Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමෙරිකාව ම සලිත කළ රෙජිනා කේ. වෝල්ටර්ස් ඝාතනය

නව යොවුන් වියේ පසු වූ රෙජිනා කේ. වෝල්ටර්ස් 1990 වසරේ දී රොබට් බෙන් රෝඩ්ස් නම් දාම ඝාතකයා අතින් ඉලිනොයිස් හී පිහිටි සිය ධාන්‍ය ගබඩාව තුළ දී ඝාතනයට ලක් වෙනවා. මෙය මුළු මහත් අමෙරිකාව ම සසල කළ පුවතක් බවට පත්වන්නේ එම සිද්ධි දාමය පෙළගැසුණු ආකාරයත්, ඇගේ අවසන් මොහොතට පෙර, බියෙන් තැතිගෙන සිටින ආකාරය හුවා දැක්වෙන, රෝඩ්ස් ලබා ගත් ඡායාරූපයක් කරළියට පැමිණීමත් යන කාරණා නිසා යි.

නිදහස් ජීවිතයක් සොයා

රෙජිනා කේ. වෝල්ටර්ස් 14 වැනි වියෙහි පසු වූ, ප්‍රියමනාප තරුණියක්. පැසඩීනා හි විසූ ඇය සිය ජීවිතය පිළිබඳ සිටියේ එතරම් සතුටකින් නොවේ. මේ නිසා සිය පෙම්වතා සමඟ නිවෙසින් ඉවතට පලා යන්නට ඇය සැලසුම් කරනවා.  ඇගේ පෙම්වතා රිකී ලී ජෝන්ස් යන අයෙක්. නව යොවුන් වියෙහි පසු වූ, සමාජය පිළිබඳ එතරම් දැනුමක් නොමැති මේ දෙදෙනා ගත් තීරණය 1990 වසරේ පෙබරවාරියේ දී ඔවුන් ක්‍රියාත්මක කරන අතර, මෙහි අවසානය කෙතරම් ඛේදජනක වේ දැයි ඔවුන් තුළ කිසිදු අදහසක් තිබුණේ නැහැ.

 රෙජිනා කේ. වෝල්ටර්ස්- IMDB 

 

නිවෙසින් පලා යන මේ දෙදෙනා සිය ගමනාන්තය ලෙස තෝරා ගෙන සිටියේ මෙක්සිකෝව යි. ඔවුන් මාර්ගයේ පැමිණෙන වාහන නවත්වමින්, ඒවායේ නැග  මෙක්සිකෝ දේශසීමාව වෙත කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් සිටියා. ඔවුන් අත් දමා තවත් ට්‍රක් රියක් නතර කරගන්නේ මේ අතර යි. එය නැවැත්වුණු අතර, එහි වූ ප්‍රසන්න පෙනුමැති අයෙක් ඔවුන්ට ගමන් පහසුකම් සැපයීමට කැමති වුණා. කෙසේ නමුත් මේ පුද්ගලයා ඒ වන විටත් අවම වශයෙන් මිනිමැරුම් දෙකක්වත් සිදු කර සිටි රොබට් බෙන් රෝඩ්ස් නම් දාම ඝාතකයා බවට ඔවුන්ට කිසිදු වැටහීමක් තිබුණේ නැහැ.

ගමන අතරතුර දී ඉතා උපක්‍රමශීලී ව ජෝන්ස් ඝාතනය කරන්නට රෝඩ්ස් සමත් වන අතර, ඔහු රෙජිනා පැහැර ගන්නේ ඉන් අනතුරු ව යි. මෙලෙස රැගෙන ගිය ඇය, සිය ධාන්‍ය ගබඩාවේ රඳවන රෝඩ්ස් සති කිහිපයක් තිස්සේ ඇයට ශාරීරික අඩන්තේට්ටම් හා ලිංගික අඩන්තේට්ටම් සිදු කරනවා. එක් දිනෙක ඇය ඝාතනය කරන්නට සිතූ ඔහු ඇගේ ශරීරයේ රෝම කපන්නේ, හිස කෙස් ද කොට කර කපමිනු යි. ඉන් අනතුරු ව ඇගේ භීතියට පත් මුහුණ සහිත ඡායාරූපයක් ගැනීමටද ඔහු අමතක කරන්නේ නැහැ. ඉන් කෙටි වේලාවකට පසු ව ඔහු රෙජිනාගේ  ගෙල සිර කර ඇය  ඝාතනය කරනවා.

රෙජිනා කේ වෝල්ටර්ස්, රිකී ජෝන්ස් හා රොබට් රෝඩ්ස් ගේ අතීතය

රෙජිනා කේ. වෝල්ටර්ස් උපත ලැබුවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැසඩීනා හී 1975 වසරේ මැයි මස 5 වන දින දී යි. කුඩා කල සිට ම පවුල ආරවුල්වලින් හෙම්බත් වී සිටි ඇය වැඩිවියට පැමිණ කෙටි කාලයකින් ම රිකී ජෝන්ස් නම් තරුණයා සමග හාදකමක් ඇති කර ගන්නවා. සිය ජීවිතයේ වැඩි කොටසක්, ළමා ආරක්ෂණ ආයතනවල ගත කර තිබූ ඇය ජෝන්ස් සමඟ පැන යාමට අදහස් කරන්නේ නිදහස්, නව ජීවිතයක් ගත කිරීමේ අටියෙනු යි.

රෙජිනා කේ. වෝල්ටර්ස් ඝාතනය පිළිබඳ පුවත්පත් වාර්තාවන් –  www.newspapers.com 

 

රිකී ජෝන්ස් ඒ වන විටත් 18 වන වියෙහි පසු වූ අතර, බාල වයස්කාර අයකු වන රෙජිනා සමඟ ඇති සම්බන්ධය ඉදිරියට පවත්වාගෙන යන්නට ඔහුට මේ නිසාම බාධා කිහිපයක් තිබුණා. ජෝන්ස් ගේ මිතුරන්ගෙන් ද මේ සඳහා එල්ල වූයේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. කෙසේ නමුත් මේ දෙදෙනාට දෙදෙනා අවංක ව ආදරය කරන බැව් වටහා ගත් මෙම දෙපළ, දුර බැහැරකට පැන යාමට අදහස් කරන්නේ මේ බාධක කම්කටොළු සියල්ල මඟහරවා ගැනීම සඳහා යි. කෙසේ නමුත් රොබට් බෙන් රෝඩ්ස් හමුවීම නිසා ඔවුන්ගේ සිහින ලෝකය කැඩී බිඳී යන්නට ගත වූයේ එක් නිමේෂය යි. 

රෝඩ්ස් නව යොවුන් වියේදී ම පොලිස් භාරයට

අයෝවා හී, කවුන්සිල් බ්ලෆ්ස් පෙදෙසේ උපත ලද රෝඩ්ස් නව යොවුන් වියේදී ම පොලිස් භාරයට ගැනෙන්නේ වාහනවලට අලාභහානි කිරීම මෙන් ම, ගැටුම් ඇති කර ගැනීම යන කාරණා නිසා යි. ඔහුට 20 වන වියේ දී පමණ ඔහුගේ පියා 12 හැවිරිදි දැරියකට අඩන්තේට්ටම් කිරීම නිසා සිරගත කෙරෙනවා. මේ නිසා ඔහුගේ පියා නඩු විභාගයට පෙර සිය දිවි නසා ගන්නවා. මේ තදාසන්නව ම ඔහු ද සිය රැකියාව වන නැව් සේවයෙන් දොට්ට දැමෙන අතර, 1970 දශකයේ පටන් ඔහු ට්‍රක් රථ රියැදුරෙක් ලෙස සේවය කරන්නට පටන් ගත්තා.

 රොබට් බෙන් රෝඩ්ස් එදා (වමේ) සහ අද- allthatsinteresting.com 

 

රොබට් බෙන් රෝඩ්ස් සිදු කළ ඝාතන

රොබට් බෙන් රෝඩ්ස්, රෙජිනා හා ජෝන්ස් ඝාතනය කරන්නට පෙර තවත් ද්විත්ව ඝාතනයක් සිදු කර තිබුණා. රෙජිනා හා ජෝන්ස් ගේ සිද්ධිය පරිද්දෙන් ම පැට්‍රීෂියා වොල්ෂ් හා ඩග්ලස් සිකොව්ස්කි නම් යුවළක් පැහැර ගෙන ඔහු ඔවුන් ඝාතනය කර තිබුණා. ජෝන්ස් සිද්ධියේ දී මෙන් ම ඔහු පැට්‍රීෂියා රඳවා තබා ගෙන දීර්ඝ කාලයක් ඇයට අඩන්තේට්ටම් කර තිබුණේ ඩග්ලස් මුලදී ම මරා දැමීමෙන් අනතුරුව යි.

රෝඩ්ස් සිය ට්‍රක් රථයේ කොටසක් කාන්තාවන්ට අඩන්තේට්ටම් කිරීම සඳහා ම සකසා ගෙන තිබුණු අතර, ඔහු රෙජිනා එහි රඳවා ගෙන කුරිරු වද බන්ධනවලට ලක් කොට තිබුණා. ඇගේ සිරුර හමු වූයේ 1990 වසරේ මාර්තු මාසයේදී යි. පැට්‍රීෂියා හා ඩගලස් ඝාතනය පිළිබඳ ව අදාල බලධාරීන් දැනුම්වත් වූයේ ද රෙජිනාගේ ඝාතනය පිළිබඳ සොයා යාමේ දී යි. රෝඩ්ස්ට එරෙහි නඩුව විභාග වන විට දී පැට්‍රීෂියාගේ සිරුර සැඟ වූ ස්ථානය පිළිබඳව ද හෝඩුවා ලැබුණු අතර 1990 සැප්තැම්බර් මාසයේ දී එය සොයා ගැනෙනවා.

රෙජිනා කේ. වෝල්ටර්ස්ට අත් වූ ඉරණම

පැහැර ගත් රෙජිනා, මාසයකට ආසන්න කාලයක් සිය ට්‍රක් රථයෙහි මැද කොටසෙහි වූ කුටියක රඳවා තබා ගන්නට රෝඩ්ස් ක්‍රියා කර තිබුණා. ඇගේ දෑත් සීලිමට සවිකර තිබූ මාංචුවල රඳවා තිබූ අතර, ගමන් අතරතුර, ට්‍රක් රථය නවතා ඇය වෙත පහසුවෙන්  පැමිණිය හැකි පරිදි එම කුටිය සකසා තිබුණා. එමෙන් ම විටින් විට ඇයගේ ඡායාරූප ලබා ගන්නට ද ඔහු අමතක කළේ නැහැ. පසු කලෙක දී මේවා සොයා ගත් අතර, ඒවායේ විවිධ තැලුම් පහර සටහන් ව තිබූ අතර, රෙජිනාගේ බියෙන් සලිත වූ මුහුණ හා විවිධ දිගින් යුක්ත හිසකෙස්, ඇය මුහුණපෑ අඩන්තේට්ටම්වල බරපතළ බව කියා පෑවා.

ශාරීරික හිංසනවලට අමතරව, රෝඩ්ස් ඇයට මානසික ව ද දැඩි ලෙස හිංසා කර තිබුණා. ඇ‍ය පැහැරගෙන මසකට පමණ පසුව, ඇගේ පියා ඇමතූ ඔහු, තමන් සිය දියණියට සිදු කළ අඩන්ත්තේට්ටම් පිළිබඳ ව නිර්නාමික ව පවසන්නට වුණා. එක් දිනක ඇගේ පියා, දැඩි සිත් තැවුලෙන් සිය දියණිය තවමත් ජීවතුන් අතර නේදැයි විමසුවා. ඒ වන විට ඇය ඝාතනය කර තිබූ අතර, රෝඩ්ස් කිසිවක් නොපවසා දුරකථනය විසන්ධි කළා.

ඇය ලැබූ වදහිංසාවල අඩුවක් වූයේ නැහැ

ට්‍රක් රථයේ කෙටි කලක් තබා ගැනීමෙන් අනතුරු ව රෝඩ්ස්, රෙජිනා රඳවා තැබුයේ සිය ධාන්‍ය ගබඩාවෙහි යි. එහිදී ද ඇය ලැබූ වදහිංසාවල අඩුවක් වූයේ නැහැ. මෙහිදී ද ඇගේ ඡායාරූප ගැනීමට ඔහු උත්සුක වුණා. රෝඩ්ස් සොයා යෑම රෙජිනාගේ පියා හා ඔහුගේ සහචරයන් ආරම්භ කළ අතර, අවසන ඇගේ සිරුර රෝඩ්ස් ගේ ධාන්‍ය ගබඩාවේ තිබී හමුවුණා. ඔවුන් එම ධාන්‍ය ගබඩාව වහාම  ගිනිබත් කළා. මේ වන විට මේ පිළිබඳ ව පොලිසිය ද දැනුම්වත් කර තිබුණු අතර, යම් පරිශ්‍රමයකින් පසු ව රෝඩ්ස් හසු කර ගැනීමට ඔවුන් සමත් වුණා.

 රෙජිනාගේ අවසන් ඡායාරූපය- Robert Ben Rhoades/ gruposaedal.com 

 

රෝඩ්ස්ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

රෙජිනාගේ මරණ පරීක්ෂණ සිදු කෙරුණු අතර, වයරයක් භාවිතයෙන් ඇගේ ගෙල සිරකර තිබුණු බව එහිදී අනාවරණය වුණා. ධාන්‍ය ගබඩාව ගිනිබත් කර තිබුණ ද එයින් යම් හෝඩුවා සොයා ගන්නට පොලිසිය සමත් වුණා. කෙසේ නමුත් රෝඩ්ස් අල්ලා ගැනීම එතරම් පහසු වූයේ නැහැ. 1990 වසරේ අප්‍රේල් මස 1 වන දින ඇරිසෝනා හි මාර්ග පරීක්ෂක පොලිස් නිලධරයකුට සැකයක් ඇති වී රෝඩ්ස් ගේ ට්‍රක් රිය පරීක්ෂා කළ අතර, එහි වූ කුටියෙහි රඳවා සිටි කාන්තාවක් ඔහු සොයා ගත්තා. රෝඩ්ස් ඇයට ද දැඩි ලෙස අඩන්තේට්ටම් සිදුකර තිබුණා. රෝඩ්ස් පොලිස් භාරයට ගැනුණු අතර,  රෙජිනාගේ ඝාතකයා ඔහු බැව් ඉක්මනින් ම හඳුනා ගැණුනා. මේ සඳහා ඔහු සන්තකයේ තිබූ ඡායාරූප ගොන්න ද ඉවහල් වුණා. රෙජිනා ඝාතනයට මොහොතකට පෙර ඇය බියෙන් සලිත වී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ඒ අතර වුණා.

 රෝඩ්ස්ට එරෙහි නඩු විභාගය ඉක්මනින් ම ඇරඹි අතර මිනිස් ඝාතන තුනකට එරෙහි ව ඔහුට නඩු පවරා තිබුණා. මීට අමතර ව කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමට එරෙහි ව ද ඔහුට විරුද්ධ ව නඩු පැවරුණා. ඒවාට ඔහු වැරදිකරු වූ අතර ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වුණා. පසුකාලීන ව ඔහු පිළිබඳ ව පර්යේෂණ සිදු කිරීමේ දී බලධාරීන්ට පෙනී ගියේ සමහර විටෙක ඔහු ඝාතන 50 ක් පමණ සිදු කරන්නට ඇති බව යි.

 කවරයේ ඡායාරූය -  රෙජිනාගේ අවසන් ඡායාරූපය සහ රොබට් බෙන් රෝඩ්ස් -  allthatsinteresting.com 

 මූලාශ්‍ර:

Allthatsinteresting.com

Thoughtcatalog.com

Abcnews.go.com

Related Articles