Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ උද්ධමනය මනින මිල දර්ශක

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇති ව තිබෙන දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් අප රට තුළ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වන කරුණක්. උද්ධමනය මැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිත කරන මිල දර්ශක කිහිපයක් පිළිබඳ තොරතුරුයි මේ.

 01). ජාතික පාරිභෝගික මිල දර්ශකය

ප්‍රතිපත්ති හා තීරණ ගැනීමේ දී එම ප්‍රතිපත්තිවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ජාතික දර්ශකයක අවශ්‍යතාවක් ඇති වුණා. එනිසා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2015 නොවැම්බර් 23 දින සිට ජාතික පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික දත්ත තවදුරටත් වැඩි දියුණු කරමින් මෙම මිල දර්ශකය හඳුන්වා දුන්නා. 2012 ජූලි සිට 2013 ජූනි දක්වා කාලයේ දිවයින පුරා සිදු කළ ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීක්ෂණයෙන් ලබා ගත් තොරතුරු පදනම් කරගෙන මෙම දර්ශකය නිර්මාණය කළා.

ජාතික පාරිභෝගික මිල දර්ශකය – Design credit: Roar Media/Jamie Alphonsus

 

එහි දී පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීම සඳහා ලැස්පියර්ගේ දර්ශක සූත්‍රය භාවිත කළා. ශ්‍රී ලංකාවේ උද්ධමනය මැනීම සඳහා භාවිත කරන නිල මිල දර්ශකය වන මෙහි භාණ්ඩ පැස තුළ අයිතම 407ක් අඩංගු වෙනවා. එමඟින් පාරිභෝගිකයන්ගේ වියදම් රටාව ගැන හොඳින් වටහා ගන්නට පුළුවන්. ජාතික පාරිභෝගික මිල දර්ශකය මඟින් ශ්‍රී ලංකාවේ පළාත් 9 ම ආවරණය වන අතර සෑම දිස්ත්‍රික්කයක ම ප්‍රධාන නගරවල මිල රැස් කරන මධ්‍යස්ථාන 3කින් සෑම අයිතමයක් සඳහා ම මිල ගණන් රැස් කරනවා. එසේ ලබා ගන්නා දත්ත ඇසුරින් ශ්‍රී ලංකාවේ උද්ධමනය ආශ්‍රිත ගණනය කිරීම් සිදුකරනවා

02). කොළඹ පාරිභෝගික මිල දර්ශකය

ශ්‍රී ලංකාවේ උද්ධමනය මැනීම සඳහා භාවිතා කළ පැරණිත ම මිල දර්ශකය වන්නේ 1953 දී හඳුන්වා දුන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය යි. 1949/1950 කාලයේ දී කොළඹ නාගරික සීමාව තුළ පැවැත්වුණු පවුල් අයවැය සමීක්ෂණයෙන් වැටුප් ලබන සේවකයන් සහ ලිපිකරුවන් ඇතුළත් වුණු වැඩ කරන පන්තියේ පවුල් 445ක් ආවරණය වුණා. එමඟින් ලබා ගත් දත්ත භාවිතයෙන් මෙම මිල දර්ශකය සකස් කළා. එහි ගණනය කිරීම් සඳහා ලැස්පියර් සූත්‍රය භාවිත කළා එම දර්ශකය සකස් කිරීමේ ප්‍රධාන අරමුණ වුණේ 1944 පඩි පාලක සභා ආඥා පනතට අනුව කම්කරුවන්ට ජීවන වියදම් දීමනාවක් ගෙවීමේ දී භාවිත කිරීම සඳහා යි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය – Design credit: Roar Media/Jamie Alphonsus

 

මිල දර්ශකයක් සකස් කිරීමේ දී භාවිත කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව යමින් 2002 දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස් කම් සිදු කළා. එහි දී ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර මිල දර්ශකය සකස් කළා. එම ගණනය කිරීම් සඳහා වැඩි දියුණු කළ ලැස්පියර්ගේ දර්ශක සූත්‍රය භාවිත කළා. ඉන් පසුව එය 2007, 2013, 2017 යන වසරවල දී යාවත්කාලීන වුණා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ගණනය කිරීම් සඳහා කොළඹ නාගරික සීමාව තුළ පිහිටි මධ්‍යස්ථාන 14කින් භාණ්ඩ පැස සඳහා මිල ගණන් රැස් කරනවා. එම භාණ්ඩ පැස තුළ අයිතම 392ක් අඩංගු යි. ශ්‍රී ලංකාවේ උද්ධමනය මනින ප්‍රධාන දර්ශකයක් ලෙස මෙය තවමත් භාවිත වෙනවා.

03). නිෂ්පාදකයාගේ මිල දර්ශකය

දේශීය නිෂ්පාදකයන් ඔවුන්ගේ භාණ්ඩ සහ සේවා සඳහා ලබන සාමාන්‍ය මිල ගණන්වල විචලනය මැනීමට ජන ලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හඳුන්වාදුන් මිල දර්ශකය, නිෂ්පාදකයාගේ මිල දර්ශකය ලෙසින් හැඳින්වෙනවා. 2013 අවසන් කාර්තුවේ පැවැත් වූ ආර්ථික සංගණනයේ දත්ත ඇසුරින් මෙම දර්ශකය සකස් කර තිබෙනවා. මෙම දර්ශකය මඟින් කෘෂිකර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත සහ උපයෝගිතා කර්මාන්ත (විදුලිය සහ ජලය) යන ක්ෂේත්‍ර ආවරණය කරනවා.

නිෂ්පාදකයාගේ මිල දර්ශකය – Design credit: Roar Media/Jamie Alphonsus

 

නිෂ්පාදකයාගේ මිල දර්ශකය සැකසීමේ දී බස්නාහිර, මධ්‍යම සහ දකුණ යන පළාත් පමණක් ආවරණය කළා. 2015 දී හඳුන්වා දුන් මෙම දර්ශකයට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදක මිල දර්ශකයක කාර්යභාරය ඉටු කළේ ශ්‍රී ලංකා මහ බැංකුව ගණනය කළ තොග මිල දර්ශකය යි. මෙම දර්ශකය හඳුන්වාදීමෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව තොග මිල දර්ශකය ගණනය කිරීම නතර කළා.

04). දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය

දළ දේශීය නිෂ්පාදිතයෙහි අන්තර්ගත සියලු ම භාණ්ඩ හා සේවාවල මිල ගණන්වල සාමාන්‍ය මැන බැලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගණනය කරන දර්ශකය දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය ලෙසින් හැඳින්වෙනවා. 2010 පදනම් වර්ෂය ලෙස සලකා එය සකස් කර තිබෙනවා.

පවත්නා මිලට දළ දේශීය නිෂ්පාදිතය විවිධ මිල දර්ශක යොදා අවධමනය කිරීමෙන් පසුව ස්ථාවර මිලට දළ දේශීය නිෂ්පාදිතය ගණනය කළ හැකි ය. ඉන් පසුව ස්ථාවර මිලට දළ දේශීය නිෂ්පාදිතය සහ පවත්නා මිලට දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතිකය ගණනය කළ හැකි යි. එය ගම්‍ය මිල දර්ශකය ලෙසින් හැඳින්වෙනවා. ජාතික ගිණුම්වල අතුරුපලයක් වන එය ආර්ථිකයේ සමස්ත මිල මට්ටම් මැනීම සඳහා ඉතා ප්‍රයෝජනවත්.

කවරයේ ඡායාරූපය - Gettyimages.com

Related Articles