Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අහම්බ මත්වීමක් නිසා යුද්ධයෙන් බේරුණු සොල්දාදුවා: අයිමෝ

දෙවන ලෝක යුද්ධය නිසා ලොව පුරා දහස් ගණනක් යුද සෙබළුන්ගේ හා සාමාන්‍ය ජනයාගේ දිවි අහිමි වුණා. සංග්‍රාමයට අනුයුක්ත ව සිටියත් සමහරක් සොල්දාදුවන් එකදු සීරීම් තුවාලයක් හෝ නොමැතිව සිය දිවි ආරක්ෂා කර ගැනීමට සමත් වුණා. තවත් සමහරෙක් මරු පෙනි පෙනී, ජීවිතය ලද්දේ විවිධාකාරයේ වාසනාවන්ත සිදුවීම්වලට පින්සිදු වන්නට යි. මේ අතරින් ෆින්ලන්ත සොල්දාදුවකු වන අයිමෝ කොයිවුනන් ගේ කතාව සුවිශේෂී එකක්. 

දෙවන ලෝක යුද්ධයේ උණුසුම හොඳින් ම දැණුනු රටක් ලෙස ෆින්ලන්තය හැඳින්විය හැකි යි. ඔවුන් රුසියානු ආක්‍රමණයකට සාර්ථක ව මුහුණ දුන් අතර, ජර්මනිය සමඟ රුසියාවට එරෙහි ව යුද වැදුණා පමණක් නොව, රුසියාව ආක්‍රමණය කිරීමට ද ඔවුන් සමඟ පෙළ ගැසුණා. මේ නිසා එහිදී ෆින්ලන්ත සොල්දාදුවන් රාශියකට දිවි අහිමි වූ අතර, යුද්ධයේ උච්චත ම සමයේදී යුද බිමට යාම මරණය හිස දරා ගෙන ගමන් කිරීමක් වැනි දෙයක් වුණා. 

මරණය පෙනි පෙනී දිවි ගලවා ගත් ෆින්ලන්ත සෙබළු

සෝවියට් රුසියාව, ෆින්ලන්තය ආක්‍රමණය කිරීමේ දී, මරණය පෙනි පෙනී දිවි ගලවා ගත් ෆින්ලන්ත සෙබළුන් අතර අසාමාන්‍ය ම කථාව ඇත්තේ අයිමෝ කොයිවුනන්ට බව බොහෝ දෙනා පිළිගන්නවා. සාමාන්‍යයෙන් පුද්ගලයකුට ලබා දෙන මෙතම්ෆෙටමීන් මාත්‍රාව මෙන් තිස් ගුණයක මාත්‍රාවක් හෙවත්, මාරක මාත්‍රාවක් ශරීරගතවීම නිසා සැතපුම් සිය ගණනක් අසිහියෙන් මෙන් හිම ඔස්සේ ගමන් කිරීමෙන් රුසියානුවන්ගෙන් ඔහු අනූනවයෙන් ගැලවුණා. එම මාත්‍රාව ශරීරගත වීම නිසා ඔහු මරණයෙන් ගැලවුණේ ද අනූ නවයෙනුයි. අවට වූ ශීතල කාලගුණය ද ආශ්චර්යයකට මෙන් ඔහුට මරණය ළඟා නොකළේ, ‘මරන්නට බැරි මිනිසා ගලේ ගැසුවත් මැරිය නොහැකිය’ යන කියමන සිහි කැඳවමිනුයි.

 අයිමෝ කොයිවුනන්- gruposaedal.com

 

අයිමෝ කොයිවුනන්ගේ තීරණාත්මක ක්‍රියාන්විතය

 ෆින්ලන්තයේ ලැප්ලන්ඩ් පෙදෙසට ඉතා තද හිම පතනයක් 1944 වසරේ මාර්තු මස 18 වන දින සිදුවෙමින් තිබුණා. ඒ වන විට ෆින්ලන්ත සොල්දාදුවන් වසර 4 ක් තිස්සේ සිය දේශය බේරා ගැනීමට රුසියානු හමුදා සමඟ යුද වදිමින් සිටියා. මේ කාලය වන විට රුසියානු හමුදා ලැප්ලන්ඩ් හි වූ දේශීය හමුදාවලට ප්‍රබල අභියෝග එල්ල කරමින් සිටි අතර, මාර්තු 18 වනදා කොයිවුනන් අනුයුක්තව සිටි ‘ෆින්ලන්ඩ් ස්කී පැට්‍රෝල්’ හෙවත් ෆින්ලන්ත හිම ක්‍රීඩා ඇඳුමෙන් සුසැදි බළකායේ අනුඛණ්ඩය වට කරමින් ඔවුන් මර්දනය කිරීමේ අවසන් අදියරට සූදානම් වෙන්නට වුණා.

රුසියානු හමුදාව, තමන් වටකොට ඇති බැව් වටහා ගෙන සිටි අනුඛණ්ඩය ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි බලාපොරොත්තුව සිටියා. එය තහවුරු කරමින් එක් වර ම ඔවුන් වෙත වෙඩි වරුසාවක් එල්ලවන්නට වූ අතර, එහි වූ සොල්දාදුවන් ආරක්ෂිත ස්ථාන කරා පසුබසින්නට වුණා. තමන් පරාජය වන බැව් වටහා ගත් බොහෝ දෙනා, සිය හිම ක්‍රීඩා කට්ටල උපයෝගී කොටගෙන රුසියානු හමුදා කෙරෙන් හැකි තරම් ඈතට පලා යන්නට පටන් ගත්තා. මේ අතර අයිමෝ කොයිවුනන් ද වුණා. ඔහු සිය සගයන් ඉදිරියෙන් ගමන් කළ අතර, කිසිවෙක් ගමන් නොකළ, දුෂ්කර, හිම පිරුණු මාර්ගයක, සිය සගයින් වෙනුවෙන් මාර්ගය සකසමින් ගමන් කිරීමට ඔහුට සිදුවුණා. මෙය ඉතා වෙහෙසකර කටයුත්තක් වූ අතර, ඔහු ඉක්මනින් ම වෙහෙසට පත් වුණා. සිය සාක්කුවෙහි වූ මෙතම්ෆෙටමීන් පෙති ඔහුට සිහි වූයේ එවිට යි.

තිස් දෙනෙක් වෙනුවෙන් වූ පෙති ශරීරගතව

ෆින්ලන්ත හමුදාවන්ට ඉහළ බලධාරීන් ‘පර්විටීන්’ නම් ශක්තිජනක පෙති වර්ගයක් එකල ලබා දුන්නා.  මේවා මගින් හදිසි ශක්තිය අවශ්‍ය වූ විටෙක එය ලබාගත හැකි වුණා. මෙහි අඩංගු මෙතම්ෆෙටමීන් ප්‍රබල මත්ද්‍රව්‍යයක් වූ නිසා කොයිවුනන් ඒවා භාවිත කිරීමට මුල දී මැලි වුණා. කෙසේ නමුත් ඔහුත්, ඔහුගේ අනුඛණ්ඩයේ පිරිසත් සිටියේ ජීවිතයත් මරණයත් අතර අවස්ථාවක යි. එම නිසා අවසානයේ ඒවා භාවිත කිරීමට ඔවුන් තීරණය කළා.

 ෆින්ලන්ත හමුදා දෙවන ලෝක යුද්ධ සමයේ- Keystone-France/Gamma-Keystone via Getty Images 

 

අහම්බයකින් සම්පූර්ණ අනුඛණ්ඩයට ම අයත් පර්විටීන් පෙති තිබුණේ කොයිවුණන් සතු ව යි. ඔහු ඒවා ඉවතට ගෙන, පළමු පෙත්ත තමන් මුවේ රුවාගෙන, ඉන් පසු එම පැස සිය සගයන් වෙත යැවීමට ඉටා ගත්තා. මොවුන් මේවා භාවිත කරන්නට උත්සාහ කළේ  හිම මතින් වේගයෙන් ලිස්සා යමින් සිටියදී යි. එම නිසා එක් පෙත්තක් පමණක් පැසෙන් ඉවතට ගැනීමට කොයිවුණන්ට අපහසු වුණා. පැස සිය මුවට ළං කරගත් ඔහු ඉන් එක් පෙත්තක් පමණක් මුවේ දමා ගැනීමට උත්සාහ කළ අතර, ඔවුන්ගේ වේගයත්, වේගයෙන් කඩා හැලෙන හිම පියලි සහ සුළඟත් නිසා අහම්බයකින් එම පෙති 30 ක් පමණ කොයිවුණන්ගේ මුවට වැටී ඔහුගේ ශරීරගත වුණා. මෙය ඔහුගේ සගයන්ට එක්වර ම නිරීක්ෂණය වූයේ නැහැ.

කොයිවුනන් එක්වර ම අධි වේගයෙන් හිම මත ලිසා යන්නට වුණා. කිසිවකුට ඔහු හා සමපාත විය නොහැකි වුණා. මේ නිසා ඔවුන් සියලු දෙනා පාහේ වෙහෙසට පත්ව කොයිවුනන් පසුපස යාම නතර කළා. සිය ඇස් පෙනීම බොඳ වන බැව් හා සිහිය විකල් වන බැව් කොයිවුනන්ට හැඟුණත් හැකි උපරිම වැර යොදා ඔහු හිම මත ලිස්සා ගියා. මෙලෙස කෙතරම් දුර, කෙතරම් වේලාවක් ගතවූයේදැයි ඔහුට කිසිදු අදහසක් තිබුණේ නැහැ. පසු දිනයේ ඔහුට නැවතත් කෙමෙන් කෙමෙන් පියවි සිහිය ලැබුණු අතර, ඔහුට ගම්‍ය වූයේ තමන් කිලෝමීටර සියයකටත් වඩා හිම මත අඛණ්ඩ ව ලිස්සා ගොස් ඇති බව යි. එමෙන් ම සිය සගයන් එක් අයකුවත් ආසන්නයක නැති බව යි.

දිවි බේරා ගැනීමට ගිය දුර

අයිමෝ කොයිවුනන්ට යම් තරමකට හෝ පියවි සිහිය ලැබෙන විට ඔහු හිම මතින් ගෙවා ගෙන පැමිණි දුර පිළිබඳ කිසිදු අවබෝධයක් ඔහුට තිබුණේ නැහැ. පියවි සිහිය ලැබුව ද, මෙතම්ෆෙටමීන් නිසා ඇති වූ අතුරු ආබාධවලින් ඒ වෙද්දීත් ඔහු පෙළෙමින් සිටියා. කොයිවුනන්ගේ කණ්ඩායම සතුව වූ ආහාර සලාක ද කිහිපදෙන කු සන්තකයේ තිබූ අතර, මේ නිසා කොයිවුනන් සතු ව කිසිදු ආහාරයක් හෝ ජලය තිබුණේ නැහැ. ජලය විශාල ගැටලුවක් නොවූයේ, හිම දිය කර ජලය ලබාගත හැකි වූ නිසා යි. මෙතම්ෆෙටමීන්වලින් මත් වී සිටි නිසා ආහාරවල එතරම් අවශ්‍යතාවක් ද ඔහුට එක් වර ම දැනුණේ නැහැ. මෙතම්ෆෙටමීන් අධිමාත්‍රාව ඔහුගේ මනසට නිසංසල වීමට දිගින් දිගට ම ඉඩ නොදුන් අතර, මේ හේතුවෙන් ඔහු දිගට ම ගමනෙහි යෙදුණා.

මඳ දුරක් යන විට තැනින් තැන සිටි සෝවියට් හමුදා අනුඛණ්ඩ ඔහු  දුටුවා. මෙනයින් ඔහුට වැටහී ගියේ ඔවුන් තම කණ්ඩායම් ලුහුබැඳීම තවමත් නවතා නැති බව යි. මේ නිසා ඔහු සිය වේගය වැඩි කර ගනිමින් ඔවුන් මඟහැර ගියා. බිම්බෝම්බයක් උඩින් අහම්බයකින් ඔහු ගමන් කරන්නේ මේ අතර යි. මෙම බෝම්බය පිපිරීම නිසා ඔහු යම පමණකට තුවාල සිදු වූ මුත්, කෙසේ හෝ ඔහු ඉදිරියට ම ගමන් කළා.

සියලු වෙර යොදා නැවතත් ගමනේ

සෑහෙන දුරක් ගමන් කළ පසු තුවාල ලැබීම හා, මෙතම්ෆෙටමීන්වල බලපෑම කෙමෙන් කෙමෙන් අඩුවීම නිසා කොයිවුනන්ට වෙහෙස දැනෙන්නට වුණා. ජලය මිදෙන ශීතලේ එක් තැනක ඇද වැටුණු ඔහු, වේදනාවෙන් හා අව සිහියෙන් සිටියේ කිසිවෙක් උදව් ලබා දෙතැයි යන අපේක්ෂාවෙනුයි. මෙලෙස සිටියහොත් තමන් මරණයට පත් වන බැව් වටහාගත් ඔහු මද වේලාවකට පසු සියලු වෙර යොදා නැවතත් ගමන් කරන්නට වුණා.

මෙලෙස සෑහෙන වේලාවක් ගත් වුණා. එය පැය කිහිපයක් ද, දින කිහිපයක් ද, යන්න පිළිබඳ වැටහීමක් කොයිවුනන්ට වූයේ නැහැ. මෙතම්ෆෙටමීන්වල බලපෑම මඳින් මඳ වියැකෙද්දී, කොයිවුනන්ට කුසගින්න දැනෙන්නට වුණා. එනමුත් ඔහුට ආහාර සපයාගැනීමේ විශාල ගැටලුවක් තිබුණා. ඔහු එය සංසිඳවාගත්තේ කුඩා කුරුල්ලෙක් මරා, ආහාරයට ගැනීමෙනුයි. ඒ වන විඩ ලැප්ලන්ඩ් හි උෂ්ණත්වය ජලය මිදෙන සෙල්සියස් අංශක 0 ටත් වඩා බොහෝ පහළ මට්ටමක තිබුණා.

 මෙතම්ෆෙටමීන් අඩංගු පර්විටීන් පෙති- Wikimedia Commons 

 

මෙතම්ෆෙටමීන්වල බලපෑම නැතිවීමත් සමඟ, ශීතල මෙන් ම, රුධිරය යම් පමණක් අහිමිවීම, අධික ලෙස  මාංශපේශි වෙහෙස වීම, මත්ද්‍රව්‍ය අධිමාත්‍රා ශරීරගත වීම කරණකොටගෙන ඇති වූ අතුරු ආබාධ වැනි හේතු නිසා සිය පියවි සිහිය නැතිවන බැව් වටහා ගත් කොයිවුනන් හැකි ඉක්මනින් සිය හමුදාවල ආධිපත්‍යය ඇති කොටසකට ළඟාවීමට උත්සාහ කළා. සිය තත්ත්වය බරපතල වනවාත් සමඟ ම එය සිදුකිරීමට ඔහු සමත් වූ අතර, ෆින්ලන්ත බලධාරීන් වහාම ඔහු රෝහල්ගත කළා. මේ වන විට ඔහු කිලෝමීටර 400 ක් හෙවත් සැතපුම් 250 ක් පමණ ගමන් කොට තිබූ අතර, ශරීර බර රාත්තල් 94 දක්වා අඩු වී තිබුණා. ඒ වන විටත් ඔහුගේ හෘද ස්පන්දන වේගය මිනිත්තුවට 200 වාරයක් තරම් ඉතා වැඩි අගයක් ගත්තා.

දෙවන ලෝක යුද්ධයේ ඇම්ෆෙටමීන් භාවිතය

දෙවන ලෝක යුද්ධයේ දී බොහෝ රටවල බලධාරීන් සිය සොල්දාදුවන්ගෙන් ‘උපරිමය ලබා ගැනීම සඳහා’ ඇම්ෆෙටමීන් නම් ක්ෂණික ශක්තිය ලබා දෙන සංඝටකය සහිත පෙති, කරල් වැනි දේ භාවිත කළා. නාසි හමුදා ද මේවා අඩංගු මෙතම්ෆෙටමීන් පෙති වැනි දේ භාවිත කළ බවට සාක්ෂි තිබෙනවා. පර්විටීන් පෙති ජර්මනියේ නිෂ්පාදනයක් වන අතර, ඒවා  නාසි සොල්දාදුවන්ට මිලියන ගණනින් ලබා දී ඇත්තේ ඔවුන්ගේ හැකියා වැඩිදියුණු කර ගැනීම, වෙහෙස දැනීම අවම වීම වැනි තත්ත්වයන් උදා කරගැනීම සඳහා යි. මේවා අධිමාත්‍රා, සොල්දාදුවන්ගේ ශරීරගත වූ අවස්ථා ද වාර්තා වී තිබෙනවා. එවන් තත්ත්වයකට පත්ව මෙලෙස වික්‍රමාන්විත ලෙස නිරුපද්‍රිත ව දිවි බේරාගත් සොල්දාදුවකු ලෙස සනිටුහන් වී ඇත්තේ අයිමෝ කොයිවුනන්ගේ නාමය පමණ යි. 

එම සිද්ධියෙන් දිවි බේරාගත් කොයිවුණන්, කෙටි කලකින් සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. ඉක්මනින්ම ලෝක යුද්ධය අවසන් වූ අතර, ඔහු හැත්තෑ විය ද පසු කරමින් චිරාත් කාලයක් ජීවත් වන්නට වාසනාව ලැබුවා.

කවරයේ ඡායාරූපය - ෆින්ලන්ත සොල්දාදුවකු වූ අයිමෝ කොයිවුනන් - sidomexentertainment.com

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Iflscience.com

Sofrep.com

Related Articles