Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පළඳනාවෙන් සිතැඟි කියූ රාජ්‍ය ලේකම්වරිය: ඕල්බ්‍රයිට්

වර්තමානයේ ලෝක බලවතා සේ පිළිගැනෙන අමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය සමස්ත ලෝකයේ ම ගමන් මග තීරණයට බලපාන එක් සාධකයක් ලෙස සැලකිය හැකි ය. එහි විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ය. රාජ්‍ය ලේකම්වරයා, විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා වන අතර අමෙරිකාවේ බලවත් ස්ථානයක්‌ ඔහුට හෝ ඇයට හිමි වෙයි.

මේ කතාව අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ධූරයට පත්වූ ප්‍රථම කාන්තාව වූ මැඩලීන් ඕල්බ්‍රයිට් පිළිබඳව යි.

කුඩා මැඩලීන් – thebostonglobe.com

උපන් රටෙන් අමෙරිකාවට

ඕල්බ්‍රයිට් උපත ලබන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නොවේ. චෙකොස්ලෝවැකියාවේ 1948 දී උපත ලබන ඇය ජෝසෆ් කො(ර්)බෙල් නැමැති චෙකොස්ලෝවැකියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාගේ දියණියකි. ජෝසෆ්, චෙකොස්ලෝවැකියාවේ යුගෝස්ලෝවියානු තානාපතිවරයා ලෙස මෙන් ම එක්සත් ජාතීන්ගේ ඉන්දියාව සහ පාකිස්තානය පිළිබඳ කොමිසමේ සභාපතිවරයාද විය. පසුව ඩෙන්වර් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යනය පිළිබඳ පීඨයේ පීඨාධිපතිවරයාද වූ ඔහු අමෙරිකා රාජ්‍ය ලේකම් ධූරයට පත් වූ කොන්ඩලීසා රයිස්ගේ ගුරුවරයා ද විය. 

මැඩලීන් බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා සමඟ – theclintonlibrary.com

1939 නාසි ආක්‍රමණය හේතුවෙන් කුඩා මැඩලීන්ට තම මව්පියන් සමඟින් ලන්ඩනයට පිටත්වීමට සිදුවන අතර එහි දී ඇයගේ පියා විවිධාකාරයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට සහභාගී වී පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවයට එක්විය. මේ අතරවාරයේ චෙකොස්ලෝවැකියාවේ බලය කොමියුනිස්ට් කණ්ඩායම්වලට හිමි ව තිබූ බැවින් ජෝසෆ්ට අමෙරිකාවේ දේශපාලන රැකවරණය පැතීමට සිදු විය. එහි ප්‍රතිපලයක් ලෙස මැඩලීන් අමෙරිකාවට පැමිණියා ය.

1957 දී අමෙරිකානු පුරවැසිභාවය ලබන ඇය, 1975 දී කොලොම්බියා සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තා ය. පසුව ජිමී කාටර් ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශකයා යටතේ සේවය කළා ය.එයින් පසුව ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සේවයට එක්වූ ඇයගේ ජීවිතය වෙනස් වන්නේ බිල් ක්ලින්ටන් පාලනයේ ආරම්භයත් සමඟිනි.

එක්සත් ජාතීන්ගේ තානාපතිනිය ලෙස – thenewyorktimes.com

 

එක්සත් ජාතීන්ගේ තානාපති ධූරයට

අමෙරිකා ජනාධිපතිවරයා ලෙස බිල් ක්ලින්ටන් 1992  දී පත්වීමත් සමඟ අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ තානාපතිනිය ලෙස මැඩලීන් තෝරා ගන්නේ එය ඇයගේ ජිවිතයේ හැරවුමක් බවට පත් කරමිනි. 1993 සිට 1997 දක්වා එම ධූරය දරන ඇය රුවන්ඩා සංහාරය වැනි අවස්ථාවන්හි දී ඉතා ප්‍රබල කාර්යභාරයක් ඉටු කළාය.

විදේශ මුලාශ්‍රවලට අනුව එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වූ බූත්‍රොස් බූත්‍රොස් ඝාලි සහ මැඩලීන් අතර සම්බන්ධය යම්තාක් නුරුස්සනසුලු එකක් වූ බව සඳහන් කළ හැකි ය. ඇතැම් තැනක ඔහු දෙවන ධූර කාලයක් සඳහා ඉදිරිපත් නොවීම සහ කොෆි අනන් එම ධූරයට පත්වීම පසුපස මැඩලීන් ඕල්බ්‍රයිට් මෙහෙය වූ අමෙරිකානු හස්තයක් තිබූ බව ද කියවෙයි. ඉරාකයට එරෙහි ව සම්බාධක පැනවීම ද ඇයගේ කාලය තුළ අමෙරිකාව ගත් කතා බහට තුඩු දුන් කාරණාවකි.

මැඩලීන් අමෙරිකා රාජ්‍ය ලේකම් ලෙස දිවුරුම් දෙමින් – theclintonlibrary.com

 

අලුතින් ලියැවුණු ඉතිහාසය

අමෙරිකානු රාජ්‍ය ලේකම් ධූරය වැනි එරට රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ තනතුරකට ඒ වන විට කාන්තාවක පත් ව නොතිබූ අවධියක බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා  1997 දී මැඩලෙයින් ඕල්බ්‍රයිට් අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත් කළේ ය. එයත් සමඟ අමෙරිකාවේ 64 වන රාජ්‍ය ලේකම්වරයා ලෙස මැඩලීන් ඕල්බ්‍රයිට් දිවුරුම් දුන්නා ය.

එය ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි ය. බොස්නියා සහ හර්සගොවිනා, මැදපෙරදිග ආදී ප්‍රශ්න සම්බන්ධයෙන් ඇයගේ ආකල්ප සහ තීරණ ඉතා දැඩි වූ ඒවා විය. විශේෂයෙන් ම සදාම් හුසේන් පාලනය පිළිබඳ ඉතා සැලකිල්ලෙන් පසුවූවා ය. හුසේන් පාලනය කුවේටය ආක්‍රමණය සහ එයින් නිර්මාණය වූ ගල්ෆ් යුද්ධය ඇය දැඩි ව හෙළා දැක්කා ය. නේටෝ සංවිධානය අනුගමනය කරන 3Ds ප්‍රතිපත්තිය ද මැඩලීන්ගේ නිර්මාණයකි.

මැඩලීන් එවක උතුරු කොරියානු නායකයා මුණගැසී – gettyimages.com

 

උතුරු කොරියාවේ නිල සංචාරයක යෙදුණු පළමු ඉහළ පෙළේ අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීයා වූයේ ද මැඩලීන් ය. හොංකොං හි ස්වෛරීභාවය පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ අවධානය යොමු කිරීමට ඇය වෙහෙස වී කටයුතු කළා ය.

ආභරණවලින් කියූ පණිවිඩ

මැඩලීන් ඕල්බ්‍රයිට් තමන් දරණ අදහස් සහ අමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය කියාපෑමට තම කබායේ පැළැඳි පළඳනාවලින් උත්සාහ කළ බව ප්‍රසිද්ධ රහසකි. මැඩලීන්ගේ පළඳනාවලට ඉහළ ආකර්ෂණයක්‌ එල්ල වන්නේ ඒවායේ ඇති අලංකාර බවට එහා ගිය වැදගත්කම නිසා ය. Read My Pins : The Madeleine Albright Collection යනුවෙන් පළඳනා 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වූ ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක්‌ ද පවත්වා තිබෙන්නේ ඒවායේ වටිනාකම නිසා ය.

සදාම් හුසේන්ට පිළිතුරු දුන් ආභරණය – gettyimages.com

 

වරෙක ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් මැඩලීන් ඕල්බ්‍රයිට් ” අමුතු සර්පයෙක් ” ලෙස ප්‍රසිද්ධ මාධ්‍යයේ හැඳින්වූ අතර ඉන් පසු ඇය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට සහ ඉරාක නිලධාරීන් හමුවීමට ගියේ සර්පයකු සහිත පළඳනාවක් ඇතිව ය.
ඇය අමෙරිකානු රාජ්‍ය ලේකම් ලෙස දිවුරුම් දෙන විට අමෙරිකාවේ සංකේතයක්‌ වැනි රාජාලියකුගේ රුව සහිත පළඳනාවක් පැළඳ සිටියා ය.

කියුබානු ප්‍රහාරයෙන් පසුව පැළඳි පළඳනාව – gettyimages.com

 

කියුබානු ගුවන් නියමුවන් අවදානම් රහිත සිවිල් ගුවන් යානයකට 1996 දී පහර දුන් අවස්ථාවේ ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයට, නිල් පැහැති කුරුල්ලෙකු පහතට පියඹා යන ආකාරයේ පළඳනාවක් සහිත ව පැමිණියේ එයින් මිය ගිය ගුවන් නියමුවන් සිව් දෙනාට ගෞරවයක් වශයෙනි.

යසර් අර්ෆත් සමඟ – theclintonlibrary.com

 

පලස්තීන නායක යසර් අර්ෆත් සමඟ දැඩි වාග් හුවමාරුවක යෙදෙන විට ඇය මී මැස්සෙක් සහිත පළඳනාවක් ඇඳ සිටි අතර ඇයගෙන් පසු ව කළ විමසීමක දී සඳහන් කළේ තමන්ගේ මතය කෙතරම් තියුණු දැයි පෙන්වීමට ඇය එය පැළඳ පැමිණි බව යි. නෙල්සන් මැන්ඩෙලා හමුවීමට යන විට කළු පැහැති සීබ්‍රාවකු ඇය පැළඳගෙන ගියා ය.

අර්ෆත් -ඕල්බ්‍රයිට් හමුවේදී ඇය පැළඳ සිටි පළඳනාව – gettyimages. com

ඇය වරක් සඳහන් කළේ යහපත් දවස්වල මල්, සමනලුන් සහිත පළඳනා ද අයහපත් දිනවල කෘමින් සහ මාංශ භක්ෂකයන් සහිත පළඳනාවන් ද පළඳින බව යි.

නෙල්සන් මැන්ඩෙලා හමුවී theclintonlibrary.com

 

මැඩලීන් ඉරාකයේ ළමයින් මැරුවා ද?

ක්ලින්ටන් පරිපාලනය ඉරාකයට පැනවූ සම්බාධකවල ප්‍රතිපලයක් ලෙස ඉරාකයේ දරුවන් 500,000 ක්‌ පමණ මියගිය බව වාර්තාවල සඳහන් වේ.

වරක් මාධ්‍යවේදිනියක් එම වන්දිය ප්‍රමාණවත් දැයි රාජ්‍ය ලේකම්වරියගෙන් විමසූ විට ඇය සඳහන් කර තිබුණේ “ඔව් එය ප්‍රමාණවත්” යනුවෙනි. නමුත් පසුව එය තමා කොටු කිරීමේ අරමුණින් ඇසූ ප්‍රශ්නයක් බව මැඩලීන් පවසා සිටියා ය.

හිටපු ජනාධිපති බරක් ඔබාමා එරට ඉහළ ම ගෞරවය වන The Medal of Freedom මැඩලීන් ඕල්බ්‍රයිට්ට 2012 දී පිරිනමමින්
– gettyimages.com

 

චෙකොස්ලෝවැකියාවේ ඉපද ලොව බලවත් ම රාජ්‍යයයේ ඉහළට ම ගිය මැඩලීන් ඕල්බ්‍රයිට්ගේ චරිතයෙන් අපට පවසන්නේ ධෛර්යයත්, හැකියාවත් දෛවය සමඟ එක්වූ කල  මුළු ලෝකය ම වුව ද තමා වෙත නතු කර ගත හැකි බව යි.

කවරයේ ඡායාරූපය - www.newsweek.com 

මූලාශ්‍ර:

www.theclintonlibrary.com

Read My Pins: The Madeleine Albright Collection

Related Articles