Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රැජන ගේ අභාවයෙන් පසු සිදු වන දින 10 වැඩසටහනේ පෙළගැස්ම

බ්‍රිතාන්‍ය කිරීටය වසර 70 කට අධික කාලයක් දරා සිටි දෙවන එළිසබෙත් රැජන පසුගියදා අභාවයට පත්වුණා. මේ වන විට ඇගේ අවමංගල්‍ය උත්සවය සඳහා බ්‍රිතාන්‍යය ලහි ලහියේ  සූදානම් වෙනවා.

මහා බ්‍රිතාන්‍යයේ රැජන හෝ රජු මියගිය පසු, ඔහු හෝ ඇය ගේ අවසන් කටයුතු සිදු වන්නේ, අභාවයට පත්ව දස වැනි දින යි. එදින වන තුරු ගත වන සෑම දිනයක ම යම් විශේෂිත ක්‍රියාවලීන් කිහිපයක් සිදු වන අතර, දෙවන එළිසබෙත් රැජන විෂයයෙහි ද ඒවා ඒ අයුරින් ම සිදුවෙනවා. ඇය මිය ගියේ 2022 වසරේ සැප්තැම්බර් මස 8 වන දින වන අතර, රාජ්‍ය ගෞරව සහිත ඇගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ එළඹෙන සැප්තැම්බර් මස 19 වන දින යි. මෙය රැජනගේ මරණයෙන් 11 වන දිනය වුවද, ඇගේ මරණය නිල වශයෙන් නිවේදනය කරන විට රාත්‍රිය එළැඹ තිබීම නිසා, දින ගැනීම ආරම්භ කරන්නට යෙදුණේ සැප්තැම්බර් මස 9 වන දින සිට යි.

 දෙවන එළිසබෙත් රැජන- www.gettyimages.com

 

මරණය නිවේදනය කළ දිනය (සැප්තැම්බර් 9 වැනි දා සිකුරාදා)

අභිනව තුන්වන චාල්ස් රජු සහ අග්‍ර මහේෂිකාව බැල්මොරල් මාලිගයේ සිට ලන්ඩනයට පැමිණේ. චාල්ස් රජු අගමැතිනි ලිස් ට්‍රස් සමග සිය පළමු නිල හමුව පවත්වයි. මීට අමතර ව ඔහු අර්ල් මාෂල් තනතුර හොබවන නෝෆෝක් හි ඩියුක්වරයා ද හමුවෙයි. ඔහු රැජනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සහ රජුගේ රාජාභිෂේකය භාර ව සිටින තැනැත්තා යි. ඉන් අනතුරුව දෙවන එළිසබෙත් රැජනගේ මරණය සහ ඉන් පසු කටයුතු වෙනුවෙන් සූදානම් කර තිබෙන ‘ඔපරේෂන් යුනිකෝන්’ හි ඉදිරි පියවර ක්‍රියාත්මක වීම ඇරඹෙයි. 

මේ හමුවීම්වලින් අනතුරු ව තෙවන චාල්ස් රජු රූපවාහිනිය මඟින් ජාතිය සහ පොදුරාජ්‍ය මණ්ඩලය අමතයි. මෙය සජීව විකාශයක් ලෙස ඉදිරිපත් නොකෙරෙන අතර, පටිගත කොට, අනතුරු ව විකාශය කෙරෙයි. ඒ සමගාමී ව සෙන් පෝල්ස් දේවස්ථානයට එකතු වන අග්‍රාමත්‍යවරිය සහ ජ්‍යේෂ්ඨ ඇමතිවරු, රැජන වෙනුවෙන් පවත්වන දේව මෙහෙයකට සහභාගී වෙති. අනතුරු ව චාල්ස් රජු, රැජනගේ අවමංගල්‍යය පැවැත්වීමට නියමිත සැප්තැම්බර් මස 19 වන දිනය පසු වී දින 7 ක කාලයක් ගත වන දිනය තෙක් ක්‍රියාත්මක ජාතික ශෝක කාලයක් නිවේදනය කරයි. අවමංගල්‍යය සිදුවන දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට ද පත් කරයි.

තෙවන චාල්ස් රජු රූපවාහිනිය මඟින් ජාතිය අමතයි – Anthony Devlin/Getty Images

 

මරණයෙන් පසු පළමු දින (සැප්තැම්බර් 10 වැනි දා සෙනසුරාදා )

රාජාභිෂේක කමිටුව සෙන්ට් ජේම්ස් මාලිගයේ දී රැස් වන අතර එහිදී තෙවන චාල්ස් රජු නිල වශයෙන් රජු ලෙස ප්‍රකාශ කෙරෙයි. මෙම කමිටුව චාල්ස් රජු නොමැති ව,මුලින් ම රහසේ  රැස් වන අතර, අනතුරු ව චාල්ස් රජු, අග්‍ර මහේෂිකා කැමිලා සහ නව ඔටුන්න හිමි කුමරු විලියම් සමඟ නැවත රැස් වෙයි. එහිදී චාල්ස් රජු ප්‍රතිඥා දීම සිදු කරයි. අනතුරුව නව රජු පත් කළ බැව් ප්‍රසිද්ධ කෙරෙන අතර, නව රජු අග්‍රාමත්‍යවරිය ප්‍රමුඛ ඇමති මණ්ඩලය අමත යි.

මේ වන විටත් රැජනගේ දේහය ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ තැන්පත් කර ඇත.

 තුන්වන චාල්ස් රජු සහ අග්‍ර මහේෂිකාව කැමිලා – Yui Mok/ Getty Images

මරණයෙන් පසු දෙ වන දින (සැප්තැම්බර් 11 වැනි දා ඉරිදා)

මහා බ්‍රිතාන්‍යයට අයත්, එංගලන්තය හැර අනෙක් රටවල් තුන වන ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයේ අගනුවර ත්‍රිත්වය වන එඩින්බරෝ, කාඩිෆ් හා බෙල්ෆාස්ට් නුවර සිට, ඒ ඒ රටවල බලධාරීන්  චාල්ස් රජුගේ පත්වීම රට වැසියනට නිල වශයෙන් දන්වයි. රැජනගේ දේහය රැගත් දෙන බැල්මොරල් හි සිට එඩින්බරෝ දක්වා රැගෙන එන අතර, එය එහි හෝලිරූඩ් හවුස් මාලිගයේ ‘සිහසුන් කාමරයේ’ තැන්පත් කෙරෙයි. එය එළැඹෙන සඳුදා සවස් යාමය වන තුරු එහි තැබේ.

චාල්ස් රජු බකිංහැම් මාලිගයේ දී පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා හමුවෙයි. අනතුරු ව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරුන් සහ ඔවුන්ගේ බිරියන් හෝ සැමියන් හමුවෙයි.

මාලිගයේ යතුරු චාල්ස් රජු වෙත භාරදීමේ උත්සවය – Byrne – WPA Pool/Getty Images

 

මරණයෙන් පසු තෙ වන දින (සැප්තැම්බර් 12 වැනි දා සඳුදා)

චාල්ස් රජු සහ මහේෂිකාව වෙස්මිනිස්ටර් ශාලාවට පැමිණ නියෝජිත සහ සාමි මන්ත්‍රී මණ්ඩලවල සාමාජිකයන් හමු වී ඔවුන්ගේ ශෝකය පිළි ගනිති. අනතුරු ව දෙදෙනා එඩින්බරෝ වෙත ගුවන් මඟින් ගමන් කරයි. හෝලිරූඩ් මාලිගය වෙත යන ඔවුහු රැජිනගේ දේහයට ගෞරව දක්වා, සියල්ල නිසි අයුරින් සිදුවන්නේ දැයි සොයා බලති. අනතුරුව මාලිගයේ යතුරු චාල්ස් රජු වෙත භාරදීමේ උත්සවයක් පැවැත්වෙයි.

රැජනගේ දේහය ශාන්ත ජයිල්ස් දේවස්ථානය වෙත රැගෙන ආ අයුරු – Max Mumby/Indigo/Getty Images

චාල්ස් රජු ශාන්ත ජයිල්ස්  දේවස්ථානයේ මෙහෙයකට සහභාගී වන්නේ ඉනික්බිතිව ය. මෙහිදී රැජනගේ දිවිය පිළිබඳ ව මතකාවර්ජනයක් සිදු කෙරේ. ඉන් අනතුරුව ඔහු හෝලිරූඩ් වෙත නැවතත්  පැමිණෙයි. අනතුරු ව ස්කොට්ලන්ත ඉහළ බලධාරීන් හමු වේ. අනතුරුව ඔවුන් දෙදෙනා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව කරා යන අතර, එහිදී ස්කොට්ලන්ත මන්ත්‍රීවරුන් ගේ ශෝකය ඔවුන්  පිළි ගනියි.

සවස් යාමය එළඹි විට රැජනගේ දේහය ශාන්ත ජයිල්ස් දේවස්ථානය වෙත රැගෙන යයි. මෙයට රජු සහ රජ පවුලේ ඥාතීහු සහභාගී වෙති. අනතුරු ව රැජිනගේ දේහය දේවස්ථානයේ තැන්පත් කෙරේ. අනතුරුව මහජනතාවට ඇය වෙත සිය අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව උදා වේ. රාත්‍රිය එළැඹෙන තුරු චාල්ස් රජු සහ රජ පවුලේ ඥාතීහු එහි රැඳී සිටිති.

මාලිගයේ යතුරු – Byrne – WPA Pool/Getty Images

මරණයෙන් පසු සිව් වන දින (සැප්තැම්බර් 13 වැනි දා අඟහරුවාදා)

මහරැජනගේ දියණිය වන ඈන් කුමරිය සමඟ රැජනගේ දේහය, රාජකීය ගුවන් හමුදාවේ යානයකින් එඩින්බරෝ නුවර සිට ලන්ඩන් නුවර කරා රැගෙන එයි. අනතුරුව බකිංහැම් මාලිගය වෙත ගෙන ගොස්, ආචාර කාමරයේ තැන්පත් කෙරේ.

චාල්ස් රජු සහ මහේෂිකාව උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවරට පැමිණෙති. ඔවුහු එහි හිල්ස්බරෝ මාලිගයට පැමිණ, එහි වන රැජින උතුරු අයර්ලන්තය හා දැක්වූ සමීප සම්බන්ධතාව නිරූපණය කෙරෙන ප්‍රදර්ශනයකට සහභාගී වෙති.

චාල්ස් රජු අනතුරු ව උතුරු අයර්ලන්තයේ රාජ්‍ය ලේකම්, දේශපාලන පක්ෂ නායකයන් සහ උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තු නියෝජිතයන් හමු වී ඔවුන්ගේ ශෝක ප්‍රකාශ පිළි ගනියි.

 එළිසබෙත් රැජනගේ දේහය එඩින්බරෝ වෙත ගෙන ආ අවස්ථාව- Alkis Konstantinidis/ Reuters

 

හිල්ස්බරෝ මාලිගයෙන් අනතුරු ව චාල්ස් රජු සහ කැමිලා බිසව ශාන්ත ආනා දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගී වෙති. එහිදී උතුරු අයර්ලන්ත ආගමික නායකයන් ද හමු වී, අනතුරු ව ලන්ඩනය බලා එදින ම පැමිණෙති.

මරණයෙන් පසු පස් වන දින (සැප්තැම්බර් 14 වැනි දා බදාදා )

රැජනගේ දේහය බකිංහැම් මාලිගයේ සිට වෙස්මිනිස්ටර් ශාලාව වෙත උත්සවශ්‍රීයෙන් රැගෙන එයි. චාල්ස් රජු මෙහි මූලිකත්වය ගෙන ක්‍රියා කරයි. මෙහි දී ලන්ඩනයේ වැදගත් ස්ථාන රාශියක් පසු කරමින් අවමංගල්‍ය පෙරහර ගමන් කරයි.  මහජනතාවට මඟ දෙපස සිට දේහයට අවසන් බුහුමන් දැක්විය හැකි අතර, දේහය වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කළ පසු කැන්ටබරි ආච්බිෂොප්වරයාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙයක් සිදු කෙරේ. අනතුරුව එළැඹෙන දින 5 දී රැජනගේ දේහය මහජන ගෞරවය සඳහා වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත්ව තබන අතර, දශ දහස් ගණන් ජනයා එහි පැමිණ,අවසන් ගෞරව දැක්වීම සිදුකරති. මෙහි එක් අවස්ථාවක දී, රජ පවුලේ වැඩිහිටි ඥාතීහු ද දේහයට ගෞරවාචාර දැක්වීම සිදු කරති.

මරණයෙන් පසු සය වන දින (සැප්තැම්බර් 15 වැනි දා බ්‍රහස්පතින්දා )

මහජන ගෞරවය සඳහා රැජනගේ දේහය තවදුරටත් වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තැබෙයි.

මරණයෙන් පසු සත් වන දින (සැප්තැම්බර් 16 වැනි දා සිකුරාදා )  සහ අටවන දින (සැප්තැම්බර් 17වැනි දා සෙනසුරාදා  )

චාල්ස් රජු බ්‍රිතාන්‍ය රටවලට සංචාරය කිරීම සිදු කරයි. ඔහු වේල්සය බලා යන අතර, ලන්ඩනයේ රාජ්‍ය මට්ටමේ හමු කිහිපයකට ද සහභාගී වෙයි. මහරැජනගේ දේහය තව දුරටත් මහජන ගෞරව පිණිස වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබේ.

 මහරැජනගේ දේහය තැන්පත් කිරීමට නියමිත වින්ඩ්සර් හි ශාන්ත ජෝජ් දේවස්ථානය- Wikimedia Commons

 

මරණයෙන් පසු නව වන දින (සැප්තැම්බර් 18 වැනි දා ඉරිදා)

බ්‍රිතාන්‍යයේ  ඉහළ බලධාරීහු සහ විදෙස් රජ පවුල්වල සාමාජිකයෝ ලන්ඩනයට පැමිණ මහරැජනගේ දේහයට ගෞරව කිරීම අරඹති.

මරණයෙන් පසු දසවන දින (සැප්තැම්බර් 19 වැනි දා සඳුදා)

රැජනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය වෙස්මිනිස්ටර් ඇබේ හී දී පැවැත්වේ. ඇගේ දේහය වෙස්මිනිස්ටර් මාලිගයේ, ශාලාවේ සිට වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන යයි. මෙහි දී දෙහය ආසන්නයෙන් ම රජ පවුලේ උදවිය ගමන් කරයි. මෙම අවස්ථාව සම්පූර්ණයෙන් රූපවාහිනියෙන් සජීවීව විකාශය කෙරෙන අතර, මිනිත්තු දෙකක නිහඬතාවක් ද පවත්වයි.

රැජනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන වෙස්මිනිස්ටර් ඇබේ – MARCO BERTORELLO/AFP via Getty Images

 

අවමංගල්‍යයෙන් පාසු රැජනගේ දේහය වෙලින්ටන් ආච් වෙතත්, අනතුරුව වින්ඩ්සර් මාලිගය වෙතත් රැගෙන යයි. අනතුරුව එය, වින්ඩ්සර් හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටි, සයවන ජෝර්ජ් රජු අනුස්මරණ ස්ථානයේ, රාජකීය සුසානයේ තැන්පත් කෙරේ. මෙම අවස්ථාවට සහභාගී වන්නේ රජ පවුලේ සමීපත ම ඥාතීන් පමණි.

කවරයේ ඡායාරුපය- hips.hearstapps.com

මූලාශ්‍ර:

Theguardian.com

Bbc.com

npr.org

Related Articles