ආශ්‍රමයේ සිට ‘Dandi’ දක්වා සංවිධානය කර තිබූ මෙම පා ගමනට සහභාගී වූවෝ කිලෝමීටර් 385ක් පා ගමනින් ගෙවා දැමූහ.

අතරමගදී තවත් විශාල පිරිසක් ඊට එක් වූහ. මෙම පාගමනින් පසුව ඉන්දියාව තුළ බ්‍රිතාන්‍යයන් පනවා තිබූ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විශාල විරෝධයක් ඇති වූ අතර මෙය ඉන්දියානු නිදහස් අරගලයට ද පාදක වූ සිදුවීමක් ලෙස සැලැකේ.

මහත්මා ගාන්ධි පෙරටු කරගත් ලුණු පා ගමන – www.wikipedia.org

9. බැස්ටීලය බිඳ හෙළීම

බැස්ටීලය යනු පැරීසියේ පිහිටා තිබූ, 1383 දී ඉදි කළ බලකොටුවකි. නිල වශයෙන් ‘බැස්ටීල් සෙන්ට් ඇන්ටුවාන්’ නමින් හැඳින්වූ මෙය රාජාඥාව යටතේ දේශපාලන හා අපරාධකරුවන් සිර ගත කළ සිර කඳවුරකි. එය ප්‍රංශයේ සිදු වූ අභ්‍යන්තර අරගලවල දී කැපී පෙනුණු ස්ථානයක් ද විය.

ක්‍රිස්තු වර්ෂ 1789 ජූලි 14 දින ප්‍රංශ රජ පවුලට එරෙහි ව නැඟී සිටි පිරිසක් බැස්ටීලයට කඩා වැදීමත් සමඟ ආරම්භ වූ සිදුවීම් දාමය ඓතිහාසික ප්‍රංශ විප්ලවයේ මූලාරම්භය යි. එදින මෙම බළකොටුවට කඩාවැදුණු පිරිස එහි බලය අත්පත් කරගෙන බළකොටුව විනාශ කර දැමූහ. එතැන් පටන් ආරම්භ වූ අරගලය වසර දහයක් පුරා පැවතිණි.

බැස්ටීලයට පහරදීම දැක්වෙන සිතුවමක්/ www.pinterest.com

10. බොස්ටන් හි තේ සාදය

තේ සාදය යැයි නම් කර ඇතත් මෙම සිදුවීම ලෝක ඉතිහාසයේ සිදු වූ සුවිශේෂී විරෝධතාවලින් එකකි. එක්සත් ජනපදයේ ජනතාව 1770 දශකය වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අනුගමනය කළ බදු ප්‍රතිපත්තිය නිසා පීඩාවට පත්ව සිටිය හ. එය දෙගුණ තෙගුණ කරමින් 1773 මැයි 10 දින හඳුන්වා දුන් ‘තේ පනත’ හරහා බ්‍රිතාන්‍යට අයත් පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමට, චීනයේ නිෂ්පාදිත තේ කිසිදු බදු ගෙවීමකින් තොරව එක්සත් ජනපදය තුළ අලෙවි කිරීමට අනුමැතිය ලැබී තිබිණි.

ඊට අමතර ව ටවුන්ෂෙන්ඩ් පනත මඟින් පනවා තිබූ අධික බදු හේතුවෙන් පීඩාවට පත් ව සිටි ජනතාව 1773 දෙසැම්බර් 16 දින මැසචුසෙට්ස් හි බොස්ටන් වෙත රැස් වූහ. එදින පැය තුනක් වැනි කාලයක් තුළ ඔවුන් බ්‍රිතාන්‍ය නෞකා තුනකින් බොස්ටන් වෙත ළඟා වූ තේ මෙට්‍රික් ටොන් 45ක් පමණ මුහුදට විසි කිරීමත් සමඟ ආරම්භ වූ මෙම විරෝධය අමෙරිකානු විප්ලවය ඇති වීමට බලපෑ ප්‍රධාන සාධකයක් විය.

විරෝධතාකරුවන් මුහුදට තේ විසි කරන අයුරු – www.wikimedia.commons.org

11. රෙපරමාදු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ඉතාමත් නිහඬ විරෝධයක් ලෙස ආරම්භ වූ රෙපරමාදු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මූලිකත්වය ගත්තේ ජර්මානු ජාතික පූජකයෙක්, දේවධර්මාචාර්යවරයෙක්, කතුවරයෙක් සහ ගීත රචකයෙක් වූ මාටින් ලූතර් ය. ආගමික කරුණු ඇතුළත් පත්‍රිකාවක් ජර්මනියේ දේවස්ථානයක දොරේ ඇලවීමත් සමඟ ආරම්භ වූ මෙම ව්‍යාපාරයට වසර කිහිපයක් ඇතුළත විශාල පිරිසක් එක් වූහ. 

මාටින් ලූතර් පරිවර්තනය කළ පොතක් – www.livescience.com

කවරයේ ඡායාරූපය- ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට විරෝධය දක්වමින් එක්සත් ජනපදයේ පැවැති විරෝධයක් - www.nypost.com

මූලාශ්‍ර:

www.livescience.com

Heather Whipps/ Brandon Specktor

www.nypost.com

Related Articles