Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොවිසඳුණු අතුරුදහන්වීම්- 6: ගුවන් ගමනකදී අතුරුදහන් වූ වැලන්ටික්

අදටත් රහසක් ව පවතින, විසඳාගත නොහැකි වූ මිනිස් අතුරුදහන් වීම් පිළිබඳ ව ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි පසුගිය ලිපියෙන් අපි ඔබ වෙත ගෙන ආවේ නිවාඩුවක් ගත කිරීම සඳහා නෞකාවක ගමන් කරමින් සිටි යුවතියක වන ඇමී ලින් බ්‍රැඩ්ලිගේ අතුරුදහන් වීම පිළිබඳව යි. පසුකාලීන ව ඇය පිළිබඳ ව යම් යම් හෝඩුවාවන් පොලිසිය හා ඇගේ පවුලේ උදවිය වෙත ලැබුණත්, ඒ ඔස්සේ යමින් ඇය සොයා ගන්නට කිසිවකුත් සමත්කම් නොදැක්වූ නිසා, එම සිද්ධිය අදටත් දැක්වෙන්නේ සම්පූර්ණයෙන් ම නොවිසඳුණක් හැටියට යි.

ඔස්ට්‍රේලියාවේ බාස් සමුද්‍රසන්ධිය හෙවත් එහි ප්‍රධාන ගොඩබිම හා තස්මේනියානු දූපත වෙන් කෙරෙන කෙටි සමුද්‍ර තීරයේ 1978 වසරේ දී ගුවන් යානයක් හසුරුවමින් සිටි ෆෙඩ්‍රික් වැලන්ටික් ගේ හදිසි අතුරුදහන් වීමත්, ඇමී ලින් බ්‍රැඩ්ලිගේ සිද්ධිය මෙන් ම බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ එකක් වුණා. මේ පිළිබඳව ද කෙතරම් පරීක්ෂණ කළත්, අද වන තුරුත් ඔහු පිළිබඳ ව නිසියාකාර තොරතුරක් සොයා ගන්නට කිසිවකුත් සමත්කම් දක්වා නැහැ.

ෆෙඩ්‍රික් වැලන්ටික්- heraldsun.com.au

 

පුහුණුව අතරතුර අතුරුදහන් වූ නියමුවා

ෆෙඩ්‍රික් වැලන්ටික් නම් 20 වියැති, තරුණ ගුවන් නියමුවා සෙස්නා 182එල් වර්ගයේ ගුවන් යානයක නැගී පුහුණු පියාසැරියක් සඳහා 1978 වසරේ ඔක්තෝබර් මස 21 වැනි දා ගුවන්ගත වුණා. ඔහු ඒ වන විට ගුවන් පැය 150 ක් පමණ ගත කර තිබූ, යම් පමණක පලපුරුද්දක් ඇති නියමුවෙක් වුණා. විටින් විට රළු විය හැකි මුහුදක් සහිත බාස් සමුද්‍රසන්ධිය ඔස්සේ ඔහුගේ පථය වැටී තිබූ අතර, හදිසියේ ම ඔහු හා යානා පාලක නිලධාරීන් අතර සම්බන්ධතාව බිඳවැටෙනවා. ඒ කිසිවෙක් විසින් අවසන් වරට ඔහු ඇමතූ අවස්ථාව යි.

වැලන්ටික් ගුවන්ගත වී තිබුණේ මුරබින් ගුවන්තොටුපොළෙනු යි. ඔහුගේ ගමනාන්තය කිංග්ස් අයිලන්ඩ් වුණා. ගමනේ මූලික අදියර ඉතා සාමන්‍ය ලෙසට සිදුවුව ද, සියල්ල උඩු යටිකුරු වන්නේ වැලන්ටික් ගුවන් යාන පාලක නිලධරයාට හදිසියේ ම අමුතු ම ඝණයේ අනාවරණයක් කිරීමත් සමඟ යි. එක් වර ම ඔවුන් ඇමතූ වැලන්ටික් පැවසුවේ, හඳුනා නොගත් යම් පියාසර වස්තුවක් ඉතා වේගයෙන් තමා සමීපයෙන් ඇදී යන බව යි. එය පොළොව මට්ටමේ සිට අඩි 4500ක් උසින් ගමන් කරමින් තිබෙන බැව් ඔහු පවසා සිටි අතර එහි ඉතා දීප්තිමත් විදුලි පහන් හතරක් ඇති බව ද පැවසුවා. එය තමන්ට වඩා අඩි දහසක් උඩින් තම යානය පසුකර ගිය බැව් ඔහු දැනුම් දුන්නා.

දිළිසෙන ලෝහමය යානාවක්

වැලන්ටික් පැවසූ කාරණයේ අසාමාන්‍ය බව නිසා ඒ පිළිබඳ ව ගුවන්යානා පාලක නිලධාරීන් ද උනන්දුවක් දැක්වූවා. වැලන්ටික් මිනිත්තු 5 ක් පමණ එහි හැසිරීම පිළිබඳව ද ඔවුන්ට විස්තර පැවසුවා. එය දිළිසෙන ලෝහමය යානාවක් බවත්, කොළ පැහැති විදුලිපහන් එහි ඇති බවත් ඔහු කියා සිටියා. එම යානයේ නියමුවා තමන් සමඟ ‘සෙල්ලම් ‘ කරන ආකාරයෙන් යානය හසුරුවන බව ද ඔහු ගුවන් යානා පාලක නිලධාරීන්ට පැවසුවා. වලන්ටික්ගේ යානය අභිරහස් ලෙස යාන්ත්‍රික දෝෂයකට ලක් වෙන්නේ මේ මොහොතේදී යි.

 වැලන්ටික්ගේ අවසන් ගුවන් ගමන දැක්වෙන සිතියමක්- Wikimedia Commons

 

යානය සමඟ සම්බන්ධතා බිඳී යයි

වැලන්ටික්ගේ යානය වෙතින් එක්වර ම අමුතු හඬක් නැඟීම නිසා ගුවන් යානා පාලක කාර්ය මණ්ඩලය තැති ගත්තා. ඔහු යානයේ එංජින් දෝෂයක් හටගෙන ඇති බැව් පැවසුවා. ඉන් අනතුරු ව උදා වූ තත්පර කිහිපයේ සිදුවූයේ ඉතාමත් අසාමාන්‍ය දෙයක්. ගුවන්යානා පාලක කාර්යමණ්ඩලයේ අය වැලන්ටික්ගෙන් නැවත විමසා සිටියේ ඔහු විස්තර පැවසූ යානය කොහිදැයි යන්න යි. ඒ හදිසි ගොඩබෑමකට ඔහු සූදානම් කිරීම සඳහා යි. ඔහුගේ ඉක්මන් පිළිතුර වූයේ ‘එය ගුවන් යානයක් නොවේ’ යන්න යි. එක් වර ම ඔහුගේ අන්තයෙන් යකඩයක් යම් කිසිවක ගැටී ඇදී යන ආකාරය හඬවන ශබ්දයක් නිකුත් වන්නට වූ අතර, මොහොතින් යානය සමඟ වූ සම්බන්ධතාව ද බිඳී ගියා. මෙල්බර්න් හි සිටි ගුවන්යානා පාලක කාර්යමණ්ඩලය වැලන්ටික් නැවත සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද, එය ව්‍යර්ථ වුණා.

බලධාරීන් සිතුවේ වැලන්ටික්ගේ යානය කොතැනක හෝ කඩා වැටී ඇති බව යි. මේ අනුව ඔහු අවසන් වරට රැඳී සිටි කලාපය තදාසන්න මුහුදේ මෙන් ම ගොඩබිමත් සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණා. කෙසේ නමුත් ඔහු හෝ යානය පිළිබඳ ව කිසිදු තොරතුරක් සොයා ගන්නට කිසිවකුත් අසමත් වුණා. මේ නිසා ඉදිරි පර්යේෂණ ඇන හිටියා.

 වැලන්ටික් තමන් ගමන්ගත් යානය සමග – heraldsun.com.au 

 

පිටසක්වළ ජීවීන් වැලන්ටික් පැහැරගත්තා ද?

වැලන්ටික්ගේ අතුරුදහන් වීමෙන් වසර පහකට පසු ව, ඒ වන විට ඔහු පැද යමින් සිටි ගුවන්යානයේ යැයි සැක කෙරෙන කොටසක්, තදාසන්න ෆ්ලින්ඩර්ස් දූපතේ වෙරළට ගොඩ ගසා තිබිය දී හමු වුණා. වැලන්ටික්ගේ පියා බලධාරීන්ට අමුතු ම කතාවක් පැවසුවා. ඔහු පැවසුවේ වැලන්ටික් ‘පියාඹන පීරිසි’ පිළිබඳ ව විශ්වාස කළ බැව් හා, යම් දිනෙක එවැන්නක් තමාට හමු වේ යැයි බියෙන් පසු වූ බව යි. මේ නිසා ඔහු පිටසක්වළ ජීවීන් පැහැර ගත් බවට විශ්වාසයක් ද සමහරෙක් තුළ ඇති වුණා.

ඊට සාධක ද සපයමින් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පර්යේෂක කණ්ඩායමක් තමන් වැලන්ටික් අතුරුදන් වූ දිනයේ උදෑසන අඩි 90 ක් පමණ දිගින් යුක්ත හඳුනා නොගත් පියාසර වස්තුවක් එහි කුඹුරු යායක් උඩින් ගමන් කරනු දුටු බැව් 2014 වසරේ දී පවසන්නට වුණා. වැලන්ටික් අවසන් වරට කළ ප්‍රකාශය මේ සමඟ යම්තාක් සැසඳුණ නමුත් මේ පිළිබඳ ව කිසිදු විශ්වාසනීය සාධකයක් හමුවූයේ නැහැ. මේත් සමඟ ම සිය අනන්‍යතාව හෙළි නොකළ අයෙක් බලධාරීන් වෙත පවසා තිබුණේ තමන් වැලන්ටික්ගේ යානය එම හඳුනා නොගත් වස්තුවේ ගැටී තිබෙනු දුටු බව යි.

 වැලන්ටික් හා හඳුනා නොගත් ආකාශ වස්තුව පිළිබඳ වූ කතාව ඔස්ට්‍රේලියානු පුවත්පත් වාර්තා කර තිබූ ආකාරය- The Australian

 

හඳුනා නොගත් ආකාශ වස්තුවේ’ කතාව

වැලන්ටික් හා ‘හඳුනා නොගත් ආකාශ වස්තුවේ’ කතාව පිළිබඳ අදටත් විවාද පැවැත්වෙනවා. මේ වන තුරුත් ඔහු පිළිබඳ ව තොරතුරක් කිසිවකුට හමු වී නැහැ. වැලන්ටික් ගේ අතුරුදහන් වීම ඔස්ට්‍රේලියාව එදා මෙදා තුර මුහුණපෑ, විසඳා ගත නොහැකි වූ අබිරහස් ගොන්නට ඇතුළු වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය -  වැලන්ටික් තමන් ගමන්ගත් යානය සමඟ - heraldsun.com.au

මූලාශ්‍ර:
Allthatsinteresting.com
Snopes.com
Planeandpilotmag.com

Related Articles