Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇන්ඩෘ සයිමන්ඩ්ස්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඉනිම් 6ක්

ඕස්ට්‍රේලියාවෙන් බිහිවුණු විශිෂ්ටත ම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඇන්ඩෘ සයිමන්ඩ්ස් හදිසි රිය අනතුරකට ලක් ව 46 හැවිරිදි වියේ දී සිය ජීවන ඉනිම නිමා කළා. ගෙවුණු දශක 2ක කාලය තුළ ලෝක ක්‍රිකට් පිටිය වර්ණවත් කළ ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් ම සිටි මෙම විශිෂ්ටයා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙක් ද වුණා. 

ඇන්ඩෘ සයිමන්ඩ්ස් – gettyimages.com

 

ක්‍රිකට් පිටියේ දී නාහෙට නාහන දඩබ්බර චරිතයක් වුණු සයිමන්ඩ්ස් ලෙහෙසියෙන් තරගයක් අත් නොහරින ක්‍රීඩකයෙක් ලෙස ද ප්‍රසිද්ධියට පත් ව සිටියා. ඔහුගේ එම අපූරු ගති ලක්ෂණය නිසා ඕස්ට්‍රේලියාවට නොසිතූ ජයග්‍රහණ රැසක් උරුම වුණා. එපමණක් නොව 2003 සහ 2007 එක්දින ලෝක කුසලාන ඕස්ට්‍රේලියාවට දිනා දීම සඳහා ද ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නා.

සයිමන්ඩ්ස් 2007 ලෝක කුසලාන අවසන් තරගයේ දී (gettyimages.com)

 

වසර 11ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි මෙම විශිෂ්ට ක්‍රීඩකයා තරග 238ක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළා. එම කාලය තුළ සයිමන්ඩ්ස් දැක් වූ සුවිශේෂී දස්කම් පිළිබඳ අදටත් බොහෝ ක්‍රීඩා ලෝලීන් කතා කරනවා. ඒ අතුරින් සයිමන්ඩ්ස්ගේ පිත්තෙන් වාර්තා වුණු අමතක නොවන ඉනිම් 6ක් පිළිබඳ මතකය මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. 

1). පාකිස්තානයට එරෙහි ව 2003 ලෝක කුසලානයේ දී- 143* (125)

2003 එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට මාස කිහිපයකට පෙර පැවති එක්දින තරගාවලිවල දී විශේෂ දස්කම් පෙන්වීමට සයිමන්ඩ්ස්ට හැකි වුණේ නැහැ. ඔහු පිළිබඳව දැඩි විශ්වාසයක් තැබූ ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව 2003 ලෝක කුසලානය සඳහා සහභාගි වුණු කණ්ඩායමට සයිමන්ඩ්ස්ගේ නම ඇතුළත් කළා. දකුණු අප්‍රිකාවේ පැවති එවර ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදුණු ඕස්ට්‍රේලියානුවන් මූලික වටයේ පළමු තරගයේ දී උරෙනුර ගැටුණේ  ප්‍රබල පාකිස්තාන කණ්ඩායම සමඟ යි. 

2003 ලෝක කුසලානය සඳහා සහභාගි වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම – gettyimages.com

 

ජොහැන්ස්බර්ග් නුවර නිව් වොන්ඩරස් පිටියේ පැවති එම තරගයේ කාසියේ වාසිය පරාජය වී පන්දුවට මුලින් ම පහර දුන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. නිව් වොන්ඩරස් තණ තීරුවේ උදෑසන කාලයේ තිබුණු ජීවය උකහාගත් වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 86ක දී බිඳ වැටුණා. ඕස්ට්‍රේලියානු ඉනිම කඩාවැටෙමින් තිබුණු එම අවස්ථාවේ ඇන්ඩෘ සයිමන්ඩ්ස් පිටියට අවතීර්ණ වුණා. 

අක්‍රම් දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් – gettyimages.com

 

පිටියට අවතීර්ණ වුණු මොහොතේ සිට වගකීමෙන් පන්දුවට පහර දුන් සයිමන්ඩ්ස් නායක රිකී පොන්ටිං සමඟ එක්ව 60ක වටිනා සබඳතාවක් ගොඩ නැඟුවා. පොන්ටිංගේ නික්ම යාමෙන් පසු ව හුදෙකලා සටනක නිරත වුණු සයිමන්ඩ්ස් හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 125ක දී නොදැවී ලකුණු 143ක් ලබා ගත්තා. එය එම අවධියේ ඕස්ට්‍රේලියානු පිතිකරුවෙක් එක්දින ලෝක කුසලාන ඉනිමක දී ලබාගත් ඉහළ ම ලකුණු ප්‍රමාණය ලෙසින් සටහන් වුණා. 

සයිමන්ඩ්ස් ශතකය ලබාගත් අවස්ථාව – gettyimages.com

 

එහි දී ඔහු අභිබවා ගියේ 1996 ලෝක කුසලානයේ දී කෙන්යාවට එරෙහි ව ලකුණු 130ක් ලබා ගෙන මාක් වෝ තබා තිබුණු වාර්තාව යි.  සයිමන්ඩ්ස්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 143 නිසා ඕස්ට්‍රේලියානු ඉනිම 310/8ක් ලෙසින් නිමාව දුටුවා. ඉන් පසු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දක්ෂ ලෙස පන්දු යැවූ නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 82ක පහසු ජයක් උරුම වුණා. 

මාක් වෝ 1996 ලෝක කුසලානයේ දී කෙන්යාවට එරෙහිව දස්කම් දක්වමින් – gettyimages.com

 

2). 2003 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී- 91* (118)

2003 එක්දින ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පෝට් එළිසබෙත් හි දී පැවැත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පන්දුවට මුලින් ම පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 51ක් තුළ බිඳ වැටුණා. එහි දී අරවින්ද ද සිල්වාගේ පන්දුවක් හමුවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් දැවී යද්දී, චමින්ද වාස්ගේ පන්දු හමුවේ මැතිව් හේඩ්න් සහ රිකී පොන්ටිං යන ප්‍රබල පිතිකරු යුගළය දැවී ගියා.

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන වාස් – gettyimages.com

 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසීරු අඩියකට වැටී තිබුණු මොහොතක පිටියට පිවිසි සයිමන්ඩ්ස්, ඩැරන් ලීමන් සමඟ එක් ව සිවු වන කඩුල්ල සඳහා ලකුණු 93ක සබඳතාවක් ගොඩනැඟුවා. එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 14ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 158/6 බවට පත් කළා. ඕස්ට්‍රේලියානු ඉනිම යළිත් වරක් අඩපණ වුණු ඒ මොහොතේ ක්‍රියාත්මක වුණු සයිමන්ඩ්ස් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 91ක් ලබා ගත්තා. 

සයිමන්ඩ්ස්ගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

එම සටන්කාමී ඉනිම නිසා නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 212ක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වුණා. පන්දු යවන්නන්ට වාසිදායක වුණු එම තණතීරුවේ මැනවින් පන්දු යැවූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සිය කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 48ක ජයග්‍රහණයක් උරුම කර දුන්නා. එම ජයග්‍රහණය සඳහා පිත්තෙන් ඉහළ දායකත්වයක් ලබා දුන් සයිමන්ඩ්ස්ට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. 

3). 2005-06 නවසීලන්ත එක්දින තරගාවලියේ දී- 156 (127)

2005-2006 ඕස්ට්‍රේලියා-නවසීලන්ත එක්දින තරගාවලියේ දෙවන තරගය වෙලිංටන් හි වෙස්ට්පැක්  ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ඕස්ට්‍රේලියානුවන් කයිල් මිල්ස්ගේ දක්ෂ වේගපන්දු යැවීම ඉදිරියේ දැඩි පසුබෑමකට ලක් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ මුල් කඩුලු 3 ලකුණු 50ක් තුළ බිඳ වැටුණා.

කඩුල්ලක් ලබාගැනීමේ සතුට සමරන මිල්ස් – gettyimages.com

 

එම අවස්ථාවේ පිටියට පිවිසි සයිමන්ඩ්ස් ඉනිම ආරම්භයේ සිට සුපරීක්ෂාකාරී අයුරින් පන්දුවට පහර දුන්නා. එනිසා ඔහුට සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීම සඳහා පන්දු 70ක් වැය වුණා. අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව වේගවත් පිතිහරඹයක නිරත වුණු සයිමන්ඩ්ස් හතරේ පහර 12ක් සහ හයේ පහර 8ක් එල්ල කරමින් පන්දු 127කින් වේගවත් ලකුණු 156ක් රැස් කළා. ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු එම සුපිරි ඉනිම නිසා ඕස්ට්‍රේලියාවට ලකුණු 2ක තියුණු ජයක් හිමි වුණා.

 සයිමන්ඩ්ස් ශතකය සම්පූර්ණ කළ මොහොත – gettyimages.com

 

4). 2006 VB කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව – 151 (127) 

2006 VB කුසලාන තුන්කොන් තරගාවලියේ දෙවන අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිඩ්නි ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණා. එම තරගාවලියේ පළමු අවසන් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණු නිසා තරගාවලියේ දිගට ම රැඳී සිටීමට නම් ඕස්ට්‍රේලියානුවන්ට මෙම තරගය අනිවාර්යයෙන් ම ජය ගත යුතුව තිබුණා. එවැනි වටපිටාවක ආරම්භ වුණු තරගයේ පන්දුවට මුලින් ම පහර දුන් ඕස්ට්‍රේලියානුවන් චමින්ද වාස්ගේ සුපිරි වේගපන්දු යැවීම ඉදිරියේ අන්දමන්ද වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇඩම් ගිල්ක්‍රිස්ට්, සයිමන් කැටිච් සහ ඩේමියන් මාටින් යන ප්‍රබල පිතිකරුවන් තිදෙනා ලකුණු 10ක් තුළ දවා ගැනීමට වාස්ට හැකි වුණා.

වාස් දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් – gettyimages.com

 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැඩි පීඩනයකට ලක් ව සිටි මොහොතක නායක රිකී පොන්ටිංට එකතු වුණු සයිමන්ඩ්ස් ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩනැඟීම ආරම්භ කළා. එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත ප්‍රහාරයක් සිදු කළ සයිමන්ඩ්ස් පන්දු 101කින් සිය ශතකය සම්පූර්ණ කළා.

සයිමන්ඩ්ස් සිය ශතකය ලබාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

 

ඉන් අනතුරුව ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළ සයිමන්ඩ්ස් තවත් පන්දු 26කින් ලකුණු 51ක් රැස් කළා. එනිසා හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් පන්දු 127කින් අගනා ලකුණු 151ක් ලබා ගැනීමට ඔහුට හැකිවුණා. සයිමන්ඩ්ස්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු 151 නිසා කැංගරු ඉනිම 368/5 ලෙසින් නිමාව දුටුවා. ඒ අයුරින් සයිමන්ඩ්ස්ගේ දස්කම් ඉස්මතු වුණු එම තරගයෙන් ලකුණු 167ක පහසු ජයක් ඕස්ට්‍රේලියාවට හිමි වුණා.

5). 2006-07 අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දී- 156 (220)

2006-07 අළුබඳුන ටෙස්ට් තරගාවලියේ සිවු වන තරගය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මෙල්බර්න් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පන්දුවට මුලින් ම පහරදුන් එංගලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 159ක් පමණ යි. ඉන් පසුව පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 84ක් තුළ බිඳ වැටුණා. එනිසා තරගය කණ්ඩායම් දෙකට ම විවෘත වුණා. 

එංගලන්ත ඉනිමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ ෂේන් වෝන් – gettyimages.com

 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ පිටියට පිවිසි සයිමන්ඩ්ස් ප්‍රතිවාදී පන්දු යවන්නන් තඹ දොයිතුවකට මායිම් නොකරමින් සුපුරුදු පිතිහරඹයේ නිරත වුණා. එනිසා පන්දු 151කින් සිය ශතකය ලබා ගැනීමට සයිමන්ඩ්ස් සමත් වුණා. එහි දී පෝල් කොලින්වුඩ් යොමු කළ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ඔහු සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගැනීම  අමතක නොවන සිදුවීමක් වුණා. 

සයිමන්ඩ්ස් හයේ පහරකින් ශතකය සම්පූර්ණ කළ මොහොත – gettyimages.com

 

ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව වේගයෙන් පන්දුවට පහර එල්ල කළ සයිමන්ඩ්ස් අවසානයේ දී  පන්දු 220කින් ලකුණු 156ක් ලබා ගත්තා. එම ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහරක් අන්තර්ගත වුණා. සයිමන්ඩ්ස් ලබා ගත් එම සටන්කාමී ශතකය නිසා ඕස්ට්‍රේලියානුවන්ට ඉනිමක සහ ලකුණු 99ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වුණා.

6). 2007-08 බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ දී- 162* (226)

2007-08 බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව  අතර සිඩ්නි ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ පන්දුවට මුලින් ම පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලබා ගෙන අසීරු තත්ත්වයකට පත් ව සිටියා. තරගයේ වාසිය ඉන්දීය කණ්ඩායම සතු ව තිබුණු මොහොතක සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ සයිමන්ඩ්ස් පසු පෙළ පිතිකරුවන් සමඟින් එක් ව වටිනා සබඳතා කිහිපයක් ගොඩ නැඟුවා. 

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු රුද්‍රා ප්‍රතාප් සිං – gettyimages.com

 

එහි දී ඔහු බ්‍රැඩ් හොග් සමඟ ලකුණු 173ක්, බ්‍රෙට් ලී සමඟ ලකුණු 114ක්, මිචෙල් ජොන්සන් සමඟ ලකුණු 40ක් ලෙස ගොඩ නැඟූ සබඳතා හේතුවෙන් ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 463ක දී නිමාව දුටුවා. එදා කැංගරු ඉනිමේ නැංගුරම බවට පත් වුණු සයිමන්ඩ්ස් හතරේ පහර 18ක් සහ දැවැන්ත යේ පහර 2ක් එල්ල කරමින් නොදැවී ලකුණු 162ක් ලබා ගත්තා. සයිමන්ඩ්ස්ගේ එම සුපිරි ඉනිම නිසා ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 122ක ජයක් හිමි වුණා. 

සයිමන්ඩ්ස් පිත්තෙන් දස්කම් දක්වමින් – gettyimages.com

කවරයේ ඡායාරූපය- සයිමන්ඩ්ස් 2003 සහ 2007 එක්දින ලෝක කුසලාන සමඟ - cricket.com.au

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

wisden.com

cricket.com.au 

Related Articles