Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් නොවිසඳුණු අතුරුදහන් වීම් -3 : මැඩෙලින් මැකාන්

තවමත් නොවිසඳුණු, ලොව පුරා කතා බහට ලක් වූ අතුරුදහන් වීම් ඔබ වෙත ගෙන එන මෙම ලිපි පෙළෙහි පසුගිය ලිපියෙන්, සිය නිවෙස් පරිශ්‍රයේ සිටියදීම හදිසියේ අතුරුදහන් වූ විසි හතර හැවිරිදි ජෙනිෆර් කෑස් පිළිබඳ අප කතා කළා.

කිසිදු සාධනීය හෝඩුවාවක් හමු නොවූ ඒ හදිසි අතුරුදහන් වීම වැනි ම තවත් අතුරුදහන් වීමක් පිළිබඳ විස්තර මේ ලිපියෙන් අප ගෙන එනවා. පෘතුගාලයේදී සිදු වූ මෙම සිදුවීම, මෑත ඉතිහාසයේ අතුරුදහන් වූවකු පිළිබඳ ලොව පුරා වැඩියෙන් ම වාර්තා වූ අවස්ථාවක් ලෙස සටහන් ව තිබෙනවා.

 මැඩෙලින් මැකාන්- PA 

 

හදිසියේ අතුරුදහන් වූ බ්‍රිතාන්‍ය දරුවා

බ්‍රිතාන්‍ය ජාතික යුවළකට උපත ලබා තිබූ මැඩෙලින් මැකාන් හදිසියේ අතුරුදහන් වූයේ සිය පවුල සමඟ පෘතුගාලයේ නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටියදී යි. එවකට ඇය තුන් වන වියෙහි පසු වුණා. 2007 වසරේ සිදු වූ මෙම සිදුවීම පිළිබඳ අදටත් බොහෝ දෙනාගේ සිත් සතන් තුළ සැක සංකා රාශියක් තිබෙනවා. මෙය සිදු වූ ආකාරය සහ, කිසිදු සාධනීය හෝඩුවාවක් වාර්තා නොවීම යන කාරණා නිසා ක්‍රමක්‍රමයෙන් ඇගේ අතුරුදහන් වීම පිළිබඳව වූ පුවත ලැව් ගින්නක් සේ ලොව අස්සක් මුල්ලක් නෑර පැතිරී ගියා.

මැඩෙලින් සම්බන්ධ අරුම පුදුම සිද්ධි දාමය පෙළ ගැසුණේ 2007 වසරේ මැයි මස තුන් වැනි දින යි. ඇය සහ ඇගේ ප්වුල නිවාඩුවක් ගත කිරීම සඳහා බ්‍රිතාන්‍යයෙන් පෘතුගාලය බලා පැමිණ තිබූ අතර, ඒ දිනයේ ඔවුන් නවාතැන් ගෙන තිබුණේ එහි ප්‍රයියා ඩ ලූශ් නම් නුවර නිවාඩු නිකේතනයක යි. මෙය ඉතා සාමකාමී හා ආරක්ෂාකාරී ස්ථානයක් ලෙස පෙනුණු බැවින්, මැඩෙලින්ගේ මාපියන් වන කේට් හා ජෙරී ඇය හා ඇගේ සොයුරු නිවුන් දරුවන් දෙදෙනා එහි තබා, මදකට ඉවතට නික්මෙනවා.

ඔවුන්ගේ කාමරය නිවාඩු නිකේතනයෙහි පහළ මාලයෙහි තිබුණු අතර, ඉන් නික්මෙන යුවළ ආසන්නයේ වූ තපාස් නම් ආපන ශාලව වෙර්හ යන්නේ සිය මිතුරන් කිහිපදෙනෙක් හමු වී රාත්‍රී ආහාරය ලබාගන්නට යි. රාත්‍රී 10 පමණ වන විට ඔවුන් නැවත සිය කාමරය වෙත පැමිණි අතර. ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ කිසිසේත් ම අපේක්ෂා නොකළ සිදුවීමකට යි. ඔවුන්ගේ වැඩිමහල් දරුවා වූ මැඩෙලින් ඔවුන්ගේ කාමරයෙන් අතුරුදහන් ව තිබුණා. කලබලයට පත් වූ යුවළ නිකේතනය පුරා ම ඇය සෙවූ නමුත් ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමු වූයේ නැහැ.

නවාතැනට පැමිණි ආගන්තුකයෙක්?

රාත්‍රිය පුරා සිය දියණිය සෙවූ මුත් ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නිවාඩු නිකේතන පරිශ්‍රයෙන් හමු වූයේ නැහැ. කල්පනා කර බැලීමේ දී ඇගේ මාපියන්ට ප්‍රත්‍යක්ෂ වූයේ ඇගේ අතුරුදහන් වීම සිදුවූ දිනයේ උදය ආහාර ගන්නා විට ඇය යම් ‘අමුතු’ ආකාරයේ යමක් ප්‍රකාශ කළ බව යි. එහි යම් ආගන්තුකයෙක් පිළිබඳ යම් ඉඟියක් ගැබ්ව  තිබූ අතර, මේ නිසා වරක් හෝ කිහිප විටක් යම් අයකු සිය කාමරය වෙත පැමිණෙන්නට ඇති බැව් ඔවුන් අනුමාන කළා. ඒ ගැන සොයා බැලීමේ දී  ආගන්තුකයෙක් හෝටල් පරිශ්‍රය ආසනයේ දරුවකු ද අතින් ගෙන එදින රාත්‍රී 8ත් 10ත් අතර සැරිසරනු කිහිප දෙනෙක් දැක තිබුණා.

ඔහු පිළිබඳ වූ විස්තරය හා සැසඳීමේදී , ඒ තදාසන්න ව විසූ බ්‍රිතාන්‍ය-පෘතුගීසි සම්භවයක් සහිත, ව්‍යාපාරිකයෙක් වූ තිස් තුන් වියැති රොබට් මුරාට් හා සැසඳුණා. ඔහු කුඩා ගැහැනු දරුවකු වඩා ගෙන, හෝටල් පරිශ්‍රය ඔස්සේ සිය නිවස වෙත රාත්‍රී 9.15 ට පමණ ගොස් තිබුණා. මේ අනුව ඔහු පොලිස් භාරයට ගෙන ප්‍රකාශයක් සටහන් කර ගත් අතර, එහිදී හෙළි වූයේ ඔහු හා අදාළ දරුවන් අතර කිසිදු සම්බන්ධතාවක් නැති බව යි. ඔහු වඩා ගෙන ගිය දරුවා මැඩෙලින් නොවන බැව් ඔප්පු වූ හෙයින් ඔහු නිදොස් කොට නිදහස් කෙරුණා.

 මැඩෙලින් ගේ මාපියන්- PA 

 

සැකය මාපියන් වෙත යොමු වෙයි

මැඩෙලින් සොයා දින කිහිපයක්  පර්යේෂණ පැවැත්වුණ ද ඒවායින් සාර්ථක පලයක් අත් වූයේ නැහැ. මේ නිසා ඇය සෙවීමේ උනන්දුව ඇගේ මව්පියන් කෙරෙනුත් මඳින් මඳ දුරස් වන සෙයක් දිස් වුණා. මේ නිසා ම එක් අවස්ථාවක දී සැකය ඔවුන් වෙතත් යොමු වුණා. විවිධ අංශ ප්‍රකාශ කරන්නට වූයේ, එම නවාතැනේදී සිදු වූ හදිසි අනතුරක් වැනි යමක් නිසා මැඩෙලින් මිය යන්නට ඇති බවත්. තමන් අපහසුතායට පත් වේ යැයි බියෙන් ඇගේ මව්පියන්, අගේ සිරුර සඟවා, ඇය අතුරුදහන් ව ඇති ලෙසට කතාවක් ගොතන්නට ඇති බවත් යන කාරණාව යි. මෙය යම් ප්‍රමාණයකට තහවුරු කරමින්, නවාතැන පරීක්ෂා කරන්නට ගෙන ආ පොලිස් සුනඛයන් ද සුවිශේෂී ලෙස හැසිරෙන්නට වුණා. ඔවුන් මැඩෙලින්ගේ ඉව ඔස්සේ ගොස් නතර වූයේ ඇගේ මව්පියන්ගේ කාරය අසල යි.

සිය දියණියගේ අතුරුදහන් වීමට තමන් සැක කරන බැව් දැන ගත් මැඩෙලින්ගේ මාපියන් මානසික ව කඩා වැටුණා. ඔවුන් දිගින් දිගට ම කියා සිටියේ තමන් කිසි ලෙසකින් තමන්ගේ දරුවෙක් අරබයා එවැන්නක් කිරීමට සිහිනයකිනුදු නොසිතන බව යි. ඔවුන්ට සහාය දැක්වූ බොහෝ දෙනා ප්‍රකාශ කරන්නට වූයේ ඔවුන්ගේ කාරයේ මැඩෙලින් නිතර ම ආ ගිය නිසා ඇගේ ‘ඉව’ කාලයක් තිස්සේ එහි තිබීම සාමාන්‍ය බව යි. මේවා සැලකිල්ලට ගෙන 2008 වසරේදී ඇගේ මාපියන් සැකකාර ලැයිස්තුවෙන් ඉවත් කෙරුණා.

ලොව පුරා පරසිදු වූ අතුරුදන් වීම

මැඩෙලින් මැකාන් අතුරුදන් වී වසරක් ඉක්මවා ගිය ද ඇය පිළිබඳ ව කිසිදු තොරතුරක් වාර්තා වූයේ නැහැ. මෙහි අසාමාන්‍ය බව හා දුක්ඛිත ස්වභාවය නිසා මේ පිළිබඳ බ්‍රිතාන්‍ය පුරාත්, අනතුරුව ලොව පුරාත් කතාබහක් කෙමෙන් කෙමෙන්  ඇති වුණා. 2009 වසර වන විට ඇය අතුරුදහන් වූ පෘතුගාලයේ පෙදෙස තදාසන්නව සංචාරක කර්මාන්තය පවා යම් බලපෑමකට ලක් වූයේ මානව හිමිකම් සංවිධාන එම පෙදෙසට යන අයට ‘ළමා අතවර කරුවන් ගෙන් ප්‍රවේශම් වන ලෙසට’ ප්‍රකාශ නිකුත් කිරීම සමඟ යි.

බොහෝ දෙනා ලිංගික ශ්‍රමික කර්තව්‍යයක් සඳහා මැඩෙලින් පැහැර ගන්නට ඇති බවට ද මත පළ කරන්නට වුණා. සැබැවින් ම ඒ අවට ළමා අඩන්තේට්ටම් සිද්ධි කිහිපයක් ම එම කාලයේ දී වාර්තා වී තිබීමත් ඊට හේතුවක් වුණා. මීට අමතර ව පසුකාලීන ව ඇගේ අතුරුදහන් වීමට ලොව බලවත් පුද්ගලයන්ගේ නම් ද ගෑවීම සුවිශේෂී යි. ලොව පුරා ඇයට යුක්තිය ඉල්ලා උද්ඝෝෂණ ද සංවිධානය වුණා. මීට ළමා සුරැකුම් ආයතන ද යුහුසුළුව සහභාගී වුණා.

 මැඩෙලින් වෙනුවෙන් ලොව පුරා උද්ඝෝෂණ සංවිධානය වුණා – globeecho.com 

 

මැඩෙලින් මැකාන් අතුරුදහන් වී අද වන විට වසර 15 ක් වෙනවා. කෙතරම් උත්සාහ දැරුව ද අද වන විටත් ඇය පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගන්නට කිසිවකුත් අසමත් වී තිබෙනවා. ඇය විකෘති ආශාවන් ඇති පුද්ගලයකුගේ ගොදුරක් වුණා ද? නැතිනම් හදිසි අනතුරකට ලක් වූවා ද? එසේත් නැතිනම් වෙන යම් අයෙක් පැහැරගත්තා ද යන්න කිසිවකුටත් තව ම අනුමාන කළ නොහැකි වී තිබෙනවා.

 කවරයේ ඡායාරූපය - මැඩෙලින් සොයා දෙන ලෙස පැවැත්වූ සත්‍යග්‍රහයක්- Cathal McNaughton, PA Images/Getty Images 

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Bbc.com

abc.net.au

Related Articles