Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු සතියේ මෙරට විශේෂ සිදුවීම් පිළිබඳ පසුවිපරමක්

නිදහස ලැබීමෙන් පසු රට තුළ උද්ගත වී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන් වන අප පසු කරමින් සිටින්නේ අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් බව විශේෂයෙන් කිව යුතු නොවේ. අර්බුදකාරී තත්ත්වය හමුවේ ඇති වූ දැවැන්ත මහජන විරෝධය හේතුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා යාමට පවා සිදු විය.

මේ සියලු කරුණු සමඟ රටේ දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රයන් හි නවත ම සිදුවීම් පිළිබඳ ව ජනතාව වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ වර්තමාන තත්ත්වය ඔවුන්ගේ ජීවිතවලට සෘජු ව ම බලපා ඇති බැවිනි. ඒ නිසා පසුගිය සතියේ වැඩි වශයෙන් කතාබහට ලක් වූ රටේ දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රයන්හි සිදුවීම් කිහිපයක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අප තීරණය කළා.

හදිසි නිතිය සම්මත වේ

ජූලි 18 දින එවකට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත් කළ හදිසි නිතිය පිළිබඳ යෝජනාව පසුගිය 27 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 120කුත්, විරුද්ධව ඡන්ද 63කුත් ලැබී තිබිණි. හදිසි නිතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ සිය විරෝධය පළ කළ අතර, ආණ්ඩු පක්ෂයේ අදහස වූයේ රට තුළ පවතින තත්ත්වය හමුවේ හදිසි නිතිය පැනවීම අත්‍යවශ්‍ය බව යි.

මහා මාර්ගයක රාජකාරියේ යෙදී සිටින හමුදා සෙබළු – www.adaderana.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කළේ ඔවුන් හදිසි නිතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් එකඟ නොවන බව යි. කෙසේවෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන විමල් විරවංශ ඇතුළු පිරිසක් හදිසි නීතියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ජනපති සහ අගමැති අමෙරිකානු තානාපතිනිය හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චං(ග්) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යයාලයේ දී පසුගිය 27 වැනි දින සිදු විය. එහිදී තානාපතිනිය නව ජනාධිපතිවරයාට සුබ පැතුම් පිරිනමා තිබූ අතර, ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින සම්බන්ධතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳව සාකච්ඡා වී තිබිණි. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ද එම හමුව අතරතුර අදහස් හුවමාරු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චං(ග්) – President’s Media Division

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක් ද පසුගිය 28 වැනිදා සිදු විය. ඒ පිළිබඳව ට්විටර් සටහනක් තබමින් තානාපතිනිය සඳහන් කර තිබුණේ මේ අභියෝගාත්මක අවස්ථාවේ අමෙරිකා එක්සත් ජනපදයට, ශ්‍රී ලාංකික ජනතාවට සහයෝගය ලබා දිය හැකි ආකාරය සම්බන්ධයෙන් මෙම හමුවේ දී සාකච්ඡා වූ බව යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීම වැනි, පවතින අර්බුදය විසඳීම සඳහා පියවර ගනිමින් තිබෙන තිබෙන පසුබිමක රටේ නායකයන් යුක්තිය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ද ඇය සඳහන් කළා ය.

අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජනපද තානාපතිනිය – www.facebook.com- දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය ඒකකය

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන ස්වාධින මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික රජයක් පිහිටුවිය යුතු බව පාර්ශව ගණනාවක් පෙන්වා දී තිබේ. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එවැනි රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ, මේ වන විට ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන විමල් විරවංශ, උදය ගම්මන්පිල, පූජ්‍ය අතුරලියේ රතන හිමි, මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පසුගිය සතියේ රැස් වී සර්ව පාක්ෂික රජයකට සම්බන්ධ විය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. කෙසේ වෙතත් එම සාකච්ඡාව අතරතුර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත් බවක් වාර්තා නොවේ.  මෙම පිරිසජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ 5 වැනිදා (අද) හමු වී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා විය.

සර්ව පාක්ෂික රජයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යංශයේ දී  පසුගිය 28 වැනිදා සිදු විය. එහිදී සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සහ යෝජනා මාලාවක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහු සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් සමඟ – www.facebook.com- Lasantha Alagiyawanna

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි වාරය ඇරඹෙයි

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි වාරය පසුගිය 3 වැනිදා ආරම්භ විය. එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අතර එය බොහෝ පාර්ශවයන්ගේ පැසසුමට ලක් වී ඇත. කෙසේ වෙතත් විපක්ෂය ප්‍රමුඛ බොහෝ දේශපාලන පක්ෂ පෙන්වා දී ඇත්තේ එම ප්‍රතිපත්ති ප්‍රකාශය හුදු ලියවිල්ලකට පමණක් සීමා නොකර ක්‍රියාත්මක කළ යුතු බව යි.

එදින පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වන විට රට පුරා පැවැත්වෙන විරෝධතාවල නිරත වන ජනතාව වෙනුවෙන් කාර්යයංශයක් පිහිටුවීමට කටයුතු කරන බව යි. ඒ යටතේ විරෝධතාකරුවන්ට විවිධ කරුණු සම්බන්ධයෙන් වන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේ ය.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ජනාධිපතිවරයා –  www.parliament.lk

ගෝඨාභය නැවතත් මෙරටට?

ජනතා විරෝධය හමුවේ මාලදිවයිනට සහ ඉන් අනතුරුව සිංගප්පූරුවට පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පසුගිය දා වාර්තා විය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 11 වනදා යළිත් මෙරටට පැමිණීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

දැනට සිංගප්පූරුවේ සිටින ඔහුට එහි රැඳී සිටීමට එරට රජය අවසර ලබාදී ඇති කාලය අගෝස්තු 11 වනදායින් අවසන් වනු ඇත. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා එදින ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය ආරක්ෂාව සැලසීම වැනි කරුණු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ ද සාකච්ඡාවක් සිදු වී නැත.

 ගෝඨාභය රාජපක්ෂ මෙරටට නැවත පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව යළි දේශපාලන කටයුතුවල නිරත වීමට කැමැති නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා කැමැත්තෙන් ඔහු පිළිගැනීමට සූදානම් බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පසුගියදා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් සහ හිටපු ජනාධිපතිවරයෙක් වන ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක් බව යි.

ගෝඨාභය රාජපක්ෂ – www.themorning.lk

අරගලයේ නියමුවන්ට විදෙස් ගමන් තහනමක්

‘ගෝඨාගෝගම’ අරගල භූමියේ සහ, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ රජයට විරුද්ධව පැවැත්වෙන විරෝධතාවල ඉදිරිපෙළ සාමාජිකයන් කිහිප දෙනෙක් විදේශගත වීම වලක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේ ද පසුගිය සඳුදා ය. 2022 ජූනි 9 දින කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර මහජන දේපලවලට හානි කළ බවට චෝදනා කරමින් පොලිසිය අධිකරණයට කළ කරුණු දැන්වීමක් අනුව අදාළ විදෙස් ගමන් තහනම පැනවිණි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්, අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, එහි හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර, ජීවන්ත පීරිස් පියතුමා, සමාජවාදී තරුණ සංගමයේ කැඳවුම්කරු එරංග ගුණසේකර සහ රංග ලක්මාල් එම පිරිස අතර වේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන දනීෂ් අලීට මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා ඔහුට දින 14 ක සිරදඩුවම් නියම කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.

මෙම සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 27 දින රිමාන්ඩ් බාරයට පත්කර නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදි ජංගම දුරකතනයක් සමග ඔහු බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇත.

ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් සහ මේ වන විට කොළඹ නගරය මූලික කරගෙන ක්‍රියාත්මක වන මහජන විරෝධතාවල ඉදිරිපෙළ සාමාජිකයෙක් වන ජෝසප් ස්ටාලින් පසුගිය 3 වැනිදා සවස 6ට පමණ පොලිස් අත්අඩංගුවට ගැනිණී. ඔහු සිය වෘත්තීය සමිති මධ්‍යස්ථානය වන කොළඹ ‘ගුරු මැදුරේ’ සිටියදී කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පැමිණ අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් අනතුරුව කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ නිල නිවසට  4 වැනිදා රැගෙන විත් තිබූ ඔහු අගෝස්තු 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. මැයි මස කොළඹ දී පැවති උද්ඝෝෂණයකට අධිකරණ නියෝගයක් නොතකා සහභාගී වී ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි පාර්ශව ගණනාවක් මේ වන විට සිය අප්‍රසාදය පළ කර තිබේ.

ජෝසප් ස්ටාලින් – www.facebook.com- Ceylon Teachers’ Union

අරගල බිමෙන් ජනතාව ඉවත් කිරීමේ සූදානමක්?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් ගාලුමුවදොර පිටියේ ක්‍රියාත්මක වන ‘රනිල්ගෝගම’ අරගල භූමියෙන් ජනතාව ඉවත් කර ඔවුන් වෙනත් ස්ථානයක් වෙත යොමු කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙන බව පසුගිය සතියේ වාර්තා විය. ගාලුමුවදොර පිටිය වෙනුවට කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පිහිටා ඇති එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පිටිය සහ කැම්බල් පිටිය වැනි ස්ථාන අතරින් එකක් හෝ කිහිපයක් අරගලකරුවන්ට වෙන් කර දීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බව වාර්තා විණි. සාමකාමි ව විරෝධතා දැක්වීම සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු  කිරීමට ශ්‍රී ලංකා රජය කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසකට ද දැනුම් දී තිබිණි.

කොළඹ ගාලුමුවදොර පිටියේ පිහිටි දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක පිළිරුවට හානි කිරීමට හෝ එය පෙරළා දැමීමට යම්කිසි පිරිසක් උත්සහ කරන බව කොළඹ කොටුව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි. ඉන් අනතුරුව එම පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක් ඇතුළත කිසිවෙකුට රැඳී සිටීම තහනම් කරමින් ජූලි 20 දින අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරිණී. අදාළ නියෝගය කඩ කරමින් බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි බවට සැක කෙරෙන පුද්ගලයන් සිව් දෙනෙක් පසුගිය 26 වැනි දින පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව එම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කළ බව වාර්තා විය.

ගාලුමුවදොර පිටියේ පිහිටා ඇති බණ්ඩාරනායක ප්‍රතිමාව – Gayan Samaraweera

‘රනිල්ගෝගම’ ඉවත් කරගන්නැයි පොලිසියෙන් නියෝග

කොළඹ ගාලුමුවදොර පිටියේ ක්‍රියාත්මක වන ‘රනිල්ගෝගම’ විරෝධතා භූමිය තුළ තිබෙන සියලු ඉදිකිරීම් සහ වගාකර ඇති බෝග වර්ග අද (5 වැනිදා) සවස 5 වන විට ඉවත් කරගන්නැයි පොලිසිය පසුගිය 3 වැනිදා නිවේදනය කළේ ය. නිල ඇඳුමින් ගාලුමුවදොර පිටිය වෙත පැමිණි පොලිස් නිලධාරීන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් අදාළ නිවේදනය සිදු කළ අතර, එම ස්ථානයෙන් ඉවත් නොවන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිසිය සඳහන් කළේ ය. එම ස්ථානයට යාබද ස්ථානයක එදින සවස සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයකට සහභාගී වූ පිරිසක් විසුරුවා හැරීමට ද පොලිසිය කටයුතු කර තිබිණි.

පොලිස්පති රාජකාරිය පැහැර හැර ඇති බව මානව හිමිකම් කොමිසම කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පසුගිය මැයි 9 වැනි දින අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනාගෝගම’ සහ ගාලුමුවදොර පිටියේ පිහිටි ‘ගෝඨාගෝගම’ සාමකාමී මහජන විරෝධතා භූමිවලට පහර දුන් අවස්ථාවේ එම විරෝධතාවල නිරත වූ ජනතාවට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට කටයුතු නොකිරීම හරහා පොලිස්පති චන්දන වික්‍රමරත්න සිය රාජකාරි පැහැරහැර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය 26 දා සඳහන් කර තිබිණි.

අදාළ ප්‍රහාරය පිළිබඳ ව වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් නිර්දේශ කර තිබුණේ එවැනි සිදුවීම් නැවත සිදුවීම වැලැක්වීම අරමුණු කරගෙන, පොලිසිය පාර්ශවයෙන් සිදු වී ඇති අඩුපාඩු පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව යි.

මැයි 9 දින සාමකාමී විරෝධතාකරුවන්ට පහර දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආධාරකරුවෝ – www.hindustanitimes.com

පෙරටුගාමී පක්ෂ කාර්යයාලයට හදිසියේ කඩා වැදුණු පොලිසිය

මේ වන විට රට පුරා පැවැත්වෙන විරෝධතාවලට සම්බන්ධ ප්‍රධාන පාර්ශවයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ පිහිටි කාර්යයාලයට පසුගිය 29 දින පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හදිසියේ ඇතුළු වී සෝදිසියක් සිදු කර තිබිණි. එදින උදෑසන 7.30ට පමණ එහි පැමිණි පොලිස් නිලධාරීන් සතුව එම පක්ෂ කාර්යාලය සෝදිසි කිරීම සඳහා කිසිදු වරෙන්තුවක් නොතිබූ බව පක්ෂයේ නියෝජිතයෝ මාධ්‍ය වෙත පැවසූහ. එම සිදුවීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය බලාපොරොත්තු වන බව ද වාර්තා විය.

ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සමෙන් රනිල් වික්‍රමසිංහ ඉවතට

රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සමක් පසුගිය සතියේ දී සලකා බැලිණි. අදාළ පෙත්සම ගොනු කරන අවස්ථාව වන විට අග්‍රාමාත්‍ය ධුරය දැරූ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එහි වගඋත්තරකරුවෙක් ලෙස නම් කර සිටි නමුත්, පෙත්සම්කාර පාර්ශවය සිදු කළ කරුණු දැක්වීමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සමෙන් රනිල් වික්‍රමසිංහ නිදහස් කිරීමට තීරණය කර තිබිණි.

 අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන දෙදෙනාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය කටයුතු කළේ ය.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ – www.facebook.com- Archdiocese of Colombo

අගරදගුරු හිමියන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෝදර ප්‍රදේශයේ දේවස්ථානයක පසුගිය දා පැවති දේව මෙහෙයක් අතරතුර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. හිමිපාණන් සඳහන් කළේ 2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තවමත් දේශපාලන කටයුතුවල නිරත වන බව යි. එය වලක්වා ගැනීමට කටයුතු නොකළ උසස් පොලිස් නිලධාරීන් තවමත් පොලිසියේ ඉහළ තනතුරු දරන බව ඔහු චෝදනා කළේය.

පසුගිය ජනවාරි මාසයේ දී බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් හිමිපාණන් චෝදනා කළේ එම අත්බෝම්බය දේවස්ථානය තුළ තබා ඇත්තේ ආරක්ෂක අංශ සාමාජිකයන් බව යි. ඊට එවකට පැවති රජයේ ‘ප්‍රබලයන්’ ද සම්බන්ධ බව චෝදනා කරමින් ඔහු සඳහන් කළේ එම සිදුවීමට අදාළ විමර්ශන නිසි පරිදි සිදු නොවීමට හේතුව එවැනි ‘ප්‍රබලයන්’ ගේ මැදිහත්වීම බව යි.

 එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පොලිසිය සඳහන් කළේ එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ට අමතරව වෙනත් සැකකරුවන් ඊට සම්බන්ධ බවට අනාවරණය වී නොමැති බව යි. ඊට අදාළ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය යටතේ නිසි පරිදි සිදු වන බව ද පොලිසිය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නාම පුවරුව- www.adaderana.lk

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩි තැබීමක්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළ සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන පසුගිය 4 වැනිදා වෙඩි තැබීමක් සිදු විය. එම වෙඩි තැබීමෙන් පසු එය සිදු කළ සැකකරු සහ ඔහුගේ ඉලක්කය වූ විත්ති කූඩුව තුළ සිටි පුද්ගලයා එම ස්ථානයෙන් පළා ගොස් තිබිණි. එම වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදු නොවී ය. අදාළ පුද්ගලයන් දෙදෙනා සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය. කෙසේ වෙතත් අධිකරණ සංකීර්ණයක් වැනි ස්ථානයක් තුළට ගිනි අවියක් රැගත් පුද්ගලයකු ඇතුළු වූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.

සංචාරක සේවා සපයන ස්ථානවලට මත්පැන් අලෙවි කිරීමට බලපත්‍ර

ජූලි 28 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල් සහ ආපනශාලා සඳහා සහ එම අධිකාරිය හඳුනා ගෙන ඇති ප්‍රදේශවල පිහිටි සංචාරකයන් සඳහා නවාතැන් සහ වෙනත් සේවා සපයන ආයතන සඳහා වයින් සහ බියර් ඇතුළු මෘදු මත්පැන් අලෙවි කිරීම සඳහා වන බලපත්‍ර ලබාදීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවසර දී තිබිණි. එම අමාත්‍යංශය සඳහන් කළේ මෙය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා ගත් උපායමාර්ගික පියවරක් බව යි.

ආනයනය කළ සහල් තොගයක් ගොඩබාන අයුරු – www.pinterest.com

සහල් ආනයනය දෙසැම්බර් දක්වා අත්හිටුවීමේ සූදානමක්

මේ වන විට රට තුළ ප්‍රමාණවත් සහල් තොග පවතින බැවින්, සහ යල කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වී ඇති බැවින් එළඹෙන දෙසැම්බර් මාසය දක්වා සහල් ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම සහල් අසීමිත ලෙස ආනයනය කිරීම හේතුවෙන් දේශීය වී ගොවීන්ට සාධාරණ මිලක් නොලැබී යාමේ අවදානමක් පවතින බැවින් මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තා වේ. ඊට අනුමැතිය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට නියමිත බව ද වාර්තා විය.

‘Yuan Wang 5’ චීන නෞකාව

පසුගිය දා හම්බන්තොට වරායට ලඟා වූ චීනයට අයත් විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන ‘Yuan Wang 5’ සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ. ඊට හේතුව එම නෞකාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පළ කර ඇති මතය යි. එම නෞකාව සම්බන්ධ වාර්තාවලට ප්‍රතිචාර වශයෙන් ඉන්දියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ එරට ජාතික ආරක්ෂාව සහ ආර්ථික කටයුතුවලට බලපෑමක් එල්ල කළ හැකි යැයි හැඟෙන සියලු දේ සම්බන්ධයෙන් ඉන්දීය රජය නිරන්තර විමසිල්ලෙන් පසු වන බව යි.

කෙසේ වෙතත් අදාළ නෞකාව ඉන්ධන ලබාගැනීම සඳහා මෙරටට ළඟා වූ බවත්, ඒ සඳහා අවශ්‍ය නිෂ්කාශන ලබා දීමට කටයුතු කළ බවත් ආරක්ෂක අමාත්‍යංශය පසුගිය 30 දින ප්‍රකාශ කර තිබිණි. ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ඉන්දියාව, ජපානය, රුසියාව, එක්සත් ජනපදය සහ කොරියාව වැනි රටවලට අයත් නෞකා ද මේ ආකාරයෙන් ඉන්ධන ලබාගැනීමට මෙරටට පැමිණෙන බව යි.

Yuan Wang 5 නෞකාව –  www.newindianexpress.com

ඉන්ධන හිඟය හේතුවෙන් වසා දැමූ පාසල් යලි විවෘත වේ

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් බස් රථ ධාවනය වීම වැනි හේතු නිසා ගුරුවරුන් සහ සිසුන් දුෂ්කරතාවලට මුහුණ දෙන බැවින් දිවයින පුරා පිහිටි පාසල් සති කිහිපයක් තිස්සේ වසා දමා තිබිණි. එලෙස වසා දැමූ පාසල් පසුගිය සඳුදා යළි විවෘත විය.

කෙසේ වෙතත් එදින ද පාසල් වෙත යාම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට බොහෝ ගුරුවරුන්ට සහ සිසුන්ට නොහැකි විය. මාර්ගවල සහ බස් නැවතුම්පොළවල් අසල ගුරුවරුන් සහ සිසුන් විශාල වශයෙන් රැඳී සිටින අයුරු දක්නට ලැබිණි. පුද්ගලික බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවලින් ලබා දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවීම මේ තත්ත්වයට හේතුව බව වාර්තා විය.

පාසල් නිම වී නිවෙස් බලා යන සිසුවියෝ – www.slguardian.com

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් බවට පත් වීමේ අවදානමක් සහ යලි හිස ඔසවන කොවිඩ්-19

ජූලි මස පළමු සති තුන පමණක් ඩෙංගු රෝගය වැලඳුණු බවට සැක කෙරෙන රෝගීන් 9,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත්, ඩෙංගු රෝගය ඉදිරියේ දී අධි වසංගත තත්ත්වයක් බවට පත් වීමේ අවදානමක් තිබෙන බවත් සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබේ. ඒ හේතුවෙන් පසුගිය සඳුදා දිනය විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස නම් කෙරිණි. පුද්ගලික සහ රාජ්‍ය ආයතන පරිශ්‍රයන්හි ඇතුලත සහ පිටත ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිළිබඳ ව සොයා බලා ඒවා විනාශ කර දැමීම පවතින තත්ත්වය තුළ ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර තිබේ.

 පසුගිය මාස කිහිපය තුළ සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් තිබූ කොවිඩ්-19 වසංගත තත්ත්වය යලි හිස එසවීමේ අවදානමක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය සතියේ අනතුරු ඇඟවී ය. ලෝකයේ බොහෝ රටවල මේ වන විට වාර්තා වන කොවිඩ්-19 ආසාධිතයන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් ශ්‍රී ලංකාව ද ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන වසංගත රෝග ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියේ මුඛ ආවරණ පැළඳීම, අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය තබාගැනීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව පිළිපදින ලෙස  යි. කොවිඩ්-19 එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත.

කොවිඩ්-19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් – www.newindianexpress.com

ශ්‍රී ලංකාවට තවත් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් 2ක්

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්ව සිටින යුපුන් අබේකෝන් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ පසුගිය 04 වැනි දා ය. එහි දී යුපුන්ගේ තරග නිමි කාලය තත්පර 10.14ක් ලෙසින් සටහන් විය. එය 1998 වසරෙන් පසුව ශ්‍රී ලංකාව දිනාගත් එකම පොදුරාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා පදක්කම වීම විශේෂත්වයකි.

යුපුන් අබේකෝන් – gettyimages.com

යුපුන්ට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගත්තේ පාලිත බණ්ඩාර ක්‍රීඩකයා යි. F42-44/61-64 ආබාධිත කාණ්ඩයේ කවපෙත්ත විසිකිරීමේ තරගය සඳහා සහභාගි වුණු පාලිත ‍සිය රට වෙනුවෙන් රිදී පදක්කමක් දිනා ගත්තේ ය.

ඔහු දැක් වූ දක්ෂතාව මීටර 44යි දශම 2කි.

පාලිත බණ්ඩාර – Akila Seneviratne

 

ඛනිජ තෙල් බෙදා හැරීම විධිමත්ව සිදු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

ඛනිජ තෙල් බෙදා හැරීම දැනට වඩා කාර්යක්ෂමව සහ විධිමත් ව සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අවධාරණය කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙසේ අවධාරණය කළේ, ආණ්ඩුව ජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.

කවරයේ ඡායාරූපය - 'ගෝඨාගෝගම' මහජන විරෝධතා භූමිය - Pradeep Dambarage/NurPhoto via Getty Images 

මූලාශ්‍ර:

www.themorning.lk

www.dailymirror.lk

www.adaderana.lk

www.sundaytimes.lk

President's Media Division press releases

 

Related Articles